විශේෂාංග

දුම්බර වතු බංගලාවේ අබිරහස

රාත්‍රිය හිමි නිශාචරයන්ට යැයි කියති. නිශාචරයන් සැරිසන රාත්‍රිය බිහිසුණු ය. එබඳු නිශාචරයන් දරුණු වන සතුන්ට හා පක්ෂී වර්ගයන්ට අයත් වුවත් අප මේ කියන්නට යන කතාවේ සැරිසැරූ නිශාචරයන් වූයේ දෙපා සතුන්ය.

දිනය නිවැරදිව කිවහොත් ඒ ඉකුත් 08 වැනි සෙනසුරාදාය. වෙලාව රාත්‍රී 9.15 පසුවෙමින් තිබිණ. පළාත වසා පැතිරී තිබුණේ ඝන අඳුරකි. ඝන අන්ධකාරය මෙගම වැසියන්ට නුහුරු දෙයක් නොවූවද, පළාතේ වැසියෝ දොර අගුල් ලාගෙන නින්දට වැටී සිටියේ පසුදින අලුයමින් නැගිට සුපුරුදු රැකීරක්ෂා සඳහා පිටත් වී යාමේ අරමුණ ඇතිවය. රැහැයියන්ගේ මහා ඝෝෂාව නින්දට බාධාවක් නොවූවත්, හිටිහැටියේ අවට පරිසරය දෙදරවමින් අමුතුම ශබ්දයක් පැතිරී යන්නට පටන් ගැනිණ.

ඒ හඬත් සමග නින්දට වැටී හුන් ගම්මුන් අවදි වූයේ අන්දුන් කුන්දුන් වෙමින්ය. දොර හැරගෙන නිවාසවලින් පිටතට පැමිණි ඔවුහු දැවැන්ත රබර් ගස්වලට මුවා වෙමින් මහා ශබ්දයක් නැගෙන දිශාව බලා පිය ඔසවන්නට වූයේ කුතුහලයෙන් පමණක් නොව, තැතිගත් සිතුවිලි සහිතවය. මේ ආකාරයට කන් කීරි ගස්වන හඬක් රාත්‍රියේ පාළු පරිසරයේ නිහඬ බව සුනු විසුනු කරමින් පැතිරී යන්නට වූයේ දුම්බර සහ කැටේපොළ වතු යායට අයත් එක් කොටසක ය. මින් පෙර කිසිදු දිනෙක අසා නොතිබුණ ඝෝෂාව නැගෙන දිසාව බලා ගම්මුන් ඇදෙන්නට වූහ.

දුම්බර සහ කැටේපොළ වතුයායන් අයත් වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ සබරගමු පළාතේ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි 191 සහ 191 ඒ, යන ග්‍රාම සේවා වසම් දෙකටය. මෙම වතු යාය හෙක්ටයාර් දහසකට වඩා වැඩි ප්‍රමාණයකින් යුක්ත වන අතර තේ සහ රබර් වගාව සරුසාරව එහි සිදු කෙරේ. මෙම වසම් දෙකේ ජීවත්වන පවුල් සංඛ්‍යාව තුන්සිය පනහකට වඩා වැඩි යැයි පැවසෙන අතර දුම්බර සහ කැටේපොළ වතු යාය දෙකෙන් යැපෙන පිරිස හයදහසකටත් අධිකය.

හිටිහැටියේ ඝන අඳුරේ වතු යායේ එක් පෙදෙසකින් නැගෙන්නට වූ මහා ශබ්දය කුමක්දැයි ලියාගෙන යන්නට පෙර මෙම වතු යායේ අතීතය සහ එහි අදටත් පවතින ඓතිහාසික තත්ත්වය සැකෙවින් සඳහන් කිරීම වඩාත් වටින්නේ යැයි මට හැඟේ. මන්ද අද්භූත ජනක අමිහිරි ශබ්දය වටා මෙම වතුයායේ ඓතිහාසික වටිනාකම දම්වැලක පුරුක් මෙන් සම්බන්ධ වී ඇති සැටියක් පෙනෙන්නට තිබෙන බැවිනි.

මෙම වතුයායේ තේ සහ රබර් වගාව අාරම්භ වී ඇත්තේ වර්ෂ 1910 තරම් ඈත අතීතයකදී ය. එකල මෙම වතුයාය සුදු ජාතික පාලකවරුන්ගේ පාලනය යටතේ පැවති අතර දැවැන්ත තේ සහ රබර් කර්මාන්තශාලා දෙකක්ද මේ කාලයේ ඉදි කෙරිණ. මෙම කර්මාන්තශාලා ගොඩනංවන්නට අවශ්‍ය කෙරෙන යන්ත්‍රෝපකරණ කළු ගඟ ඔස්සේ ඔරුපාරු ආදියෙන් ප්‍රවාහනය කරවා දුම්බර තොටුපොළින් ගොඩට රැගෙන විත් තිබේ. අනතුරුව ඇතුන් විසින් ඇදගෙන යන ‘අලි කරත්ත’ නමින් හැඳින් වූ කරත්තවල පටවා මෙම යන්ත්‍රෝපකරණ මහවලවත්ත ප්‍රදේශයේ කර්මාන්තශාලා ඉදිකෙරුණ භූමි භාගය වෙත රැගෙන පැමිණි බව පැරැන්නෝ කියති.

