විශේෂාංග

දූෂණ තුරන්කිරීමට කොමිෂන් සභා විසඳුමක්ද?

‘‘පුද්ගලයා දෝෂ සහිතයි. ඒ නිසා නීති පද්ධතිය සකස් කළ යුත්තේ, වරද කිරීමට පෙලඹීමේ අවකාශ අඩුකිරීම සම්බන්ධයෙන් ප්‍රායෝගික ක්‍රියා මාර්ග ඉදිරිපත් කිරීමට හැකිවන පරිදියි.’’

මහාචාර්ය ජී.එල්. පීරිස් 1994-10-04

එවකට විදේශීය වෙළෙඳ, අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව කියා සිටියේ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේය.

එහිදී අර්ථ නිරූපණය කළ ආකාරයට පෞද්ගලික වාසියක් ලබාගැනීම සඳහා යම්කිසි පුද්ගලයකු මහජන ධුරයක් භාවිත කිරීම දූෂණය ලෙස සැලකේ. වසර 17ක් පුරා පැවැති එජාප ආණ්ඩුවලට එරෙහිව එල්ල කළ දූෂණ චෝදනා පිළිබඳව විභාග කොට දඬුවම් දීම මෙම නීතිය හඳුන්වා දීමට හේතුවිය. එය පොඑපෙහි මැතිවරණ පොරොන්දුවකි. පොඑපෙ 1994 මැතිවරණ ප්‍රකාශනයෙහි මෙලෙස සඳහන් කර ඇත.

‘‘අපේ දේශපාලන සංස්කෘතියේ අද ඇති මූලිකතම ප්‍රශ්නයක් නම්, මහජන ජීවිතයේ සෑම අංශයකම පාහේ පෙර නොවූ විරූ මට්ටමකින් පැතිරී ඇති අල්ලස හා දූෂණයයි. වත්මන් එජාප පාලනය විසින් හිතා මතා ස්ථාපිත කරන ලද මෙම දූෂණය ශ්‍රී ලංකාවේ මුළු සමාජයම බිලිගත් කවදාවත් නැති ලෙස උග්‍රවී ඇති වසංගතයකි.’’

‘‘සදාචාරය, විනයගරුකත්වය හා සාධාරණය පිළිබඳ සියලුම මූලධර්මයන් හිතා මතා මහජන ජීවිතයෙන් ඉවත් කිරීම නිසා මහජනතාව තුළ ඇති වී තිබෙන්නේ අපේක්ෂා භංගත්වයක් සහ පිළිකුලකි. අසීමිත කෑදරකම සහ සදාචාරාත්මක මිනුම් දඬු රහිත දේශපාලන ක්‍රමයක් පැන නැගී තිබීම එජාප 17 වසරක පාලනයේ ඛේදනීය සිහිවටනයකි.

‘‘මේ විනාශකාරී ප්‍රවණතාව නැවැත්වීමටත් අප රටේ මහජන ජීවිතයේ යහපත් සහ ගුණගරුක හරයන් පුනර්ජීවනය කිරීමටත් පියවර ගැනීමට පොදුජන එක්සත් පෙරමුණ අධිෂ්ඨාන කරගෙන සිටී. අපේ දේශපාලන සහ පරිපාලන ක්‍රමය පිළිබඳ මහජන විශ්වාසය යළි ගොඩනැගීම සඳහා අප යෝජනාකරන ක්‍රියාමාර්ගය නම් අල්ලස හා දූෂණය පිළිබඳ ස්ථාවර කොමිසමක් පත් කිරීමයි. අලුත් ආණ්ඩුව බලයට පත් වී තුන් මසක් ඇතුළතදී මේ කොමිෂන් සභාව පිහිටුවන බව පොඑපෙ මහජනතාවට සහතික වෙයි.’’

මෙම පොරොන්දුව ඉටුකිරීම සඳහා පොඑපෙ විසින් 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත හා 1994 අංක 20 දරන අල්ලස් (සංශෝධන) පනත හඳුන්වා දෙන ලදී. එය පොඑපෙ ඉදිරිපත් කළ ප්‍රථම පාර්ලිමේන්තු පනත වූ අතර ඊට පක්ෂව ඡන්ද 187ක් ලැබී පනත සම්මත විය. මෙහි ඇති විශේෂත්වය වන්නේ එවිට පොඑපෙ මන්ත්‍රීවරුන් ගණන 105ක් ලෙස තිබියදී ඡන්ද 187ක් ලබා ගැනීමත්, නිමල් සිරිපාල ද සිල්වා පෞද්ගලික යෝජනාවක් ලෙස 1993-08-06 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දූෂණ විමර්ශනය සඳහා ස්ථාවර කොමිෂන් සභාවක් පත් කිරීම පිළිබඳ යෝජනාවට විරුද්ධව ඡන්දය දී පරාජය කළ එජාපය මෙහිදී පොඑපෙ සමග එක්ව ඡන්දය ප්‍රකාශ කිරීමයි. (නිමල් සිරිපාලද සිල්වාගේ යෝජනාවට පක්ෂව ඡන්ද දුන් එකම එජාප මන්ත්‍රීවරයා නියෝජ්‍ය කථානායක ගාමිණී ෆොන්සේකා වූ අතර ඒ පිළිබඳව පක්ෂය ඔහුගෙන් නිදහසට කරුණු විමසා තිබිණ)

