විශේෂාංග

දුරස්ථභාවය තිතට රකින වැම්පයර්

දුරින් ඉන්න වැම්පයර් නම් ලේ උරා බොන කැලෑ වවුලනුත් මේ ප්‍රතිපත්තියේම ඉන්නවාකියාදෙනවවුලෝමොවුන් අසනීප වුණාම රැහේට එන්නේ නැහැ සෙසු අය හා ගනුදෙනුත් නැහැ
කොරෝනා වසංගතය නිසා වැඩියෙන් ඇඟිල්ල දික්වූ සත්ත්ව විශේෂයක් වේ නම් ඒ වවුලන්ය. ඊට​ හේතුව කොරෝනා වසංගතය වවුලන්ගෙන් බෝ වන බවට මතයක් පැතිර යාමය. කෙසේ වුවද වවුලන් එමගින් නිදහස්වීම හොඳය.

මේ කතාවද වවුලන් පිළිබඳවමය. ඒ නිකන් වවුලන් ගැන නොව හොඳ සුව පුරුදු ඇති වවුලන්ය. කොරෝනා වසංගතය සමග මතුවූ අදහසක් නම් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමය. අප ඔබට මේ කියන්න යන වවුලෝ නම් මිනිසුන් වන අපට වඩා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරති.

මෙම වවුලෝ රෝගී වූ විට සමාජ දුරස්ථභාවය රකිමින් සිය රැහේ සාමාජිකයන් සමග ගනුදෙනු කිරීම නතර කරති. තෝරාගත් වවුල් සාමාජිකයන් පිරිසක් සමග පමණක් සබඳතා පවත්වති. මධ්‍යම ඇමරිකාවේ බෙලීස්හි වසන වැම්පයර් නමැති වවුල් විශේෂය මෙවැනි ආකාරයේ අපූර්ව හැසිරීමක් පෙන්වන බව ඒ පිළිබඳ පර්‌යේෂණය කළ විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

වැම්පයර් යනු ලොව ලේ උරා බොන ක්ෂීරපායී සත්ත්වයාය. පෙර කී පර්‌යේෂණය කළේ ඔහායෝ රාජ්‍ය සරසවියෙහි පර්‌යේෂකයන් කණ්ඩායමක් විසිනි. පර්‌යේෂකයෝ තම පර්‌යේණ වාර්තාව Behavioral Ecology නමැති ප්‍රකට සඟරාවේ පළකර තිබේ.

එම වාර්තාව අනුව ගස් බෙනයක වෙසෙන කැලෑ වවුල් කණ්ඩායමක් තෝරාගෙන උන් එකිනෙකා සමග සබඳතා පවත්වන ආකාරය සොයා ගැනීමට ගස් බෙනවල වවුලන් සමීපයෙහි කුඩා සංවේදක සවිකර තිබේ. තම අධ්‍යයනයේ කොටසක් වශයෙන් පර්‌යේෂණයන් 16 කට තෝරාගත් වවුලන් රසායනික ද්‍රාවණයක් එන්නත් කර තිබේ. එම ද්‍රාවණය අනුව වවුලන් රෝගීව ඇතැයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතිචාර දක්වන්නට පටන් ගැනිණි. එමගින් වවුලන්ගේ චර්යා​වේ වෙනසක් ඇත්දැයි නිරීක්ෂණය කිරීම පර්‌යේෂකයන්ගේ අරමුණ විය. බෙනයේ විසූ වවුලන් සංඛ්‍යාව 31 කි. සෙසු වවුලන් 15 කට ඔවුන්ගේ ප්‍රතිශක්ති පද්ධතියට හානියක් නොවනු පිණිස සේලයින් එන්නත් කිරීමට පර්‌යේෂකයෝ පියවර ගත්හ. පර්‌යේෂකන්ට දැනගැනීමට ලැබුණේ කෘත්‍රිමව රෝගී කරන වවුලන් ඇසුරු කරන කණ්ඩායම සිව් දෙනකුට තරම් සීමා වූ බවය. එසේම මෙම රෝගී වවුලෝ ඉතාම අඩුවෙන් වනයේ එහි මෙහි ගොස් තිබේ. අනෙක් වවුලන් සේ නොව රෝගී වවුලන් නිදිබර ගතියක් පෙන්වා ඇත.

පැය 48 කට පසු එන්නතේ බලපෑම නිමවීමෙන් අනතුරුව රෝගී බව පහවීම නිසා යළි ඔවුන් සමාජ ආශ්‍රයට පැමිණ තිබේ. මෙමගින් පර්‌යේෂකයන් පෙන්වා දෙන්නේ රෝගී වවුලන් මගින් වනාන්තරය තුළ රෝග ව්‍යාප්තවීම බෙහෙවින් අඩු බවය. එයට හේතුව රෝගී වවුලන් නිරෝගී වවුලන් සමග ඉතාම අඩුවෙන් සබඳතා පැවැත්වීමය.

කෙසේ වෙතත් මෙකී වවුලන් තුළ දැකිය හැකි උදාසීන දුරස්ථභාවය අප රෝගී වූ විට තරමක් පැත්තකට වී සිටීම හා සමානය. කොහොම නමුදු මේ වවුලන්ගෙන් අපට දුරස්ථභාවය සහ සාමූහික වගකීම පිළිබඳ උගත හැකි පාඩම් බොහෝය.

වරුණ අබේසේකර