විශේෂාංග

දෙමටගොඩින් අත්අඩංගුවට ගත් ඊබ්‍රාහිම් ‘අරුණ’ට කතා කරයි

මීට වසර කිහිපයකට පෙර මෙරට ගම්මිරිස් ගොවීන් තම ගම්මිරිස් වැල් ගලවා පාරට ගෙනැවිත් ටයර් දමා පුච්චමින් විරෝධතා දක්වන්නට විය. විරෝධතාකරුවන් කිව්වේ රුපියල් 1600 ට විකිණූ ගම්මිරිස් දැන් රුපියල් 150 ටවත් විකුණාගත නොහැකි බවය.
එවකට මා සේවය කළ පුවත්පතේ කතුවරයා මට කීවේ පිටකොටුවේ කරක් ගසා කෙසේ හෝ ලංකාවේ ලොකුම ‘ගම්මිරිස්’ එක්ස්පෝටර් සොයා ගන්නා ලෙසය. අපනයන සංවර්ධන මණ්ඩලය, වාණිජ මණ්ඩලය, රේගුවෙන් විමසුවද මේ ව්‍යාපාරිකයා අල්ලාගත නොහැකි විය. අවසානයේ මා පිටකොටුවේ කුළුබඩු තොග කඩ ඇති ඕල්ඩ්මුවර් ස්ට්‍රීට් ආරම්භයේ සිට අවසානය දක්වා කඩෙන් කඩයට ගියමුත් අරමුණ ඉටුවූයේ නැත. අවසානයේ මම ගම්මිරිස් ගොවියකු බවට පත් වීමි. මේ විදියේ සැරිසරමින් බ්‍රොක්ර් කෙනකුට මා සතුව ඇති ගම්මිරිස් කිලෝ 10,000 ක් අඩුවට දෙන බැවින් එක්ස්පෝටර් කෙනකු ළඟට ගෙන යන ලෙස ඔහු අත ගතමන්ට් එකක් තැබූවෙමි. මේ බ්‍රෝකර් මාව කෙළින්ම අරන් ගියේ රිසානා එක්ස්පෝට් නමැති දැවැන්ත ගොඩනැගිල්ලකටය. එහි වායුසමනය කළ කුටියක එහි ප්‍රධානියා විය. අසල සෝකේස් එකක ලංකාවේ සියලු රාජ්‍ය, පෞද්ගලික බැංකු, ගුවන් සේවා, නැව් සේවා, අපනයන මණ්ඩලය ආදී ආයතන ඔහුට පුද කරනු ලැබූ නම කෙටූ කුසලාන දිලිසි දිලිසි තිබුණි. මේ පුද්ගලයා අන් කිසිවකු නොව, පසුගිය 21 වැනිදා දෙමටගොඩ මහවිල උද්‍යානයේදී අත්අඩංගුවට ගත් ඊබ්‍රාහිම්ය.

බ්‍රෝකර්කරු මගෙන් තවත් ගතමන්ට් එකක් ගෙන මා ඊබ්‍රාහිම්ට හඳුන්වා දෙන ලදී. මා කෙළින්ම මගේ අවශ්‍යතාව ඔහුට පවසා සිටියෙමි. ඔහුට ගම්මිරිස්, කරුංකා, කුරුඳු තොග විකිණීමට ඔහු හමුවීමට පිරිස් එතන පොරකමින් සිටිනු දකිනු ලැබිය හැකි විය.

‘‘බොසා ගම්මිරිස් කිලෝ එක රුපියල් 150 කට දෙනවා නම් දැන් කන්ටේනර් 20 ක් ගේන්න මං දැන් කෑෂ් ගෙවනවා.’’

ඔහු තම මේස ලාච්චුව ඇර මට පෙන්වීය. එහි තිබූණේ තනිකරම රු. 5000 කොළ මිටිය. එම මිටි කඩා තිබුණේවත් නැත. එම එක මිටියක බැංකුවෙන් ගැසූ මිලියන 5 මුද්‍රාව විය. එහි එවැනි සල්ලි මිටි 6 කට වඩා පෙනෙන්නට තිබුණි.

