විශේෂාංග

දිය පොදක් ඉල්ලා පණ අදින බෝතල් වතුර

පිටකොටුවේ යන කාටත් දැකගත හැකි වීදි වෙළෙන්දන් කිහිප දෙනෙකි. දුවනගිරිය නමින් හඳුන්වන තේ පෝච්චියක් හා ඒ වටා කවාකාරව අශෝක ග්ලාස් වීදුරු පේළියක් ඇති වීදි වෙළෙන්දා ඉන් ප්‍රධානය. මේ වීථි වෙළෙන්දන් අතර අද ප්‍රධාන ස්ථානයක් ගන්නේ ජල බෝතල් වෙළෙන්දන්ය. බෝතලයේ වතුර ටික ටිප්ටොප් එකට කූල් වී වතුර බෝතලය ඇත්තේ ගල් වන තරමට කූල් වෙමිනි. බස්වල යන ජනතාවත්, පිටකොටුවේ ඔබ මොබ යන ජනතාවත් තම පහසුවට එම වතුර බෝතල් ගෙන බෝතලය උගුරු දෙකට බොන්නේ සුටුස් ගා ඉවරායි කියන්නක් මෙන්ය.

පිටකොටුවේ මේ බොහෝ වතුර බෝතල් ප්‍රකට වෙළෙඳ නාමයක් ළඟින් යන ඒවාය. ඒත් නැත්නම් ප්‍රකට වෙළෙඳ නාමයක්ය. එහෙත් මේ පිටකොටුවට එන උදවිය බොන බෝතල් බොහොමයක් ඒවා පුරවන්නේ බැස්ටියන් මාවතේ, ඇති කරාමවලින් බව දැනගතහොත් වතුර ටිකත් ඔක්කාරයට එනු නියතය.

මීට වසර 2 කට පෙර ඇමෙරිකාවේ State Univercity of New York විශ්වවිද්‍යාලය කළ පර්යේෂණයකදී පානීය ජල බෝතල් තුළ ප්ලාස්ටික් අංශු ඇති බවට සොයාගන්නා ලදී. මෙම පර්යේෂණයට යොදාගන්නා ලද්දේ ප්‍රකට ජල සමාගම්වල වතුර බෝතල් 250 කි. මේවා තෝරා ගන්නේ රටවල් 9 කිනි. පර්යේෂණ වාර්තාවේ අවසන සඳහන් වන්නේ වතුර බෝතල් තුළ ප්ලාස්ටික් අංශු තැන්පත් වී තිබීම අතිශය විපත්තිදායක නොවුණත් නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවන බවය.

වතුර රත්කර කර ඉන්නවාට වඩා ලීටර 19.5 තඩි වතුර බෝතලයක් රු. 200 කට ගෙන යාම ඉතා ලාභදායකය. ඒත් ඉතින් මේ අර වතුර ඩිස්පෙන්සරයට දාන ලොකු වතුර බෝතලය සුපර් මාර්කැට්ටුවේ නම් මිල වන්නේ රුපියල් 350/- කටය. මෛත්‍රිපාල ජනපති යුගයේ උන්නැහේ එක්වරක් යෝජනා කළේ සෑම පාසල් සිසු සිසුවියකටම වතුර බෝතලයක් නොමිලේ දීමටය.

නීතිය අනුව වතුර බෝතල් හිමියන් අනිවාර්යයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි විය යුතුය. සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියෙන් තොරව වෙළෙඳ පොළට වතුර බෝතල් නිකුත් කිරීම සපුරා තහනම්ය. ඒත් ඉතින් අනුරාධපුරෙන් එහාට ගමේ ඇළට පොම්පයක් දමා සුද්ද කළ Ro වතුර නොහොත් අසෘත ජලය විකුණන්නේ ලීටරය රු. 2.50 ටය. සෞඛ්‍ය අමාත්‍යංශය ගියත් මිලදී ගන්නට වෙන්නේ ඒ මිලටම බව නොකීවොත් ටිකක් අඩුපාඩුවකි.