මෙලෙස නව නීති සම්පාදනය කෙරුණේ රජයේ සේවකයන්ගේ අල්ලස පිළිබඳව දඬුවම් කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන 1883 දී ඉංග්‍රීසීන් විසින් හඳුන්වා දෙන ලද දණ්ඩ නීති සංග්‍රහයෙහි ඇතුළත්ව තිබියදීය. ඉංග්‍රීසීන්ගේ අල්ලස් පනත 1916දී බිහි වූ අතර අසල්වැසි ඉන්දියාව 1947 අංක 2 දරන පනත මගින් ඊට අවශ්‍ය නීති සම්පාදනය කර තිබිණ. ලංකාව වෙනම අල්ලස් පනතක් හඳුන්වා දෙන ලද්දේ 1954 අංක 11 දරන පනත මගිනි.

1954ට පෙර අල්ලස් නොදුන් බව හෝ නොගත් බවක් ඉන් කියවෙන්නේ නැත. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරුන් අල්ලස් ලබාගෙන ඇත්දැයි සොයා බලන්නට කොමිසමක් පත් කෙරුණේ 1941දීය. ඒ.එල්.එම්.ඩී. ද සිල්වා කොමිසමයි.

එහිදී අනාවරණය වූ කරුණු අනුව මන්ත්‍රීවරුන් හත් දෙනෙක් වැරදිකරුවෝ වූහ. එම මන්ත්‍රීවරුන්ගෙන් හය දෙනකු ඉල්ලා අස් වූ අතර එක් මන්ත්‍රීවරයකු ඉල්ලා අස් නොවූ බැවින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ යෝජනාවක් මගින් ඉවත් කෙරිණ.

ඉන්පසු 1946දී රජයේ සේවකයන්ගේ අල්ලස් පිළිබඳ සොයා බැලීමට කෙනමන් කොමිසම කොළඹ නගර සභාවේ පත් කෙරිණි. අල්ලස් හා දූෂණ පිළිබඳව සොයා බැලීමට 1949දී පත් කළ එම්.ඩබ්ලිව්.එච්. ද සිල්වා කොමිසම තවත් එකකි. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කාලය දක්වා මන්ත්‍රීවරුන්ගේ හා පාර්ලිමේන්තු ලේකම්වරුන්ගේ අල්ලස් හෝ දූෂණ පිළිබඳව සොයා බැලීමට 1959දී පත් කළ කොමිසම තල්ගොඩපිටිය කොමිසම නම් විය. යළිත් කොළඹ නගර සභාව ගැන සොයා බැලීමට 1961දී පත් කළ චිට්ටි කොමිසමද මෙම ගමන් ක්‍රියාවලියේ වැදගත් අවස්ථාවකි.

බණ්ඩාරනායක අගමැතිවරයාගේ පාලන කාලයේ දී පත් කළ (1959දී) තල්ගොඩපිටිය කොමිසමේ නිර්දේශ අනුව ජිම් මුණසිංහ, එම්.පී. ද සොයිසා, ඩී.බී. මොන්නෑකුලම හා සී.ඒ.එස්. මරික්කාර් යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් නෙරපා හැර සිවිල් අයිතිය වසර හතකට අහෝසි කර ඇත. මෙරට අල්ලස හා දූෂණය පිළිබඳව කතා කිරීමේදී ඉන්පසු වැදගත් අවස්ථාවක් එළඹෙන්නේ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේ හඳුන්වා දුන් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවය. එහෙත් 1977 බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව අහෝසි කොට විනිමය වංචාකරුවන් නිදහස් කළේය. 1971 මහ නඩුවේ රෝහණ විජේවීර ඇතුළු පිරිස් නිදහස ලැබුවේද මෙම කොමිසම අහෝසි කිරීමේ අතුරු ප්‍රතිඵලයක් වශයෙනි.

