විශේෂාංග

දුහුනන් දැනුම් සඳහා හූනා සහ නෑනා

පසුගිය අගෝස්තු 19 වැනි සඳුදා අරුණ දිනපතා පුවත්පතේ හූනන් හය දෙනකුට ජාතික වීරයන්ගේ නම් දීලා නම් හිසින් යුතු ප්‍රවෘත්තියක් පළ කෙරිණ. පසුදාම ඇල්ලේ ගුණවංශ හිමියන් දැක්වූ විවේචනශීලී ප්‍රතිචාරය අප පත්‍රයේ පළ කළෙමු. ඊළඟ දවසේ හූනන්ගේ නම්, ජාතික වීරයන් හා සම්බන්ධ කළ පරිසර විද්‍යාඥයා අලුතින් හඳුනාගත් සතුන්ට නම්දීමේ දී අනුගමනය කරන ජාත්‍යන්තර පිළිවෙත එය බව කීවේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු ලංකාවේ මිනිස්සු විද්‍යාව දන්නේ නෑ යැයි ද පැවසුවේය. මේ පුවත් සේම සෙස්සද පස්සට නොයවා ‘අරුණෙ’ පළ කෙරිණ.

මේ අතර බුකිය ගිනි ගත්තේය. හූනන්ට ජාතික වීරයන් සම්බන්ධ කිරීම ගැන නා නා දැයින් වනමින් විනෝදකාමීහු බුකිය සිනාසරිත් සාගරයක් කළහ. ඔවුන් එසේ කළේ අපහාසයට නොව උපහාසයට වූ බැවින් අතීතයේ පොඩි කවටකමට කෝපව රිටිගල ජයසේන සමග යුද වැදුන ගෝඨයිම්බර යෝධයා වුව මේ උපහාසවලට කලබල නොවනු ඇත.

එහෙත් ඊට වඩා වැදගත් දෑ රාශියක් ඒ පුවත පළ කිරීමත් සමග මතු කෙරිණ. මේ පරිසර විදුහුරුවන් කියන පරිදි විද්‍යා ක්‍රමවේද නොදැන සිටි ලාංකිකයනට මෙපුවත සමග මතු වූ සංවාදය නිසා විද්‍යාත්මක නාමකරණ පිළිවෙත ගැන දැනුමක් ලැබීමය. අනෙක් අතට පරිසර විද්‍යාඥයන් ද්‍රව්‍ය ලෝකය ගැන සිතන සැටි ගැනද අවබෝධයක් ජනතාවට ලැබිණ. ඒ දැනුමට අනුව පරිසර විද්‍යාඥයන්ට වැදගත් වන්නේ පරිසරය පමණකි. ඔවුන්ට ගහකොළේ ද, සතා සීපාවාගේද උස් මිටි, වැදගත් නොවැදගත්කම් නොමැත. ගැඩවිලාද ජාතික කොඩියේ ඉන්න සිංහ රාජයාද ඔවුනට එකමය. බෝධිරාජයාද, තුත්තිරි ගසද එක සේ වැදගත්ය යන මනසිනි ඔවුන් ලොව බලන්නේ. එබැවිනි බුදුන්, කොන්ෆියුසියස්තුමා ඔවුන් හඳුනාගත් සතා සීපාවාගේ නම් සමග ඈඳා ඇත්තේ.

එහෙත් හූනාගේ පැත්ත අරගෙන තමන්ද මහා විද්‍යාඥ මනසකින් යුතු යැයි සිතූ අපේ ඇත්තන් නොසිතූ කාරණයක් වෙයි.
ඒ මෙරට වැදගත් ස්ථාන, පුද්ගලයන් නාමකරණයේදී විදේශීන්, අනුගමනය කළ පිළිවෙත ගැනය. ඉන්දීය සාගරයද යටත් කරගෙන ලංකාවට ආ පරංගියා ලොව අසමසම සටනකින් කොටා මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හරවා බිම හෙළුවේ ටිකිරි කුමාරයා විසිනි. යුරෝපා ජාතියක් ආසියාවේ ලද දරුණුම පරාජය මුල්ලේරියාවේදී ලැබූ බව ඔවුන්ගේ ඉතිහාස පොත්වල ලියැවිණ. එහෙත් සියවස් කිහිපයක් ගිය තැන ඓතිහාසික මුල්ලේරියාවේ බ්‍රිතාන්‍යයන් විසින් මානසික රෝහලක් ඉදි කළෝය. ටිකිරි කුමාරයා ලොව අද්විතීය රණ ශූරයකු වූවත්, ඔහු පීතෘ ඝාතකයකු යැයි නාමකරණයට ලක් කළෝය. දැන් මුල්ලේරියාව යැයි කී විට මතකයට එන්නේ අභිමානවත් රණබිම නොව පිස්සන් කොටුවය. පිස්සන් කළ වැඩකි.