සෞඛ්‍ය අමාත්‍යංශය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකට අනුව, ප්‍රමිති ආයතනය අදාළ නිෂ්පාදනයේ තත්ත්ව පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට නිර්දේශ ඉදිරිපත් කිරීම සිදුවේ. එම ඇගයීමේදී සැලකිල්ලට ලක්වන කරුණු අතර, බෝතලයේ ගුණත්වය, මූලාශ්‍ර ජලයේ ගුණාංග, අවසාන නිෂ්පාදනයේ ගුණාංග – සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශිත ප්‍රමිතීන්ට අනුකූලවේද යන්න මෙහිදී විමසා බැලේ. ඊට අමතරව, ඒ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතියක්ද ඇත, සමස්ත නිෂ්පාදනය පිළිගත් තත්ත්ව පාලන ප්‍රමිතීන් යටතේ සිදුවන්නේදැයි සොයා බලන අතර පරිසරයට ඇතිකරන බලපෑම – පාරිසරික බලපෑම් අවම වන අන්දමින් අදාළ ජල මූලාශ්‍රයෙන් ලබාගත හැකි ජලය ප්‍රමාණය පිළිබඳ තක්සේරුවක් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය භූ විද්‍යඥයකුගේ සේවයද ලබාගනී.

මේ අතර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පානීය ජලය බෝතල් කිරීම ගැන සහතිකපත් පාඨමාලා පවත්වයි. පාඨ‍මාලා ගාස්තුව රු. 13,800 කි.

වතුර බෝතල් ගැන මේ මොන ප්‍රමිතීන්ද උඩු යටිකුරු කරමින් කර්මාන්තය තුළ මහා පෙරළියක් දැන් සිදුවෙමින් පවතී. වතුර බෝතල් කර්මාන්තයට නවතම නිර්ණායකයන් ඉදිරිපත් කොට ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයයි. (SLS) නිර්ණායකයන්ට ප්‍රධාන වශයෙන් මූලාශ්‍ර වී ඇත්තේ ජලයේ ඇති TDS අංශු ප්‍රමාණයයි. (Total Dissolved Solids) එමෙන්ම පරිසර අමාත්‍යංශය ගෙන එන්නට යන 500ml අඩු ප්ලාස්ටික් බෝතල් තහනමද සෘජුවම වතුර බෝතල් කර්මාන්තයට බලපාන කරුණක් වී තිබේ.

තේරෙන සිංහලයෙන් කිවහොත් පානීය ජලය පිරිපහදු කිරීමට ගන්නා තැන නොහොත් මූලාශ්‍රයේ ඇති ස්වභාවික ඛනිජ ලවණ සංයුතියයි. ප්‍රමිති කාර්යාංශය අලුත් TDS අගය හඳුන්වා දෙන්නට පෙර එය තිබුණේ O – 500 දක්වාය. ඒත් ප්‍රමිති කාර්යාංශය දැන් TDS අගය ලෙස හඳුන්වා දීමට යෝජනා කොට ඇත්තේ 100 සිට 500 දක්වා අගයකි. පුවත්පතක් කියවන ඔබට මේ ප්‍රමිති කාර්යාංශය කියන්නේ මොන හත් ඉලව්වක්දැයි ප්‍රශ්නයක් පැන නගිනු ඇත්තේ නිතැතිනි. මෙය ඉතා සරල භාෂාවෙන් පැහැදිලි කර දිය යුත්තේ ඒ නිසාය.

