විශේෂාංග

දෙනෙතින් නොදුටු සිරිපා ඉර සේවය හදවතින් ‘දුටු’ දේශාටකයා

ඒ 1830 වසරේ මාර්තු 30 වන අඟහරුවාදා අලුයම් යාමයයි. ඒ මොහොතේ සිරිපා උඩමළුවේ රැඳී සිටි ඉංග්‍රීසි ජාතිකයකුගේ සිතට නැගි සිතුවිල්ලක් පසුව ඔහුගේ පන්හිඳ ඔස්සේ සාහිත්‍ය ලෝකයට පිවිසුණි. ඒ සිරිපා සමයේ ‘ඉර සේවය’ මුල්කොටගත් අපූරු ලේඛනයකි. එහෙත් එහි විස්මයට කරුණ එය නොවේ. ඉර සේවය පිළිබඳ එම අසිරිමත් වර්ණනය සාහිත්‍ය ලෝකයට දායාද කළ ඉංග්‍රීසි ජාතිකයා මුළුමනින්ම දෘශ්‍යාබාධිතයකු වීමය. නමුදු ඔහුගේ එම වර්ණනය කෙතරම් අව්‍යාජ එකක් වීද යත් ලොව පුරා පාඨකයෝ එය අතිශය තාත්වික එකක් සේ අදත් පිළිගනිති.

මීට වසර එකසිය අසූනවයකට පෙර ලියැවුණු එම අපූරු වර්ණනය මෙලෙසිනි.

‘‘ඒ ආශ්චර්යමත් දර්ශනය පියැවි නෙතින් දැක ගැනීමට නොහැකි මුත් මම දැඩි උනන්දුවකින් එදෙසට හැරී සිටියෙමි. එවිට මට හැඟී ගියේ එම රමණීයත්වය මගේ හද පත්ලටම කාවදින බවකි.’’

චාරිකා සටහන් සාහිත්‍යයේ අතිශය සංවේදී පිළිබිඹුවක් සටහන් කරමින් සිරිපා කඳු සිරස මතදී ඉර සේවය මුල්කොට ඇති වූ එම අව්‍යාජ හැඟීම එලෙස සටහන් කරන ලද්දේ දෘශ්‍යාබාධිත සංචාරකයා (Blind Traveller) යන නමින් ලොව ප්‍රකට වූ ඉංග්‍ර්‍රීසි ජාතික ජේම්ස් හෝල්මන් විසිනි. සිය දෙනෙත අන්ධතාවට පත් වීම මත සුවහසක් දෙනා තම දිවි පෙවෙත නිවස තුළටම සීමා කරගන්නා පසුබිමක් තුළ හෝල්මන් කළේ එයට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ දෙයකි. එනම් දෙනෙතට නොපෙනෙන බොහෝ දෑ හදවතින් දැක ගත හැකිය යන දාර්ශනික ස්ථාවරය මත ලෝක සංචාරයක යෙදීමය.

1786 වසරේ එංගලන්තයේ උපන් ජේම්ස් හෝල්මන් වයස අවුරුදු දොළහේ දී එනම් 1798 වසරේ දී බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ස්වේච්ඡා බළඇණියට බැඳෙන ලදුව 1807 වසරේ දී ලුතිනන්වරයකු ලෙස උසස්වීමක්ද ලැබීය. එහෙත් දෛවයේ කුරිරු සරදමකට ලක් වෙමින් හෙතෙම වයස අවුරුදු විසිතුනේ දී එනම් 1810 වසරේ දී මුළුමනින්ම දෘශ්‍යාබාධිත තත්ත්වයකට පත් විය. තම ජීවිතය මුළුමනින් අඳුරු ලොවකට ඇද දමමින් දෛවයෙන් හිමි වූ එම කුරිරු දඬුවම හමුවේ පසුබෑම තරුණ හෝල්මන්ට මහත් මදිපුංචිකමක් විය. දෙනෙතින් නොපෙනෙන දේ හදවතින් දැක ගැනීම පිණිස ඔහු ලෝක සංචාරයකට එක් වූයේ ඉන්පසුවය. ඔහුගේ එම චාරිකා සටහන් පෙළ ලොව වටා යාත්‍රාවක් (Voyage Round the World) යන නමින් 1834 වසරේ කාණ්ඩ තුනකින් යුත් කෘතියක් ලෙස එළි දක්වනු ලැබිණ. පසුව ඔහු වෙත ලෝක අවධානයට යොමු වීමටද එම විශිෂ්ට කෘතිය සමත් විය. හෝල්මන් ශ්‍රී ලංකාවට පැමිණි විස්තරය සටහන් වනුයේ එහි තුන්වන කාණ්ඩයේ නවවන පරිච්ඡේදයේය. එහිදී තම චාරිකා සටහන් දිනයන් සහ වේලාවන් සහිතවම සටහන් කිරීමට පෙලඹීම නිසා වත්මන් පාඨකයාටද ඉන් තත්කාලීන වටපිටාව පිළිබඳ බොහෝ දේ දැන ගත හැකිව තිබේ.

