කතුවැකි

දිනේෂ්ගේ ජයග්‍රහණය රන් පදක්කමක් ඉක්මවයි

කවුරුත් අපේක්ෂා කළ පරිදිම දිනේෂ් ප්‍රියන්ත හේරත් ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී තම ඉසව්වෙන් රන් පදක්කමක් හිමි කර ගත්තේය. ඒ වෙනුවෙන් ඔහුට සුබ පතන ලක්ෂ සංඛ්‍යාත පිරිස අතරට අප එක් වන්නේ ඔහු වෙත අපගේ හද පිරි ස්තුතියද පිරිනමමිනි. ඔහුට සුබ පැතීමෙන් නොනැවතී ස්තුතිය පුද කරන්නේ ඔහු අපට සතුටු වන්නට අවස්ථාවක් උදා කර දීම නිසාය.

මේ දිනවල උදේ හවස අපට අසන්නට දකින්නට ලැබෙන්නේ සිත් කලකිරෙන – බියපත්වන පුවත්ය. එක් අතකින් කොරෝනා ආසාදිතයන් හා මරණ පිළිබඳ සංඛ්‍යා දත්තය. රැකියාවට පමණක් නොව ලෙඩකට දුකකට බෙහෙත් ටිකක් හෝ ගන්නට පවා එළියට බහින්නට බයය. එහෙත් නොගොසින්ද බැරිය. පුද්ගල ආර්ථිකය මෙන්ම රටේ ආර්ථිකයද කඩා වැටී ඇතත් භාණ්ඩ මිලනම් ඉහළ ගොස් තිබේ. මෙම තත්ත්වය තුළ කවුරුත් සිටින්නේ අපේක්ෂා සුන්ව උකටලීව කර කියා ගත දෙයක් නොමැතිවය. එහෙත් දිනේෂ් අපට ඒ සියල්ල අමතක කර සතුටු වන්නට, ආඩම්බර වන්නට, අවස්ථාවක් උදා කර දී තිබේ.

දිනේෂ්ගේ ජයග්‍රහණය සුවිශේෂී වන්නේ එය පැරාලිම්පික් උළෙලකදී අප රටට පළමු වරට රන් පදක්කමක් දිනා ගන්නට මතු නොව ලෝක වාර්තාවකටද හිමිකම් කියන්නටද අවස්ථාවක් ලබා දුන් නිසාය. පළමු වරට ඔලිම්පික් උළෙලකදී අපේ ජාතික ගීය වාදනය වූයේ දිනේෂ්ගේ මෙම ජයග්‍රහණය නිසාය. ඒ වෙනුවෙන් දිනේෂ්ට පමණක් නොව ඔහුව පුහුණු කළ, ඔහුගේ අවශ්‍යතා සලසා දුන්, ඔහුට ධෛර්යය දුන් සියලු දෙනාටද ජාතියේම ගෞරවය හිමිවිය යුතුය. එසේම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කුට මෙන්ම පැරාලිම්පික් උළෙලට සහභාගි වී සිටින සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද අප මේ මොහොතේ අමතක කළ යුතු නැත.

දිනේෂ් ප්‍රියන්ත හේරත්ගේ ජයග්‍රහණයේ වටිනාකම රන් පදක්කමක් අබිබවා යන්නේ, ඔහු ඇත්තෙන්ම රට වෙනුවෙන් ක්‍රීඩා කළ අයකු බව තහවුරු වීම නිසාය. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ගිය ඇතැම් ක්‍රීඩකයන්, ජාතික කොඩිය සහිත ඇඟලුම් ඇඳීම ප්‍රතික්ෂේප කරද්දී, දිනේෂ් තම ජයග්‍රහණයෙන් පසුව ජාතික කොඩියට දණ බිම තබා ආචාර කළේය. ඔහුගේ මේ ක්‍රියාව, රට ගැන කලකිරී සිටින, මේ බිමේ ඉපදීමත් පවක් යැයි සිතා සිටින බොහෝ දෙනාට ආදර්ශයක් බව කිව යුතුය.

දිනේෂ්ගේ ජයග්‍රහණයේ තවත් වැදගත්කමක් වන්නේ මෙවැනි අවස්ථාවකදී හෝ ජාතික හැඟීමකින් සතුටු වන්නට බැරි කුහකයන් පිරිසක් අප අතරම සිටින බව යළිත් තහවුරු වන නිසාය. මෙම ජහග්‍රහණය සම්බන්ධයෙන් අති මහත් බහුතරය සතුටු පළ කරමින්, සුබපතන අතරේ දිනේෂ්ගේ ආබාධිත බව පිළිබඳ ප්‍රශ්න කරමින් ජයග්‍රහණයේ වටිනාකම අවතක්සේරු කරන්නට උත්සාහ කරමින් සිටින්නේ මෙම කාලකණ්ණි සුළුතරයයි. ඔවුන් කියන ආකාරයට දිනේෂ්ට ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් දිනා ගන්නට හැකිව ඇත්තේ ඔහුට වඩා ආබාධ සහිතවූවන් සමග තරග කිරීම නිසාය.

