විශේෂාංග

දුප්පත් අපගේ බයිසිකලේ පෝසත් අයගේ ගෙදර ගිහින්

මේ මෙරට එෆ් එම් ගුවන් විදුලිවලත් තවමත් ඉඳහිට ඇහෙන ගීතයකි. එය අවුරුදු 60 කටත් එහා උපන් ගීතයකි. එම ගීතයේ ‘දුප්පත් අපගේ බයිසිකලේ’ නමින් කොටසක්ද ඇත. ඒත් ලංකාවේ පුට්බයික් වෙළෙඳපොළේ කරක් ගැසූ අපට පෙනී ගියේ අ වින්ස්ටන් පෝල් පීරිස් අද මේ ගීය ගැයුවේ නම් ඒ කොටස ඉවත් කළ යුතු බවකි.

කොළඹ පාපැදි තොග වෙළෙඳපොළ පිහිටා ඇත්තේ වේල්ල වීදියේය. බොරැල්ල හා මරදානද පාපැදි වෙළෙඳසල් සඳහා නම් දරා ඇත.

ලංකාවේ ඒ කාලේ සිට නම් දැරූ බයිසිකලය‘රැලේ’ය. එමෙන්ම හම්බර්, හර්කියුලිස් වැනි බයිසිකල්ද තවමත් ජනතාවගේ මතකයේ රැඳී ඇත. චීනයේ සිට අසුව දශකයේ පාපැදි ආනයනයට අත ගැසුවේ සතොස ආයතනයයි. ෆ්ලයින් පිජන් (Flying Peogen) හා ෆීනික්ස් (Phonex) ලංකාවේ වඩාත් ප්‍රචලිත වූ පාපැදි වර්ගයි. 1980 දී ලංකාවේ සාමාන්‍යයෙන් පාපැදියක මිල ඩයිනමෝ එක සහ ලොකු ස්ටෑන්ඩ් එක, ලොක් එක නැතිව රුපියල් 900 කි. වසර 39 කට පසු අද මෙම බයිසිකලයක මිල රුපියල් 19,000 ක් බව කිවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. මේ බයිසිකල්වලට කියන්නේ ස්ටෑන්ඩර්ඩ් බයිසිකල් කියාය. නමුත් වෙළෙඳපොළ තුළ දැන් වඩාත් ජනප්‍රිය මවුන්ටන් නමැති මොඩලයේ පාපැදිය.

ආසියාවේ රටක මුල්ම වරට තැපැල් ගෙන යාමට මේල් රථයක් භාවිතය අාරම්භ කරන ලද්දේ අපේ මේ සිලෝන් නමැති රටය. ඒ මීට වසර 187 කට පෙර 1832 දීය. පාපැදි ගැන කියන්නට ගොස් මේල් රථයක් ගැන කියන්නට ගියේ ඇයිදැයි ප්‍රශ්නයක් මෙතැනදී ඔබටද පැනනැගිය හැක. ඊට හේතුව ගමනාගමනයේ නව පිටුවක් පෙරළමින් හාපුරා කියා ලංකාවේ මංමාවත් දියුණුවට මං සැලසුවේ මේ මේල් රථ සේවය නිසාය.

ලංකාවේ පාපැදියේ ආගමනයට වඩා ඉතිහාසයක් රික්ෂෝවට ඇත. පාපැදි මෙන්ම රික්ෂෝද අපට ආවේණික වාහන නොවේ. ලංකාවට රික්ෂෝ භාවිතය පැමිණි අන්දම එවකට ‘සිලෝන් ඔබ්සවර්’ පත්‍රයේ කතුවර ජෝන් පර්ගියුසන් ලියූ ‘‘1903 ලංකාව’’ නමැති ග්‍රන්ථයේ ඇත. එහි පාපැදි ගැන ඇත්තේ මෙවැනි සටහනකි.

‘‘කොළඹ නගරයේ ජනාකීර්ණ වීදි හා එහි වැසියන් නැරඹීමට පහසුම ක්‍රමය විදුලි බල ට්‍රෑම් සේවයට වඩා පාපැදියයි. වෙසෙසින් ජපානයේ හා ඈත පෙරදිග භාවිත අපූර්වතම පාපැදි මනරම් දසුනකි.’’

