විශේෂාංග

දිවි මකුළුවා සුරතල් සතෙක්

අපි සැම දෙනෙකුම පාහේ දිවි මකුළුවාට බියය. දිවි මකුළුවා කී විට අප දන්නේ ගස්වල සිටින එම මකුළු විශේෂය වන අතර උන් දෂ්ට කළ විට මරණය පවා සිදුවිය හැකි බව අපගේ විශ්වාසයයි. යම් හෙයකින් දිවි මකුළුවකු දෂ්ට කළහොත් මකුළුවා සිය අඬු දිගහරින, හකුළන විලසින්ම අත්පා හකුළුවාගෙන ගුලි ගැසී වේදනා විඳීමට සිදුවන බව අපි සිතා සිටිමු. දිවි මකුළුවා ගැන මේ සියල්ල සත්‍යද? එක හෙළාව දිය හැකි පිළිතුර ‘නැත’ යන්නය. ‘නැත්ත’ ගැන අප දැන සිටියද ‘ඇත්ත’ ගැන යන්තමින්වත් අප දන්නා බවක් නොපෙනේ.

දිවි මකුළුවාද වෙළෙඳාම නිසා තර්ජනයට ලක්ව ඇති සතෙකි. මේ වසරේ මැයි මාසයේ පැවැත්වෙන CITES පාර්ශ්වකරුවන්ගේ 18 වැනි සම්මේලනයේදී II වැනි උප ලේඛනයේ සිට I උපලේඛනයට දිවි මකුළුවා එකතු කර ඇත. දිවි මකුළුවා ගැන අප වැඩි දෙනෙකු නොදන්නා ‘ඇත්ත’ ගැන අප කතා කළේ දිවි මකුළුවන් පිළිබඳ පුළුල් දැනුමක් ඇති

පර්ෙ ය්ෂකයකු වන රනිල් නානායක්කාරගෙනි.
‘‘ලංකාවේ අපේ හුඟක් අය හිතාගෙන ඉන්නෙ දිවි මකුළුවාගේ දෂ්ටය මාරාන්තික විෂ සහිතයි කියලා. ඒ වගේමයි දිවි මකුළුවො කිව්වාම අපි දන්නේ ගස්වල එහෙම ඉන්න විශේෂය ගැන විතරයි. ඒත් සමහර ගම්වල ‘බුල්ස් ස්පයිඩර්’ලත් දිවි මකුළුවා හැටියට සිතාගෙන ඉන්නවා. නමුත් ඒ ඇත්ත සතුන් ටයියලවොක් කියන පවුලට අයිති අය…’’

‘‘යම් හෙයකින් දිවි මකුළුවෙකු දෂ්ට කළද එම තැනැත්තාගේ මරණය නම් සිදුවන්නේ නැත. එනම් එම විෂ මාරාන්තික නැත. මේ දිවි මකුළුවකු දෂ්ට කළත් ඒ හේතුවෙන් මරණය නම් සිදුවන්නේ නෑ. හැබැයි ඇදුම වගේ රෝගී තත්ත්ව තිබේ නම් ශාරීරික දුර්වලකම්, උණ, ඉදිමුම, වේදනාව වගේ ලක්ෂණ ඇතිවෙනවා. ඒ කියන්නෙ මේ තත්ත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. අපේ රටේ වගේ නෙවෙයි, වෙනත් සමහර රටවල දිවි මකුළුවා සුරතලයට ඇති කරනවා. උන් තර්ජනයට ලක්වෙලා ඉන්නෙත් ඒ නිසා. ඒ රටවල මිනිස්සු මේ සතුන් අතපත ගනවා, ඇඳේ තියාගෙන ඉන්නවා. දෂ්ටකාරීම වුණත්, අද වනතෙක් ලෝකයේ කිසිම රටකින් දිවි මකුළු දෂ්ටය නිසා මරණ සිදුවී ඇතැයි වාර්තා වෙලා නෑ…’’

එලෙස දිවි මකුළුවා සුරතල් සතෙකු ලෙස ඇති කිරීමට උන්ගේ ඇති විචිත්‍රවත් බව හේතු වී තිබේ. දිවි මකුළුවාගේ පැවැත්මට තර්ජනයක් එල්ල කර ඇත්තේද උ‍ගේ එම ලස්සනමය. මේ තර්ජනය කොපමණද යත් අද වනවිට දිවි මකුළුවා යනු ‘වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති’ යනුවෙන් වර්ගීකරණය වී තිබෙන සතෙකි.