‘‘ඔය ගම්මිරිස් මිල ගැන ගම්මිරිස් වැල් පුච්චන නිව්ස් මහින්ද රාජපක්ෂෙගේ පොලිටිකල් ඩ්‍රාමා. මං මේ ගැන ඔක්කෝම විස්තර දෙන්නම්, මගේ නම දාන්න එපා.’’

ඊබ්‍රාහිම් නම් කෝටිපති ව්‍යාපාරිකයා පුවත්පත් කලාවේදියකු ලෙස මා හඳුනා ගත්තේ එසේය. ඔහු බොහෝ විට මා අමතා රටේ දේශපාලන තත්ත්වය ගැන ‘නිව්ස් මොනවාදැයි’ විමසීය. සාමාන්‍ය ව්‍යාපාරිකයකුට නොතිබූ දේශපාලන ඉවක් හා අසිමිත දේශපාලන සබඳතා ඔහු සතු විය. ඔහු සියලු පුවත්පත් තම කාර්යාලයට ගෙන කියවූයේ වැඩ ඇරඹීමට පෙරය. ඒ අතරින් ඔහු මෙරට මුස්ලිම් ජාතිකයන්ගේ පුවත්පතක් වූ ‘විසිවෙල්ලි’ අනිවාර්යයෙන් කියවූයේය.

ඊබ්‍රාහිම් නමැති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමත් සමග ජවිපෙ අයිඑස්අයිඑස් සංවිධානය සමග සබඳතා පැවැත් වූ බවට චෝදනාවක් දසතින් නැගෙන්නට විය. අන්තිමේදී ඊබ්‍රාහිම් ගැන පුවත්පත් නිවේදනයක් නිකුත් කරන්නට පවා ජවිපෙට සිදු විය.

ජවිපෙ මේ ප්‍රකාශය දුටුවිට මගේ මුවගට ආවේ සිනාවකි. තමන් ජවිපෙ ක්‍රියාකාරිකයකු බවත් තමන් එයට අතහැර වියදම් කරන බවත් ඊබ්‍රාහිම් මට කියූ වාර අනන්තය. ජවිපෙ ඕනෑම නායකයකු තත්පර ගණනකින් අමතන්නට අසීමිත සබඳතා ඔහු සතු විය.

ඒත් ඊබ්‍රාහිම් අත්අඩංගුවට ගැනීම ගැන විජිත හේරත් පාර්ලිමේන්තුවේදී කිව්වේ කුමක්ද?
‘‘අත්අඩංගුවට ගත් ජවිපෙ ජාතික ලැයිස්තු සාමාජිකයා තවමත් නිර්දෝෂ බව අප විශ්වාස කරනවා. ඔහුගේ පුතුන්ගේ වරදකට ඔහු වැරදිකරුවකු නොවේ.’’

ඊබ්‍රාහිම් ජවිපෙ ක්‍රියාකාරිකයකුද, නැතිනම් අයිඑස්අයිඑස් ක්‍රියාකාරිකයකුදැයි වෙනම ප්‍රශ්නයකි. එහෙත් ඔහු කෙබඳු පුද්ගලයකු දැයි පුවත්පත් කලාවේදියකු ලෙස ඔහු මා ඇසුරු කළ පුද්ගලයකු නිසා බොහෝ දෙනා තොරතුරු විමසන්නට විය.

ඊබ්‍රාහිම් මට කියා ඇති පරිදි ඔහු ජීවිතය පටන්ගෙන අැත්තේ පැදුරේ සිටය. ඔහුගේ මුල් රැකියාව වී ඇත්තේ ඕල්ඩ්මුවර් ස්ට්‍රීට් එකට දුර බැහැරින් ගම්මිරිස්, කරුංකා, කුරුඳු, ගොරකා විකුණා ගැනීමට එන ගොවීන් අානයනකරුවන්ට හඳුන්වා දෙන බ්‍රෝකර් ජොබ් එකය.

