විශේෂාංග

දේශීය බීජ නොමිලේ දෙන සෝමලතා ෆාම්

ඈත ගමක උපන්නත් සෝමලතා අනෙක් අයට වඩා වෙනස් විදිහකට සිතූ තරුණියක වූවාය. ඒ වෙනස් සිතුවිලි නිසාම ඇගේ අමුතු අදහස්, ලස්සන කවි කෙටිකතා වී පත්තරවලත් පළවුණේය. හුරුළු මීගහපට්ටිය ගමේ ඉපැදුණු සෝමලතා වනසිංහ පත්තර රස්සාවකට ආදරය කරන්නේ ඒ කාලයේය.

ඇය උසස් පෙළ හදාරන්නේ ගලෙන්බිඳුණුවැව මධ්‍ය විද්‍යාලයෙනි. සරසවියට යන්නට බැරි වුණත් ඒ සරසවි සිහිනය මැකෙන්නට ඉඩ නොදී කැලණිය සරසවියේ බාහිර උපාධි අපේක්ෂිකාවක් ලෙස බාහිර උපාධියේ පළමු අදියරට ද පෙනී සිටියාය. ඇයට එතැනින් යන ගමන වෙනස් කරන්නට සිතුණි. ඒ අනුව විකල්ප මාධ්‍යවේදිනියන්ගෙ සංගමය හරහා ඇය ගලෙන්බිඳුණුවැව, කැකිරාව වාර්තාකාරිනිය වූවාය. ඒ යුක්තිය පත්තරේටය.

හැකියාවට ලද රැකියාව මහත් ආසාවෙන් කළ සෝමලතා වනසිංහ, ඇගෙන් කැකිරාවේ ප්‍රවෘත්ති ගිලිහෙන්නට ඉඩදුන්නේ නැත. එප්පාවල පොස්පේට් කර්මාන්ත ශාලාව හා භූමිය බහුජාතික සමාගමකට පවරන්න ගත් උත්සාහයකට එරෙහි මහජන නැගී සිටීමක් වාර්තා කරන්නට ඇය ගියේ එය තවත් ප්‍රවෘත්තියක් වූ නිසාය. ඒත් වෘත්තිය වෙනුවෙන් අමාරුවෙන් උපයාගෙන තිබූ ඇගේ කැමරාව අතරමගදි ඇයට අහිමි වුණේය.

ඒ දේශපාලන චණ්ඩි මුහුණු වසාගෙන පැමිණ එය පැහැරගත් නිසාය. ඇයට පත්තර වාර්තාකාර තනතුර එපාවුණේය. ඊට තවත් හේතුවක් වූයේ වියපත්ව සිටින අම්මාගේ සහයෝගයට නිවසේ නිරන්තර කෙනකු සිටීමේ ඕනෑකමයි. නිවසේ සිටින සෝමලතාට නිකරුණේ ගෙවෙන ජීවිතය ගැන තදින් දැනෙන්නට ගත්තේය. ඒ නිසා ඒ කාලය අර්ථවත් යමකට යොදවන්නට ඇය සිතුවාය.

“මම හිතුවෙ වස විස නැති දේශීය එළවළු, පලතුරු සහිත ගෙවත්තක් හදන්න. එහෙම හිතුවට ඒක කරන්න අමාරු වැඩක් කියලා මම දැනගෙන හිටියා. මොකද වගාකරද්දි වතුර ඕන. ඒත් අපිට වතුර ප්‍රශ්නයක් තිබුණා. ඒත් මං හිතුව දේ කරනවා කියලා හිතුවා…”
ඇගේ සිතුවිල්ල ක්‍රියාවක් බවට පත්වන්නෙ උත්සාහවන්ත සිතුවිල්ලක් හිත උඩම තිබූ නිසාය. හුරුළු වැව පෙනෙන දැනෙන මානයේ සිටින ගලෙන්බිඳුණුවැව යකල්ලේ මිනිස්සුන්ට පාරම්පරිකවම උරුමව ඇති ගොවිකම, වගාවේ සූරකම, දැනුම සෝමලතා තුළත් නොඅඩුවම තිබුණි.