ලංකාවේ වතුර බෝතල් නිෂ්පාදනයට යොදාගන්නා ස්වභාවික ජල මූලාශ්‍රවල 95% කට වඩා යොදා ගන්නේ TDS අගය 50 ට අඩු ඊටත් පහළ ජල මූලාශ්‍රවලිනි. මෙහි පැහැදිලිවම කිව හැකි අනතුර කුමක්ද? ප්‍රමිති කාර්යාංශය මේ TDS අගය 100-500 දක්වා කළහොත් ලංකාවේ වතුර බෝතල් නිෂ්පාදනාගාර 95% කට වඩා වැසී යාම අනිවාර්යයෙන්ම සිදුවන කටයුත්තකි. එමෙන්ම එහි අතුරු ඵලයක් ලෙස වෙළෙඳ පොළ තුළ ඇති පානීය ජල බෝතල් හිඟයක් ඇති විය හැකි අතර වතුර බෝතල් කර්මාන්තයෙන් රැකෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එයින් රැකියා විරහිත තත්ත්වයට පත්වී රටේ විරැකියා ගොඩට තවත් පිරිසක් එක් කරමින් රට ආර්ථික වශයෙන් අගාධයකට යනු නියතය.

ලංකාවේ පානීය වතුර බෝතල් කර්මාන්ත ශාලා පිහිටි ගලහ, දෙල්තොට, ගම්පොල යන පැතිවල ජල මූලාශ්‍රවල ඇති TDS අගය 10 ටත් අඩුය. මෙරට බෝතල් කළ පානීය ජල පාරිභෝගිකයන් මෙම කරුණ පටලවා ගත යුතු නැත. මෙහිදී ප්‍රශ්නයක් පැන නැගී ඇත්තේ පානීය ජල මූලාශ්‍රයේ TDS අගය 100 ට වැඩි විය යුතු නිර්දේශය ප්‍රමිති කාර්යාංශය නිර්දේශ කරන ලද්දේ කවර නම් පාර්ශ්වයක් විසින්ද යන බවය. මෙහි ඇති වඩාත් ප්‍රශ්නකාරී තත්ත්වය වන්නේ පානීය ජලයෙහි DTS අගය 100 ට වැඩිවූ විට එම ජලය රසායන විද්‍යාත්මකව වර්ගීකරණයකට ලක්වන්නේ කිවුල් ජලය ලෙස වීමය. මෙම ජලයේ කැල්සියම් කාබනේට් බහුල වශයෙන් අඩංගු වී තිබීම විශේෂත්වයකි.

මෙම ප්‍රශ්නයේදී සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රාදේවී වන්නිආරච්චි ජල මූලාශ්‍රවල TDS අගය කලින් තිබුණාක් මෙන්ම O-500 දක්වා ගෙන ඒමට ගන්නා උත්සාහය ජල බෝතල් නිෂ්පාදකයන්ගේ ඇගයීමට ලක්වී ඇත. පසුගියදා පානීය ජල බෝතල් සම්බන්ධයෙන් උද්ගතවී ඇති අර්බුදය ගැන සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි සමග සාකච්ඡාවක් පැවැත්වූයේ සෞඛ්‍ය අමාත්‍යංශයේදීය. එයට සහභාගි වූ ප්‍රමිතිගත පානීය ජල බෝතල් හිමියන්ගේ සංගමය තමන්ට අත්විඳීමට සිදුවී ඇති ඉරණම පැහැදිලි කරන ලදී. සෞඛ්‍ය ඇමැතිවරිය එවේලේම තම දුරකථනයෙන් අදාළ පාර්ශ්වයන්ට කතා කොට ගත යුතු පියවර ගැන දැනුම් දුන්නාය. එවේලෙහි එම රැස්වීමට ප්‍රමිති කාර්යාංශය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂවරයා පැමිණ සිටි අතර සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සාකච්ඡාව අතරමගදීම ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂවරයාට කතා කොට DTS අගය නැවත පෙර තත්ත්වයේම පවත්වාගෙන යන්නට උපදෙස් දුන්නාය.

