විශේෂාංග

දෙවොල් දෙවියන් සමග රැය පහන් කළෙමි

‘‘මේ ඔක්කෝම මොනයම්ම හරි කරදරයකට පත් මනුෂ්‍යයො. දෙවියන්ගේ දරුවො.දේව උපකාර පතාගෙනයි දුරබැහැර ඉඳල එන්නේ. මේ හැමටම කරුණාවෙන් සලකන්න ඕන. ආදරෙන් කතා කරන්න ඕන. අපිට දොස්තරගොල්ලට වගේ වැඩ කරන්නේ නෑ. හැමකෙනෙකුටම හොඳින් කන් දෙනවා. දුක කියන්න අවස්ථාව දෙනව. පිළියමත් කරනව. පසුවිපරමත් කෙරෙනවා.’’

අපත් සමග උදෑසනම මුහුදු දේවාලයට පිටත් වෙන බෝට්ටුවේ සිටි අතුල රංජිත් ජීවිත සරසවියෙන් උගත්තෙකි. ඔහුට මානසික ප්‍රතිකාර සඳහා ඇම්.බී.බී.ඇස්. උපාධියක් තබා මානසික උපදේශනය වෙනුවෙන් ක්‍රමවත් අධ්‍යාපනයක් නොලැබූවෙකි. නමුත් මානසික වියවුල්වලට දෙවොල් දෙවියන් හා එක්ව ඔහු කරන ප්‍රතිකාර ළංවන්නේ නවීන මානසික උපදේශන සේවාවකටය. එහෙත් එය නවීන මානසික උපදේශනයකට වඩා යථාවාදී තථාකාරී වන්නේ ‘රෝගී වූ සිතට පිළියම් කිරීමේදී රෝගකාරකයාට දඬුවම් කිරීමේ ක්‍රමවේදයක්’ සිනීගම ප්‍රතිකාරයේ අඩංගු බැවිනි.

මීට වසර 10 කට පමණ පෙර අංගොඩ මානසික වෛද්‍ය ආයතනය ගැන තැනූ වාර්තා චිත්‍රපටයකට හවුල් වීමට අපට අවස්ථාවක් ලැබුණේය. මානසික රෝග සඳහා නවීන ප්‍රතිකාර සහ උපදේශන සේවා ඇති එහි පුහුණු මනෝ වෛද්‍ය විශේඥයෝද, මනෝ වෛද්‍යවරුද, උපදේශනවරුද, අගනා හෙද කාර්ය මණ්ඩලයක්ද සෙසු සුව සේවකයෝද යහපත් සේවයක් සලසමින් සිටින බව එහි ගෙවූ දින කීපයේදී අපට අවබෝධ විය. එහෙත් මුළු ළමාවිය සහ නව යොවුන් විය පුරාම දෙවොල් දෙවියන් වැඩ සිටින සීනිගම සහ වේරගොඩ දේවාල දෙකටම හුළු අත්තක දුරින් සිටියත් අගෝස්තුවේ දෙවොල් පෙරහැර සහ දෙවොල් මඩු බැලීමෙන් එහා ගිය අගයක් අපට මේ සීනිගම මානසික දේවාලවලින් නොලැබුණේය.

දැනට සතියකට පෙරදී විශේෂ හේතුන් කිපයක් නිසා සිනීගම වෙරළේ දේවාලයේත් මුහුදු දේවාලයේත් දින දෙකක් ගැවසෙන්න අපට සිදුවුණේය. මීට වසර 50–60 පමණ පෙරදී මෙන්ම අපේ ගැමියන්ගේ විශ්වාසයන් වෙනස් වී නැත. අදටත් වැරදිකරුවන්ට දඬුවම් කරන ප්‍රධානම දෙවි කෙනෙක් වන්නේ දෙවොල් දෙවියන්ය. දෙවොල් දෙවියන් විශ්වාස කරන සෑම කෙනෙක්ම යුක්තිය ඉල්ලා මිරිස් ඇඹරීම කළේ සීනිගම මුහුදු දේවාලයේදීය. එදත් අදත් අපේ ගම් පළාත්වලදී වැරදිකරුවන්ට විශ්වාසනීය හා අනිවාර්ය දඬුවම් දෙන්නා දෙවොල් දෙවියෝය.