ඈ ඇගේ වත්තේ වසෙන් විසෙන් තොර එළවළු, පලතුරු, අල වර්ග, පලා වර්ග, බෙහෙත් වර්ග හැදුවාය. ඇය ඊට බොහෝ මහන්සි වූවාය. මේ ගෙවත්ත ජල මූලාශ්‍රයක් සමීපයේ නොතිබූ නිසා සෝමලතා හැතැක්ම කාලක් පමණ දුර තිබෙන වැවෙන් පාපැදියේ ගොස් බූලිවලට වතුර පුරවා ගෙනැවිත් ගෙවත්තේ වගාවට දැමුවේය. ඒ මහන්සියේ වතුරට සෝමලතාගේ දෑතේ වාසනාවත් නිසැකවම ගෙන දුන්නේය.

” මම තෝරගත්තෙ හරිම මග කියලා දැනුණෙ බීජ පැළවෙලා ගස් ටික ටික ලොකු වෙනකොට. ඒ වගාවට මහන්සි වුණාට කමක් නෑ කියලා හිතෙන තරමට ලොකු සතුටක් මගේ ගෙවත්තෙන් මගෙ හිතට ලැබුණා. ඒ නිසා දවසෙ වැඩි කාලයක් මං හිටියෙ මගේ ගෙවත්තේ එළවලු පලතුරු ගස් එක්ක.”
පාරම්පරික දේශීය බීජ පැළ බවට පත් වී ඒ පැළ සාර ලෙස වැඩී පල ලබාදෙද්දි සෝමලතාගෙ ජීවිතයටත් අර්ථවත් දෙයක් සිදුවුණේය. ඒ 2000 වසරේ සිට ඇගේ ජීවිතයේ හුදකලාව ඈ අත් හැරීමයි.

” 2000 වසරේ තමයි මම විවාහ වෙන්නෙ. ඒ වසන්ත කුමාර එක්ක. එයා වැඩ කළේ යුද හමුදාවේ. ඒකත් තනි ජීවිතේට ලොකු වෙනසක් කියලා වැඩි කාලයක් යන්න කලින් මට දැනුණා.

අපිට ලැබෙන්නෙ නිවුන් දරුවන්. ඒ දෙන්නම දුවලා. දූලා දෙන්න ඉපදුනේ වෙසක් පෝය දවසක.” 2000 වසරෙදි සෝමලතාගේ ගෙවත්ත ගැන ආරංචි වී මහවැලි අධිකාරියෙ නිලධාරින් පැමිණියහ. ඔවුහු ඇගේ ගෙවත්ත සමග ඇයට දීප ව්‍යාප්ත ගෙවතු වගා තරගයට එක්වෙන්න ආරාධනා කළහ. සෝමලතා ද තරගයට ඉදිරිපත් වූවාය.

” ඒ තරගයෙන් හුරුළුවැව පලුගස්වැව හබරන කලාපයෙ ගෙවත්තට හිමි පළවැනි තැන මට ලැබෙනවා. මහවැලි තරගයෙන් දිනුවට පස්සෙ විවිධ පුහුණුවලට එකතුවෙන්න ලැබුණා. ඒවයින් මම වගාව ගැන තවත් හොඳ අවබෝධයක් ලබාගත්ත. ඒ අවබෝධයෙන් වගාව කරපු හින්දා 2010 අවුරුද්දෙදි මට ගලෙන්බිඳුනුවැව කලාපයෙ හොඳම ගෙවිලිය ලෙස සම්මානය ලැබුණා.”