මෙම සාකච්ඡාවේදී පෙනී ගියේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉන්ඩස්ට්‍රියල් Ro වතුර සහ පාරවල් අයිනේ තබාගෙන විකුණන නීති විරෝධී Ro වතුර අතර පැහැදිලි වෙනසක් සම්බන්ධයෙන් දැනුවත් වී නොසිටි බවය. උතුරු නැගෙනහිර පළාත්වල කුඩා බෝතල්වලට අසුරා ලේබල් පවා අලවා කරන නීති විරෝධී Ro වතුර ජාවාරම ගැන මෙම සාකච්ඡාවේදී සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලදී. ලීටරයක් රු. 2/- ට විකුණන Ro වතුර හා ප්‍රමිතිගත Ro වතුර අතර පැහැදිලි වෙනස වන්නේ ඔවුනොවුන් යොදාගන්නා තාක්ෂණය හා අවසන් නිෂ්පාදනයේ ගුණාත්මක බව, මත බව මෙහිදී තහවුරු විය.

දැන් ඊළඟ ප්‍රශ්නය වී ඇත්තේ Ro වතුර නොහොත් Reverse Osmosis වතුර ගැනය. මේ වතුරට සිංහලයෙන් කියන්නේ ආසෘත ජලය කියාය. දැන් වෙළෙඳ පොළේ Ro වතුර දෙවර්ගයක් දැකිය හැකිය. ඇත්තෙන්ම Ro වතුර විශේෂයෙන් උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන්ට පානීය ජලය පානයේදී අස්වැසිල්ලක් වී ඇත. ඒත් ප්‍රශ්නය වී ඇත්තේ වෙළෙඳ පොළේ නීත්‍යනුකූලව පිරිසුදු කළ Ro වතුරද නීති විරෝධී අන්දමින් පිරිපහදු කොට අලෙවි කරන වතුරද දක්නට ඇත. පසුගියදා තඹුත්තේගමදී ව්‍යාජ​ Ro වතුර කෘත්‍රිමව නිෂ්පාදනය කළ පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කොට වරදකරු කරන ලද අතර ඔහුට අතිවිශාල දඩ මුදලක්ද ගෙවීමට සිදුවිය. ඔහු ව්‍යාජ Ro වතුර නිෂ්පාදනයේ කිවුල් වතුරට අජිනමොටෝ නමැති රස කාරකයද එක්කොට තිබුණි. නීතිය අනුව Ro වතුර ගෙයින් ගෙට ගෙනයාම නොහොත් Dellivery කිරීම සපුරා තහනම් කටයුත්තකි. ඒත් දැන් රජරට ප්‍රදේශයේ නීති විරෝධී Ro වතුර බෝතල් කර කිසි බයක් සැකක් නැතිව අලෙවි කරනු ලැබේ. මෙරට රාජ්‍ය පාර්ශ්වයෙන් සිදුවිය යුත්තේ Ro වතුර තහනම් කිරීම නොව එය නිසි රාජ්‍ය නියාමනයකට ලක්කිරීම නොවේද?

මේ ව්‍යාජ Ro වතුර බෝතල් නිෂ්පාදකයන් පසුගිය මැතිවරණයේදී බෙදන ලද වතුර බෝතල් ආක්‍රමණය කළේ අඩු මිල නිසාය. මොවුන් මංගල උත්සව ශාලාවලින් ඉවත් කෙරෙන විවිධ වෙළෙඳ නාමවල වතුර බෝතල් ගෙන ගොස් Ro වතුර පුරවා, මූඩි ගසා වෙළෙඳ පොළට දමා හසුවූ අවස්ථා එමටය.

මෙහිදී රජය මෙන්ම පරිසර අමාත්‍යංශය පැහැදිලිව තේරුම් ගත යුතු කරුණක් වන්නේ කුඩා පරිමාණයෙන් කෙරෙන අක්‍රමවත්, අපිරිසුදු මෙන්ම පරිසරයට හානිදායක අඩු මිල Ro වතුර නිෂ්පාදනයන් අධි මිල යන්ත්‍ර මගින් නිතිපතා තත්ත්ව පරීක්ෂණය කරමින් කරන ප්‍රමිතියෙන් යුතු Ro වතුරත්, ගුණාත්මක බවෙන් කිසිසේත් සැසඳිය නොහැකි බවය.