අපරාධ යුක්ති විනිශ්චය කොමිසම අහෝසි කළද 70-77 අතර කාලය තුළ සිදු වූ බලය අයුතු ලෙස යෙදවීම, දූෂණ හෝ වංචනික ක්‍රියා පිළිබඳ සොයා බැලීමට ජේ.ආර්. විශේෂ ජනපති කොමිසමක් පත් කළේය. ඒ – 1978 අංක 7 දරන විශේෂ ජනාධිපති කොමිසම යටතේය. හිටපු අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මෙම කොමිසම හමුවට කැඳවනු ලැබුවද කොමිසමේ වලංගුභාවය අභියෝගයට ලක් කරමින් ඇය අභියාචනාධිකරණය හමුවට ගියාය. ඇයගේ තර්කය පිළිගත් අභියාචනාධිකරණය විශේෂ ජනාධිපති කොමිසමේ කටයුතු වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළේය.

අධිකරණයේ තහනමට පිටුපෑමට ජනාධිපතිවරයා හයෙන් පහක පාර්ලිමේන්තු බලය යොදා ගත්තේය. ඒ අනුව 1978 අංක 4 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (විශේෂ විධිවිධාන) පනත මගින් අභියාචනාධිකරණයේ තීන්දුව අවලංගු කොට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පළමු සංශෝධනය හඳුන්වා දෙනු ලැබීය. එමගින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමට බාධාවකින් තොරව කටයුතු කළ හැකි විය. බලය අනිසි ලෙස සහ වැරදි අයුරින් පාවිච්චි කරන ලදැයි කොමිසම විසින් කරන ලද නිර්දේශයකට අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවක් මගින් බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය වසර හතකට අහෝසි කොට පාර්ලිමේන්තුවෙන් නෙරපා දැමුවේය. සිරිමා බණ්ඩාරනායක මැතිනිය ඉන් නිදහස් වූයේ 1994 පොදුජන පෙරමුණු ආණ්ඩුවක් පත්වීමෙන් පසුය.

‘‘ශ්‍රී ලංකාවට වැරදුණේ ‍කොතැනද?’’ යනුවෙන් කෘතියක් සම්පාදනය කරන මෙරට විශිෂ්ට රාජ්‍ය පරිපාලන නිලධාරියකු වූ වී.ජී. විට්ටච්චි, ජනාධිපති ජේ.ආර්.ගේ ජනාධිපති කොමිසම මගින් ඇති වූ අතුරු ඵලයක් ගැන මෙසේ සඳහන් කර ඇත.

‘‘තවත් සිදුවිය හැකි දේ මොනවාද? 11 වැනි ස්ථානයේ සිටි වීරරත්න විනිශ්චයකාරතුමා (කොමිසමෙහි සභාපති) පස්වන ස්ථානයට ඉහළ ගියේය. ෂර්වානන්ද විනිශ්චයකාරතුමා (කොමිසමෙහි සාමාජික) 14 වැනි ස්ථානයේ සිට හයවන ස්ථානයට පත් විය. ද අල්විස් විනිශ්චයකාරතුමා (කොමිසමෙහි සාමාජික) මහාධිකරණ විනිශ්චයකාරවරුන් 18 දෙනකු පස්සට තල්ලු කරගෙන අභියාචනාධිකරණයට පත්විය.’’

මේ හේතු නිසා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති වූ වීරරත්න විනිශ්චයකාරතුමාට විශ්‍රාම යෑමේ වයසට පෙර වැඩ බලන අග්‍රවිනිශ්චයකාර විය හැකි විය. විශේෂ ජනාධිපති කොමිසමේ තුන්වන සාමාජික ද අල්විස් විනිසුරුතුමාට සිය වෘත්තිය නීච ලෙස අවසන් කිරීමට සිදුවිය. (94 පිටුව)

ඉන්පසු 1986 දී දූෂණ හෝ අල්ලස් ගැන සෙවීමට ජේ.ආර්. තවත් ජනාධිපති කොමිසමක් පත් කළේය. පැමිණිලි 317ක් ලැබුණු එම කොමිසම පැමිණිලි දෙකක් පමණක් විභාග කළ පසු අහෝසි විය.

පසුගිය ජනාධිපතිවරණයට හංසයා ලකුණින් තරග කළ මෛත්‍රීපාල සිරිසේන අපේක්ෂකයාගේ ප්‍රතිඥා ඇතුළත් 100 දිනකින් අලුත් රටක් නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි 2015 පෙබරවාරි 05 වැනි දිනට නියමිතව තිබුණේ පසුගිය කාලයේ සිදු වී ඇති මහා පරිමාණ දූෂණ සොයා බැලීම සඳහා විශේෂ විනිශ්චය සභා පත් කිරීමය. ඉන්පසු 2015-08-17 වැනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එජාපය ඉදිරිපත් කළ මාස 60කින් අලුත් රටක් හදන පංච විධ ක්‍රියාවලිය නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දූෂණ මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය යටතේ මෙලෙස පොරොන්දු වී තිබිණ.

