අතන මෙතන

දීමනාව ගන්න ගිහින් මහමග වැටී මියගිහින්

මාබිම, වක්කඩවෙල පොදු සුසාන භූමිය ආසන්නයේ වසා ඇති වෙළෙඳසලක් අසල වැටී සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් පෙරේදා (25 වැනිදා) උදේ හමුවී තිබේ. මොහුගේ හිසේ ලේ ගලන තුවාලයක්ද තිබිණි.

මොහු බියගම කීර්ති මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි එච්. පී.පේමසිරි කල්දේරා නමැති 82 හැවිරිදි එක් දරු පියකු බවට හඳුනා ගැනිණි.

මොහුගේ මරණ පරීක්ෂණයේදී සපුගස්කන්ද පොලිසියේ සැරයන් ජයරත්නගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් මියගිය තැනැත්තාගේ පුත් එච්. පී.රත්නසිරි කල්දේරා මහතා (53) සඳහන් කළේ ඉකුත් 23 වැනිදා පියා වැඩිහිටි දීමනාව ලබාගැනීම සඳහා නිවෙසින් පිටවී ගොස් තිබෙන බවයි. නමුත් තාත්තා ආපසු නිවසට පැමිණියේ නැති බවත් තාත්තා මියගොස් සිටින බව දැන ගැනීමට ලැබුණු බවත්ය.

සාක්කි සටහන් කරගනු ලැබූ හදිසි මරණ පරීක්ෂකවරයා මළසිරුර පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කරන ලෙසට පොලිසියට නියම කළ අතර ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී නැති බවට තහවුරු විය.

ඉසුරු අසංක – සපුගස්කන්ද