විශේෂාංග

දෙපාරක් ජනාධිපති වෙච්ච කෙනෙක්ට ආයේ එන්න අපි 19 හිල් ඉතුරු කරලා නෑ – විජේදාස රාජපක්ෂ

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන  සංශෝධනය යටතේ දෙවරක් ධුරය දැරූ ජනාධිපතිවරයෙකුට තුන්වැනි වරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකිද? නොහැකිද  යන්න පිළිබඳව උණුසුම් කතිකාවක් දේශපාලන කරලිය තුල නිර්මාණය වෙමින් ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා බැලීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(2) වගන්තියේ සඳහන් වන ජනාධිපතිධුරයට නුසුදුසු බවට දක්වා ඇති කරුණු 19 වන ව්‍යවස්ථා සංශෝධනය සමග ගලපා ගැනීමේදී ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය හේතුවෙන් මෙම මත ගැටුම් උත්සන්න වෙමින් ඇත. හේතුවෙන් මත ගැටු උසස් අධ්‍යාපන හා බුද්ධ සාසන ඇමති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා මේ කතිකාවේ ආණ්ඩුව පාර්ශ්වයෙන් කරුණු දැක්වීම සඳහා ඉදිරිපත් වී සිටින ප්‍රබල චරිතයකි. මෙම අර්බුදය පිළිබඳ සති අග අරුණ ඔහු සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකසිණි. 

19 වන ව්‍යවස්ථා සංශෝධන කමිටුවේ ඔබ සාමාජිකයෙක් වෙලා හිටියද?
නැහැ..මම නියෝජනය කරන්නේ ව්‍යවස්ථා මණ්ඩලය. එක තියෙන්නේ අපි අලුතෙන් හදාගෙන යන නව ව්‍යවස්ථාව සඳහා. මේකෙදි එහෙම කමිටු පත් කලේ නැහැ. නමුත් මේ සංශෝධනය ඉදිරිපත් කරලා ඒ පිළිබඳව පාර්ලිමේන්තුව තුල වාද විවාද කරලා. සංශෝධන එකතු කරලා. සම්මත කර ගැනීම සඳහා ප්‍රධාන වගකීම ඉසිලුවේ මම.

19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇති කිරීම සඳහා අරමුණ ඔබ දකින්නේ කොයි ආකාරයෙන්ද ?
ජේ.ආර් ජනාධිපතිවරයා 1978 පොලිස්ට් ක්‍රමය නැත්නම් ප්‍රංශ ආණ්ඩුක්‍රම ආකෘතිය ආදර්ශයට අරන් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ ජනාධිපති ධුරය දැරීමේ වාර ගණන දෙවරකට සිමා කරමින්. ඒ ජනාධිපති ධුරය පිළිබඳව විවේචන තිබුණා. නමුත් මේ දෙවරක් කියලා ඇතුලත් කරපු එක බොහොම ප්‍රගතිශීලි ප්‍රතිපාදනයක්, නමුත් 2010 ජනාධිපතිවරණ ජයග්‍රහණය එක්ක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට 17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපනය කරලා තිබුණු සියලු කොමිෂන් සභා අහෝසි කරලා ජනාධිපති ධූර කාලයේ සිමාව වාර දෙක කියන එක වෙනස් කරලා සිමා රහිතව ධූරයේ ඉන්න අවස්ථාව හදා ගත්තා. මේ සංශෝධනය එතුමා කළේ ඒ සඳහා එතුමාට ජන වරමක් ලැබිල නෙමෙයි. සිරිමාවෝ සෝල්බරි ව්‍යවස්ථාව අහෝසි කරලා 72 ජනරජ ව්‍යවස්ථාව හැදුවේ එතුමියට ඒ සඳහා ලැබුණු තුනෙන් දෙකක ජන වරමෙන්. ජේ.ආර් ජයවර්ධන 78 ව්‍යවස්ථාව හැදුවේ හයෙන් පහක ජනවරමක් ලැබිල. හැබැයි 2010 මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තයට තුනෙන් දෙකක ජන වරමක් ලැබුණේ නැහැ. ඒක නිසා සුළු පක්ෂ මිලට ගනිමින් තමයි තුනෙන් දෙක හදා ගත්තේ. ඒක ජනමතය පාගා දැමීමක්.
අපේ මැතිවරණ පොරොන්දුවක් තිබුණා 18 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරලා, ජනපතිවරයෙකුට ඒකාධිපතියෙකු වීමට ඇති නීතිමය හයිය එතනින් ඉවත් කරලා අධිකරණය, පොලිසිය ඇතුලත්ව රාජ්‍ය ආයතන ස්වධීන කරනවා කියලා. ඒ සඳහා අපි 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරලා සම්මත කර ගත්තා. එක තමයි මේ රටේ මෙතෙක් ඉදිරිපත් වුනු ප්‍රගතිශිලිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. 41 වුන එජාප විපක්ෂය තමයි 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය අරගෙන මේ දේ කළේ..එතකොට ඔය දැන් ඒකාබද්ධ විපක්ෂයේ කෑගහන සියළු දෙනාගේත් සහය අපි ඒකට ගත්තා.

