කතුවැකි

දේශීයව ඖෂධ සමගම ඖෂධ ප්‍රතිපත්තියකුත් හදමු

ඉදිරි වසර තුන ඇතුළත රටට අවශ්‍ය ඖෂධවලින් සියයට පනහක් මෙරටදීම නිපදවීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. දකුණු ආසියාවේ වැඩියෙන්ම ඖෂධ ආනයනය කරන රට වන්නේ ශ්‍රී ලංකාවය. දැනට අපේ ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 85ක්ම ගෙන්වන්නේ පිටරටිනි. මේ සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 130ක් තරම් අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කරමින් සිටිමු. රටේ ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 50ක් මෙරටදී නිෂ්පාදනය කරගතහොත් මේ මුදලින් රුපියල් බිලියන 60ක් ඉතිරි කරගැනීමට අපට හැකි වනු ඇත.

කෙසේ වෙතත් අප මෙරටදී ඖෂධ නිෂ්පාදනය ආරම්භ කළ යුත්තේ ඉන් ලැබෙන රුපියල් සත ලාභය පමණක් අරමුණු කරගෙන නොව, ඊට වඩා පුළුල් සමාජ අරමුණකිනි. මේ වනවිට අප රටේ අනෙකුත් බොහෝ ආනයන මෙන්ම ඖෂධ ආනයනයේදී ද අනවශ්‍ය ඖෂධ ඉතා විශාල ප්‍රමාණයක් ආනයනය කෙරේ. ඖෂධ සමාගම්වල ජරාව කන බොහෝ දොස්තරලා කරන්නේ මේ නානාප්‍රකාර ඖෂධ නියම කරමින් ජනතාවගේ රීරිමාංශයෙන් ඖෂධ සමාගම්වල ගිණුම් තර කිරීමය.

රාජ්‍ය අංශයෙන් වේවා පෞද්ගලික අංශයෙන් වේවා රටට ඖෂධ ආනයනය කිරීමට අනුමැතිය දෙන්නේ රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය විසිනි. එසේ වුවත් මෙම අධිකාරියේ අනුමැතියෙන් තොරව රට තුළට ඖෂධ එන ක්‍රම සහ විධි ඕනෑ තරම් තිබේ. විවෘත වෙළෙඳපොළේ එවැනි ඖෂධ ඕනෑ තරම්ය.

එවැනි අනුමැතිය නොමැති ඖෂධ පමණක් නොව, අනුමැතිය ඇති ඖෂධ නිසාද, රෝගීන්ට මොන තරම් අතුරු ආබාධයන්ට ලක්වීමට සිදුවන්නේද? ඒ අතුරු ආබාධයන්ට ඖෂධ ගෙන්වන්නේද මුල් සමාගම විය හැකිය. ඇතැම් අධි මාත්‍රා ඖෂධවලට හුරු වීම, කුඩු බීමට හුරුවීම වැනිය. හුරු වූ පසු ඒ ඖෂධය නැතුව බැරිය. මේ ආකාරයට රෝගීන් කබලෙන් ළිපට ඇද දමන්නේ අන් කවුරුත් නොව වෛද්‍යවරුන් විසිනි. අද බොහෝ වෛද්‍යවරුන් ඖෂධ නියම කරන්නේ රෝගයට අවශ්‍ය පරිදි නොව ඖෂධ සමාගමට අවශ්‍ය පරිදිය. අපට මිල ගෙවන්නට සිදුව ඇත්තේ ඖෂධයේ වටිනාකමට නොව වෙළෙඳ නාමයේ වටිනාකමටය.

අපේ සෞඛ්‍ය සේවය දියුණු වී ඇතැයි මොන තරම් උදම් ඇනුවද මේ කාරණය සම්බන්ධයෙන් ගත් විට නම් අප ගමන් කර ඇත්තේ ඉදිරියට නොව ආපස්සටය. මහාචාර්ය සේනක බිබිලේ විසින් රටට ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නේ 1950 දශකයේ අගදීය. එයට අනුව ආරම්භයේදීම හඳුනාගත් ඖෂධ 500ක වෛද්‍ය විද්‍යාත්මක නාමයන් ඇතුළත් අත් පොතක් රජයේ රෝහල් වෙත නිකුත් කෙරුණි. සියලුම රජයේ රෝහල් ඖෂධ නියම කිරීමේදී ඖෂධ තෝරාගත යුත්තේ එම අත්පොතෙනි. පසුකාලීනව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව බිහිවීම දක්වා පුළුල් වූයේ එම වැඩසටහනය.

අප රටට පමණක් නොව මුළු ලෝකයටම ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නේ මහාචාර්ය සේනක බිබිලේ විසිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගත් මෙම වැඩසටහන අදත් බොහෝ රටවල ක්‍රියාත්මක වේ. අපේ අසල්වාසී බංග්ලාදේශය එවන් එක් රටකි. බිබිලේ ප්‍රතිපත්තිය අනුගමනය කළ බංග්ලාදේශය අද වන විට ලෝක ඖෂධ නිෂ්පාදකයෙකි.