මා ඊබ්‍රාහිම් හඳුනාගන්නා විට ඔහු ප්‍රකෝටිපතියකු වී සිටියේය. පිටකොටුවේ බෂාර් එකේ කවුරුත් ඔහු හැඳින්වූයේ ලංකාවේ නොම්මර එකේ ගම්මිරිස් එක්ස්පෝටර් ලෙසය.

ඊබ්‍රාහිම් මට පවසා ඇති පරිදි ඔහුට පුතුන් 9 දෙනකු හා දියණියන් 4 දෙනකු සිටී. ඔහු හමුවීමට ගියවිට ඔහු බොහෝ විට තම හිතවතකු සමග දිගු කතාබහක යෙදී සිටීම සාමාන්‍යය. ඔහු එවැනි සංවාදවලදී පුන පුනා කිවූ කරුණක් නම් පුතුන් තමන්ට දැන් ‘කන්ට්‍රෝල්’ නැති බවය, සියලු බිස්නස් දමා ගසා දැමීමට තමන්ට හිතී ඇති බවය.
ඊබ්‍රාහිම් දැඩි මහින්ද රාජපක්ෂ විරෝධියකු විය. මා දිනක් මේ ගැන ඔහුගෙන් විමසා සිටියෙමි.

‘‘මං දවසක් රූබි ෆිල්ම් හෝල් එක (මාලිගාවත්ත) ගාව පාර පැන්නා. ප්‍රසිඩන්ඩ් මහින්ද ආවා. මං මාළු ගන්න පැන්නේ. මහින්දගේ ගාඩ් එකෙන් මාව ඇරෙස්ට් කරන්න ගියා. මං කිව්වා මං මේ වයසක මිනිහා යන්න දෙන්න කියලා. ශිරන්ති මැඩම්ගේ මොන්ටිසෝරිය තිබ්බෙත් එතැන. මොනාටද බොසා ආයි ඒ වගේ ජරා කාලයක්. එහෙත් ඊබ්‍රාහිම්ගේ මේ මහින්ද විරෝධය ගැන පිටකොටුවේ බසාර් එක කියන්නේ වෙනත් කතාවකි. මහින්ද රාජපක්ෂ එල්ටීටීඊ ප්‍රහාරය ආරම්භ කරන්නට පෙර පිටකොටුවේ තොග වෙළෙඳුන් රැස්වීම් කීපයකට මහින්ද රාජපක්ෂව ගෙන්වා ඇත. මේ රැස්වීම්වලදී ඊබ්‍රාහිම් හා මහින්ද රාජපක්ෂ ගැටී ඇත. මේ ප්‍රශ්නයට මුල් වී ඇත්තේ ඊබ්‍රාහිම් කොටි සටන්කරුවන්ට Freedom Fighters ලෙස සඳහන් කිරීමය. ඊටත් ඩවා ඊබ්‍රාහිම් මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් ගෝත්‍රික ලෙස ඉල්ලීම් ඉදිරිපත් කිරීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී ඇත.

‘‘මුස්ලිම් අයට විතරක් මේ රටේ වෙච්ච අසාධාරණය මොකක්ද? මේ වගේ පිස්සෝ එක්කං එන්න එපා’’ යැයි රාජපක්ෂ මහතා බැරිම තැන පවසා ඇත.

මහින්ද – ඊබ්‍රාහිම් නයි – මුගටි වෛරය ඇරඹෙන්නේ ඉන් පසුවය.

ඊබ්‍රාහිම්ට පුවත්පත් කලාවේදියකු ලෙස සම්මුඛ සාකච්ඡාවකට ප්‍රශ්න කරන විට මෛත්‍ර්‍රීපාල සිරිසේන පාලනයට ඔහු එදා හිස් මුදුනින් ආචාර කළේය. ඔහු හැමවිටම සඳහන් කළේ 2015 ජනවාරි 08 වැනිදා දිනාගත් නිදහස ජනතා ජයග්‍රහණය ලෙසය.

