ක්‍රීඩා

දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසි සිම්බාබ්වේ පිලට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (27වැනිදා) පළමු දිනට තරගය නවතන විට කඩුලු 6ක් දැවී ලකුණු 352ක් රැස්කරගෙන සිටියේය.

දිනය නිමාවන විට සිම්බාබ්වේ වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැඳී සිටි රෙගිස් චකබ්වා ලකුණු 31ක් සහ ටිනෝටෙන්ඩා මුටොම්බොසි ලකුණු 10ක් රැස්කරගෙන සිටියේය.

ලකුණු 8ක් ලබා සිටියදී ළහිරු කුමාර එවූ පන්දුවකට ශෝට් මිඩ්විකට් දෙසට ලබාදුන් උඩ පන්දුව අතහැරීමේ වාසිය ලබාගත් සිකන්දර් රාසා (72) සිය ටෙස්ට් දිවියේ හත් වැනි අර්ධ ශතකය රැස්කර ගත්තේය. රාසා සමග පස්වැනි කඩුල්ල සඳහා පිටියේ එක්වුණ සිම්බාබ්වේ නායක ශෝන් විලියම්ස් 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 159ක අගනා සබඳතාවක් පිහිටුවීය. එහිදී සිය දෙවැනි ශතකය දක්වා පිත්ත හැසිරවූ විලියම්ස් (107) සිය ඉනිම සඳහා හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් එක්කොට තිබුණි.

එක් අන්තයක් ආරක්ෂා කරගෙන සිව්වැනි පිතිකරු වශයෙන් පිටියේ ස්ථාවර වෙමින් සිටි බ්‍රෙන්ඩන් ටේලර්ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට සුරංග ලක්මාල්ට හැකි විය. තරමක වේගවත් පිති ප්‍රහාරයක් දියත් කළ ටේලර් මිනිත්තු 62ක් තුළ පන්දු 62කදී ලකුණු 62ක් රැස්කරගෙන සිටියේ ඊට හයේ පහරක් සහ හතරේ පහර 10ක් එක් කරමිණි.

මුළු ලකුණු සංඛ්‍යාව 21ක් වනවාත් සමගම ආරම්භක පිතිකරු ප්‍රින්ස් මස්වව්රේ ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ළහිරු කුමාර වගබලා ගත්තේය. කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වෙත උඩ පන්දුවක් ලබා දී මස්වව්රේ දැවී යනවිට ඔහු රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 9කි.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව එක් වෙනස්කමක් සහිතව පිවිසි අතර පළමු තරගයේ ක්‍රීඩා කළ කසුන් රාජිත වෙනුවට වමතින් වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට ඇතුළත්ව සිටියේය.

ලකුණු සටහන

සිම්බාබ්වේ පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 352යි. (ප්‍රින්ස් මස්වව්රේ 9, කෙවින් කසූසා 38, ක්‍රෙයිග් අර්වින් 12, බ්‍රෙන්ඩන් ටේලර් 62, ශෝන් විලියම්ස් 107, සිකන්දර් රාසා 72, රෙගිස් චකබ්වා ​(නොදැවී) 31, ටිනෝටෙන්ඩා මුටොම්බොසි (නොදැවී) 10, සුරංග ලක්මාල් 2/31, විශ්ව ප්‍රනාන්දු 0/45, ළහිරු කුමාර 1/46, ලසිත් ඇඹුල්දෙණිය 1/153, ධනංජය ද සිල්වා 2/67)