ඉතා සරලව කිවහොත් වියලි කලාපීය ප්‍රදේශවල ජලයේ TDS අගය ඉතා ඉහළ බැවින් Ro වතුර නිෂ්පාදනයේදී නිකුත් වන ජලය පරිසරයට මුදා හැරීමෙන් වකුගඩු රෝගවලට වඩා වැඩි රෝගවලට එම ප්‍රදේශවල ජනතාව ගොදුරු විය හැකිය. ඊටත් වඩා දිගුකාලීනව එම ප්‍රදේශවල පස දූෂණයට ලක්වන්නේ නිතැතිනි.

ලංකාවේ පානීය ජල බෝතල් නිෂ්පාදනයට හොඳම ජලමූලාශ්‍ර සොයාගෙන ඇත්තේ කලින් කී ප්‍රදේශවලට අමතරව අවිස්සාවේල්ල, රත්නපුර, ඉංගිරිය, බුලත්සිංහල වැනි ප්‍රදේශවලය. එමෙන්ම ගම්පහ ප්‍රදේශයේදී පිරිසුදු ජල මූලාශ්‍ර සොයාගෙන ඇත. දැන් ප්‍රශ්නය වී ඇත්තේ ප්‍රමිතියෙන් යුතු නීත්‍යනුකූල පානීය ජලය නිෂ්පාදකයන්ගේ අතපය ගැට ගසා ඇති අතර ඔවුනට නිරායුධව සටන් වැදීමට සිදුවී ඇත්තේ නීති විරෝධී ව්‍යාජ Ro වතුර නිෂ්පාදකයන් සමග වීමය.

නීති විරෝධී Ro වතුර නිෂ්පාදනයේදී දක්නට නැති දැඩි නීති රාමුවක් පානීය වතුර බෝතල් නිෂ්පාදනයේදී ඇත. එහිදී ජල මූලාශ්‍රය වටා අඩි 100 ක කවාකාරව ආරක්ෂක ප්‍රදේශයක් වෙන් කළ යුතුය. එම ජලය ලංකාවේ අනුමත ප්‍රමිති සීමාවන්හිදී පැවැතිය යුතු අතර බැක්ටීරියා, රසායන ද්‍රව්‍ය, ක්ෂුද්‍රජීවි පරීක්ෂාවන්ට එම ජලය නිතිපතා ලක්කළ යුතුය.

දැන් ලංකාව පුරා ඇති Ro වතුර බෝතල්වල නිෂ්පාදකයා තියා කල් ඉකුත් වන දිනයක් පවා නැත. මෙම නීති විරෝධී වතුර පානය කොට රෝගී වූ පුද්ගලයකුට නඩු මාර්ගයට බැස තම අලාභය අයකර ගැනීමට මෙම තත්ත්වය නිසා නොහැකි වී ඇත. සෞඛ්‍ය අමාත්‍යංශයේ වතුර බෝතල් නිෂ්පාදනයට අයැදුම්පත කලින් තිබුණේ රුපියල් 1000/- කටය. ඒත් දැන් අයැදුම්පතක් සඳහා අයකරන මුදල රු. 50,000 කි. නීති විරෝධී Ro වතුර නිෂ්පාදකයන්ට මේ මොන ඇප්ලිකේෂන් පිරවීමක්වත් නැත. නීත්‍යනුකූල Ro වතුර නිෂ්පාදකයන් හා බලපත්‍රලාභී පානීය වතුර බෝතල් නිෂ්පාදකයන් අනිවාර්යයෙන්ම තම නිෂ්පාදන කටයුතු කාර්මික තාක්ෂණ ආයතනය හා රජයේ රස පරීක්ෂක දෙපාර්මේන්තුවේ අධීක්ෂණය යටතේ සිදුකරවීම අනිවාර්ය කටයුත්තක් වී තිබේ.