ඊබ්‍රාහිම් යනු එසේ මෙසේ සල්ලිකාරයකු නොවන බව දිනක් මට ඔහුගේ කාර්යාලයේ දී පෙනී ගියේය. යම්කිසි හේතුවක් මත එදින කුළුබඩු සැපයුම්කරුවන්ගේ චෙක් කීපයක් රිටන් වී තිබුණි. ඔහු වහාම චෙක්පතක් ලියා තම සේවකයකු බැංකුවට ඇරියේය. ටික වේලාවකින් එම සේවකයා සිමෙන්ති කොට්ටයක් වැනි පාර්සලයක් ගෙන ආවේය. එය බිම තියාගත් ‘ඊබ්‍රාහිම්’ බ්ලේඩ් එකකින් සල්ලි මිටි කපා තම සැපයුම්කරුවන්ට මුදල් බෙදා දුන්නේ රුපියල් 5000 මිටිවලිනි. විදේශීය අධ්‍යාපනය ලබා පැමිණ සිටි ඔහුගේ පුතෙකු අතට ඔහු මුදල් දුන් අතර ඔහු තත්ත්පර ගණනකදි එම මුදල් ගණන් කර සැපයුම්කරුවන් අත තැබීය. එහෙත් මේ පුත්‍රයා බෝම්බ ප්‍රහාරවලින් මියගිය පුත්‍රයා නොවේ.

වරක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ ගංවතුරින් යට වී ඇත. දිනක් ඒ සම්බන්ධ සාකච්ඡාවේදී තමන්ට වූ අලාභය ගැන අගමැති වික්‍රමසිංහටත්, ජනපති මෛත්‍රීටත් ලිඛිතව දැන්වූ නමුත් තමන්ට එම ලිපිය ලැබුණු බවටවත් දැන්වූයේ නැති බව කිව්වේ කනස්සල්ලෙනි. ගංවතුර නිසා ගම්මිරිස් තොගවලට වූ හානිය කොපමණදැයි මම අසා සිටියෙමි. ‘‘කෝටි 20 තමා’’ යි ඊබ්‍රාහිම් කිව්වේ ඇඟටපතට නොදැනීය.

ඊබ්‍රාහිම්ගේ ඕල්ඩ් මුවර් ස්ට්‍රීට් කාර්යාලයේ දෙතුන්දහසකට කන්නට වියළි ආහාර ද්‍රව්‍ය නිතරම ගොඩගසා තිබුණි. දිගු ගොඩනැගිල්ලක් වූ එහි කෑම කන්නට තිබ්බේ ගොඩනැගිල්ලේ කොනේය. මෙච්චර ආහාර තොගයක් මොකටදැයි මා දිනක් දිවා ආහාරය ගනිමින් සිටි ඊබ්‍රාහිම්ගෙන් විමසීමි. ඔහු පැවසුවේ එය සිකුරාදාට පල්ලියට එන දිළිඳු ජනතාවට බෙදා දීමට බවය. සාමසර කන්ද නායගිය විට විපතට පත් ජනතාවට ‘ඊබ්‍රාහිම් හජ්ජියාර්’ ලක්ෂ දහයක වියළි ආහාර බෙදාදුන් බව ඔහුගේ දුරකථනයට උත්තර බැඳීමටම රාජකාරියට බඳවාගෙන සිටි සේවකයා මට නිතර කියූ කතාවකි.

පසුගියදා අන්තර්ජාලයේ සුජීව සේනසිංහ ඇමැතිවරයා ඊබ්‍රාහිම්ගේ පුතෙකුට සම්මාන දෙනු පළකොට තිබුණි. මේ පුත්‍රයාද බෝම්බ ප්‍රහාරයෙන් මරුමුවට පත්විය. ඊබ්‍රාහිම් තම නමට ඉහළින් පළ කළේ තමන් ’දේශශක්ති’ සම්මානලාභියකු බවය.