යටත් වූ පසුද 1818 දී ඌව වෙල්ලස්ස ජනතාව ගැසූ කැරැල්ලෙන් බ්‍රිතාන්‍යයෝ ලැබුවේ ඓතිහාසික වේදනාත්මක මතකයකි. රටක වර්ග ප්‍රමාණය, ජනගහනය හා සැසඳූ කල දහඅටේ කැරැල්ලේ දී බ්‍රිතාන්‍යයින් උඩරැටියන්ගෙන් ලද ප්‍රහාරය, ප්‍රංශ අධිරාජ්‍යයේ නැපෝලියන් බොනපාට්ගෙන් ලද ප්‍රහාරයට වඩා දරුණු බව එකල විසූ ආණ්ඩුකාරයා, යටත් විජිත බාර ලේකම්ට ලියා යැව්වේය. නියම රජෙක් නැතිව ගැසූ ඒ කැරැල්ලේ දී උඩරට ජනයා රාජ්‍ය භාරකරු ලෙස සැලකුවේ දළදා හාමුදුරුවන්ය. කැරැල්ල පරාද කළ බ්‍රිතාන්‍යයෝ දළදා මාලිගය ඉදිරිපස කැප්පෙටිපොලගේ හිස ගසා දැමූහ. කැරලි කාලයේ මළ වසූරිය රෝගීන්ගේ සොහොන දළදා මාලිගා බිමේ ඒ පිටුපස ඉදි කළෝය. එදා දළදා මාලිගාව සමග මතක් කෙරෙන්නට ඇත්තේ වසූරිය බිමකි.

පුනරුද යුගයේ ධර්මපාලතුමා ප්‍රධාන නගර මධ්‍යයේ බෝගස් රෝපණය කිරීමේ යෙදුණේය. මහරගම හන්දියේද බොරැල්ලේ ද ධර්මපාලතුමා බෝධි රෝපණය කළේය. බ්‍රිතාන්‍යයෝ කළේ ඒ බෝධීන් වහන්සේ අසලම ප්‍රසිද්ධ වැසිකිළිය ඉදිකිරීම ය.

ග්‍රේෂන් සම්මානය ලද තිස්ස අබේසේකර ලියූ Bringing Tony home පොතේ මේ බව සඳහන් කරන අතර ඒ තැන් දෙකේ එදා ප්‍රසිද්ධ වැසිකිළි ඉදිකළේ එතැන ප්‍රසිද්ධ වැසිකිළි බිම ලෙස ජන මනසට කාවද්දා බෝධියේ නමින් ඒ තැන හැඳින්වීම යට කිරීමට බව පෙන්වා දෙයි.

අතීත තතු මෙසේ වෙද්දී අපේ ජාතික විරුවන්ගේ නම් සතුන්ගේ නම්වලට ඈඳීම ගැන ජන විඥානයේ සැකයක සේයා මතුවීම කවර වරදක්ද?

හූනන්ගේ නම් සමග ඈඳුන ජාතික වීරවරු දෙදෙනෙක් වන්නේ හිටිහාමි සහ කිවුලේගෙදර මොහොට්ටාලය. දහඅටේ කැරැල්ලෙන් පසු මේ වීරයන් මරා දමා ඔවුන්ගේ නම් රාජ්‍ය ද්‍රෝහී ලැයිස්තුවට දමා ගැසට් කෙරිණ. එයින් පසු ඒ නම් සඳහන් කිරීමද තහනම් විය. විද්‍යාව නොදත් ඌව වෙල්ලස්සේ නෑයන් කළේ කුමක්ද? ඔවුන් කළේ ළඟම ඇති දේවාලයේ දේව සභා ආභරණ අතර පුටුවක් තබා මරා දැමුණු වීරයාට ඒ පුටුව වෙන්කර ඒ නම දේව යාදින්නට ඇතුළු කිරීමය. දැන් හිටිහාමි කොටබෝව කූනම් බැඳි අලුත් බණ්ඩාර දෙවියෝය. කිව්ලේගෙදර පුංචි අලුත්බණ්ඩාර දෙවියන්ය. විද්‍යාව නොදත් අපේ ඇත්තෝ ඒ නම් රැක ගත්තේ ඒ ආකාරයටය.

පරිසර විද්‍යාඥයන් හූනන් හා සම්බන්ධ කර රකින්න හදන්නේ එබඳු වීරවරයන්ගේ නම්ය. පරිසර විද්‍යාඥයන් සොයා සකසා ගන්නා දේට අඩු ලංසුවක් දිය යුතු නැත. සියලු සතුන් සේම හූනන් ගැන ද සොයා හූනන්ගේ නැත්තේ මොනවාදැයි සොයා ඒවාට ජාත්‍යන්තර වැදගත්කමක් දීම වැදගත්ය.

කෙසේ වෙතත් තවමත් මේ රටේ දුහුනන්, හූනන් දෙස බලන්නේ වැදගත් ආකාරයෙන් නොවන බව මේ සා මහත් විද්‍යාවක් හැදෑරූ අපේ විද්‍යාඥයන් තේරුම් ගන්නේ නම් එය ඔවුන් දැනටමත් ලබා තිබෙන මනා විද්‍යා ඥානය තවත් ඔපවත් කිරීමකට හේතු වනු ඇත. ජාත්‍යන්තර නාමකරණය ගැන අතැඹුලක් සේ දන්නේ යැයි හඟවමින් ජාතික වීරයන්ගේ නම්, හූනන් හා ඈඳීම සාධාරණ යැයි ලියූ ඇත්තෙකු විද්‍යාව නොදත් ජනයා ගැන තම ලිපියේ නම් කර තිබුණේ මෙසේය. ‘හූනන් සහ ළිං මැඩියෝ’

පරිසර විද්‍යාව ගැන අතැඹුලක් සේ දන්නේ යැයි හැඟවූ ඒ වියතාණන්ද දුහුනන් හෙවත් අඩු දැණුම ඇත්තන් හැඳින්වූයේ ළිං මැඩියා නමිනි.
වියතුන් සභා මැද ඉන්න බව පෙන්වමින් වාද කළ ඒ බඩවියතුන් එසේ නම් සෙස්සන් ගැන කතා කම් කිමි.