මුල්කාලීන ලේඛනවලින් පැහැදිලි වන්නේ කොළඹ නගරය තුළ 1950 මැයි 10 වැනි දින රික්සෝ තහනම් කිරීමේදී ඒ සඳහා විකල්පය ලෙස හඳුන්වා දී ඇත්තේ පාපැදි ට්‍රයිෂෝ නමැති රථ විශේෂය බවය. එදා කොළඹ නගරයේ නම් ඇති රික්ෂෝ ප්‍රමාණය 4000 ඉක්මවන බව පෙනෙන්නේ ඒවාට නිකුත් කළ බලපත්‍ර ලේඛනය පිරික්සීමේදීය. නමුත් කුලි මොටෝරිය සමග තරග වැදීමට මෙම පාපැදි ට්‍රයිෂෝව සමත් වූයේ නැත.

වේල්ලවීදියේ පාපැදි තොග අලෙවිකරුවන් අපට පවසා සිටියේ පාපැදි දැවැන්ත ලෙස අලෙවි වූයේ එල්ටීටීඊ ප්‍රශ්නය උතුරේ තිබුණ අවස්ථාවේ බවය. ඊට හේතුව එකල පෙට්‍රල් හෝ ඩීසල් උතුරේ නොමැති වීමය. එකල පාපැදිවල විදුලිබලය නිකුත් කරන ඩයිනමෝ සඳහා දැඩි ඉල්ලුමක් තිබී ඇත.

‘‘ඒ කාලේ ජැෆ්නාවලට ඉලෙක්ට්‍රසිටි නැහැ. පුෂ්බයික් එක මුනින් අතට හරවලා ඩයිනමෝ එක ඔන් කරලා එ්කේ වයර් දෙක රේඩියෝ එකේ ගැටගහනව. පවුලෙ අය මාරුවෙන් මාරුවට පැඩල් එක කරකවලා ‘නිව්ස්’ එහෙම අහනවා. ‘බට්ටෝ’ කියන බෝම්බ හදන නිසා ඒ කාලේ බැටරිත් තහනම්.

ඒ කාලේ නම් දරාපු බයිසිකල් දැන් වෙළෙඳපොළේ තිබේදැයි සෙවූ අපට ඔත්තුවක් ලැබුණේ ‘රැලේ’ බයිසිකල් තවමත් ලබාගත හැකි ආයතනයක් ඇති බවය. පුංචි බොරැල්ල ප්‍රදේශයේ එම ප්‍රදර්ශනාගාරයට ගිය අපට රැලේ බයිසිකලයක මිල ඇසූ විට හුස්ම වැටෙන්නට වූයේ නැත. බයිසිකලේ මිල දැන් රුපියල් 85,000 කි. මේ මිලට බයිසිකල් ගන්නවා දැයි අප ඇසූ විට අලෙවි නිලධරයා පවසා සිටියේ කලින් දිනද බයිසිකල් 3 ක් අලෙවි වූ බවය.

ජපානයේ භාවිත කළ සෙකන්ඩ් හෑන්ඩ් බයිසිකල් මිල ගණන් බලන්නටද අප අමතක කළේ නැත. මහරගම මෙවැනි ආයතනයක් අපට කිව්වේ රුපියල් දහතුන්දාහේ සිට බයිසිකල් ඇති බවය. නමුත් එම මිලට තිබුණේ කුඩා දරුවන් පදින පාපැදියකි. තුන්කාල ප්‍රමාණයේ ජපානයේ භාවිත කළ පාපැදියක මිල රුපියල් දාහත්දහසත්, හතළිත් දහසත් අතර විය. ඒ හැම බයිසිකලයකම බඩු දාන කුඩයක් වූ අතර හරහට පොල්ලක් ඇති පිරිමි බයිසිකල් තිබුණේ කලාතුරකිනි.