ඖෂධ නීතිගත සංස්ථාවෙන් පසු ඖෂධ නිෂ්පාදනය සඳහාම වෙන්වූ තවත් රාජ්‍ය සමාගමක්ද ආරම්භ වූ නමුත් අපි මේ වනවිටත් රටේ ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට අසූපහක් ආනයනය කරමින් සිටින්නෙමු. කෙසේ වෙතත් ඉදිරි වසර තුන තුළදී මේ තත්ත්වය වෙනස් වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එසේ වුවත් මෙරට ඖෂධ නිෂ්පාදන වැඩපිළිවෙළ හුදු ආර්ථික ක්‍රියාවලියකින් ඔබ්බට ගොස් සමාජ, දේශපාලනික වැඩසටහනක් බවට පත්කළ හැකි වනු ඇත්තේ රටේ ඖෂධ ප්‍රතිපත්තිය යළි සමාලෝචනයට ලක් කළහොත් පමණක් බව අපි සිතමු. අප දකින ආකාරයට නම් දැනට එවැනි ප්‍රතිපත්තියක් නැත. ඒ නිසා නව ප්‍රතිපත්තියක් සකස් කළ යුතුය.

එහිදී මහාචාර්ය සේනක බිබිලේගේ අදහස් හෝ එම ප්‍රතිපත්ති එලෙසින්ම ක්‍රියාත්මක කළ යුතු යැයි අප අදහස් කරන්නේ නැත. මහාචාර්ය බිබිලේගේ වැඩපිළිවෙළ තුළ කාලීනව වෙනස් විය යුතු දේ තිබිය හැකි නමුත් ඉන් බොහෝ දේ ලබාගත හැකි වනු ඇති බව සැකයක් නැත. එසේම එහිදී බිබිලේ ප්‍රතිපත්තිය අතරමැද ඇණහිටියේ කෙසේද? කුමන කරුණු කාරණා නිසාද? යන්න ගැනත් සොයා බැලීම වැදගත් වනු ඇත. ඖෂධ මාෆියාව අද එදාටත් වඩා බලවත් බැවිනි.

මෙරට ඖෂධ නිෂ්පාදනය අපේක්ෂිත අන්දමට කළහැකි වුවහොත් එය මෙරට ආර්ථිකයට ආශිර්වාදයක් වනු ඇත. වාර්ෂිකව රුපියල් බිලියන තිහක පමණ මුදලක් ඉතිරි කරගත හැකි වන අතරේ නව රැකියා දහස් ගණනක් මේ ඇසුරෙන් උත්පාදනය වනු ඇත. මෙරට ඖෂධ නිෂ්පාදනයේ ඉහළම ජයග්‍රහණය වනු ඇත්තේ අපේම සන්නාමයකින් නිපදවෙන ඖෂධයකට අවම වශයෙන් දකුණු ආසියානු කලාපයේ හෝ වෙළෙඳපොළේ ඉඩක් ලබාගත හැකි​වුවහොත්ය.

ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල් පමණක් නොව බංග්ලාදේශය වැනි අන්ත දිළිඳු රටකට පවා ඒ තත්ත්වය ළඟා කරගත හැකි වූයේ නම් අපටද නොහැකි වන්නට හේතුවක් නැත.

ඖෂධ ගැන කතා කරන විට තවත් කාරණයක් සඳහන් කළ යුතුය. දේශීයව ඖෂධ නිෂ්පාදනය අද ආරම්භ කළත් එහි ප්‍රතිඵල ලබාගන්නට යම් කාලයක් බලා සිටින්නට සිදුවනු ඇත. එතෙක්​ රෝගීන්ට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව සපයා ගන්නට වැඩපිළිවෙළක් තිබිය යුතුය. මේ වනවිට අත්‍යාවශ්‍ය ඖෂධ හැත්තෑවක හිඟයක් පවතින බව වාර්තා වී තිබේ. මේ අතර පිළිකා රෝගීන්ට අවශ්‍ය ඇතැම් ඖෂධද තිබෙන බව කියැවේ. මෙවැනි ඖෂධ හිඟයක් ඇත්නම් එය ඇතිව තිබෙන්නේ දේශීය ඖෂධ නිෂ්පාදන වැඩපිළිවෙළ නිසා නොවන බව පැහැදිලිය. එසේ නම් ඒ කුමක් නිසාදැයි සොයා බැලිය යුතුය. අනෙක් අතට කියනා තරම් ඖෂධ හිඟයක් නැතිවා වන්නටද පුළුවන. ඒ අනුව කිසියම් වෙළෙඳ නාමයකින් එන ඖෂධයක් හිඟවීම ඖෂධ හිඟයක් ලෙස ප්‍රචාරය වනවා වන්නටද පුළුවන. කෙසේ වෙතත් ආණ්ඩුව, ඖෂධ සම්බන්ධයෙන් වැදගත් තීන්දුවක් ක්‍රියාත්මක කරන්නට සූදානම් වන ​මොහොතක රටේ ඖෂධ හිඟයක් ඇතිවීම ගැන සතුටු විය නොහැකි කාරණයකි.