පිනි පලස

දොස්තර කෙනෙක් වෙන්න ගිහින් බොක්ස් ඔෆිස් නළුවා වෙයි

තිස්ස විජේසුරේන්ද්‍ර කියන්නේ 1970 දශකයේ ලංකාවේ සිටි ජනප්‍රියම පෙම්වතා ලෙස රසික සිත් දිනා ගත් සිත් ඇදගන්නා රූපයක් තිබූ කඩවසම් චිත්‍රපට නළුවෙක්. ඒ වගේම බොක්ස් ඔෆීස් වාර්තා තැබූ ජනප්‍රිය නළුවෙක්. තිස්ස විජේසුරේන්ද්‍රගේ මනබඳිනා රංගනයන් නම් තවමත් ප්‍රේක්ෂකයාට මතකයේ ඇති බව නම් නොරහසක්. ඔහු සිනමාවේ තැබූ මුල්ම පියවර ගැන පිනිපලසට කිව්වේ මෙහෙම.

මම සිනමාවට එන එක නම් ටිකක් දිග කතාවක්. ඒක වෙන්නේ මෙහෙමයි, මම ටියුෂන් යන්න ලේසි නිසා බම්බලපිටියේ මාමා කෙනෙක්ගෙ ගෙදර ඉඳන් ගියේ. ඒ මාමා වැඩ කළේ සිලෝන් තියටර්ස්වල. ඒ මාමාව හම්බෙන්න එන අතරේ තමා මාව දැකලා මට කතා කළේ. මොකද ඒ දවස්වල ගොඩක් සිංහල චිත්‍රපට කියන්නේ හින්දි චිත්‍රපටවල කොපිනේ. ඔය කාලේ තමා දෝස්ති කියන චිත්‍රපටය ආවේ. ඒ දෝස්ති චිත්‍රපටයත් සිංහලෙන් කරන්න ලෑස්ති වුණා නිෂ්පාදක ජග්තියානි මහත්තයයි, අධ්‍යක්ෂ කිංස්ලි රාජපක්ෂ මහත්තයයි. ඉතින් දෝස්ති චිත්‍රපටයේ අන්ධ චරිතය කළ සුධීර් කුමාර්ගේ රූපේ මගේ රූපෙට සමාන නිසා මාව දැක්කා විතරයි මට කතා කළා එන්න කියලා මේ චිත්‍රපටයේ රඟපාන්න.

මුලින්ම නම් මම කැමැති වුණේ නැහැ. මොකද මට ඕනේ වෙලා තිබ්බේ දොස්තර කෙනෙක් වෙන්න. තාත්තා කිව්වා පිස්සු කතා කරන්න එපා බයිස්කෝප්කාරයෙක් වෙන්න හදන්නේ නැතුව දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්න කියලා. හැබැයි අර මහත්වරු දෙන්නා වැඩේ අත ඇරියේ නැහැ. මාව අල්ලාගෙන වැඩේ පටන් ගත්තා. මමත් හොරෙන් හොරෙන් ගිහින් රඟපෑවා. ඒ චිත්‍රපටය තමා කලණ මිතුරෝ සිංහල සිනමාවේ 224 වෙනි චිත්‍රපටය.
මට තාම මතකයි මුල්ම ෂොට් එක ගත්තේ කොළඹ ජග්තියානි මහත්තයගේ ඔෆිස් එකේ. එ්කේ හිටියේ මාටින් ගුණදාසයි මමයි. රයිට් ඕකේ ඇක්ටින් කිව්වා. මම රඟපෑව පළවෙනි ෂොට් එකම හරිගියා. කිංස්ලි රාජපක්ෂ මහත්තය එක පාරටම කිව්වා My god Very Good කියලා. මට මතක හැටියට මගෙන් දෙවන ෂොට් එකක් ගත්තෙම නැහැ. එම් ඒ ගෆුර් මහත්තයා තමයි කැමරා කළේ. දෙවිවරු වගේ මිනිස්සු.

හැබැයි මම මුලින්ම රඟපෑවේ කලණ මිතුරෝ වුණාට තිරගත වුණේ නිම්වළල්ල චිත්‍රපටය. ඒක කෙරුවේ රන්ජිත් ලාල්. ඒක තිරගත වුණා 1970 පෙබරවාරි මාසේදී.