හොඳින් පේවී, කිළි කුණු නැතිව, පිරිසුදු ඇඳුම් ඇඳ ගාලු පාරේ පෑරැළියත් හික්කඩුවත් අතරේ ඇති සීනිගම දෙවොල් දේවාලයට එන්නේ මල් පහන් පුදා දෙවියන් පිදීමට නොවේ. ස්වකීය සතුරන්ට එරෙහිව එක්කො අවලාද කියන්නටය, නැතිනම් පළිගහන්නටය. සීනිගම දේවාල භූමියෙන්ම සාධාරණ මිලකට විකිණෙන ‘පළිගැසීමේ’ වට්ටියේ මිරිස්, ගම්මිරිස්, ඉඟුරු සහ අබ ස්වල්පය බැගින් තිබේ. මීට අමතරව පළිගැසීම අවසානයේ කෙරෙන පොල් ගැසීම වෙනුවෙන් තැබූ පොල් ගෙඩියකි. පොල් තෙල් කුප්පියකි. හඳුන්කූරු මිටියකි. මේ සියල්ල සමග වෙරළේ සිට මීටර් 300 පමණ දුර පිහිටි මුහුදු දේවාලයට බෝට්ටුවෙන් හෝ ඔරුවෙන් යාමට ටිකට්පතකි. මුහුදු ගමනට සහභාගිවෙන ගණනට ටිකට් මිලදී ගැනීමට පුළුවන.

කෙම්මුර දවස්වලට එනම් බදාදා සහ සෙනසුරාදා දිනවල බැතිමතුන්ගේ මහ තදබදයකි. වෙරළෙ පෝලිම් ගැසී බෝටුවකට ගොඩ වෙන්නට අවස්ථාවක් ලැබෙන තෙක් සිටිය යුතුය. පිරිමියෙක් නම් බොට්ටුව වෙරළේ සිට රළ බිඳුම සඳහා තල්ලු කිරීමටද උපකාර කළ යුතුය. ස්ත්‍රීන්ට, මහල්ලන්ට සහ ළමුන්ට වෙරළේදීම බෝට්ටුවට ගොඩ වීමට අවසර තිබේ. මේ සියල්ලෙන්ම අමාරුම කොටස මුහුදේ ගල් තලාවක පිහිටි දෙවොල් දේවාල බිමට ගොඩවීමය. වාරකං හෙවත් නිරිතදිග මෝසම් කාලයට මෙය ‘දේව කරුණා’ නිසාම කළ හැකි මාරක ගමනකි. හරාය හෙවත් ඊසානදිග මෝසම් සුළං කාලයට බෝට්ටුවෙන් දේවාල භූමියට පැනීම තරමක් පහසුය. නමුත් ඒ සියල්ල තීන්දු කරන්නේ සීනිගම වෙසෙන මුහුදට අධිපති ‘මණිමේඛලා’ දෙව්දුවය. ඈ කෝප වී සිටින විටෙක නැගෙන රළ ගෙඩි ඔබට එළොව පොල් මිස දෙවියන් නොපෙන්වන්නේය.

තමන්ට සිදුවූ නොයෙකුත් අලාභහානි, හිරිහැර, දුක්ඛදෝමනස්සයන් රැගෙන එන බැතිමතුන් සියලු දෙනාම පිළිගැනෙන්නේ දෙවොල් දෙවියන්ගේ දරුවන් හැටියටය. මේ නිසා මේ පීතෘ දෙවියන්ට දුක කියන්න එද්දී යහපත් ප්‍රතිඵල ලබන්නට නම් දරුවන් ඊට සුදුසු පරිදි පැමිණිය යුතුය. පළිගසා මිරිස් ඇඹරීමට පෙර කපුමහතා දෙවියන්ගෙන් උපකාරය පැතු පසු ‘පාවිච්චි’ විය යුතු ආකාරය වෙනම දේශනයකින් කියන්නේය. උදේ 8.30 පමණ සිට සවස 4.00 පමණ තෙක් පැවැත්වෙන දෙවොල් දේව පූජා (පළිගැනීම් ඉෂ්ට වූ පසු සිදුවේ) සිදු වන්නේ විශාල පලතුරු වට්ටි පූජා කිරීමෙනි. පළිගැසීම පමණක් කෙරෙද්දී මේ පූජා වට්ටි තැබෙන්නේ නැත.

