කතුවැකි

දිල්ලියේ විෂ දුමාරය ලංකාවටත් හමයිද?

ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලි නුවර ගෑස් කුටීරයක් බවට පත්වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කර තිබුණි. ගෑස් කුටීර යැයි කී විට සිහිපත් වන්නේ හිට්ලර් යුදෙව්වන් සමූල ඝාතනය කිරීම සඳහා භාවිත කළ ගෑස් කාමරය. දිල්ලි අගනුවර මෙම ගෑස් කාමරවලට සමාන කෙරුණේ එහි වායු දූෂණය භයානක ලෙස ඉහළ ගොස් තිබීම නිසාය. තවමත් මේ තත්ත්වය මුළුමනින්ම පහව ගොස් නැත.

මේ නිසා දිල්ලි ජන ජීවිතය සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ ව ඇති අතර දිල්ලිය වෙත කෙරෙන ගුවන් ගමන් පවා අවලංගු කිරීමට සිදුව තිබේ. මේ භයානක තත්ත්වය පහව යන්නට තවත් කලක් ගතවනු ඇත.

වාතයේ පිරිසුදුකම ගණනය කරන වායු තත්ත්ව දර්ශකයට අනුව මිනිසාට ජීවත් වීමට සුදුසු වන්නේ එම දර්ශකයේ ඒකක 50 ට අඩු නගරවල පමණය. මේ වන විට දිල්ලියේ එම අගය ඒකක 400 ද ඉක්මවා ඇත. එසේ වුවත් දිල්ලිය ඇත්තේ ඉන්දියාවේ වායු දූෂණය ඉහළම අතරින් පළමු ස්ථානයේ නොව 14 වැනි ස්ථානයේය. ඉන්දීය වාර්තාවන්ට අනුව සමස්ත ඉන්දියාවෙන්ම වායු තත්ත්ව දර්ශක ඒකක 50 ට අඩුවෙන් ඇත්තේ නගර 04 ක් පමණකි.

වෙනත් අන්දමකින් කියන්නේ නම් මේ නගර 04 හැරුණු විට අනෙකුත් ඉන්දීය නගර ක්‍රමයෙන් මිනිසා රෝගියකු කරන ඔහුගේ මරණය ඉක්මන් කරන නගර බවට පත්ව තිබෙන බවය.

මෙය ඉන්දියාවට පමණක් නොව සමස්ත ආසියාවටම මුහුණ දීමට සිදුව ඇති අභියෝගයකි. ලොව වායු දූෂණය වැඩිම නගර සියල්ලම ඇත්තේ ආසියානු කලාපයේය. ඉන්දියාවට අමතරව පාකිස්තානය, බංග්ලාදේශය, චීනය වැනි රටවල නගර ඒ අතර වේ. චීනයේ බෙයිජිං අගනුවර වායු දූෂණය ඉහළම නගරය බව බොහෝ දෙනා සිතුවත් මේ වන විට දිල්ලියේ වායු දූෂණය බෙයිජිං තත්ත්වය මෙන් හත් ගුණයකටද වඩා වැඩිය.

ශ්‍රී ලංකාවේ අපට ඉන්දියාවේ අගනුවර වායු දූෂණය වැදගත් වන්නේ මේ නිසාය. ආසියාවේ හෝ දකුණු ආසියාවේ නගරවල පරිසර දූෂණය හා සසඳන කල මෙරට නගර තවමත් පිරිසුදුය. එහෙත් අප මේ අනතුරට ලක්ව නැතැයි ඉන් කියැවෙන්නේ නැත.

ආසියාව පරිසර දූෂණයේ ගොදුරක් බවට පත්ව ඇතත්, පරිසර දූෂණයේ පියවරුන් වන්නේ දියුණු යැයි කියන රටවල්ය. ඔවුන්ගේ සංවර්ධනයට පින් සිදුවන්නට දැන් සමස්ත ලෝකයටම වායු ගෝලය උණුසුම් වීම නිසා සිදුවන පාරිසරික වෙනස්කම්වලට, ස්වාභාවික විපත්වලට මුහුණ දෙන්නට සිදුව තිබේ. එහිදී වැඩි අවදානම ඇත්තේ ආසියානු කලාපයටය.

එසේ තිබියදී දැන් ඔවුන් පරිසරය රැක ගන්නැයි අපටම උපදෙස් දෙමින් සිටී. ආසියාව කාලගුණ විපර්යාස නිසා ඇතිවන ජල ගැලීම්වල ගොදුරක්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පසුගිය දිනෙක ප්‍රකාශ කළේය. මේ නිසා ආසියානු රටවල් ඔවුන්ගේ ගල් අඟුරු ඇබ්බැහියෙන් මිදිය යුතු බවද ඔහු කියා තිබේ. ගල් අඟුරු දහනය පරිසර දූෂණයට විශේෂයෙන්ම වායු දූෂණයට ප්‍රධාන හේතුවකි.