තාත්තා ඇත්තටම දැනගත්තේ මම චිත්‍රපටය කරලා ඉවර වුණාටත් පස්සේ. මොකද මම ඒ වෙද්දී උසස් පෙළ ලියනවා. ඉතින් කවුරුත් දන්නෙත්

නෑ. පත්තරවල වුණත් මුකුත් පළ වුණෙත් නැහැ. දැන් වගේ ගොසිප් නැහැනේ.
මට අමතක නොවන අත්දැකීමක් සිදු වුණා. ඒ තමයි ක්‍රවුන් එකේ තිරගත වෙද්දී දෝස්ති චිත්‍රපටය. මේ දෙන්නා මාව එක්කරගෙන ගියා ඒ හෝල් එකට. චිත්‍රපටය නරඹන්න ආපු හැමෝම හිතුවේ අර දෝස්ති එකේ නළුවා ඇවිත් කියලා හැමෝම මාව වට කර ගත්තා. ජග්තියානි මහත්තයාගේ බෙන්ස් එකේ තමයි මම ක්‍රවුන් එකට ගියේ. එදා මට පොඩි ආඩම්බරයකුත් දැනුණා. එතකොට මේ දෙන්නට ගොඩක් සතුටු හිතුණා එයාලගේ තේරීම හරි කියලා.

බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට තමයි ඒ වෙද්දී ගොඩක්ම තිරගත වුණේ , මම රඟපෑ චිත්‍රපටවලින් මුලින්ම බොක්ස් ඔෆිස් වාර්තා තැබුවේ මමයි මාලිනියි හිටපු සුහද පැතුම චිත්‍රපටය. කියන්න ඕනේ ඒ චිත්‍රපටය තිරගත වෙද්දී අනිත් පැත්තෙන් තිරගත වුණේ විජය – මාලිනී රඟපාපු තුෂාරා චිත්‍රපටය. කියන්න සතුටුයි චිත්‍රපට දෙකම බොක්ස් ඔෆිස් වාර්තා තැබුවා. දෙකම දින එකසිය විසි ගාණක් දිව්වා. තව දෙයක් තියෙනවා කියන්න. සමාවෙන්න ඕනේ වැරදි නම්. මම තමයි මුල් චිත්‍රපටයේ ඉඳන් දිගටම ප්‍රධාන චරිත විතරක් රඟපෑව එකම නළුවා. වයසට ගියාට පස්සේ නම් ඉතින් තාත්තාගේ චරිත කළා.

රංගනයට අමතරව මම වෙන රැකියාවක් කරලා තියෙනවා. ඒක වුණේ මෙහෙමයි. ලංකාවේ සිනමාවේ 545 වැනි චිත්‍රපටය තිරගත වුණා සෙනෙහසක කඳුළු කියලා. ඒක කළේ හේමසිරි සෙල්ලප්පෙරුම මහතා. එ්කේ මමයි සෝනියයි කළේ වැදි චරිතයක්. මොකද මල් ගස් වටේ දුවන චරිත කරලා කරලා මම මේ වෙනස්ම චරිතයක් කරන පළමු අවස්ථාව, ඒ වෙනකම් ඉතින් මට සම්මාන එහෙම ලැබිලා තිබ්බේ නැහැ එනිසා මම හිතුවා මේකට නම් මට සම්මානයක් ලැබෙයි කියලා. මොකද ඒක ඉන්දියාවේ පවා තිරගත වුණා. එහෙදි එහෙම මගේ රංගනය ගැන ඉතා ඉහළින් කතා කරලා තිබ්බා. මම ඒ නිසා විශ්වාසෙන්ම හිටිය සම්මානයක් ලැබෙයි කියලා. ඒත් වුණේ, ඒක කළේ නො 17 කළ හේමසිරි සෙල්ලප්පෙරුම මහතා නිසා මට සම්මානයක් ලැබුණේ නැහැ. හැබැයි ඒක ලෙස්ටර් මහතා කළා නම් මට සම්මානයක් ලැබෙන්න තිබ්බා. ඕකෙන් ඇති වුණ කලකිරීම එක්ක මම ටිකක් ඈත් වුණා රඟපෑමෙන්. ඒ කාලේ වෙන රැකියාවක් කළා.

ජීවිතය ගැන මම තෘප්තිමත්, සාර්ථක යුග ජීවිතයක් ගත කරන්න මට පුළුවන් වුණා. හොඳ සැමියෙක් වගේම දියණියන් තුන් දෙනාටම හොඳ පියෙක් වෙන්න ලැබීම මට ආඩම්බරයක්. මට ගොසිප් නෑ. කිසි කෙනකුට කියන්න බෑ මම අහවල් නිළිය එක්ක සම්බන්ධකමක් තිබුණා කියලා. එදා හිටිය නෝනාමයි අදත් ඉන්නේ. අරයා හොඳයි. මෙයා නරකයි කියන්න ගොසිප් නෑ මට. මම හිතන්නේ ලංකාවේ නෙවෙයි මුළු ලෝකෙම ගොසිප් නැති එකම නළුවාත් මම වෙන්නැති.

අනූෂා රණසිංහ