විශේෂාංග

දේවානි, ඔක්සිජන් විතරක් නෙමේ වතුරත් ඕන නේද?

මීරිගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන බොහොමයක ජනතාව ජලය නොමැතිකමින් පීඩා විඳිති. ඔවුන්ට ජලය සොයා සැතපුම් ගණන් දුර ගෙවීමට සිදුව ඇත. මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොහොන්නරුව සමාගම්හේන ගම්මානයද ජලය නිසා බැට කන මිනිසුන් සිටින ගම්මානයකි. දියාලකන්ද රක්ෂිතයට මායිම්ව පිහිටා ඇති මෙම ගම්මානයේ ගැමියන් ජීවත් වෙන්නේ කුලී වැඩවලිනි. අවුරුදු 50 කට ආසන්න කාලයක් තිස්සේ සිට මෙම ගැමියන්ගේ මූලික ජල අවශ්‍යතාව සංසිඳවා ගන්නේ රක්ෂිතය හරහා ගලා බසින ස්වභාවික දොළ පහරකිනි.

“අපිට මහ ලොකුම ප්‍රශ්නය තමයි මේ වතුර ප්‍රශ්නය. අපේ සීයලා, තාත්තලා අපි කියන මේ පරම්පරා තුනක් වෙනවා. අපේ සීයලා වතුර ගත්තේ උණ කොට පළලා, ඒ මගින්. අපේ තාත්තලා පුවක්ගස් කපලා ඒ පුවක් ගස්වල බොඩ ඇදලා ඒවා දිගේ වතුර ගත්තා. එයාලාගෙන් පස්සේ අපි බට ගෙනැත් බට සවි කරලා කැලෙන් වතුර ගත්තේ. දැන් මීරිගම කැලෑ කන්තෝරුවෙන් ඇවිත් අපේ බට ටික කපලා දාල දැන් අපිට වතුර කොහොමවත් නෑ. පීල්ලෙත් නෑ. බටවලත් වතුර නෑ. බට ඔක්කොම පෙති පෙතිවලට කපලා දාල ගියා. පසුව අපි වතුර ඉල්ලුවා. අපිට ඕනෑ දිහාකින් වතුර ගන්න කිව්වා. දැන් අපිට වතුර ගන්න තැනක් නෑ. අදට දවස් 4ක් වෙනවා නාන්නත් නෑ. ඉස්සර අපි පීල්ලට ගිහිල්ලා නාගත්තා දැන් පීල්ලෙත් වතුර නෑ. බටවලත් වතුර නෑ.”

එසේ හඬ අවදි කළේ සමාගම්හේන ගම්මානයේ පැරණි ගැමියෙක් වන එච්. විජේසිංහය.

වර්ෂ 2002 දී පමණ සමාගම්හේන ගම්මානය සඳහා ප්‍රජා ජල ව්‍යාපෘතියක් මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ආරම්භ කෙරී ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ජල මූලාශ්‍රය දියාලකන්ද රක්ෂිතයේ ඉදි කර ඇති ළිඳකි. මෙම ළිඳ ඉදිකර ඇත්තේ ඉහත සඳහන් කළ වන රක්ෂිතයේ දොළ පහර ආසන්නයේම බව ප්‍රදේශවාසීහු පවසති. දොළ පහරින් ගලා එන ජලය මෙම ළිඳට හරවා ඇති බව ගම්වැසියන්ගේ මතයයි. මෙම ජලය ළිඳට හැරවීම නිසා ගලා එන ස්වාභාවික දොළ පහර හිඳී ඇති බව ගම්මුන්ගේ මතයයි. ඒ නිසා කැලයේ ජීවත්වන සතුන්ට ඔවුනගේ ජල අවශ්‍යතාව සපුරා ගැනීමටවත් නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ගම්වාසීන් පෙන්වා දෙයි.

‘‘රක්ෂිතය මැදින් ගලා යන දොළ පහර හරස් කරලා වතුර ටැංකියක් හදලා දොළ පහරේ ජලය ටැංකියට යනවා. රජයෙන් ලබා දුන්න පීල්ලේ වතුර නෑ. නාගන්න කන්න බොන්න දුන්න වතුර ටිකත් සම්පූර්ණයෙන්ම නැතිවෙලා තියෙන්නේ. අද සතෙකුටවත් බොන්න වතුර ටිකක් නෑ. ගස්කොළන් වේළිලා ගිහිල්ලා. මේ රක්ෂිතය මැද තියෙන එකම දොළ පහර වහලා වතුර අරං තියෙන්නේ. ටැංකියේ වතුර ගන්න කියනවා. මේ ටැංකියේ වතුර බල්ලෙකුටවත් බොන්න බෑ කුණු වතුර තියෙන්නේ. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේකට සාධාරණයක් ඉටු කරලා දෙන්න කියලා. දිසාපති කාර්යාලයෙන්, ගමේ ග්‍රාමසේවකගෙන් අපිට කිසිම සහනයක් ලැබිලා නෑ. ඉතින් මේ ගැන සලකා බලලා අදාළ නිලධාරීන් අපිට සහනයක් ලබා දෙන්න කියලා තමයි අපි කියන්නේ.” යැයි මෙම ගමේ පදිංචිකරුවෙක් වන ලලිත් ජානක පැවසීය