ලංකාවේ මොන ආර්ථික අර්බුද ආවත් නොමිලේ කඩේට දාලා යන දෙයක් ඇත්නම් එය පානීය ජල බෝතල්ය. සිල්ලර කඩ හිමියා මේ වතුර බෝතලෙන් ලබන ආදායම ඇතැම් විට සියයට සියයටත් අධිකය. ඔබ රු. 35 කට ගන්නා 500ml බෝතලයක තොග මිල රු. 18/- කි. 1000ml වතුර බෝතලයක සිල්ලර මිල රු. 25 ක් වන අතර එය විකුණන්නේ 100% ක ලාභයක් තබා රු. 50 කටය. එමෙන්ම 1500ml වතුර බෝතලයක තොග රු. 35 ට ගෙන කඩේ විකුණන්නේ රු. 70 ටය. ලීටර් පහේ අර අණ්ඩ තියෙන වතුර කෑන් එක ඔබ රු. 150 ට ගත්තත් කඩ හිමියාගේ දෙපා මුලට ගෙනත් දෙන්නේ රු. 85/- කටය. ඒත් ණයටය. මීට අමතරව ලීටර් 7 වතුර කෑන් එකක් ඇතත් එය බොහෝ තැන්වල දැකගන්නට නැත. එහි සිල්ලර මිල රු. 170 ක් වන අතර තොග මිල රු. 95/- කි.

අන්තිමේදී වතුර අලෙවියේදී ගොඩ ගොස් ඇත්තේ නීති විරෝධී Ro වතුර නිෂ්පාදකයන් හා සිල්ලර වෙළෙන්දන් නොවේද? වතුර බෝතල් නිෂ්පාදකයන් මාස 3 කට වරක් තම ජල සාම්පල කාර්මික තාක්ෂණ ආයතනය (ITI), ප්‍රමිති කාර්යාංශය (SLS), රජයේ රස පරීක්ෂක, වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) ලවා පරීක්ෂා කිරීම අනිවාර්ය අතර ඒ සඳහා වැයවන මුදල රු. 150,000/- කට අධිකය. ඊටත් අමතරව ආදායම් බදු, වැට්, NBT, ආදී බදු මෙන්ම සේවකයන්ගේ EPF, ETF කාර්යාල නඩත්තුව මෙන්ම දැවැන්ත සේවක පිරිසකගේ ස්ථාවර වැටුප්ද ගෙවීමට බලපත්‍රලාභී වතුර නිෂ්පාදන ආයතනවලට සිදුව තිබේ.
මේ සියලු වියදම් දරාගෙන වතුර බෝතල් නිෂ්පාදනය කොට අලෙවියෙන් ලැබෙන ආදායමෙන් 5% ක් ප්‍රමිති කාර්යාංශයට ගෙවීමට පානීය ජල බෝතල් නිෂ්පාදන සමාගම් බැඳී සිටී.