1830 වසරේ මාර්තු 17 දින ශ්‍රී ලංකාවට පැමිණෙන හෝල්මන් තම සිරිපා සංචාරය සඳහා මාර්ගෝපදේශකයකු ද තෝරාගෙන තිබේ. ඒ දොන් බස්තියන් නමැත්තෙකි. ඒ සම්බන්ධයෙන් මාර්තු 20 වන සෙනසුරාදා උදේ යටත් විජිත ලේකම් කාර්යාලයේදී තමන් දොන් බස්තියන් මුණ ගැසුණු බව හෝල්මන් තම කෘතියෙහි සටහන් කර තිබේ.

හෝල්මන් තම ශ්‍රීපාද ගමන අරඹනුයේ අගනුවර ග්‍රෙගරි නම් මහතකුගේ නිවසින් 1830 වසරේ මාර්තු 25 වන බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේදීය. එහෙත් ඔහු බලාපොරොත්තු වූ අන්දමට මාර්ගෝපදේශක දොන් බස්තියන් ඒ මොහොතේ ඊට එක්ව නැත. නමුදු ශ්‍රීමත් රිචඩ් ඕට්ලි නම් ඉංග්‍රීසි ජාතික ප්‍රභූවරයකුගේ පුතෙකු එම අවස්ථාවට එක්ව තිබේ. අගනුවරින් මැදියම් රැයේ දෝලාවකින් පිටත් වූ තම කණ්ඩායමට ගම්මුලාදෑනියකුගේ ප්‍රධානත්වයෙන් යුතු කම්කරුවන් දොළොස් දෙනකු එක් වූ බව හෝල්මන් තම කෘතියේ සටහන් තබා ඇත. කොළඹ පාරු පාලමක් පසුකොට පළමුව සැතපුම් හයක් ගෙවා අඹතලේට පැමිණි පුවත ඔහු සටහන් කරනුයේ එහි රජයේ ඉදිකිරීම් සඳහා ගඩොල් කර්මාන්තය සිදු වූ බවක් පවසමිනි. පසුව කඩුවෙල ඔස්සේ හෝල්මන් ඇතුළු පිරිස හංවැල්ලට ළඟා වී ඇත්තේ පසුදා එනම් මාර්තු 26 සිකුරාදා පෙරවරු හතට පමණය. එවක හංවැල්ලේ තිබූ රජයේ තානායමක් පිළිබඳවද ඔහු සිය කෘතියේ සටහන්කොට තිබේ.

ඒ කෙසේ හෝ මෙම ගමනට එක්වීමට නියමිතව සිටි දොන් බස්තියන් එහිදී ද ආගිය අතක් නොමැතිවූ අතර තරුණ ඕට්ලි පමණක් හංවැල්ලට අසුපිටින් පැමිණ තිබේ. එහෙත් හෝල්මන් හංවැල්ල තෙක් කරින් ඔසවාගෙන පැමිණි දෝලාකරුවන් දොළොස්දෙනාගෙන් අට දෙනකුම ඒ වන විට අතුරුදන්ව ඇත්තේ හෝල්මන්ගේ දෘශ්‍යාබාධිතභාවය සහ දොන් බස්තියන්ගේ නොපැමිණීම මත හටගත් ‘පරිපාලන ගැටලු’ නිසා බව පෙනෙයි. නමුදු එතැන් සිට අවිස්සාවේල්ල දක්වා දෝලාව ගෙන යාමට අලුතින් කම්කරුවන් සොයා ගැනීමට සිදු වීම මත හංවැල්ලේ සිට අවිස්සාවේල්ල තෙක් ඒ ගමනේ දෙවන කොටස ඇරඹී ඇත්තේ එදින පෙරවරු එකොළහට පමණය. එහෙත් හංවැල්ලෙන් පිටත් වී පැය හතරකට පසුව එනම් එදින පස්වරු තුනට අවිස්සාවේල්ලට ළඟා වීමට මෙම පිරිසට හැකි වී තිබේ.