පළිගැසීමේදී පළමුව තරුණ දෙවොල් දෙවියන්ගේ දේවලයට ගොස් දේව කන්නලව්ව කර පසුව මිරිස් ඇඹරීමට යා යුතුය. එහිදී කපු මහතා කියන පළිය පුනරුච්ඡාරණය කරමින් දරු ගලෙන් පස් වර්ගය කෙටිය යුතුය. කෙටීම අවසානයේ දරුගල තමන්ගේ පැත්තට නොගනිමින් ඉදිරියට ඇඹරිය යුතුය. වැරදීවත් තමන්ගේ පැත්තට ගත්තොත් පළිගැසීම එන්නේ තමන්ටමය. අනතුරුව වැඩිහිටි දෙවොල් දේවාලයට ගොස් යළි දෙවියන් වැඳ පොල් ගසයි. පළිගැසීම අවසාන වන්නේ පොල් ගෙඩිය ගැසීමෙන්ය. මේ නිසා පොල් ගෙඩිය ගැසීමට පෙර තම අවලාදය තනිව උස් හඬින් කිව යුතුය. එය අවසානයේ පොල් ගැසේ.

පළිගැසීම ප්‍රසිද්ධියේ කෙරෙන්නක් නිසා වූ වැරැද්ද සහ ඒ වෙනුවෙන් ඉල්ලන දඬුවම අවට සිටින උදවියද ඇසෙන්නේය. සමහර විට මෙසේ පුද්ගලිකත්වයක් නොතකා පළිගැසීම ඉදිරිපත් කිරීම තුළ බලවත් මානසික වේදනා නශකයක් සැඟවී තිබෙනු දැනේ. අප සිටි කාලයේ එහි පැමිණි අසරණයන් දෙවොල් දෙවියන්ට ඉදිරිපත් කළ දුක්ගැනවිලි හරියටම මේ සමාජයේ හරස්කඩක් බඳුය.

එක් දේව දියණියක් ‘අවලාද’ කීවේ කුරිරු සැමියාට සහ ඔහුට කේලාම් කියන මිතුරාටය. ප්‍රියන්ත (මිතුරාට අප දැමූ නම) ගේ සහ කේලාම් අසා හැන්දෑවේ බීමතින් පැමිණ පහර දෙන ජගත් (සැමියාට අප දැමූ නම) ගේ අතපය, හතර හන්දි මේ මිරිස්, ගම්මිරිස්, ඉඟුරු සහ අබ දරු ගලේ පහරින් කුඩූ වී යන ආකාරයට කඩා දමන්නැයි ඕ කඳුළු සලා විලාප දෙමින් කීවාය. ළා නිල පැහැති හීන් මල් වැටුණු සුදු බ්ලවුසයකින් හා සුදු දිග සායක් හැඳි මේ අහිංසක බිරිඳගේ සිහින් නූස් ශරීරය බීමත් පිරිමියෙකුගේ හැඩිදැඩි ප්‍රහාරවලට කෙසේ ඔරොත්තු දෙන්නේදැයි අපට තවමත් සිතා ගත නොහැකිය. කපු මහතා සෙමෙන් කියන සැමියා සහ මිතුරා වෙනුවෙන් දෙවියන් ගෙන් ඉල්ලන දඬුවම සැබැවින්ම ලැබුණොත් මේ අසරණ ස්ත්‍රියට කුමක් සිදුවනු ඇද්ද? සමහරවිට ඇය සීනිගම දේවාලයේ පළිගැසීමට සහ අවලාද කියන්නට යන මුදල මෙන්ම ගමන් ගාස්තුවද සපයා ගන්නට ඇත්තේ කෲර සැමියාගෙන්ය. නමුත් නිතිපතා සිදුවෙන පහරදීමෙන් මේ දේව දියණිය බේරා ගැනීමට දෙවොල් දෙවියන් ඔහුට දඬුවම් කළොත්…? මිරිස් කරල් කුඩුවෙන්නාක් මෙන් අතපය කඩා දැමුවොත්..?