සිනමන් ග්‍රෑන්ඩ් හා ෂැන්ග්‍රිලා මරාගෙන මැරෙන බෝම්බවලින් ඔහුගේ පුතුන් වන ඉම්ෂාෆ් හා ඉල්හම් මරාගෙන මැරුණ විට එම ඊබ්‍රාහිම්ගේ කියමනක් දෙසවනේ පිළිරැව් දෙන්නට විය.

‘මගේ පුතෙක් වුණත් වරදක් කළොත් දඬුවම් කළ යුතුයි’’ යනුවෙන් ඊබ්‍රහිම් තම අවසන් සාකච්ඡාවේදී මා සමග පැවසීය.

අවසන් වරට ‘ඊබ්‍රාහිම් හමුවට ගියවිට විනාඩි 45 ක් පමණ ඔහුගේ කාර්යාලයේ ඔහු අසලින් වාඩිවී සිටින්නට සිදු විය. ඔහු හමුවට පැමිණ සිටියේ නීතිඥයන් පිරිසකි. ඔවුන් රහසින් කළ කතාබහෙන් හැඟුණේ යම් දේපොළ පැවරීමක් ගැන ඔවුන් හා කතා කරන බවය.

මගේ සැකය පසුගියදා තහවුරු විය. ඊබ්‍රාහිම් තම සියලු දේපොළ මේ ප්‍රහාරයට පෙර පවරා තිබේ. ලක්ෂ 450 ක වටිනා වැල්ලම්පිටියේ සමාගමක වත්කම් ඔහු තෑගි ඔප්පුවකින් පවරා තිබුණේ නැසීගිය දරුවන් සිව් දෙනකුටය. කොළඹ පෞද්ගලික සමාගමක වූ ලක්ෂ 100 දේපොළ ඔහු තම සහෝදරයාට පවරා තිබේ. ඔහු පෞද්ගලික සමාගමකට මාතලේ ලක්ෂ 110 ක් ඉඩමක් හා ලක්ෂ 500 ක ඉඩමක් පවරා ඇති බවද දැන් හෙළිදරව් වී ඇත.

අනුරුද්ධ රත්වත්තේට බෝම්බ ප්‍රහාරය රාජගිරියේ දී එල්ලවන්නට පෙර ඒ ගැන පොලිසියට කියූ පුද්ගලයකුගෙන් පොලිසිය අපහාසයට ඇහුවේ එම පුද්ගලයාගේ ‘පුල්ලි’ දැක්කද යනුවෙනි. පුද්ගලයෙකුගේ කතාවෙන් බහෙන් ඔහු දෙවියකුද, තිරිසනකුද තීරණය කරන්නට බැරිය. බෝම්බ ප්‍රහාරය ගැන අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරික ‘ඊබ්‍රාහිම් තවමත් සැකකරුවකු පමණි. ඔහු ගැන නීතිමය ක්‍රියාදාමයකින් පසු ඔහු නිවැරදිකරුද, වැරදිකරුද නැත්නම් අයිඑස්අයිඑස් සාමාජිකයකුදැයි තීරණය කාලය විසින් විසඳනු ඇත.

ඒත් ඊබ්‍රාහිම්ගේ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමග පිටකොටුවේ මුළු තොග වෙළෙඳපොළ මෙන් කුළුබඩු අපනයන වෙළෙඳපොළම උඩු යටිකුරු වී ඇත. ඊබ්‍රාහිම්ගේ කාර්යාලය ළඟ සැරිසරත්දී ඔහුගේ සේවකයකු මා සමග කියා සිටියේ ඊබ්‍රාහිම් හාජි ප්‍රහාරයට පෙර සතියේ තම පුතෙකුගේ ගිණුමකින් මිලියන 10,000 ක් තම ගිණුමර බැර කර ගත්තේ ‘‘මොබයිල් බෑන්කින්’’ හරහා බවය. දැන් මේ බැංකු කළමනාකරු ද ඇත්තේ දැඩි භීතියකිනි.