දැනට මෙම ජල ව්‍යාපෘතිය හරහා පවුල් 160 කට පමණ ජලය ලබා දී ඇති අතර අඛණ්ඩව ජලසැපයුම සිදු කිරීමට මෙම ව්‍යාපෘතියට හැකියාවක් නොමැති බව ගම්මුන්ගේ මතයයි. සතියට දින දෙකක් පමණක් ජලය මුදා හරින බව ගම්මුන් අප සමග පැවසූ අතර එය කිසිසේත්ම ඔවුන්ගේ ජල අවශ්‍යතාව සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවේ. ජල ව්‍යාපෘතියෙන් ජලය ලබා ගැනීමට නම් රුපියල් 35000ක් පමණ වැය වෙන බවත් එම මුදල එදිනෙදා රැකියාවක් කරන මෙම ජනතාවට සොයා ගැනීමට නොහැකි බව ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක පවසා සිටියේ වනාන්තරයට ඇතුළු වීම හෝ වනාන්තරයේ ජලය ලබා ගැනීම වනසංරක්ෂණ ආඥාපනතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. පවුල් පහක් පමණක් නළ මගින් ජලය ලබා ගෙන ඇති බවත් පසුගිය මාර්තු මාසයේ සිට මෙම නීතිවිරෝධි ජල නළ සැපයුම ඉවත්කර ගන්නා ලෙස මෙම පුද්ගලයන්ට දැනුම් දුන්නද ඔවුන් එය නොසලකා හැරි නිසා ජල නළ ඉවත් කිරීමට කටයුතු කළ බව ඇය පැවසුවාය. දැනට රක්ෂිතය තුළ ඉදි කර ඇති ප්‍රජා ජල මූලාශ්‍රය නීත්‍යනුකූල නොවන බවත් ජනතාව පැත්තෙන් සිතා එය නීත්‍යනුකූල කිරීමට මේ වන විට කටයුතු යොදා ඇති බවද, ජල මූලාශ්‍රය සඳහා ජලය ලබා ගැනීම සඳහා රක්ෂිතයේ ඉදි කර ඇති ජල ටැංකිය සඳහා ස්වභාවික දිය පහර යොදා ගෙන ඇත්නම් එය සම්පූර්ණ වරදක් බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් දිසා වන නිලධාරීවරිය පැවැසුවාය.

මීරිගම ප්‍රාදේශීය ලේකම් ඉන්දික ප්‍රසාද් පවසා සිටියේ මිනිසුන්ගේ මෙම ගැටලුව සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කළ යුතු බවත්, රක්ෂිතය තුළ ඉදිකර ඇති ජල මූලාශ්‍රය සම්බන්ධයෙන් තමා විසින් පරීක්ෂා කළ ජල ටැංකියේ පවතින ජලය සම්බන්ධව කිසිම ෆිල්ටර් කිරීමකට ලක් නොවන බවත්ය. ප්‍රදේශයේ ජනතාවට සපයන ජලය සම්බන්ධයෙන් කිසිදු තත්ත්ව පරීක්ෂණයත් සිදු කර නොමැත. ජල ඉල්ලුම සපුරාලීමට නම් ජලය සපයන ළිඳ පුළුල් කළ යුතුව ඇත. මෙම කටයුතු ඉටු කිරීමට යාමේදී වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නීති රීතින් හරස්වන බව ප්‍රාදේශීය ලේකම්වරයා පවසා සිටියේය.

“මිනිසා කියන්නේ පරිසරයෙන් ව්‍යුක්ත කොටසක් නොවෙයි. පරිසරයේම සත්වයෙක්. ඒ නිසා ස්වභාව දහමේ සම්පත් භුක්ති විඳීමේ අයිතිය මිනිසා සතුයි. ඒ අයිතිය දියාලකන්ද අවට මිනිසුන්ටත් තියෙනවා. හැබැයි ඒ අයිතිය වන සංරක්ෂණ නීතිවලට විරුද්ධ නම්, නිලධාරීන්ගේ ක්‍රියාවන් ඒ නීතිරීති මත සාධාරණයි. ඒ ඔවුන් කැලෑව රැකීමට ඉන්න නිසා. පරිසරයට ආදරය කරන අපේ මතයත් කැලෑව රැකිය යුතුයි. කැලෑවෙන් ගලා එන ජල දහරාවලින් ජල අවශ්‍යතා සපුරා ගැනීමට අවට ජනතාවට අයිතියක් තියෙනවා. මේ ක්‍රමවේදවල වරදක් තියෙනවා. ඒ නිසා අපි කියනවා වන සංරක්ෂණ නිලධාරීන්, පරිපාලන නිලධාරීන්, දේශපාලන අධිකාරිය, පරිසර සංවිධාන නියෝජිතයන්, මාධ්‍යවේදීන් එක මේසයකට කැඳවා කඩිනම් විසඳුමක් දිය යුතුයි’’ එසේ පැවැසුවේ මීරිගම මිහිසර පරිසර සංවිධානයේ සභාපති චන්ද්‍රවීර වික්‍රමරත්නය.

•මනෝජ් එදිරිසිංහ – මීරිගම