උදැසන පළිගසන්නට පැමිණි ස්ත්‍රි පෝලිමේ අග සිටි මැදිවියේ මවකට මගේ අවධානය යොමු වූයේ ඇය අතේ තිබූ අඟල් 8X 6 පින්තූරයක් දැකීමෙන්ය. මේ ශෝකී මව ඇඹරුම් වට්ටියේ උඩින්ම පින්තූරය තබාගෙන සිටියාය. විමසිල්ලේන් ඒ දෙස බලද්දී ලේ විලක් මැද වැටී සිටින නව යොවුන් තරුණයෙක්ගේ පින්තූරයක් බව මට අවබෝධ විය. ඇයට ඉදිරියෙන් පළිගැසීමට පැමිණි තවත් ස්ත්‍රීන් හතර පස්දෙනෙක් සිටි නිසාත්, ඇඹරුම් ගල ළඟට ගන්නේ පිරිමින් සහ ගැහැනුන් මාරුවෙන් මාරුවට නිසාත් මම මේ දුකටපත් මවට කතා කළෙමි.

“අම්මේ කවුද මේ පින්තුරේ ඉන්නේ?”

ඇගේ ඇසින් රූරා වැටුණු කඳුළු ගෙඩි කීපයක් මුව වැස්මට වැටී පෙඟී ගියේය. “මොකද එයාට වෙලා තියෙන්නේ? එයා ජීවතුන් අතරෙද? කවුද මේ අපරාධය කළේ? ඔයා කොහේ ඉඳලද ආවේ?’’

“අපි රාගම කිට්ටුව. මේ ලොකු පුතා. මහර හිරගෙදර හිටියේ. වෙඩි තැබීමේ සිද්ධියේදී මෙයත් මළමිනී අතරට දාලා තිබුණේ. පස්සේ පණ තියෙනවා දැකලා මිනී කාමරෙන් වාට්ටුවකට දාලා ඉන්නේ. මේ දත් කඩලා, කකුල් කඩලා, තවත් තුවාල කරලා. තාත්තත් නැතුව නියපිටින් පාරක් නොගහ හදපු මගේ ලොකු පුතා, ජීවත් වුණත් අබ්බගාතයෙක්. වයසට ගියාම මාව බලා ගන්න හිටපු දරුවා.”

ඈ නැවතත් විලාප තියමින් අඬන්නට වූවාය. කරුණාවන්ත කපු මහතාගේ ‘පළිගැනීමේ පාඨ’ එතැන ‘මිරිස් අඹරන්නට’ වාඩිවූ දේව දරුවාටද නොඇසෙන තරමට දුකට පත් මවගේ විලාපය නැගෙයි. තොරතෝංචියක් නැතිව විලාප දෙන මුහුදේ සද්දය දැන් නෑසෙන තරම්ය. ප්‍රශ්න අසා දුකට පත් මවක් කුපිත කළ වරදකරුවා මමය. මා දෙස බෑලූ කපු මහතා කිසිවක් කිව නොහැකි නිසාදෝ ඉවත බලා ගත්තේය.

“අම්ම ඉන්න, පුතාට මේ කරපු අපරාදෙට වැරදිකාරයන්ට දෙවොල් දෙවියෝ සෑහෙන්න දඬුවම් කරාවි. බය වෙන්න එපා. දැන් පෝලිමට එකතු වෙන්න.”

ඒ වනවිට දෙවියන් ඉදිරියේ ‘මිරිස් අඹරන්න’ වාඩිවි සිටියේ භද්‍ර යෞවනයේ වෙසෙන හරි හතර රියන් පිරිමියෙකි.

“සීනිගම දිව්‍ය මාලිගයේ වැඩ සිටින දෙවොල් දෙවියනේ නිස්කාරණයේ මට දෙනෝදාහක් බලා සිටිද්දී වටකර පහර දුන් මගේ සතුරන්ගේ හිස් ගෙඩි මේ මිරිස් ගම්මිරිස් තැලෙන්නක් මෙන් කුඩුකර දමනු මැනවි. ඔවුන් බලු කැනහිළුන් සේ බඩගා ගෙන අවුත් මගෙන් සමාව ගන්නට සලස්වනු මැනවි.”