දැන් ඉතින් අයිඑස්අයිඑස් සම්බන්ධතා සියල්ල එකින් එක එළිවෙමින් පවතී. අප නොසිතූ පුද්ගලයන් මේ ප්‍රහාරය ගැන හෙට අනිද්දාට බුද්ධි අංශ මගින් අනාවරණය කරගනු ඇත. ඔබේ මතය, මගේ මතය, සතය්‍යයි තැනක් තිබේ. අපට සිදුවී ඇත්තේ නීතිමය වපසරිය තුළ ‘සත්‍ය’ ඉස්මතුවනතුරු ඉවසා සිටීමටය.

වජිර ලියනගේ

අත්අඩංගුවට ගැනීමට මාස කීපයකට පෙර ඊබ්‍රාහිම් ‘අරුණට’ දුන් සම්මුඛ සාකච්ඡාවෙන්…

මාවනැල්ලේ සිදුවීම කොළඹ බිස්නස්වලට බලපෑවේ කොහොමද?

මගේ පුතා වැරැද්දක් කළත් වැරැද්ද වැරැද්දමයි. ව්‍යාපාරිකයින් වශයෙන් අප හිතන්නේ මුස්ලිම්වරු නොවෙයි. ලාංකිකයින් යන හැඟීමෙන්. දිගන සිදුවීම වගේ මාවනැල්ලේ සිදුවීම එතරම් දුරදිග ගියේ නැති නිසා ‘‘කොළඹ බසාර්’’ එකට බලපෑම් කළේ ඉතා අඩුවෙන්.

මාවනැල්ල සිදුවීම සිදුවූ දිනවල කොළඹ තොග වෙළෙඳපොළ පසුබෑමක් ඇතිවුණාද?

පැහැදිලිවම දුරබැහැරින් එන තොග ගැනුම්කරුවන් අඩුවුණා. අපනයනය සඳහා වන කුළු බඩු වර්ග සැපයුම්කරුවෝ කොළඹ මගහැරියා. සමහරු ෆෝන් පවා ඉස්සුවේ නැහැ.

ඔය කියන විදිහට පිටකොටුවේ තොග වෙළෙඳපොළ තුළ ප්‍රශ්න තියෙන්නේ සුළු ජාතිකයින්ට විතරද?

නෑ. නෑ. මේක හැම ජාතිකයකටම පොදු සමාජ ප්‍රශ්නයක්. ඊටත් රටේ ආර්ථික ප්‍රගමණයට විශාල හානියක්.

ඒ වුණාට සුළු ජාතීන් නේද තොග වෙළෙඳපොළේ ඒකාධිකාරය ගොඩනගාගෙන සිටින්නේ?

ඔය ලොකු බිස්නස්කාරයෝ කවුරුත් උත්පත්තියෙන් කෝටිපති නෙවෙයි. කවුරුත් දුක්මහන්සියෙන් තමයි ඔය තත්ත්වයට ආවේ. ඔතන ජාතිවාදයක් නෑ. තොග වෙළෙඳපොළ තුළ ඕන තරම් සිංහල, දෙමළ, දැවැන්ත ව්‍යාපාරිකයෝ ඉන්නවා. දේශපාලකයන් බලය රැක ගන්න ජාතිවාදය වපුරන නිසා සමහරු විරසක වෙනවා.

දැන් බලන්න මහරගම පිළිකා රෝහලට ලොකුම ගොඩනැගිල්ල දුන්නේ කවුද. අපේ කෙනෙක්. පෙට් ස්කෑන් එක ගේන්න මුල් වුණොත් අපේ කෙනෙක්. අපි ජාතිවාදී නෑ. මේ ඔක්කොම ප්‍රදාන කරන්න ඔවුන් මුදල් සෙව්වේ ව්‍යාපාරවලින්. ඒ සල්ලිවලින් අපි පොදුජනතාවටත් සේවය කරනවා.