‘‘සාමාන්‍යයෙන් වැඩුණු දිවි මකුළුවෙකු පීරිසියක් තරම් විශාලයි. ඒ කියන්නෙ උගේ අඬු දිගහැරිය විට සතුන්ගේ ප්‍රමාණය අනුව මේ සතුන් හරිම ලස්සනයි. මතුපිට පැත්ත කළු, සුදු, දුඹුරු වගේ පැහැයනුත්, යට පැත්ත කහ, කළු වගේ පැහැයනුත් ගන්නවා. මේ වර්ණ ඒ ඒ විශේෂ අනුව වෙනස්. ඇත්තටම මේ සතුන්ට තර්ජනයක් වෙලා තියෙන්නෙත් ඒ ලස්සන. අද වනතෙක්ම poecilotheria කියන ගණයට අයත් දිවි මකුළුවා වාර්තා වෙන්නෙ ශ්‍රී ලංකාවෙන් සහ ඉන්දියාවෙන් පමණයි. නමුත් වනජීවී හා වෘක්ෂලතා ආඥාපනත යටතේ මේ සතුන් සුරක්ෂිත නෑ. එහෙම වුණත් වෙළෙඳාම් කිරීමට CITES මගින් බලපත්‍ර නිකුත් කරන්නේ නෑ. එය මේ සතුන් සංරක්ෂණය වෙනුවෙන් බලපානවා…’’ අවසර ඇතිව දිවි මකුළුවන් රටින් පිට කිරීමට හැකියාව නැතත් හොර රහසෙන් මේ සතුන් රටින් පිට කිරීම සිදුවේ. ඒ බොහෝදුරට විදේශිකයන් මගිනි.

‘‘ගම්වලදී හුඟක් වෙලාවට වෙන්නේ විෂ සහිත සතුන් ලෙස සලකා දිවි මකුළුවන් විනාශ කිරීම. සමහර අය ගම්වලට ගිහින් මේ සතුන් අල්ලගෙන යනවා. ඇතැම් අය මේ සතුන් විකිණුවා. හුඟක් වෙලාවට මෙවැනි තත්ත්වයක් තිබුණේ 1980-1990 ගණන්වලදි. ඒ කාලයේදි මේ සතුන් සෑහෙන්න රටින් පිට ගියා. එහෙම ගෙනියන සතුන් පිටරටවලදි බෝ කරලා වෙළෙඳාමත් සිදුවෙනවා…’’

ජාවාරම්කාරී වෙළෙඳාම නිසා මේ සතුන්ට තර්ජන එල්ල වී ඇති නමුත් CITES හි ලැයිස්තුගතව සිටීම නිසා එම දත්ත ලබාගැනීමට හැකි විය. සංරක්ෂණය සඳහාද එය බලපෑවේය. කොහොමටත් මේ සතුන් වෙළෙඳාම සඳහා ශ්‍රී ලංකාවෙන් අවසර නොලැබේ. නව යෝජනා මගින් CITES I ලේඛනයේ ලැයිස්තුගත වීමත් සමග අපේ දිවි මකුළුවාට දැනට වඩා ආරක්ෂාවක් ලැබෙනු ඇත. එය දැනට මෙම වෙළෙඳාම් කරන රටවලටත් බලපාන තත්ත්වයකි.

‘‘දිවි මකුළු වර්ග 7ක් මෙරට හමුවෙනවා. ඔවුන් ගස්වල, ගස් බෙන වැනි විවිධ වාසස්ථානවල සිටිනවා. මිනිසුන් විසින් මරා දැමීමටත් වඩා විශාල තර්ජනයක් මේ සතුන්ට ඇතිවෙලා තියෙන්නෙ වනාන්තර විනාශය නිසා. ඉහළ කඳුකරයේ වගේම මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, වියළි කලාපයේත් ආදී වශයෙන් මේ විශේෂ ඒ ඒ පරිසර පද්ධතීන්වල හමුවෙනවා. මගේ පර්යේෂණ කණ්ඩායම උතුරු පළාත්වලිනුත් විශේෂයක් සොයාගත්තා. යුද්ධයට පසුව උතුරු පළාතේ කැලෑ කැපීම සිදුවුණා. අපි ඒ විශේෂය සොයාගත් ස්ථානයේ අද තියෙන්නේ ඇඟලුම් කම්හලක්. 1996දී හාරගම ප්‍රදේශයෙන් විශේෂයක් සොයාගත්තා. එතැන බලන්න සංචාරකයෝ පවා ගියා.