දෙවියන්ගෙන් සතුරාට ඉල්ලන දඬුවම පුනරුච්ඡාරණය කරද්දී තරුණයාගේ කටහඬ උස් වෙයි, හැඟීම්බර වෙයි. ඔහු දරුගලෙන් මව්ගලට දෙන ප්‍රහාරය දැඩි වෙයි. දේව දරුවාගේ ශරීරයද දරු ගලේ ප්‍රහාර රිද්මයට පැද්දෙයි.

ඊළඟ වාරය කාන්තාවකටය. ඕ තරමක පෘෂ්ටිමත් ශරීරයක් හිමි තරුණ මවකි. ඇගේ විනීත හැට්ට්ටය කහපාටිනි. සාය රතු පාටිනි. ඈ රූ රැජිනක් නොවූවත් පිරිමියකුගේ අවධානය පහසුවෙන්ම යොමු විය හැකි රූ සපුවක් ඇයට හිමිය. අවාසනාවක හැටි!

“අනේ දෙවොල් දෙවි හාමුදුරුවනේ මගේ සැමියා මගෙන් උදුරා ගත් ඒ හැතිරියටත් ඒවාට උඩගෙඩි උපදෙස් දුන් මගේ සතුරන් ගේත් අතපය මේ මිරිස්, ගම්මිරිස්, අබ තැලෙන්නක් මෙන් කෑලිවලට කඩා දමනු මැනවි. උන්ගේ පවුල් පිටින් හැඳි ගෑවී, ගොම ගෑවී යවනු මැනවි. මා සමග දරුවන් දමා ගොස් සිටින ප්‍රේමපාල (නම අපෙන්ය) කැණහිලෙකු මෙන් මගේ දෙපා ළඟට ඉජුක් කියන විට එන නිවටයෙක් කළ මැනවි.”

වාසනාවකට මේ තරුණ බිරිඳ තමා සහ දරුවන් දමා වෙන තරුණියක් සමග වෙසෙන සැමියාගේ හතර හන්දි කඩන්නැයි දෙවියන්ගෙන් නොඉල්ලුවාය. ඇයට තවමත් ඔහු සතුරෙක් නොවේ, දරුවන්ගේ තාත්තාය. සමහරවිට තවමත් පවුල නඩත්තු කිරීමට උපකාර කරන කෙනෙක් විය යුතුය. නැතිනම් දෙවොල් දෙවියන් ලවා හතර හන්දි කඩවන, තලා දමන සතුරු ලැයිස්තුවට නොවැරදීම ඔහුද ඇතුළත් වන්නේය.

සීනිගම මුදුදේ ඇති දිව්‍ය මාලිගයේ වාසය කරන දෙවොල් දෙවියන්ට උසාවිවල විභාගවන නඩුවලින් වැඩිමනක් එන්නේ ඉඩම් නඩු මුල් කරගෙනය. නැතිනම් නිවෙස් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින්නවුන්ට විරුද්ධවය. ඉඩම් නඩුවල පැමිණිලිකරුවෝ විත්තිකරුවන්ට දැඩි දඬුවම් පමුණුවණ මෙන් දෙවියන් ගෙන් ඉල්ලා සිටියහ. දකුණු පළාතේදී පරම්පරා දෙකකට හෙවත් අවුරුදු 40 පමණ ගතවෙන ඉඩම් නඩුවක් දිස්ත්‍රික් උසාවියක විසඳෙන තෙක් ඉන්නවාට වඩා දෙවොල් දෙවියන් ගෙන් උපකාර පැතීම යහපත් අදහසක් බව අපගේත් පුද්ගලික හැඟීමය. ජනවාරි 15 වැනිදා දෙවොල් දෙවියන්ට විසඳීමට පැවරූ ඉඩම් නඩුවක පැමිණිලිකාර බැතිමතෙක්ව සිටියේ ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකි. පොලිස් නිලධාරියෙක්ද නිවාඩු දමා ‘මිරිස් ඇඹරීමෙන්’ ලංකාවේ ඉඩම් නඩු ප්‍රශ්නයේ බරපතළකම තේරුම් ගැනීම ඔබට පහසු කරනු ඇත.