සෝමලතා ජීවිතය ජයගන්න ගිය ගමනේ, සතුටු මල් පිපුණු මාවත්වලට වඩා ඇයට ලැබුණෙ කඳුළු මල් පිපුණු මාවත් ය. දුක් ගැහැට, ප්‍රියයන්ගෙන් වියෝවීම් කීපයක්ම, ඇයට පසුකළ වසර කීපයේ විඳින්නට සිදුවිය. ඇගේ ජීවිතයෙන් මුලින්ම ඈත් වන්නේ ඇයට බොහෝ සමීපව සිටි අම්මාය. 2011 වසරෙදි සිදු වූ අම්මාගේ වියෝව සෝමලතා දරාගත්තේ ස්වාමියා හා දරු දෙදෙනාගෙන් ඒ අඩුවත් පුරවාගන්නට උත්සාහ කරමිනි. ඒත් සෝමලතාගේ ජීවිතයෙන් වියෝ දුක එතෙකින් කෙළවර නොවුණේය. 2014 අවුරුද්දෙ සෝමලතාගෙ නිවුන් දූලාගෙන් බාල දුව නවෝද්‍යා හිටි හැටියේ අසනීප වන්නට ගත්තාය.

” දුවට හැදිලා තිබ්බෙ ලියුකේමියා රෝගී තත්ත්වයක් කියලා ගලෙන්බිඳුණුවැව රෝහලෙන් දූව අනුරාධපුර ‍මහ රෝහලට මාරු කළා. අනුරාධපුරෙන් දුවව මහරගම පිළිකා රෝහලට මාරුකර යැව්වා. ලොකු කාලයක් මහරගමින් බෙහෙත් කරන්න බැරිවුණා. මාසයක් වගේ කාලයක් විතරයි මගෙ කෙල්ලට බෙහෙත් කරගන්න පුළුවන් වුණේ.”

සෝමලතාගෙ පොඩිදුව නවෝද්‍යා මෙලොව හැර යෑම ඇයට දරන්නට බැරි දුකක් වුණත් ඈ මහමෙරක් සේ සියල්ල දරාගන්නට හුරුවුණාය. පොඩි දුව නවෝද්‍යාගෙ වියෝව සිදු වී දින කීපයකින් පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් සෝමලතාගේ ගෙවත්තට තවත් ජයග්‍රහණයක් ලබා දුන්නේය. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොඳම ගෙවිලිය සම්මානය ඇයට ලබා දෙමිනි. කිසිවෙකුටත් නොපෙන්වා දරා සිටියත් වියෝ දුක සෝමලතාගේ හදවත වටකරගෙන සිටියේය. ඒ නිසා අම්මාත් දියණියත් සිහිවන හැමවිටකම ඇය කළේ ගෙවත්තේ වගාවට මහන්සි වීමත් ඒ අඩුව සැමියාගේ හා අනෙක් දියණියගෙන් වසා ගැනීමත් ය. ඇයට දුක වේදනාව මඳක් හෝ අවම කරගන්න මේ දේවල්වලින් පුළුවන් විය.

“පොඩි දුව නැතිවුණාට පස්සෙ මමත් ටික ටික ලෙඩ වෙන්න ගත්තා. අධි රුධිර පීඩන රෝග තත්ත්වය වැඩිවුණා. ඒ හින්දා මට කුඹුරු වැඩ කරන්න බැරිවුණා. මට නම් කුඹුරට බහින්න ඒත් හිත හයියයි. අපේ මහත්තය මට කුඹුරට බහින වැඩ තහනම් කරලා තිබ්බේ.” එතැන් පටන් කුඹුරු වැඩ කිරීමේ කාර්යය බාර අරන් කටයුතු කළේ සෝමලතාගේ සැමියා වසන්තයි. ඒත් ඔහුගේ රාජකාරියත් සමග එය තරමක් අසීරු කාරණාවක් ද විය. ඔහු විසින් වගා කර තිබූ කුඹුරේ අස්වැන්න නෙළා අහුරා ගන්නට වසන්ත සේවයෙන් නිවාඩු ලබා ගෙදර එද්දි සෝමලතාගේ හිතට ජීවිත කාලයම විඳවන දුකක් උරුම වුණේය. ඒ යාපනයෙ කොඩිකාමම් දුම්රිය ස්ථානය ආසන්නයෙදි රිය අනතුරකින් බරපතළ තුවාල ලබා ඔහු රෝහලේදි මිය යාමෙනි. ඒ වියෝවෙන් සෝමලතා, ලොකු දුව නිපුණි දිව්‍යාංජලි සමග අසරණ ලෙස ජීවිතේ තනිවුණාය. ජීවිතයේ ළඟින්ම සිටිය යුත්තන් එසේ එක් එක්කෙනා වියෝ වද්දී ඔවුන් මතක්ව දුක දැනෙන බොහෝ අවස්ථාවන්වල සෝමලතා කාලය ගෙවත්තට කැපකළාය.