ආසියාවට මේ අභියෝගයට මුහුණ දෙන්නට සිදුවීමට තවත් හේතුවක් තිබේ. එනම් සංවර්ධනයේ නාමයෙන් බටහිර අනුගමනය කිරීමය. මේ සංවර්ධනයට උපදෙස් දෙන්නේ ද දියුණු යැයි කියන රටවල්මය. එහෙත් බොහෝ ආසියානු රටවල් බටහිරට අනුව සංවර්ධන කටයුතු ආරම්භ කරන්නේ බටහිර සංවර්ධනය නිසා පරිසර හානිවල අනිටු ප්‍රතිඵල ලෝකයටම ලැබෙමින් පවතින යුගයකදීය.

ඉන්දියාව හෝ ආසියානු කලාපයේ රටවල් තරමට නැතත් අපටද කලක සිට පෙර නොවූ විරූ අන්දමින් කාලගුණ විපර්යාස නිසා ඇතිවන ස්වාභාවික විනාශයන්ට මුහුණ දීමට සිදුව ඇත. දැන් අපට වැසි වසින්නේද අකලටය.

එහෙත් අප මේ කිසිවක් ගැන නොතකා කැලෑ කපමින් සිටිමු. නීතියට අනුවත්, නීතියට පිටිනුත් කැලෑ කැපීම සිදුවේ. සංවර්ධනය අවශ්‍ය නමුත් එය කළ යුත්තේ අටුව කඩා පුටුව හැදීමේ න්‍යායෙන් නොවිය යුතුය. එහෙත් අප ඇතැම් දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කරන්නේ නිසි පරිසර ඇගයීම් වාර්තාවක් හෝ නොමැතිවය.

සංවර්ධනයේ නාමයෙන් රටේ අස්සක් මුල්ලක් නෑර විවිධාකාරයේ කම්හල් ඉදිවේ. සාමාන්‍යයෙන් ජනපද ආශ්‍රිතව කම්හල් ඉදිකෙරෙන්නේ නැත. එහෙත් අපේ රටේ එවැනි සීමාවන් නැත. කම්හල් පසෙක තිබියදී පෞද්ගලික ගෘහ ඒකක ඉදිකිරීමේදී පවා අපජලය බැහැර කිරීමට හෝ විධිමත් ක්‍රමවේදයක් නොමැති අවස්ථා තිබේ.

දැන් අලුත්ම විලාසිතාව වන්නේ ‘අපාර්ට්මන්ට්’ය. කොළඹ පමණක් නොව තදාසන්න නගරවලද මෙවැනි මහල් නිවාස ඉදි වුණත් ඒවා නිසා ඇතිවන පාරිසරික බලපෑම ගැන නිසි තක්සේරුවක් තිබේද?

වර්තමානයේ කොළඹ පමණක් නොව රටේ සෑම නගරයකටම පොදු ප්‍රශ්නයක් වන්නේ අධික වාහන තදබදයයි. වාහන වැඩිවීමත්, ඒවා තදබදයන්ට ලක්වීමත්, වායු දූෂණයට ප්‍රධානම හේතුවකි. පරිසර දූෂණය ගැන අවධානය යොමු කරනවා තබා වාහන තදබදය නිසා විනාශ වී යන මිනිස් පැය ගණන අවම කර ගැනීමට හෝ අපට තවමත් නිසි වැඩපිළිවෙළක් නැත. වාහන තදබදය ද දිනෙන් දින වැඩිවනවා මිස අඩුවීමක් ද නැත.

මේ කාරණා සම්බන්ධයෙන් කල්පනා කරන්නට මෙය හොඳම කාලයයි. තවත් දින කිහිපයකින් මෙරටට නව නායකයකු පත් කර ගැනීමට නියමිතය. අතීතයේ කුමන වරදක් සිදුව ඇතත්, අතපසුවීමක් සිදුව ඇතත් ඇත්තෙන්ම රට ගැන සිතන නව නායකයකුට ඒ අතීත වැරදි, අතපසුවීම් නිවැරදි කර ගැනීමට අවස්ථාව තිබේ.

රටේ ආරක්ෂාව, ආර්ථිකය සේම පරිසරයද රටක, ජාතියක පැවැත්ම කෙරෙහි වන තීරණාත්මක කාරණයක් වන බැවිනි.