වතුයාය ආරම්භ කළ 1910 තරම් ඈත අතීතයේ දී වතුයායේ පාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා ප්‍රධාන වතු කාර්යාලයක්ද විදේශීය පාලනාධිකාරිය විසින් ගොඩනංවන ලදී. ඒ දුම්බර හතරයි පහ කොටස නමින් හඳුන්වන දුම්බර මහා විදුහල ආසන්න භූමි භාගයේ ය. මෙම වතු කාර්යාලයේ පිහිටි සුදු ජාතික වතු අධිකාරිවරයාගේ කාර්යාලයට යාබද කොටසේ අඩි 6×6 ප්‍රමාණයේ රහස් කොන්ක්‍රීට් කුටියක් බිත්ති ගර්භය තුළ ඉදිකෙරිණි. මෙවැනි කොන්ක්‍රීට් කුටියක් බිත්ති ගර්භයක් තුළ සාදවා එය ඉතා ප්‍රවේශම් සහගත ලෙස පවත්වාගෙන යන්නට සුදු ජාතික වතු පාලකවරුන්ට විශේෂ හේතු තිබෙන්නට පිළිවන. එම හේතු මොනවාදැයි කියන්නට අපි නොදනිමු.

අනෙක් අතට එම කොන්ක්‍රීට් කුටියේ ආරක්ෂිතව තැන්පත් කොට තිබුණේ කිනම් ද්‍රව්‍යයක්දැයි නිශ්චිතව පවසන්නටද නොහැකිය. වර්තමානයේ මෙම වතුයායේ ජීවත්වන වැසියන්ටද එම කොන්ක්‍රීට් කුටිය ‘අබිරහස්’ම විය. කෙසේ වෙතත් බිත්තියක කොන්ක්‍රීට් කුටියක් සෑදවීමත් අනතුරුව එම කුටිය කොන්ක්‍රීට් බදාමයෙන්ම වසා දැමීමත් පිටුපස විශේෂ ‘‘රහසක්’’ නොපවතී යැයි කිසිවකුටවත් තර්ක කළ නොහැකිය.

මෙම කුටිය පිළිබඳ කිසිවක් කියන්නට වතුයායේ ජීවත්වන පිරිස් නොදැන සිටියද, වතුයායේ ඉපිද සුදු ජාතිකයන් යටතේ සේවය කොට වතුයායේම මිහිදන් වූ පැරැන්නන් විසින් කටින් කට වැහැරූ කතාවක් අදත් මෙහි පවතී. එනම් මෙම වතුයායේ කිසියම් ආර්ථික කඩාවැටීමක් හෝ වෙනයම් ආපදාවක් සිදු වුවහොත් වතුයාය යළි ගොඩනංවා එහි සේවක පංතියේ ආර්ථිකය සුරක්ෂිත කිරීමට අවශ්‍ය ධනය සහ අතිශයින් වැදගත් ලියකියවිලි මෙම කොන්ක්‍රීට් කුටියේ සඟවා තබන්නට සුදු ජාතික වතු පාලකවරුන් පියවර ගෙන තිබූ බවයි. ’ධනය’ ලෙස හැඳින්වූ වචනයට රන් භාණ්ඩ, මැණික් අයත් විනැයි සඳහන්ය.

ඉකුත් 08 වැනි සෙනසුරාදා රාත්‍රී 9.15 ට පමණ හිටිහැටියේ මහා ශබ්දයක් පැතිරී යන්නට වූයේ මෙම කොන්ක්‍රීට් කුටිය ඉදිකර තිබූ දුම්බර ප්‍රධාන වතු කාර්යාලය තුළ පිහිටි වතු අධිකාරිවරයාගේ කාර්යාලය තුළින්ය. ඝන අඳුරේ සැඟවෙමින්, රබර් ගස්වලට මුවා වෙමින් මෙම කාර්යාලය පිහිටි භූමිය අසලට ළඟා වූ අවට වාසය කළ පිරිස් සිය උකුසු ඇස් යොමු කරන්නට වූයේ සිද්ධ වන දේ සහසුද්දයෙන් දැක බලා ගන්නටය.