ලංකාවේ වෙළෙඳපොළ තුළ ගල්ටයර් ඇති පැපැදි ද ඇති බව අපට ඒත්තු ගියේ මේ ගමනේදීය. ඒවා ඉතාලියේ භාවිත කරන ලද ඒවාය. අප දකින බයිසිකලේ මෙන් කොග්වීල් එකක්, ෆ්‍රීවීල් එකක් හෝ චේන් එහි දක්නට නොවීය. ඉදිරිපස කූඩයක් තිබූ අතර එහි අඩියේ වූයේ සූර්ය බල පැනලයකි. බයිසිකලයේ පාකින් ලයිට්, බයිසිකලයේ ලයිට් සියල්ල සඳහා බැටරියක් චාර්ජ් වීම එම සූර්ය තාප පැනලය මගින් සිදු විය. තිරිංග පද්ධතියද අමුතුම එකකි. එහි කේබල් හෝ කම්බි දැකගන්නට නැත. බයිසිකලයක මිල රුපියල් 17,00 – 45,000 දක්වාය.

‘‘මේ බයිසිකල්වලට කියන්නේ ලයිෆ්ටයිම් මේන්ටෙනස් ෆ්‍රී (ජීවිත කාලයටම නඩත්තුව අනවශ්‍යයි) කියලා. හැබැයි ලංකාවේ අයියල නම් අපිට ෂුවර් තව ටිකක් කල් ගියාම ටයර් එකක් කපලා හරි මේකට ටයර් එකක් දායි’’ යි. එම ඉතාලියේ බාවිත බඩු බඩු අලෙවි කරන නිලධාරියා අප සමග පැවසීය.

පිටකොටුවේ පාපැදි තොග වෙළෙඳපොළට දැන් අලුතින් පැමිණ ඇත්තේ දෙදෙනකුට එකවර පැදිය හැකි බියිසිකල්ය. චීනයේ නිෂ්පාදිත මෙම බයිසිකලයක මිල රුපියල් 35,000 කි. ඉංගිරියේ ජපන් බඩුම අලෙවි කරන තැනක මෙම ජපන් බයිසිකලය අලෙවියට ඇත. එහෙත් එය චීන නිෂ්පාදනයට වඩා තාක්ෂණික අතින් ඉහළ නිෂ්පාදනයක් බව පෙනේ. ජපන් අය හිස පලඳින තොප්පිය රැඳවීමටද එහි කොටසක් ඇත. ජපන් ලිය විලාසිතාවලින් විසුතුරු වී ඇති මෙම බයිසිකලයක මිල රුපියල් 55,000 කි.

ලංකාවේ කලකට ඉහත පාපැදි සඳහා එන්ජින් තැබීමේ ව්‍යාපාරයක්ද දැකගත හැකි විය. ස්ටෑන්ඩර්ඩ් බයිසිකලයක් දුන් විට එන්ජිමක් සවි කිරීමට අයකළ ගාස්තුව රුපියල් 18,000 කි. එන්ජිම පාපැදිය කොතරම් වේගයෙන් ඇදගෙන ගියාදැයි කිවහොත් සතියකට කීප විටක් බ්‍රේක්පලු දමන්නට සිදු විය.

හීරෝ කියූ සැනින් අපේ මතකයට එන්නේ ඉන්දියන් මෝටර් සයිකල් වර්ගයකි. ජපානයේ හොන්ඩා බයිසිකල් කොම්පැනිය සමග තාක්ෂණික සහයෝගිතාවෙන් ලංකාවේ වෙළෙඳපොළට ආවේ මුලින් ‘හීරෝ හොන්ඩා’ මෝටර් සයිකල්ය. එහෙත් මේ ‘හීරෝ’ මව් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය පාපැදි නිෂ්පාදනය බව ඇසුවොත් ඔබ මවිතයට පත්වනු ඇත.

2008 දී යුරෝපා සංගමයේ බයිසිකල් ගැනුම්කරුවන් අතරින් හතරවැනි තැන දිනාගෙන සිටියේ ලංකාවයි. බයික් යුරෝප් නමැති බයිසිකල් වෘත්තිකයන්ගේ වෙබ් අඩවිය වාර්තාකොට තිබුණේ ලංකාවට බයිසිකල් ලක්ෂ හතක් ඒ වසරේ අපනයනය කර තිබූ බවය.

පාපැදි ලයිසන් කළ යුතු බව අද බොහෝ දෙනාට අමතකව ඇති කරුණකි. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ 1919 කතා කර පාපැදි ලයිසන් කරන හැටි ගැන විමසුවෙමු. ටික වේලාවක් අපට ලැබුණු පිළිතුර වූයේ පාපැදි ධාවනයට අවශ්‍ය ඩ්‍රයිවින් ලයිසන් නිකුත් කරන රාජ්‍ය ආයතනයක් ගැන දත්ත එකතුවක් තමන් සතුව නැති බවය. ඒත් ඒ නිලධාරින්ම ඉන්පසු පාපැදි ලයිසන් කරන බව කියා කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංකය දුන්නේය.

කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපට දැනුම් දුන්නේ එන්ජින් ධාරිතාව මත ලයිසන් එකක් ගත හැකි බවය. ඒත් අප ලයිසන් ඉල්ලන්නේ එන්ජිමක් නැති ඇඟේ බලෙන් ක්‍රියා කරන පාපැදියකට බව කියූ විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අපට කීවේ තමන් ඒවා ලයිසන් කන එක නවත්වා ඇති බවය.

අන්තිමට අපට කොළඹ පාපැදි ලයිසන් කරන තැන සොයා දුන්නේ පිටකොටුවේ ග්‍රාමසේවකතුමාය. මේ තැන පිහිටියෝ කොළඹ නගර සභාවේ නාගරික භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේය. පාපැදියට ලයිසන් ගන්නට මුදල් බැඳිය යුත්තේ ආදායම් අංශයටය. බලපත්‍ර ගාස්තුව රුපියල් 100 කි. මේ වසරටම කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ලියාපදිංචි කොට ඇති පාපැදි නොහොත් පුට් බයික් ගණන 02 ක් පමණකි. ලංකාවේ ඇති පාපැදි සංඛ්‍යාව ගැන මහ බැංකුවේ හෝ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ කිසිදු ලේඛනයක් නැත.

ලංකාවේ ඉන්ටනැෂනල් කොලිජි ළඟ මෙන් ආණ්ඩුවේ ලොකු ඉස්කෝල අසලද උදේට, දවල්ට දැඩි වාහන තදබදයක් ඇත්තේ එක් ළමයාට එක් වාහනය බැගින් එන නිසාය. වරක් රුපවාහිනී වැඩසටහනක ජපන් අධ්‍යාපන විශේෂඥයකු පවසා සිටියේ ජපානයේ වාහනයකින් දරුවකු පාසලට ඇරලීම සිවිල් වරදක් බවය.

ලංකාවේ අධිමිල පාපැදි වෙළෙඳපොළේ අප කරක් ගැසුවේ ඉන්පසුවය. ඒ අතරින් බියෙන්චි, ෆිනරිලෝ හා ජයන්ට් නමැති පාපැදි ඉතාලි නිෂ්පාදනයන්ය. කැරල්වෙල් පාපැදි මව් සමාගම ඇමෙරිකාවේය. මෙම පාපැදි ලංකාවට එන්නේ මැලේසියාවේ හා තායිවානයේ එසෙම්බල් නොහොත් එකලස් කළ නිෂ්පාදන ලෙසය. මේ පාපැදියක සාමාන්‍ය ජනතාවට දැරිය හැකි අඩු මිල වන්නේ ලක්ෂ 18 ක් වැනි සොච්චම් මිලකි. මේ පාපැදි අලෙවි කරන බම්බලපිටියේ නියෝජිතයකු අප සමග කීවේ ඇමෙරිකාවෙන් හෝ ඉතාලියෙන් කෙලින්ම මේ පාපැදියක් ආනයනය කළහොත් එහි මිල ලක්ෂ විසිපහ ඉක්මවන බවය.

කැමරාව ආවට චිත්‍ර ශිල්පයද, රූපවාහිනිය ආවට සිනමාවද, මුහුණු පොත ආවට පුවත්පත්ද වළපල්ලට ගියේ නැත. එමෙන්ම මොන මෝටර් සයිකල්, වාහන ආවත් පොදු ජනතාවගේ හිතමිතුරා වන පාපැදිය නම් ‘වඳ වි නොයන’ අයිතමයක් බව අවසානයේ අපට ඒත්තු යන්නට විය. ජපානය වැනි රටවල තවමත් වයස අවුරුදු සියය ඉක්මවූ සීයලා ආච්චිලා සිනාසෙමින් පාපැදියේ යන්නේ මේ පරම සත්‍ය තේරුම් ගත් නිසා විය යුතුය.

වජිර ලියනගේ