දවස පුරාම දේව කන්නලව්වට රහසේ කන් දෙමින් එදිනෙදා ජීවිතයේදී අසන්නට නොලැබෙන, දක්නට නොලැබෙන මේ සමකාලීන ගැටලුවල ස්වභාවය සිතමින් සිටිද්දී තවත් ඉතාම අහිංසක ප්‍රශ්නයක් අසන්නට ලැබුණේය. ඒ පඩි දවසේ වැඩපොළේ ලොකරයේ දැමූ මාසික පඩිය සහ මුදල් පසුම්බිය සොරා ගත් සතුරන්ට පළිගසන්නට පැමිණි තරුණ කම්කරුවෙක්ගේ වේදනාවය. මාසේ පටන් ගනිද්දීම පඩිපත අහිමි වූ ඔහු හොරාට සහ එම මුදලින් යැපුණු සියලුම දෙනාට දඬුවම් කරන්නැයි දෙවියන්ට කීවේය. ඔවුන්ට ‘ලේ බඩයාමට’ සලස්වන්නැයි ශෝකයෙන් සහ කෝපයෙන් කීවේය.

තවත් බරවාහන රියැදුරෙක් ස්වකීය දරු පවුල සමගම මුහුදු දේවාලයේ දුෂ්කර වන්දනාවට පැමිණ සිටියේ ඔහු රැකියාව කරන ‘ජේසීබීයේ බැටරි දෙකම සොරා ගත් නරුමයන්ට දඬුවම් කරන්නටය. නමුත් ඔහු සොරුන්ට දැඩි දඬුවම් දෙන්නැයි දෙවොල් දෙවියන්ට නොකීවේය. ඒ වෙනුවට කිවේ ‘රස්සාව කරගෙන යාමට බැටරි දෙක ආපසු ගෙනැත් තබන්නට’ සොරුන් පොළඹවන්න කියාය.

“මේසා ජඩ වැඩක් කළ සොරුන්ගේ අතපය කඩා දැමීමට දෙවියන්ට නොකීවේ මන්දැයි’’ අප විමසූ විට මේ කාරුණික බරවාහන රියැදුරා කීවේ “මට බැටරි දෙක හම්බුණාම ඇති මහත්තයා. ඊට වඩා දෙයක් මට ඕන නෑ” යැයි කියාය. නමුත් එදින මට හමුවූ වඩාත් දුකටපත් ගැත්තා වූයේ බැතිමතියකි. ඈ අන් කවරෙක්වත් නොවේ රාගමට කිට්ටු ගමකින් පැමිණි මහර හිරගෙදරදී බරපතළ තුවාල ලැබූ තරුණ රිමාන්ඩ් සිරකරුගේ මවය. උදේ වරුවේ පුතාට පහරදුන් රජයේ නිලධාරින්ට ‘හෙණ හත’ බැගින් ඉල්ලු ඇය සවස් වරුවේද යළිත් පැමිණ සිටියාය. මම ඇය අපහසුතාවට පත් නොකරමින් මිරිස් ගලට එහායින් ඇති වැඩිහිටි දෙවොල් දෙවියන්ගේ දේවලයේ පඩියේ වාඩිවී ඇගේ අවලාදයට සවන් දුන්නෙමි.

“මගේ පුතාට, ඒ අහිංසක කිරිසප්පයාගේ මූණ පොඩිකර අතපය කඩා දැමූ ඒ නිලධාරීන් යන නිල රියම හැපී මේ මිරිස් තැලී කුඩු පට්ටම් වී යන්නැයි” ඕ දෙවියන්ගෙන් ඉල්ලා සිටියාය. උන් පමණක් නොව උන්ගේ අඹුදරුවන්ද යන වාහනය හැපී කුඩු පට්ටම් කරන්නැයි ඕ කෑ ගසමින් කීවාය. ඇඹරුම් ගල ළඟින් නැගිටිද්දී මම මේ මව දෙස හොඳින් බැලුවෙමි. උදෑසන ඇගේ මුහුණේ තිබූ වේදනා සියල්ල මැකී ගොසින්ය. එය මුළුමනින්ම තෘප්තිමත් හා ශාන්ත මුහුණකි.

එහෙත් පස්දෙනකුගෙන් සමන්විත, බැතිමතුන් ආරක්ෂා සහිතව එගොඩ මෙගොඩ ගෙනයන බෝට්ටුකරුවෝ සිටින්නේ නොසතුටෙන්ය. එයට හේතුව අනතුරක් සිදුවීමේ සැකය සහ බියයි.