මේක සම්මත කරගන්න ඔබ තුමාලට තුනෙන් දෙකක බලයක් තිබුනද?
සංශෝධනය සම්මත කරගන්න පැයක කාලයක් තිබියදීත් අපට තුනෙන් දෙකක් තිබුණේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එක්ක සාකච්ඡා කරලා ..සියලු දේශපාලන පක්ෂ නායකයන් එක්ක කතා කරලා. මේ සංශෝධනයේ ගුණාත්මක භාවය සනාථ කරල තමයි තුනෙන් දෙකක බලය සඳහා සහය ලබා ගත්තේ.

19 සංශෝධනය බලාත්මක වීමෙන් ඇතිවන නව නීතිමය තත්වය හමුවේ හිටපු ජනාධිපතිවරයෙකුට හෝ වරියෙකුට නැවත ජනාධිපතිවාරණයකට තරඟ කල හැකිද නොහැකිද යන්න පිළිබඳව දැන් සමාජයේ කතිකාවක් ඇතිවෙලා තිබෙනවා..හිටපු ජනාධිපතිවරයෙකුට නැවත තරඟ කල හැකියි යන තර්කය නීතිය පිලිබඳ විශාරදයන් කිහිප දෙනෙක් කරලියට ගෙනවිත් තිබෙනවා..
බොහොම පැහැදිලියි හිටපු ජනාධිපතිවරයෙකුට නැවත ඉදිරිපත් විය නොහැකියි. එහෙම කිසිම හැකියාවක් අපි මේ 19 තුල ඉතිරි කරලා නැහැ..

මේ නිතිය අතීතයට නොවෙයි අනාගතය පමණක් බලපානවා කියන තර්කය ඉදිරිපත් වෙනවා..

මම දැක්කා විශාරදයෝ කීප දෙනෙක් ඕක කියනවා. අපිත් කියන්නෙත් අනාගතේට තමයි බලපාන්නේ. අපි කියන්නේ නැහැ අතීතයටයි තමයි මේක බලපාන්නේ කියලා. මේක අනාගතයට බල පාන්නේ කොහොමද කියලා බැලුවොත් මේකේ තියෙන්නේ අතීතයේ ජනාධිපති ධුරය දෙවරක් දැරූ කෙනෙකුට අනාගතයේ ජනාධිපතිවරණයකට අපේක්ෂකයෙක් වෙන්න බැහැ කියලා තමයි තියෙන්නේ. මේක අදාළ වෙන්නේ අනාගතයට තමයි හැබැයි අතීතයේ දරපු තනතුරු ගිණුම් ගත වෙනවා. මොකද මැරිලා ඉපදිලා නෙමෙයිනේ. හිටපු ජනාධිපතිලා දැනට ඉන්නේ මහින්ද රාජපක්ෂත් චන්ද්‍රික කුමාරතුංගත් විතරයිනේ.
අනිත් එක තමයි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න යනකොට නාම යෝජනා පත්‍රය දෙද්දී ඒ කෙනා දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙන්න ඕන. ඒ දිවුරුමේ සහතික කරලා දිවුරලා කියන්න ඕන “මම ජනාධිපතිධුර අපේක්ෂකයෙකු වීම සඳහා නුසුදුස්සකු නොවෙමි” කියලා. එතොට ඔය දිවුරුම් ප්‍රකාශයක් මේ දෙන්නගෙන් කෙනෙක් අත්සන් කරලා ඉදිරිපත් වුනොත් දණ්ඩ නීති සංග්‍රහයේ 190 වගන්තිය යටතේ අවුරුදු 3ක් සිරගත කල යුතු වරදක්. එක තමයි මේ රටේ නිතිය.