මෙහිදී මෙම දෝලාකරුවන්ගේ සේවය පිළිබඳ විශේෂ ‘ඇගයුමක්’ ද හෝල්මන්ගේ චාරිකා සටහනට එක්ව තිබීම මෙහිදී මෙනෙහි කළ යුතුය. ඒ අතරමග හමු වූ සෑම අරක්කු තැබෑරුමක් අද්දරම මෙම කම්කරුවන්ගේ ගමන මඳකට නතර වූ බවය. අවිස්සාවේල්ලේ නතර වූ තමන්ට ඕට්ලිගේ සේවකයා විසින් කදිම රාත්‍රී ආහාරයක් පිළියෙල කර දුන් බව මෙම දේශාටන ගවේෂකයා විශේෂයෙන් සඳහන්කොට ඇත්තේ එය මෙම ගමනාරම්භයේ සිට තමන්ට මුහුණ පෑමට සිදු වූ විවිධ අකෘතඥකම්වලට ඉඳුරාම වෙනස් දෙයක් වූ නිසාද විය හැක.

කෙසේ හෝ අවිස්සාවේල්ලෙන් රත්නපුර බලා යාමට නම් එතෙක් ගමන් කළ දෝලාව වෙනුවට පියසක් සහිත පුටුවක් යොදාගත යුතු බවට කම්කරුවන් කළ යෝජනාව හෝල්මන් පිළිගෙන තිබේ. එහෙත් ඒ වන විටත් අරක්කු තැබෑරුම් ළඟ නතර වෙමින් දෝලාව ඔසවාගෙන ආ කම්කරුවන්ගෙන් හතර දෙනෙක්ම අතුරුදන් වී ඇත.

නමුත් ඒ වන විට එතෙක් අතුරුදන්ව සිටි හෝල්මන්ගේ මාර්ගෝපදේශක දොන් බස්තියන් කොහේදෝ සිට ‘කඩා පාත්වීම’ මත එම ගැටලු නිරාකරණය කර ගැනීමට හෝල්මන්ට හැකි වී ඇත. එහෙත් අවිස්සාවේල්ල සිට රත්නපුර තෙක් එන ගමනට වර්ෂාව නිසා මහත් බාධා ඇතිව තිබේ. ඒ මදිවාට වන අලින් පිළිබඳ භීතියක්ද මෙම පිරිස තුළ හටගෙන තිබූ බව හෝල්මන් සිය කෘතියේ කියයි. වර්ෂාව නිසා හුළුඑළි නිවී යාම මත එක් රාත්‍රියක් අතරමග ගෙවීමටද තමන්ට සිදු වූ බව ඔහුගේ චාරිකා සටහනෙහි දැක්වේ. එමෙන්ම එම කෘතියෙහි ඒ සම්බන්ධයෙන් ලියැවුණු රසවත්ම වැකියක් තිබේ. එනම් ගමනේ අතරතුර ‘අරක්කු’, ‘රත්නපුර’ කියමින් නිතර නිතර කම්කරුවන් දිරි ගැන්වීමට තමන්ට සිදු වූ බවය.

ජේම්ස් හෝල්මන්ගේ රුව දැක්වෙන සිතුවමක්

හෝල්මන්ගේ චාරිකා සටහනට අනුව ඔහු ඇතුළු කණ්ඩායමට කොළඹ සිට රත්නපුරයට පැමිණීමට දින තුනක් ගත වී තිබේ. ඒ කුරුවිට වනාන්තරයට යාබද මගක් ඔස්සේය. මාර්තු 28 ඉරිදා පස්වරු හයට රත්නපුර දිසාපති මැඳුරට පැමිණි තමන් දිසාපති බෝන් විසින් පිළිගනු ලැබූ බවත්, තමන් ඔහු හා ටොප්හැම් නැමැත්තකු සමග එහි සිටින විට ඕට්ලි අසු පිටින් පැමිණි බවත් හෝල්මන් කියයි. නමුදු ඔහුගේ මාර්ගෝපදේශක දොන් බස්තියන් ඒ වන විට නැවත අතුරුදන්ව තිබේ. ඉන්පසු රත්නපුරයෙන් පැමිණි හෝල්මන් ශ්‍රීපාද අඩවියේ මායිම වන පලාබද්දලට පැමිණ තිබේ. ඒ ඕට්ලිගේ සේවක බොබී ඇතුළු පිරිසක් සමගිනි.

ඔහු සිය කෘතියෙහි පලාබද්දල හඳුන්වා ඇත්තේ පලාබද්දර (Palabaddara) යනුවෙනි. එමෙන්ම හෝල්මන් එය එළවළු, දැව (Vegetable – wood) යනුවෙන් එය අර්ථකථනය කොට අැත්තේ එම ග්‍රාම නාමයේ මුල් අකුරු දෙකවන ‘පලා’ සහ අවසන් අකුරු දෙක වන ‘දර’ යන්න මුල්කොට විය යුතුය. මෙය ඔහුට කිසිවකු විසින් පවසන ලද්දක් බව පෙනෙයි. ඒ වන විට පලාබද්දල විවිධ ජාතීන්ට අයත් වන්දනාකරුවන්ගෙන් පිරී පැවති බවද හෝල්මන් සඳහන් කරයි.