” 2017 අවුරුද්දෙ මහවැලි අධිකාරියේ ‘නියඟයට ගෙවත්තක්’ වගා තරගයෙ මඬාටුගම, සීගීරිය, පොළොන්නරුව, හුරුළුවැව කලාපයේම පළවැනියා වුණේ මමයි. මගේ ගෙවත්තට තමයි ජනාධිපති සම්මානය ලැබුණෙ. ” ඒ ජයග්‍රහණයන් ඇයට හිමිකරගන්නට හැකිවන්නේ ඈ කෙතෙක් දුක් ඉසිලූවත් ඒ දුක් සියල්ල ගෙවත්තට මුසුකරමින් එය සරු කිරීම නිසාය. සෝමලතාගේ ගෙවත්තට මුල් කාලයේ කෘෂිකර්ම නිලධාරීන් ආවද දැන් නම් කෘෂිකර්ම නිලධාරීන්ට ඇගේ ගෙවත්තට ඒම තහනම්ය.

“ ඔය නිලධාරින් ඒ ගොල්ලන්ගෙ ඉහළ නිලධාරින් ආවම අන්තිම වැරදි වැඩක් කරනවා. මගේ ගෙවත්ත පෙන්නන්නේ එයාල උපදෙස් දීලා හදපු වත්තක් වගෙ. ඇත්ත කිව්වොත් මට ඒ අයගෙන් කිසිම කිසිම සහයෝගයක් නෑ. කාබනික නොවන වස විස ගහලා භෝග හදන හැටි ගැන නම් එයාලා කියල දෙනවා. මේ පැත්ත බාරව ඉන්න කෘෂිකර්ම නිලධාරියාට ආයේ මගෙ වත්ත පැත්තෙ පස් පාගන්න එන්න එපා කියලයි මම කියලා තියෙන්නේ. ආණ්ඩුවේ සල්ලි කනවා විතරයි. රටට ගමට කිසි වැඩක් නෑ. දවසක් කෘෂිකර්මෙ ඉහළ නිලධාරියෙක් ආවා.. වත්ත දැකලා කොච්චර හොඳද අපි ඕන උදව්වක් දෙන්නම් කිව්වා. එයා ගියා ගියාමයි. එච්චර තමයි”