19 ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(2) ව්‍යවස්ථාවේ නුසුදුසු වීම යන්න අදාල වෙන්නේ එම නිතිය ක්‍රියාත්මක කාලය තුල දෙවරක් ජනාධිපති වුන කෙනෙක්ට පමණයි.
31(2) වගන්තිය තියෙන්නේ මෙහෙමයි.. ‘ජනතාව විසින් ජනාධිපති ධූරයට දෙවරක් තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තකු ජනතාව විසින් නැවත එකී ධූරය සඳහා තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සකු නොවන්නේ ය.’ දැන් බලන්න මෙතන තියෙන්නේ “තොරා පත් කර ගනු ලැබූ තැනැත්තෙකු” කියලා එතකොට මේ කියන්නේ අනාගතේ තෝරාපත් කර ගනු ලැබූ කියල නෙමෙයිනේ..අනාගතේදී හෝ වර්තමානයේදී හෝ අනාගතේදී මේ කොයි අවස්ථාවකදී හෝ තෝරා පත්කරගෙන තියනවා නම් ඒ තැනැත්තාට නැවත ඉදිරිපත් වෙන්න බෑ කියල මේ කියන්නේ.
මේ පටලැවිල්ල ලිහා ගන්න දිසා අධිකරණයේ නඩු පවරන ඒකාබද්ධ විපක්ෂයේ සභාපති මහාචාර්ය ජි එල් පිරිස් මහතා කටයුතු කරමින් ඉන්නවා..
එතුමා කියනවා දිසා අධිකරණයට ගිහින් එතනින් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා කියලා. ඒක බොරු වැඩක්නේ..කෙනෙකුට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න සුදුසුකම් තියනවද බලන්න දිසා අධිකරණයේ නඩු පවරන්න තිබෙන නඩු නිමිත්ත මොකද්ද.. ඒක හාස්‍ය ජනක ප්‍රකාශයක්.

ඇමතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(2) ව්‍යවස්ථාවේ සඳහන් වෙනේ නැහැ නිශ්චිතවම මේ කාලය තමයි මේ නීතියට අදාල වෙන්නේ කියල..එතකොට ඔබ කියන්නේ කොහොමද මේක සර්ව කාලීනයි කියලා..
කාලය පිළිබඳව මේකේ පැහැදිලිව තිබෙනවා, එක වර්තමානයේ වෙන්න පුළුවන් අතීතයේදී වෙන්න පුළුවන් අනාගතේදී වෙන්න පුළුවන් ධූරය දෙවතාවක් දරල තිබෙනවද නැද්ද කියන එක තමයි අදාළ වෙන්නේ.

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහත්මා ඔබේ මතයට ප්‍රතිවිරුද්ද මතයක් ඉදිරිපත් කරමින්සඳහන් කලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරුපණය කරන්න ඕන එක වගන්තියක් අරගෙන නෙමෙයි සමස්තය කියවල කියලා..ඔබ මේ 31(2) හිර වෙලා ඉන්නවා වගේ පෙන්නේ..
අපිත් සමස්තය තමයි කියවන්නේ, අපි මේ කැල්ලක් කියවල නෙමෙයි කියන්නේ.. එතුමා අගවිනිසුරු වුනානම් මේක රටේ නිතිය වෙන්න තීබුණා.. චන්ද්‍රිකා මැතිනියගේ ධූර කාලය ගැන එතුමා දුන්න තීන්දුව සියයට සියක් වැරදියි. නමුත් එක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නිසා අපිට පිළිගන්න සිද්ද වුණා. 18 ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව වැරදියි. 18 ජනමත විචාරණයකින් සම්මත විය යුත්තක්. ශ්‍රේෂ්ඨාධිකරණය වැරදි ඇතිකරන තීන්දු දෙනවා එහෙම දුන්නට එතනින් එහාට යන්න වෙන අධිකරණයක් නැති නිසා අපිට එක නිවැරදියි කියල පිළිඅරගෙන කටයුතු කරන්න වෙනවා නැත්නම් නීතියට පැවැත්මක් නැනේ. ඒ තමයි රටේ නිතිය.