වාහනවලින් පැමිණි දස දෙනකුට ආසන්න පිරිසක් කඩිමුඩියේ බිත්තියේ කොන්ක්‍රීට් බදාම බිඳ දමන්නට වූහ. මේ සඳහා මොවුන් කොන්ක්‍රීට් බිඳ දමන විදුලි යන්ත්‍රයක් යොදාගෙන තිබූ අතර, කන් කීරිගස්වන මහා ශබ්දය නිකුත් වූයේ එම යන්ත්‍රය කොන්ක්‍රීට් තට්ටුව පසාරු කරන වාරයක් පාසා බව සැඟවී සිටි ගම්මුන්ට තේරුම් ගන්නට වැඩි වේලාවක් ගියේ නැත.

ඝන අඳුරු රැයේ වතු අධිකාරිවරයාගේ කාර්යාලයේ රහස් කොන්ක්‍රීට් කුටිය වනසන සාහසිකයන් හමුවට ගොස් ඒ පිළිබඳ විමසන්නට කිසිදු වැසියෙක් එඩිතර නොවූහ. එමගින් සිය ජීවිත අවදානමට ලක්විය හැකි බැවිනි. පොලිස් හදිසි ඇමතුම් අංශයට කතා කොට මෙම අපරාධ මෙහෙයුම පිළිබඳ දැනුවත් කරන්නට පවා ගැමියන් බිය වූහ. මන්ද පැමිණ සිටි පිරිස සහ පොලිසිය අතරේ කිසියම් සබඳතාවක් පැවතියහොත් එය ද සිය ජීවිත අනතුරේ හෙළිය හැකි පියවරක් විය හැකි යැයි උපකල්පනය කළ බැවිනි. එබැවින් සිදුවන සියල්ල ත්‍රාසජනක චිත්‍රපටයක් නරඹන ආකාරයට සැඟවී බලා සිටින්නට ගැමියන්ට සිදු විය.

කෙසේ වෙතත් මෙම අපරාධ මෙහෙයුම සිදුවන මොහොතේ වගකිවයුතු ප්‍රධාන වතු නිලධාරින් ඒ අවට නිල නිවාසවල පසු වූයේ මේ කිසිවක් නොදන්නා ආකාරයෙනි. මුළු පළාතේම නිහඬ බව සුනුවිසුනු කරමින් කොන්ක්‍රීට් විදිනයේ හඬ පැතිරුණද කිසිම නිලධාරියෙක් ඒ පිළිබඳ සොයා බැලීමට එම ස්ථානයට නොපැමිණීම ගම්මුන් සිත් තුළ ඇති කර වූයේ බලවත් සැකයකි.

මෙම වතුයායේ දිගින් දිගටම සිදුවන දූෂණ, අක්‍රමිකතා සහ අත්තනෝමතික සිදුවීම් පිටුපස මෙම නිලධාරින්ද සිටින බව ගම්මුන්ට නොරහසකි. එබැවින් මෙම අපරාධ මෙහෙයුමට මොවුන්ගේ ද ඍජු ආශීර්වාදයක් තිබෙන බවක් ඔවුන්ගේ නිහැඬියාවෙන් ප්‍රත්‍යක්ෂ කෙරිණ. ආරක්ෂක කොන්ක්‍රීට් සේප්පුව සහිත ප්‍රධාන වතු කාර්යාලයේ ආරක්ෂාව භාරව රාත්‍රී කාලයේ මුර සේවකයකු සේවයේ යෙදේ. මෙම මුර සේවකයාට එදින සවස් වෙනකන් රාජකාරියක් පවරා තිබේ. එනම් උසස් වතු නිලධාරියකුගේ පියකුගේ දානමය පිංකම පැවැත්වෙන ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි නිවෙස වෙත ගොස් එහි කටයුතුවලට උදව් ලබා දෙන ලෙසයි. එම නියෝගය අනුව මුර සේවක මහතා මෙදින සවස 6 ට පමණ වතු යායෙන් නික්මී ගල්කිස්සේ පිංකම් නිවස බලා ගොස් තිබේ. එම සැලසුම මෙම අපරාධ මෙහෙයුමේ තවත් එක් ප්‍රබල සාක්කියක් වසන් කිරීමට යෙදූ උපායක් විය.

අපරාධය සිදුවන ගොඩනැගිල්ල ඉදිරිපිට වාහන දෙකකි. ඉන් එකක් කොළ පැහැති මිට්සුබිෂි වර්ගයට අයත් ජීප් රථයකි. අඳුරේ සැඟවී සිටි ගම්මුන්ගේ දෑස් දිවගියේ අපරාධ ස්ථානයට මීටර් 20 ක් තරම් දුරින් පිහිටි ඉහළම වතු නිලධාරියකු වාසය කළ නිල නිවස වෙතය. එහි කිසිදු හැලහොල්මනක් නැත. අඳුරේ සැඟවී සිටි එක් පුද්ගලයෙක් සිය ජංගම දුරකථනයෙන් පොලිස් හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ලබා දුන්නේ ජීවිතයට හානියක් වුවත් මෙම අපරාධය වළකා ගැනීමේ අරමුණ ඇතිවය. එහෙත් ඔහුගේ වෑයම සඵල නොවීය. එහා කෙළවරින් පැවසුවේ ‘කාර්ය බහුල’ බැවින් සම්බන්ධ විය නොහැකි බවකි.