“අඩුම තරමින් මුහුදු දේවලය ළඟවත් ජැටියක් හදල දෙනවා නම් මේ අහිංසක මිනිස්සුන්ට වෙන්න තියෙන අනතුරක් වළක්වා ගන්න පුළුවන්. මූදේ ගල් පරයක ජැටියක් හැදීම අපිට කරන්න බෑ. වරාය අධිකාරිය වගේ විශේඥ ආයතනයක්ම කළ යුතුයි. කොපමණ මැති ඇමැතිවරු දෙවොල් දෙවියන්ගේ උපකාර පතාගෙන ආවත් එහෙම උපකාරයක් දේවාලයට කරන්නේ නෑ.” නාවුක කණ්ඩායමේ නායක ප්‍රසන්න ගුණරත්න නෝක්කාඩුවෙන් කියයි.

වසර හටක් තිස්සේ සීනිගම මහ දෙවොලේ භාරකාරතුමා සරත් දිසෙන්තුවාහන්දිය. දේවාලයේ විශේෂ දියුණුවක් ඇත්තේ මේ යුගයේය. දැන් බොහෝ පහසුකම් බැතිමතුන්ට හා වන්දනාකරුවන්ට ඇතත් සරත් දිසෙන්තුවාහන්දි බාරකාරතුමා නොසතුටෙන් සිටී.

“මේ ස්ථානය දියුණු කරන්න තව හුඟාක් දේවල් කරන්න ඕන. ඉස්සර මෙතැන තිබුණේ දෙවොල් දේවාලය විතරයි. දැන් බුදු මැදුරු, බෝධියක්, ධාතු මන්දිරයක්, නවාතැන් පහසුකම් තියෙනවා. බොදු බැතිමතුන්, දේව බැතිමතුන් සියල්ලටම අපි පහසුකම් ඇති කරලයි තියෙන්නේ. මූදු දේවලය දෙපැත්තේ ජැටි දෙකක් හදා ගන්න පුළුවන් නම් මේ මූදු ගමනේ අනතුර අඩුවෙනවා. ඒ විතරක් නෙවෙයි විනෝදයක් ලබන්න දෙබෑගල මැද්දෙන් යන්න පුළුවනි. ඒක අමුතුම ඇත්දැකීමක්. මම එනකල් මෙතැන සිද්ධ වුණේ දේවාලේ ආදායම් ගෙවල්වලට ගෙනියපු එක. දැන් ඔක්කොම නතර කරලා. දේවාලේ ආදායමෙන් 40% කපු මහත්වරුන්ට. තවත් 30% ක් සේවක වැටුප්වලට. අනෙක් 30% මේ ස්ථානය දියුණු කරන්න. විශාල සෙනගක් සරණ පතාගෙන මෙතනට එනවා. ඔවුන්ට තව තවත් පහසුකම් ඇති කළ යුතුයි.” දිසෙන්තුවාහන්දි භාරකාරතුමා පවසයි.

සත්තකින්ම ගොඩබිමට තනි ගලක් සේ පෙනෙන ගොඩබිමෙන් කිලෝමීටරයක් තරම් දුරින් පිහිටි දෙබෑගල මැදින් ඔරුවක බෝටූවක නැගී යාම ජීවිතයටම අමතක නොවන අත්දැකීමකි. දහස් ගණනක් මුහුදු ළිහිණින් රෑට තිප්පල කර ගන්නා දෙබෑ ගල් දෙක අතර පරතරය මීටර් 10 කට වඩා නැත. නමුත් එය ගැඹුරුය. මේ යෝධ ගල් කුළු දෙක ලංකාවේ ආගමිකයන් සහ අනාගමිකයන් වගේය, ආගමිකයන් නියෝජනය කරන්නේ දෙබෑ ගලෙන් වඩා විශාල වැඩිමහල් ගලය. අනාගමිකයන් නියෝජනය කරන්නේ කුඩා බාලයෙක් බඳු ගල් කුලය. මේ දෙදෙනා අතර පෑහීමක් නැත. නමුත් වෙන්වීමක්ද නැත.

නන්දන වීරරත්න