එපමණක් නොව සෝමලතා සුවිශේෂ ගැහැනියක් වෙන්නෙ වියෝවන් දරාගෙන ගෙවත්තක් වවන ගැහැනියක් නිසාම නොවේ. වගාවට දේශීය බීජ ඉල්ලන ඕනෑම කෙනකුට ඇය සතු දේශීය බීජ, ඇය නොමිලේ ලබා දීමයි. එතෙකින් නොනැවතී ඈ උගත් වස විස නැති වගාව ගැනත්, ඒ වගාව වවන හැටිත් කියාදුන්නාය. කිසිදු ලාබයක් ප්‍රයෝජනයක් නැතත් බොහෝ දෙනාගෙ යහපත වෙනුවෙන් ඇය කැපවීමෙන් ඒ කාර්ය කළාය. ඇය ඔවුන්ට ආදර්ශයට දුන්නේ ගලෙන්බිඳුණවැව යකල්ලේ හුරුළු හන්දියෙ ඇති සෝමලතාගේ අංගසම්පූර්ණව සකසා ඇති මනරම් ගෙවත්තය. ඒ වටාපිටාවද ඈ සුන්දරව නිමවා තිබුණු හැටි කවුරුත් දුටහ. නිවසට ඇතුළුවන මග දෙපස පවා එලවළු පලතුරු පිළිවෙළට වවා ඇත්තේ දකින කෙනකුගෙ හිතද චමත්කාරයට පත්වන ලෙසයි. නිවසේ මිදුල ද සම්පූර්ණයෙන්ම ලස්සන කර ඇත්තේ වගාවෙනි. ඇතුළුවන මග එක් පසෙක මැස්සක ආධාරයෙන් ඉහළ යන්නට හැදූ සරු ආලංගා වැලකි. ඉහළ වියන් බැන්දා සේ දිග ලබු වර්ගයක් යන්ට මග හැදු විසල් මැස්සකි. එහි තැන තැන බටහිර පැරණි විදුලි ලාම්පු එල්ලු සේ පෙනෙන ලබුගෙඩි හා හේන් වැටකොළු කරල්‍ ය. ඒ අතර කිලෝ පේර නමින් වවන වාණිජ පලතුරක් සේ පෙනෙන පලතුරක් ද වෙයි.

“ඔය තියෙන්නෙ “ටන් ටින් පැෂන්” ගම්පොල පැත්තේ හැදෙන විශාල පැෂන් විශේෂයක්. සාමාන්‍ය පැෂන්වලට වඩා විශාලයි රසයි. ගේ ඉස්සරහම හැදුවේ මේකෙ මල් හරිම සුවඳයි. ඒ නිසා.ඒ වගේමයි ගෙඩි හැදිලා ඉදුණම මල් පිපුණට වඩා ලස්සනයි ” බොහෝ දෙනකු කිසිදින දැක හෝ අසාවත් නැති අපේම පොළොවෙ තිබී අපට අහිමි වන බොහෝ පලතුරු එළවළු ඈ වවමින් සිටින්නීය. ඒ විතරක් නොව ලංකාවේ සිව් දෙස ඒවා වැවෙන්නට අවශ්‍ය බීජ බෙදා දෙමින් ද සිටින්නීය. ඇය ගෙතුළ සිටී නම් ඇගේ දුරකථනයට ද විවේකයක් නැත. එක්කො වවන හැටි අහන්න එන ඇමතුම්ය. එක්කො විවිධ බීජ ඉල්ලා එන ඇමතුම්ය.

“ මගෙන් ඉල්ලන බීජ වර්ග මං ළඟ තියෙනවා නම් තියෙන හැටියට මං දෙනවා. දුර අයට තැපැල් මගින් යවන්නේ. ඒකට නම් නම, ලිපිනය ලියපු මුද්දර කවරයක් එවන්න ඕනෑ අවශ්‍ය බීජ මොනවද කියලා සඳහන් කරලා..” සෝමලතාගේ පපුවේ කුහකකමක සේයාවක්වත් නැත. නොඑසේ නම් ඇය රට වටේටම ඇගේ ගෙවත්තේ බීජ නොමිලේ යවන්නේ නැත. ඇය කියන්නේ වස විස නැති දේශීය වගාවෙන් යුත් ගෙවත්තක් හැම කෙනකුටම වවාගත හැකි බවයි. එමෙන්ම එය ඉතා හොඳ දෙයක් බවයි. සෝමලතාගේ ජීවිතය වැටෙන්නට නොදී නැගිටුවා තබන දේවල් දෙකක් මිහිපිට ඉතිරිව ඇත. ඒ දියණිය නිපුණී සහ මේ ගෙවත්තයි.

සත්සරණී තෙන්නකෝන්
ජයන්ත සුබසිංහ