ප්‍රධාන වතු කාර්යාලයේ කොන්ක්‍රීට් සේප්පුව බිඳ දැමීමේ මෙහෙයුම අවසන් වන විට වේලාව රාත්‍රී 11 ට පමණය. කාර්යාලය තුළ සිටි කීප දෙනෙක් ලෝහමය සේප්පුවක් ඔසවා ගෙන පිටතට පැමිණියහ. එම සේප්පු දෙකම පටවන ලද්දේ කොළ පැහැති ජීප් රථයටය. අනතුරුව වාහන ​දෙකට අනෙකුත් ආම්පන්නද පැටවූ පිරිස් වාහන පදවාගෙන ගොස් නතර වූයේ යාබද පිහිටි ඉහළ වතු නිලධාරියකුගේ නිවස අසලය. මෙම නිවස ඉදිරිපිට ඒ වන විටත් බෙන්ස් වර්ගයේ රථයක් නවතා තිබිණ. අඳුර හේතුවෙන් එහි වර්ණය පැහැදිලිව නොපෙනුණද එය ළා කොළ හෝ අළු පැහැයෙන් යුක්ත රථයක් බව පෙනුණි. පැය භාගයක පමණ කාලයක් අපරාධ කල්ලිය මෙම නිවසේ පසු වූහ. අනතුරුව ලෝහමය සේප්පුව රැගත් ජීප් රථය පෙරටු කොටගත් බෙන්ස් රථය ඇල්ල පාලම මතින් නික්මී රත්නපුරය දෙසට වේගයෙන් ධාවනය වන්නට පටන් ගත්තේය.

මෙම අවස්ථාවේ ඇල්ල පාලම අසල තවත් පිරිසක් රැඳී සිටියහ. ඔවුන් පොලිස් නිලධාරින්ය. ‘කොන්ක්‍රීට් අපරාධය’ සිදු වූ ස්ථානයට කිලෝ මීටර් හතරක් දුරින් මෙම පොලිස් කණ්ඩායම රැඳී සිටියේ කිසියම් පිරිසක් බලාපොරොත්තුවෙන් බව පෙනුණි. මෙම නිලධාරින් කිරිඇල්ල පොලිසියට අනුයුක්තව සේවය කරන පිරිසක් බව ගම්මු හඳුනා ගත්හ. සේප්පුව රැගත් ජීප් රථය සහ බෙන්ස් රිය, ඇල්ල පාලම පසු කරද්දීම පොලිස් නිලධාරින් කීප දෙනා වහාම ‘ටාටා සුමෝ’ වර්ගයේ රථයට නැග ගත්හ. අපරාධයට සම්බන්ධ ජීප් රිය හා බෙන්ස් රථය මෙම ස්ථානය පසු කරනවාත් සමග ඒවාට යාමට ඉඩ හැර පොලිස් ජීප් රථයද එම රථ පිටුපසින් ධාවනය වන්නට වූයේ ‘ආරක්ෂාවක්’ සලසන අයුරිනි.

මෙම කතාව නිමා වූයේ ඒ අයුරිනි. මහා රාත්‍රියේ වතු බංගලාවට පැමිණි මොවුන් කවුරුන්ද? කොන්ක්‍රීට් බදාම කඩා ලෝහමය සේප්පුව පැහැර ගෙන ගියේ එහි තිබූ රන් හා මැණික් කොල්ලකා වතු යායට සම්බන්ධ සත්‍ය ලේඛන විනාශ කර දැමීමේ අරමුණින්ද? මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට වගකිවයුතු ආයතන වහාම පියවර ගත යුතු යැයි ගම්මු කියති. මෙම ලිපිය ලියන 10 වැනිදා දහවල් අපට දැන ගන්නට ලැබුණේ කඩා බිඳ දමන ලද කොන්ක්‍රීට් මැදිරිය මේසන්වරුන් යොදවා ලහි ලහියේ පිළිසකර කරන බවකි.

මේ සම්බන්ධයෙන් කිරිඇල්ල පොලිසියට පැමිණිලි කළ බව දුම්බර රජමහා විහාරාධිපති ඌරල වජිරබුද්ධි හිමියන් පවසන නමුත් කිරිඇල්ල පොලිසිය පවසන්නේ එවැනි පැමිණිලිල්ක් ලැබී නොමැති බවය.