‘‘දූෂණ මැඬපැවැත්වීම රජයේ ප්‍රධාන ප්‍රමුඛතාවක් බවට පත්වනු ඇත. සිවිල් සමාජය, පුද්ගලික ව්‍යාපාර සමාගම් සහ අන්තර්ජාතික සංවිධාන සමග එක්ව දූෂණය මුලිනුපුටා දැමීමේ දීර්ඝකාලීන හා තිරසර උපාය මාර්ග සම්පාදනය කිරීමට ක්‍රියාත්මක වන්නෙමු. දූෂණ විරෝධී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව අවශ්‍ය නීති සහ පරිපාලන රාමුව සකසනු ඇත. අධිකරණය සහ පොලිසිය ඇතුළු රාජ්‍ය පාලනයේ සියලු අංගෝපාංග දූෂණයට එරෙහිව බලගන්වන්නෙමු.

* සියලු අංශයන් ආවරණය වන ආකාරයේ දූෂණ විරෝධී සහ අල්ලස් විරෝධී නීති හඳුන්වා දෙන්නෙමු.

* වර්තමානයේ පවතින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (අල්ලස් කොමිසම) වෙනුවට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් දූෂණ විරෝධී පිළිවෙත්වලට අනුකූලව අධිබලැති ස්වාධීන දූෂණ මැඬපැවැත්වීමේ කොමිෂන් සභාවක් ස්ථාපිත කරන්නෙමු. විශේෂයෙන්ම හොංකොංහි දූෂණ විරෝධී කොමිසම හා එක්සත් රාජධානියේ බරපතළ වංචා විමර්ශන කාර්යාංශය මෙහිදී ආදර්ශයට ගනු ඇත.

* නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන ශක්තිමත් කරන්නෙමු. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට මෙන්ම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ද මූල්‍ය අපරාධ සාර්ථකව මැඬපවත්වා මුලිනුපුටා දැමීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් හා සම්පත් ලබා දෙන්නෙමු.’’

මෙම පොරොන්දු පමණක් නොව මහබැංකු බැඳුම්කර වංචාවද දැන් අතීතයට එක්වී හමාරය. දැන් ජනාධිපතිවරයා විසින් තුවක්කුව එල්ල කර ඇත්තේ විරුද්ධ පක්ෂයට හොරු යැයි චෝදනා කළ ‘පිරිසිදු’ ආණ්ඩුව දෙසටය.

ඒ අනුව 2015 ජනවාරි 15දා සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ හා වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා කොමිසමක් පත් කර ඇත. අදාළ කාලය තුළ රජයේ ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, දේපොළ සාපරාධී පරිහරණය රැවටීම සහ බලය හෝ අධිකාරිය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම හෝ අවභාවිතය සහ එකී වරදවල් සහ වැරදි ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය වත්කම්වලට රාජ්‍ය ආදායම බරපතළ අලාභ හෝ හානි සිදු වී තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කොට වාර්තා කිරීම ඊට පැවරී ඇත.

විටින් විට මෙවැනි තාවකාලික කොමිෂන් සභා පත් කෙරෙන්නේ අල්ලස් හෝ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියා කිරීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නමින් නිත්‍ය ආයතනයක් තිබියදීය. එම ආයතනයේ නඩත්තුව වෙනුවෙන් වාර්ෂිකව විශාල වියදමක් දරන අතරේ විටින් විට පත් කෙරෙන තාවකාලික කොමිෂන් සභා සඳහාද අමතර පිරිවැයක් දරන්නට රටට සිදු වී තිබීම කොතරම් අපරාධයක් ද? මහ බැංකු වංචාව සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාද යන්න අමුතුවෙන් විස්තර කළ යුතු නැත.

එසේ නම් ඇත්ත වශයෙන්ම මේ කොමිෂන් පත් කරන්නේ කුමක් සඳහාද? සාක්ෂි හෙළිදරව් කර වැරදි නිවැරදි කිරී‍මේ දිගුකාලීන වැඩපිළිවෙළක් සඳහාද නැත්නම් දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කරමින් දේශපාලන වාසියක් ලබා ගැනීමේ තාවකාලික සැලසුමක් සඳහාද?

නෙල්සන් එස්. පෙරේරා