13 වන ව්‍යවස්ථාවේ තියනවා 6 වන වගන්තිය..සාමාන්‍යයෙන් කියනවනම් අතීතයට බලපාන්න විදියට නීති සම්මත කරන්න බැහැ කියල තියෙනවා..
නැහැ කරන්න පුළුවන්…

එතන තියනවා යම් ක්‍රියාවක් කිරීම හෝ නොකර හැරීමක් සිදු වූ අවස්ථාවකදී එය නොකර හැරිම වරදක් නොවේ නම් ඒ ක්‍රියාව හෝ නොකර හැරිම සම්බන්ධයෙන් කිසිම තැනැත්තෙකු වරදකරු නොවිය යුතුය කියලා…
හරි මේක මේ අපි කතා කරන්නේ වරදකරු කිරීමේ නීතියක් ගැන නෙමෙයි..ඔය කියන්නේ අපරාධ නිතිය දඬුවම් කිරීම පිළිබඳව..අපි කියන්නේ ජනාධිපතිවරයෙක් වීමට අවශ්‍ය සුදුසුකම් නිර්ණායක පිළිබඳව..යම් ආකාරයකට අතීතයට බලපාන නීති ගෙන්න ඕන්නම් පාර්ලිමේන්තුවට ඒ සඳහා බලය තිබෙනවා..ඒහි විශේෂත්වය වෙන්නේ ඒ නීතියේදී කියන්න ඕන මේක අතීතයට බලපාන නීතියක් කියලා. ඔය සේපාල් ඒකනායකට විරුද්ධව ගෙනාවේ. ඔහු වරද කල අවස්ථාවේ ඒ සඳහා දඬුවන් කිරීමට නීතියක් තිබුනේ නැහැ..පස්සේ තමයි අතීතයට බලපාන පරිදි නිතිය සකස් කලේ.

එතකොට 31(2) වගන්තියට මේ 13 ව්‍යවස්ථාව අදාල වෙන්නේ නැද්ද?
නැහැනේ දෙක දෙකක්කේ.. දැන් ඔය විදියට ගත්තොත් බලමුකෝ මිනිහෙක් වැරදිකාරයෙක් වෙලා අවුරුදු දෙකකට නොවැඩි මාස 6ක සිර දඬුවමක් ලැබුවා කියල..එතකොය 82 ව්‍යවස්ථාවට අනුව ඒ මනුස්සයට අවුරුදු හතක යනකම් ඡන්ද බලය අහිමි වෙනවා. අපි හිතමු 5ක් කියලා . 2015 අප්‍රේල් 28ට කලින් ඔය දඬුවම විදපු මනුස්සයට පුළුවන් එතකොට ඔය තර්කය දාලා මන් වැරදිකාරය වෙලා ඉද්දි ඔය නිතිය තිබුනේ නෑ එක අතිතයට බලපාන්නේ නැහැ එක නිසා මට ඡන්ද බලය දෙන්න කියල කියන්න.
එතකොට තේරුම් ගන්න එපාය ඔය 13 ව්‍යවස්ථාවේ තියෙන්නේ අපරාධ වැරදි සම්බන්ධයෙන්. එතකොට ජනාධිපති වෙන්න සුදුසු කම් කියන එක අපරාධ සම්බන්ද ව්‍යවස්ථාවක් එක්ක පටල ගෙන හරියන්නේ නැහැනේ. දැන් බලන්න ඡන්ද බලය හිමි වෙන්න සුදුසු කමක් තමයි අවුරුදු 18ට සම්පුර්ණ වීම. ඒක සුදුසු කමක් මිසක් දඬුවමකට අදාල දෙයක් නෙමෙයි. ඒවගේ ජනාධිපතිවරයෙක් වෙන්න ඒක සුදුසු කමක් තමයි දෙවතාවක් ජනධිපති බවට පත් නොවී තිබීම. එක නිසා ඒ අර්ථයෙන් මේක ගන්න බැහැ.
අනික මේ ගැන අහන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න රටේ ජනතාවට අයිතියක් නැහැ .ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසන්න පුළුවන් බලය තියෙන්නේ ජනාධිපතිවරයාට පමණයි.

එතකොට ඇමතිතුමා මෙහෙම ප්‍රබල නීතිමය වියවුල් ස්වාභාවයකදී ජනතාව ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා නිවැරදිව නිතිය අර්ථ නිරුපණය කිරීමේ වගකීම කාටද තියෙන්නේ.
එහෙම වගකීමක් කාටවත් නැහැ.. නිවැරදි දේ තෙරුම් ගන්න බුද්ධිමත් වුනාම හරි.