දැන් බලන්න පිටකොටුව. සිංහල – දෙමළ – මුස්ලිම් හැම ජාතියකම ව්‍යාපාරිකයෝ සහෝදරයෝ වගේ ඉන්නවා. අපිට මොකටද ජාතිවාදයක්.

සුළු ජාතීන් ආණ්ඩුවක් පිහිටුවන්න සහයෝගය දෙන්නේ තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න බවට ඇති මතවාදය නිවැරැදිද?

දැන්වෙලා තියෙන්නේ රටේ ආණ්ඩුවක් පිහිටුවන්න ප්‍රධාන සාධකය බවට සුළු ජාතීන් පත්වෙලා. රට දෙකඩ කරන්න සුළු ජාතීන් වෙර දරනවා කියන මතය වෙනුවෙන් ඇතැම් අය පෙනී ඉන්නවා. මාධ්‍යවලින් ඒවා ප්‍රචාරය වෙනවා අසත්‍ය ප්‍රචාරය නිසා අපේ මේ අපනයන ක්ෂේත්‍රයම විතරක් නෙවෙයි මුළු බසාර් එකේම බිස්නස් අඩපණ වෙලා. අපි ඉම්පෝට් හරි එක්ස්පෝට් හරි ඕන බිස්නස් එකක් කරන්න ස්ථාවර රජයක් අත්‍යවශ්‍යයි.

මං කියන්නේ මේ රටේ මුස්ලිම් දේශපාලකයන් තම බලය රැක ගන්න ජාතිවාදය අවුස්සනවා නම් ඒකත් වැරදියි. මෙතැනදි මම අවස්ථාවාදී මුස්ලිම් දේශපාලකයන්ටත් වැරදි පටවනවා. අපිට මහින්දද, රනිල්ද, මෛත්‍රීද කියන එක වැදගත් නැහැ. මේ ර​ටේ එල්.ටී.ටී.ඊ. ප්‍රශ්නය විසඳද්දි මුස්ලිම් ප්‍රජාව හිටියේ සිංහල ආණ්ඩුවක් එක්ක.

ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව ලංකාවේ මුස්ලිම් ජනතාවට නිදහසක් තියෙනව නේද?

පැහැදිලිවම. මේ රටේ මුස්ලිම්වරුන්ට නිදහසක් තියෙනවා. 1948 නිදහස ලැබෙනකොට මීටත් වඩා නිදහසක් අපට තිබුණා.

බිස්නස් පැත්තකින් තියමු. මුස්ලිම් මිනිසුන්ට ලංකාවේ තියෙන නිදහස නෑ ලෝකේ මුස්ලිම් රටකවත්. ඒකට හොඳම සාක්ෂිය ආණ්ඩුවෙන් මුස්ලිම් ගුවන්විදුලියක් පවා අපිට දීලා තියෙනවා.

මුස්ලිම් දේශපාලන නායකයන් ඡන්දයකට විතරයි නේද පල්ලියට එන්නෙ. ඊට පස්සෙ හොයාගන්නත් නෑ නේද?

අපට මෙතැනදි දේශපාලකයින්ට වඩා වැදගත් වන්නේ පොදුජනතාව. ඔබ කියන දේ මුස්ලිම් ජනතාවට විතරක් නොවෙයි සිංහල ජනතාවටත් දෙමළ ජනතාවටත් එකයි.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කිව්වා නේද ජනාධිපතිවරයාට ගඩාපිට කරපු දේ කරනවා කියලා?

මුජිබර් රහුමන් මුස්ලිම් නමක් කිව්වට පල්ලියකටවත් යන්නේ නැහැ. මිනිහ කරන්නේ දේශපාලන ජොබ් එකක්.