කවරෙකු හෝ මෙවැනි ප්‍රශ්න නගන්නේ නම් ඔහු කාලකණ්ණියකු පමණක් නොව මේ ලෝකේ දෙයක් නොදන්නා ගොනෙකු බවද කිව යුතුය. පැරාලිම්පික් උළෙල යනු ආබාධ සහිත වූවන් සඳහා පවත්වනු ලබන ලොව ඉහළම ක්‍රීඩා උළෙලය. එය පවත්වන්නේ ජාත්‍යන්තරව පිළිගත් නීතිරීති මාලාවකට අනුවය. අනෙක් අතට දි​නේෂ් මෙවර රන් පදක්කම් දිනා ගන්නේ 2016 රියෝ පැරාලිම්පික් උළෙලේදී රන් පදක්කම දිනාගත් ඉන්දීය ක්‍රීඩකයා පරදවමිනි. ඔහුගේ ආබාධිත බව පිළිබඳ ප්‍රශ්නයක් ඇත්නම් ඔහුට දෙවරක්ම පැරාලිම්පික් උළෙල නියෝජනය කරන්නට අවස්ථාවක් හිමිවන්නට ක්‍රමයක් නැත.

ඇත්ත වශයෙන්ම පැරාලිම්පික් උළෙලේ ජයග්‍රහණයක් ඔලිම්පික් උළෙලේ ජයග්‍රහණයකටත් වඩා අගය කළ යුතුය. මෙම ක්‍රීඩා උළෙලට සහභාගි වන සියලු දෙනා කුමන හෝ හේතුවක් නිසා ශාරීරික ආබාධවලට ලක්වූවන් වන නිසාය. ඔවුන් ඇත්තෙන්ම ලෝකයට පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය නොව ධෛර්යය, උත්සාහය, කැපවීම හා අධිෂ්ඨානය පිළිබඳ පාඩමක් යැයිද කිව හැකිය. 2008දී යුද බිමේදී ආබාධිත වූ දිනේෂ් – ඉන් උකටලී නොවී 2016 පැරාලිම්පික් උළෙලේදී රිදී පදක්කමක් දිනා 2021දී එම ඉසව්වෙන්ම රන් පදක්කමක් දිනා ගැනීම ඊට හොඳම උදාහරණයක් නොවන්නේද?

රට ඇතුළේ කවුරු මොන කරණම් ගැහුවත් රටක නම ජාත්‍යන්තරයේ සටහන් කරන්නේ ක්‍රීඩකයන්, කලාකරුවන් හා වෘත්තිකයන්ය. මේ නිසා දිනේෂ්ලා වැනි දක්ෂතා ඇති ක්‍රීඩකයන්, තරුණයන් සොයා ගෙන ඔවුන්ට අවස්ථාව සලසා දීම ක්‍රීඩා බලධාරීන්ගේ වගකීමය. රට තුළ කොවිඩ් තත්ත්වයක් පැවතියේ වුවත් තමන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙන්නට ජාතික පැරාලිම්පික් කමිටුවත් ක්‍රීඩා අමාත්‍යාංශයත් කටයුතු කළ බව සිය ජයග්‍රහණයෙන් අනතුරුව දිනේෂ් ප්‍රකාශ කර තිබිණ. ඉන් පෙනී යන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය සිය වගකීම තේරුම් ගෙන කටයුතු කරමින් සිටින බවය. එය සතුටට කරුණකි.

ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණයකදී පිරිනමන ත්‍යාග රුපියල් මිලියන පහකි. මෙම මුදල ඊට වඩා වැඩිවිය යුතු බව ජාතික ක්‍රීඩා කවුන්සිලය නිර්දේශ කර තිබේ. මේ අනුව දිනේෂ්ට රුපියල් මිලියන පහකට වැ​ඩි මුදලක් හිමිවන්නට ඉඩ තිබේ. එසේ වුවහොත් එය දිනේෂ් රටට අත්කර දුන් ජයග්‍රහණය, කීර්තියට නිසි තක්සේරුවක් වනවා පමණක් නොව දැනටමත් ක්‍රීඩාවේ නියැළී සිටින හා ඉදිරියේදී ඊට ප්‍රවේශ වන්නට අදහස් කරන පිරිස දිරිමත් කිරීමටද හේතුවක් වනු නොඅනුමානය.