පලාබද්දල විහාරයෙන් පිට වූ හෝල්මන් ඇතුළු කණ්ඩායම ශ්‍රීපාද මාර්ගයේ දියබෙත්මට පැමිණ මඳක් විවේක ගෙන තිබේ. එහි සිට ශ්‍රීපාද මළුවට සහ පලාබද්දලට සැතපුම් හතර බැගින් වන දුරක් ඇති බව හෝල්මන් කියයි. මෙම ගමනේ දී අතුරුදන්ව සිටි මාර්ගෝපදේශක දොන් බස්තියන් මුහන්දිරම්වරයකුගේ සොයුරකු වන දොන් ඇන්ඩෲස් නමැත්තකු ද සමග ඒ මොහොතේ දියබෙත්මට පැමිණ තිබේ. ඒ වන විට දොන් බස්තියන්, බාගෙට මැරුණු ස්වරූපයෙන් මළානිකව සිටි බවත්, ඔහු වයින් බෝතලයක්ද රැගෙන පැමිණි බවත් හෝල්මන් සඳහන් කරයි. ඉන්පසුව බොබී, ඇන්ඩෲස් සහ කම්කරුවන් දස දෙනකුද සමග හෝල්මන්, ශ්‍රීපාද උඩමළුවට නැග ඇත්තේ ඉර සේවයද ‘නැරඹීමේ’ අටියෙනි.

මෙහිදී සිරිපා සටහන සියැසින් දැක ගැනීමේ වරම අහිමි හෝල්මන් එය අතින් ස්පර්ශ කොට ලද අත්දැකීමද රමණීය ලෙසින් විස්තර කොට තිබේ. එම සිරිපා සලකුණ පාෂාණයක් මත පිහිටි බව පවසන ඔහු ඒ වටා ලෝහ තැටියක් තිබූ බවත්, ශ්‍රීපාද ලාංඡනය මතුයෙහි මල් හා කාසි තිබූ බවත් තම චාරිකා සටහනට එක්කොට තිබේ.

පැය පහක කාලයක් තුළ තම පිරිස සමග ශ්‍රීපාද කන්දෙන් පහළට බැස ගන්නා හෝල්මන් රත්නපුර දිසාපති මැඳුරේ එදින රාත්‍රිය ගතකොට නැවත අගනුවරට ඒම සඳහා යොදා ගත්තේ කළු ගඟ ඔස්සේ ගමන් ගන්නා පාරුවකි.

ඉන්පසු දොන් බස්තියන්ගේ මස්සිනා කෙනකු වන දොන් විලියම්ගේ නිවසින් කේක්, රසකැවිලි, කෝපි, බ්‍රැන්ඩි ආදියෙන් සංග්‍රහ ලබන ඔහු ඊළඟට ගොනු බැඳි කරත්තයකින් පානදුර පසුකොට පැමිණෙනුයේ රේන්ද බලපත්‍ර හිමියකු වන දොන් බස්තියන්ගේ පියාවන ජොහැන්නස් අප්පුහාමිගේ නිවසටය. මුහුද අද්දර පොල් රුප්පාවක එම නිවස පිහිටි ප්‍රදේශය Retmalane යනුවෙන් හෝල්මන්ගේ කෘතියෙහි සඳහන් වනමුත් එය බොහෝ දුරට රත්මලාන විය යුතු යැයි සිතේ. සිංහල නිවසක් වුවද එහි ඉංග්‍රීසි ජාතිකයන්ට අවශ්‍ය සියලු පහසුකම්වලින් සම්පූර්ණ කාමරයක් ඇතැයි පවසන හෝල්මන් පොල් රාවල ප්‍රණීතභාවය පිළිබඳවද සටහනක් ඊට එක්කොට තිබීම විශේෂත්වයකි.

කෙසේ නමුදු අපරදිග ලේඛකයන් රැසකගේ පන්හිඳට හසු වූ ශ්‍රීපාද වර්ණනා රැසක් අතුරින් ඉර සේවය පිළිබඳ අති සංවේදීතම වර්ණනය සාහිත්‍ය ලෝකයට තිළිණ කළ ජේම්ස් හෝල්මන් නම් මෙම සුවිශේෂී දේශාටකයා 1830 මැයි 13 බ්‍රහස්පතින්දා ‘ඈන්’ නම් නෞකාවෙන් ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාව බලා පිටත්වනුයේ හදවතත් මනැසත් නිසි පරිදි ක්‍රියාත්මක වන්නකුට දෙනෙත් අහිමිවීම වුව එතරම් බරපතළ පාඩුවක් නොවන බව ලොවටම කියා පෑම පිණිසය.

තිලක් සේනාසිංහ