පසුව ඒ පොල්වත්ත විනාශ කළා. දිවි මකුළු විශේෂය වඳවෙලා ගිහින් කියල විශ්වාස කළේ. නමුත් මාතලේ නකල්ස් ප්‍රදේශයෙන් හමුවුණා.’’
මානව ක්‍රියාකාරකම්වල බලපෑම් හේතුවෙන් මෙරට හමුවන සෑම දිවි මකුළු විශේෂයක්ම මේ වනවිට තර්ජනයට ලක්ව ඇති සතුන් බවට පත්ව සිටී. සාමාන්‍යයෙන් දිවි මකුළුවාගේ ගැහැනු සතෙකු අවුරුදු 15ක පමණ ජීවිත කාලයකට හිමිකම් කියයි. පිරිමි සතෙකුගේ ජීවිත කාලය අවුරුදු 2කට පමණ සීමා වේ. එම කෙටි ජීවිත කාලය තුළ පිරිමි සතුන් වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලියට දායක වේ.

‘‘මේ සතුන් එකම පරිසර වාසස්ථානයක, උදාහරණයක් හැටියට ගසක නම් ගහේ බෙනවල, කුහරවල ඉහළ සිට පහළට ගැහැනු සතුන්, පැටවුන් ආදී වශයෙන් විවිධ ස්ථරවල ජීවත් වෙනවා. පිරිමි සතුන්, ගැහැනු සතුන් සොයා යනවා. මම වසරකට විතර කලින් පර්යේෂණ කර දිවි මකුළුවන් හමුවූ ස්ථාන ඊට වසරකට පසුව බලන විට එක්කෝ ඒ ගස් පුළුස්සා දමලා, නැත්නම් කපා දමලා විනාශ කරලා.

ඇතැම් විශේෂවලට දුර ගමන් කිරීමේ හැකියාව නෑ. ඉතා සීමිත වපසරියකට උන්ගේ වාසස්ථාන සීමා වෙනවා. මේ තත්ත්වයත් එවැනි විශේෂ තර්ජනයට ලක්වීමට හේතුවක්.’’
කෙසේ වුවද දිවි මකුළුවා යනු මේ වනවිට තර්ජනයට ලක්වූ සත්ත්වයෙකි. ඒ තර්ජනයෙන් 90%ක්ම එල්ල වන්නේ මිනිසුන් වන අපෙනි. තලගොයින්, කුරුල්ලන් වැනි සතුන්ට ගොදුරු වීම හැරුණු විට දිවි මකුළුවන්ට විලෝපිකයන්ගෙන් හිරිහැර අඩුය. ඊට වැඩි තර්ජනයක් සැමවිට කැලෑ කැපීම හා පරිසර විනාශය හේතුවෙන් එල්ල වේ.
‘‘මන්නාරමේ කළ පර්යේෂණවලදී ‘හනුමා විලසුමිකා’ කියල දිවි මකුළු විශේෂයක් සොයා ගත්තා. මේ විශේෂය දකුණු ඉන්දියාවේ රාමේශ්වරම ආසන්නයෙන් හමුවී තිබෙනවා. වසර 1000කට පමණ පෙර පැවති ගොඩබිම් සම්බන්ධය මොන ආකාරයේද කියල මෙයින් පැහැදිලි වෙනවා. හනුමා පාලම හරහා ඒ සම්බන්ධය තිබිල තියෙනවා. නමුත් අද වනවිට එම විශේෂයද වාර්තා නොවන තරම්.’’

වනජීවීන් යනුවෙන් පැවසූ විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවන්නේ අලි, කොටි, වලසුන් වැනි සතුන් විදිහටයි. දිවි මකුළුවන්, කටුස්සන් වැනි කුඩා සතුන් ගැන බොහෝ විට සැලකිල්ලට ලක් නොවේ.

‘‘ඒත් මෙවර CITES සමුළුවේදී දිවි මකුළුවන්, අං කටුස්සන් වැනි කුඩා, ඒත් තර්ජනයට ලක්ව ඇති සතුන් සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් වැදගත් යෝජනා ඉදිරිපත් වීම අපි ඉතා සුබවාදීව දකිනවා.’’

මෙවර සැබෑ වුවමනාවක් සහිතව මේ වෙනුවෙන් කැපවී ක්‍රියා කරන පිරිසක් සිටීම වන සතුන්ට ආදරය කරන කාගේත් සතුටට හේතු වනු ඇත. එමෙන්ම එම ප්‍රයත්නය වඳවී යාමේ තර්ජනයට පවා ලක්ව ඇති තවත් ජීවී විශේෂ කිහිපයක පැවැත්ම ආරක්ෂා කිරීම පිණිසද වනු ඇත.

ධම්මික සෙනෙවිරත්න