නීත්‍යනුකූල වතුර බෝතල් නිෂ්පාදකයන්ට වසර තුනකට වරක් අලුත් කරගත යුතු බලපත්‍ර ගණන ඇසුවහොත් ඔබ මවිතයට පත්වනු ඇත. වසර 3 කට වරක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචිය අලුත් කරගත යුතු අතර ඒ සඳහා මුලින්ම ජල සම්පාදනය මණ්ඩලයේ පොම්ප ධාරිතා පරීක්ෂණයක් සිදුකර ගත යුතුය. ඒ සඳහා වැයවන මුදල ලක්ෂ 2 කට අඩුවන්නෙ ටිකකිනි. කලකට ඉහත එයට ජල මීටරයක්ද සවිකිරීමේ නියෝගයක් ක්‍රියාත්මක වූ අතර මීටරය සවි කිරීමේ ගාස්තුව ලක්ෂ 3 ක් විය. නගර සභාවේ හෝ ප්‍රාදේශීය සභාවේ බලපත්‍රයද අලුත් කර ගත යුතු විය. ඊළඟට ඇත්තේ පරිසර බලපත්‍රයයි. එයට අයකරන මුදල රු. 10,000 කි. මේ සියලු බලපත්‍රවලට ඉල්ලුම් කිරීමට පෙර මෙම පානීය ජල බෝතල් හිමියෝ ඒ වනවිට ලක්ෂ ගණනක ලේබල් ඉතුරු වී තිබුණොත් ඒ අලාභයද දරාගත යුතු වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අංකය වෙනස් වන නිසාය. මෙවැනි අවස්ථාවල ලේබල් ඉතුරු වීමෙන් ලක්ෂ 50 අලාභය ලැබූ මහා පරිමාණ පානීය ජල නිෂ්පාදකයන් සිටී.

පානීය ජල බෝතල්වල ලේබල් සඳහා යොදා ගැනෙන්නේ Shrink Lable නමැති මුද්‍රණ ක්‍රමයයි. එහි සිලින්ඩර් අලුතින් නිෂ්පාදනයට චීනයට ඇණවුම් කළ යුතුය. එහි එක් ලේබලයකට අවශ්‍ය සිලින්ඩර නිෂ්පාදනයට වැයවන මුදල රුපියල් ලක්ෂ 2 කට අධිකය. මිලි ලීටර් 500, 1000, 1500 ආදී ලෙස අලුතින් ලේබල්වලට සිලින්ඩර් නිපදවීමට පමණක් චීනයට ලංකාවේ එක් පානීය ජල බෝතල් නිෂ්පාදකයකු යැවිය යුතු මුදල ලක්ෂ 10 ට වැඩිය. ලංකාවේ වතුර ෆැක්ටරි 150 කට වැඩිය. ලංකාවේ වතුර ෆැක්ටරි 150 කට වැඩියෙන් ඇති බැවින් වසර 3 කට වරක් චීනයට යැවෙන මුදල රුපියල් කෝටි 15 කට අධිකය.

ලංකාවේ දැන් දැන් පානීය ජල බෝතල් අර්බුදයට ඇති එකම විසඳුම එය සෘජු අපනයනයක් ලෙස දිරිගැන්වීමයි. දැනටමත් දුර්වල වූ දේශීය රාජ්‍ය අනුග්‍රහය ඔස්සේ වුවත් ජපානය, මාලදිවයින් සහ ඇමෙරිකාව වැනි රටවලට ලංකාවේ ජල බෝතල් අපනයනය කෙරේ. ඊටත් වඩා බොර තෙල් ආනයනය කරන රටවල් සමග බොර තෙල් වෙනුවට පානීය ජල බෝතල් හුවමාරු ගිවිසුමක් අත්සන් කළහොත් ඛනිජ තෙල් වෙනුවෙන් රටින් පිටට ගලා යන දැවැන්ත විදේශ විනිමය මෙහිම රඳවා ගත හැකිය. අවසන පැවැසිය හැක්කේ නීති විරෝධී Ro වතුර නිෂ්පාදකයන් සමග සටන් වැදීමට සිටින නීත්‍යනුකූල වතුර බෝතල් නිෂ්පාදකයන්ගේ අතපය ගැට ගසා සටනට යොමුකොට ඇති බවය. ගැට ගසා සිටින නීත්‍යනුකූල ජල නිෂ්පාදකයන්ගේ ගැට ගසා ඇති රැහැන් ලිහා දැමිය යුත්තේ මේ රටේ ආර්ථිකය ප්‍රශස්ත තැනකට ගෙන එමින් මෙරට ජනතාවට නිරෝගීව සිටීමට පිිරිසුදු ජල බිඳක් ලබාදීම ජාතික අවශ්‍යතාවක් නිසාමය.

වජිර ලියනගේ