විශේෂාංග

දෙවියන්ට කැපවූ වාහන අනතුරු

සුබ මුහුර්තියෙන් අවුරුදු පිළිගෙන රටටම අවුරුදු සුබ පැතුම් යොමු කරමින් දින තුනක් ගෙවුණු තැන රූපවාහිනී ප්‍රවෘත්තිවලින් අසන්නට ලැබුනේ මහ මග මාරක රිය අනතුරුවලින් 20 ක් මියගොස් ඇති බවයි.

ඒ අතරින් එකම පවුලේ 10 දෙනකු මියගිය මහියංගණයේ වෑන් රථ අනතුර රිය අනතුරුවල කූඨප්‍රාප්තිය විය.

ත්‍රස්තවාදය පැවති කාලයේ හැන්දෑවට බෝම්බ පිපිරීමක්, බලාපොරොත්තුව ප්‍රවෘත්ති බැලුවාක් සේම දැන් ත්‍රාසජනක ප්‍රවාත්ති බලන්නේ රාත්‍රී ප්‍රවෘත්ති බලන්නේ කොතැනක හෝ සීසිටීවී කැමරාවක රූගත වූ ත්‍රාසජනක රිය අනතුරක් රූපවාහිනී ප්‍රවෘත්තිවලින් දැක ගැනීමටය. හැමදාමත් ඒ ප්‍රවෘත්තියේ බලාපොරොත්තුව නම් දැන් සෑම චැනලයකින්ම ඉෂ්ට සිද්ධ වෙයි. ඒ අනුව ගණන් බැලූ එක් වාර්තාවක කියැවුණේ යුද්දයෙන් මියගිය සංඛ්‍යාවට වඩා වසරකට රිය අනතුරුවලින් මහපාරේ මිය යන බවය. යුද බියකටත් වඩා මහපාර මරු කැඳවන තැනක් බවට පත්වී ඇත්තේ ඇයි?

එයට බැලූ බැල්මට හේතුව ලෙස පෙනෙන්නේ රියැදුරන්ගේ ආධුනික බවය. රියැදුරු බලපත්‍ර දීමේදී සිදු වූ නොසැලකිලිමත් බවය.
එහෙත් මාරක රිය අනතුරු සිදු කළ රියැදුරන්ගේ පැටිකිරිය සොයා බැලූ විට පෙනෙන්නේ බොහෝමයක් රිය අනතුරු සිදුව ඇත්තේ ආධුනිකයන් අතින් නොව පළපුරුදු රියැදුරන් අතින් බවය. ඒ ආධුනිකයන් අතද වරද නැතිනම් වරද ඇත්තේ කොතැනද?

පසුගිය දිනවල එක්සත් ජාතීන්ගේ සංවිධානය අපූර්ව වාර්තාවක් ලෝක ජනමාධ්‍ය හමුවේ තැබුවේය. එම වාර්තාවේ ලොව සතුටින්ම සිටින රටවල් අනුපිළිවෙළට පෙළ ගස්වා තිබිණ. ඒ වාර්තාවට අනුව සතුටින්ම සිටින රටවල් අතරින් ලංකාව 2018 ට වඩා වට දාහතරකින් පහළට බැස තිබිණ. 2018 දී 116 වැනි තැනේ සිටි ලංකාව 2019 දී 130 වැනි තැනට පහළට බැස තිබිණ. එය අධිවේගී පල්ලම් බැසීමකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ දර්ශකය සකස් කරන්නේ රටවල් 156 ක් යොදාගෙනය. සතුටින්ම සිටින රටවල් පිළිබඳ දර්ශකයේ යම් රටක් පහළට යන්නේ නම් එය අසතුටින් සිටින රටක් හැටියට තර්ක කළ හැකිය. අලුත් පැලැන්තියේ අයට තේරෙන වහරින් කිවොත් ඇරියස් එකක් හෙවත් වාඩුවක් ගැනීමේ චේතනාවෙන් අපේ ජනතාව නිරන්තරයෙන් කල් යවන බව කිව හැකිය.

මේ බව හොඳටම ප්‍රදර්ශනය වන්නේ මහ පාරේදීය. පාරේ කිලෝමීටර් හත අටක් යන විට බූරුවා, ගොනා, හරකා, කාලකණ්ණියා ආදී වශයෙන් කියැවෙන වාර ගණන කොතෙක්ද? දයාවේ පණිවුඩය අරගෙන වාහනයක කිලෝ මීටර් හත අටක් යන්නා වුවද ඉන් බසින්නේ කෝපයෙන් දිලිහෙමිනි.

මේ වාහන එළවන්නන්ගෙන් අති බහුතරය වාහනයක් මිලට ගත් ගමන් සුක්කානම් දොළහක් වුව එක සැරේ කරකැවිය හැකි අත් දොළසක් ඇති තෙදබල කතරගම සුරිඳුට භාර වූවෝය. දුර ගමන් යන විට මහා කරුණාවෙන් පඬුරක් දැමුවෝය. මේ වාහන අතරින් බොහෝමයක් මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි කියා හෝ සමිඳානෝ මාගේ එඬේරාණෝය’ කිය හෝ අල්ලාහු අක්බාර් කියා කොටගත් වාහනය.

බලාගෙන ගිය විට මහපාරේ ඉන්නේම ලොව හොඳම බැතිමතුන්ය. මේ සා මහත් බැතිමතුන් පදවන වාහන අල්වා විනීතව රිය පදවන්නට කියා දීම සඳහා ගස් අස්සේ ඉඳන් පොලිස් නිලධාරින් කඩා පැනීම ඇත්තෙන්ම විහිළුවකි. එසේ පනින පොලිස් නිලදරුවන්ගේ සාක්කුවට කහ දියරෙන් නොසේදුවත් රහසේ පඬුරක් දමා පෙරමග බලන රටකි අපට ඇත්තේ.

දැන් දැන් රටක හොඳ නරක මනින මිම්මක් බවට මාර්ග විනය පත්වන බවට ලකුණු පෙනේ. අප රටේ සිට විදේශගතවන බොහෝ දෙනකුගෙන් ඒ රට හොඳදැයි ඇසූ විට පළමුවෙන් කියන්නේ මාර්ගවල තිබෙන විනීත බව ගැනය. පාරේ හෝන් ගහන්නේ නැතිව නීතියට වාහන එළවන බවය. මාර්ග විනය ජාතික සංස්කෘතියේ අංගයක් වී අවසන්ය.

අපේ රටට ද හොඳ පාරක් එන්නට නම් චිත්තාවේගවලින් නොපෙළෙන ජනතාවක් බිහිවිය යුතුය. ඇරියස් නැති හෙවත් වාඩුවක් ගන්නට හිතන්නේ නැති ජනතාවක් බිහිවිය යුතුය. රටේ සතුටින් ජීවත්වෙන ජනතාවක් සිටිය යුතුය.