සාමාන්‍ය පුරවැසියෙකුට නිවැරදිම නීතිමය තත්වය කුමක්ද යන්න පැහැදිලි කර ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කරන්න හැකියාවක් තියනවද…
එහෙම හැකියාවක් නැහැ. නමුත් යම් නීතියක් මගින් තමන්ගේ මුලික අයිතිවාසිකම් වලට බලපබලපෑමක් සිදුවෙනවා කියල මුලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන් හැබැයි එකේ පෙන්නන ඕන මේ නඩුව ඉදිරිපත් කරන්න තරම් පදනමක් තිබෙනවා කියලා. එහෙම තිබුනොත් විතරයි නඩුව භාර ගන්නේ. එහෙම භාර ගත්තොත් ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන් මෙන්න මේකයි මේ නීතියේ අසාධාරණය කියලා.
හිටපු ජනාධිපතිවරයෙක් වර්තමාන පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් වන අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත එතුමා අගමැතිවරයා බවට පත් කිරීමට බාධාවක් තිබෙනවද..
එහෙම නීතිමය බාධාවක් නැහැ.

එතකොට ඇමතිතුමා…ජනාධිපති ධුරය හිස් වන අවස්ථාවකදී අපි කලින් සඳහන් කල අගමැති ධූරය දරන හිටපු ජනපතිවරයෙකුට නැවත ජනාධිපති බවට පත් විය නොහැකිද ?
ජනාධිපති ධූරය හිස් උනොත් ..ඒ කියන්නේ මිය ගියොත් කියල ගමු..එතකොට අගමැතිවරයා වැඩ බලන්න ඕන. මිය ගියොත් එහෙම දින දාහතරක් ඇතුලත පාර්ලිමේන්තුව තොර ගන්න ඕන කෙනෙක් ජනාධිපතිවරයා හැටියට.. එක්කෙනක් නැතුව තරඟයක් අවොත් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත හිම කෙනා ජනාධිපති වෙනවා.

එතකොට ඔය ඉතිරි කාලය සඳහා පත්වන ජනාධිපතිවරයා ලෙස හිටපු ජනාධිපතිවරයෙකුට පත් විය හැකිද?
බැහැ, දෙවතාවක් ජනාධිපති ධූරය දරල තිබෙනවානම් නැවත ජනපති ධූරය මේ ආකාරයටවත් ලබා ගැනීමේ හැකියාවක් නැහැ..
31 ව්‍යවස්ථාවේ තිබෙන්නේ ජනතාව විසින් දෙවතාවක් පත් කර ගනු ලැබූ ජනාධිපතිවරයෙක් නැවත එම තනතුරට ජනතාව විසින් පත් කර ගන්න බැහැ කියල..නමුත් මෙතැනදී ජනාධිපති පත් කරන්නේ ජනතාව නෙමෙයි ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව..එතකොට ඔය 31 අදාල වෙන්න නැහැනේ…
පාර්ලිමේන්තු ඡන්දෙන් ආවත් ධූර දරන්න බෑ..ඒක සඳහන් වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 (ඈ) අනු ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා ජනාධිපතිවරයෙක් වීම සඳහා නුසුදුසුකම් යටතේ ජනතාව විසින් දෙවරක් තොරා පත්කර ගත් කෙනෙක්ට නොහැකියි කියල. අන්න ඒක තමයි කියන්න මේකේ කැල්ලක් කියවන්නේ නැතුව සේරම බලන්න කියලා. මහාචාර්යතුමා 92 කියවපු නැති නිසා තමයි ඔහොම දිසා අධිකරණ ගානේ යන්න හදන්නේ.

වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු 5යි. කලින් 6ක් තිබුණා.. එතකොට මෙතුමාට බලපාන්නේ 19 ආවට පස්සේ නීතියනේ..
ඔව්.

ඒ කියන්නේ වත්මන් ජනාධිපතිවරයා අලුත් තැනැත්තෙකු විදියට තමයි සලකන්නේ…
එහෙම එකක් නෑ..මේ පනත ගේනකොට එතුමා ජනාධිපති. එතුමාට ජනතාව අවුරුදු 6ක් බලය දුන්න. ඒක අපි 5ට අඩු කළා.

එතකොට එතුමාට අදාල වෙන්නේ නව නිතිය නම් හිටපු ජනාධිපතිවරයෙකු නැවත ඉදිරිපත් වන අවස්ථාවක ඔහුට ද සැලකිය යුත්තේ නව නීතියට අනුව නොවේද?
අපේක්ෂකයා අලුත්ද පරණද කියන එක අදාල නැහැ අදාළ වෙන්න ජනාධිපතිවරයෙකු වීමට අදාල නුසුදුසුකම් තිබීම. දෙවතාවක් හිටිය නම් එක නුසුදුසුකමක්. එක තමයි නිතිය.

සංවාදය – නීතිඥ සමින්ද ප්‍රියඟන කෝණාර

ඡායා – සමන් අබේසිරිවර්ධන