විශේෂාංග

දිනෙන් දින උස යන කොච්චිකඩේ කුණු කන්ද

කොච්චිකඩේ නගරයේ පැත්තකින් ගලා බසින මාඔය ගඟ කෙළවරේ පෝරුතොට, මෝයකට ආසන්නයේ පිහිටා ඇති අඩි අසූවක් පමණ උස කුණු කන්ද අද බොහෝ ජීවිතවලට තර්ජනයක් වී තිබේ.

වසර 20ක පමණ කාලයක් මීගමුව නගර සභාව විසින් නගර සීමාවට අයත් නිවෙස්වල, හෝටල් සහ මීගමුව ආරෝග්‍ය ශාලාවේත් අපද්‍රව්‍ය මෙම ස්ථානයට ගෙනවිත් මුදාහරිනු ලබන්නේ ජනතාවගේ දැඩි විරෝධය ද නොතකමින් ය.

ආරම්භයේ මෙම ස්ථානය තිබුණේ මැටි වළක් ලෙසය. එහි හිමිකරු විසින් එය ගොඩකර ගැනීම පිණිස මීගමුව නගර සභාවට කුණු දැමීමට අවසර දී තිබිණි. ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් එහි නගර සභාවේ කුණු විශාල වශයෙන් මුදාහැරීමට ඔවුන් කටයුතු කළ බව ගම්වාසීහූ පවසති.

මෙම කුණු කන්ද පෙනෙන තෙක් මානයේ පිහිටා ඇති පල්ලන්සේන රෝමානු කතෝලික දේවස්ථානයෙහි පාලක ටෝනි පිංතු පියතුමන් ද පවසන්නේ මෙම කුණු කන්ද ජනතාවට මහා හිසරදයක් බවයි.

“සමහර දිනවල දිව්‍ය පූජාව පවා තබා ගැනීමට පවා අපහසු වෙනවා, මෙහි දුර්ගන්ධය ඒ තරමටම වැඩියි. මැස්සන් පවා මේ නිවෙස් වල ආහාරයක්වත් තබාගැනීමට නොහැකි ලෙස වර්ධනය වෙලා. ළමුන් පවා අසනීප වෙනවා. මෙච්චර දියුණු තාක්ෂණයක් තිබෙන මෙවන් කාලයක ඇයි අපේ ආණ්ඩුවලට බැරි මෙය නිසි ස්ථානයක පවත්වාගෙන යන්න.”

කොච්චිකඩේ පල්ලන්සේන පරිසර සුරැකීමේ කමිටුවේ ලේකම්, විපුල් ද කොස්තා මෙසේ පවසයි.

“මේ කුණු කන්දට විරුද්ධව ජනතා අරගලය අපි වසර ගණනාවක් තිස්සේ ගෙනයමින් තියෙන්නේ. පල්ලන්සේන හිටපු මීසම් පාලක පියතුමන් ද අපට සහයෝගය දුන්නා. අද මේක ඕජස් ගලන මිනී කන්දක් වාගේ. පැත්තකින් මාඔයත් ගලා බහිනවා, මෝය කට මීටර් ගාණකට එහා. නගර සභාව හැමදෙයක්ම ගෙනත් දාන්නේ මෙතැනට, කන්ද හතරවටේම ඕජස් වගේ රතුපාටට කුණු දිය වී ගලනවා. ඒවා අවට මිනිසුන්ගේ වතුවලටත් ළිංවලටත් ගලා එනවා. ප්ලාස්ටික් බැරල් පවා අවට වැටී තියෙනවා ඕනෑම කෙනෙකුට දකින්න ලැබෙනවා. ඊළඟ අපූරු දේ තමයි සමහර පරිසරවේදීන් පාරිසරික දිනවලට මුහුද අයිනේ එකතු කරන ප්ලාස්ටික් වැනි දේ නගර සභා කුණු ට්‍රැක්ටර්වලට පටවලා ආයේ එවන්නේ මෙතනට. ඒවා මෙතනට දැම්මට පස්සේ, මේ කන්දෙන් මෝය කටට ගලා ගිහින් නැවත මුහුදු වෙරළේ ගොඩ ගැසෙනවා. ඒ ගොල්ලෝ ඒවා නැවත මෙතනට එවනවා.”

මෙම තත්ත්වය උග්‍ර තත්ත්වයට හරවමින් මීගමුව නගරයේ මලපහ ද මෙම ස්ථානයේ මුදාහැරීමට යෝජනා වී ඇති බැවින් ඊට ද විරෝධය පෑමට ජනතාව බලාපොරොත්තු වෙන් සිටි. ජනතාව විසින් කලින් ගොනු කළ නඩුවකට අනුව මීගමුව අධිකරණය දුන් තීන්දුවක් අනුව මෙහි කුණු දමා ඉන්පසු නිසි ලෙස පස් තට්ටුවකින් ඒ වසා දැමිය යුතු වුවත් නිසි ලෙස එය සිදු නොවන බව ජනතාව පවසති.

මෙම කුණු කන්දට මීටර් 200 ක් පමණ දුරින් පදිංචි 67 වියැති පැට්‍රික් කේවින් පීරිස්ද අදහස් දැක්වීය.

‘‘දැන් මීගමුවේ නගර සභාවෙන් කුණු දාන්නේ අන් අයගේ වතුවලට. කලින් බද්දට අරන් තිබුණේ පොඩි කොටසක්. ඒ ප්‍රමාණය දැන් පිරිලා ඉතිරිලා ගිහින්. ඒවා පිරිලා ගිහින් ඒ ඉඩමේ අයත් නඩු දාලා තියෙන්නේ. දවසකට ට්‍රැක්ටර්වලින් සිය පාරක් විතර කුණු ගෙනත් දානවා. එතකොට බලන්න කොච්චර කුණු ලෝඩ් එකක් මෙතැනට වැටෙනවද කියලා.’’

මුලදී නිව්ටන් හෙන්රි මහත්තයා මීගමුව නගරාධිපති කාලේ අපේ ගෙවල් ළඟම කුණු දාන්න පටන් ගත්ත. අපි ඊට විරුද්ධව දවස් 7 ක්ම කුණු දාන්න ඉඩ නොදී හිටියා. ඊට පස්සේ තමයි ඔය දැන් තියෙන ස්ථානයට කුණු දාන්න පටන් ගත්තේ. මිනිස්සු තාමත් නඩු කියනවා. ඒ වුණාට විසඳුමක් නැහැ.’‘

ඉන්පසු අප හා කතාබහට එක් වූයේ කොච්චිකඩේ ප්‍රසිද්ධ පුවත්පත් අලෙවි නියෝජිතයකු වන එම්. එස්. ඒ. චමින්ද ප්‍රනාන්දු මහතායි.

මේක මහා අපරාධයක්. මිනිසුන්ට ජීවත් වෙන්න තියෙන ලස්සන පරිසරය මේ නිසා විනාශ වෙලා. සමහර අය මේ නිසාම ලෙඩ වෙලා. ළමයකුට පාඩමක් කර ගන්නත් බැහැ. ගෙවල්වල මැස්සෝ පිරිලා. කෑමක් තියා ගන්න බැහැ. නිදා ගන්න බැහැ. ඇයි මේකට විසඳුමක් දෙන්න බැරි? ඒ මදිවට මීගමු නගර සභාව මීගමු නගරයේ මලපහද මුදා හැරීමේ ව්‍යාපෘතියක් මේ ස්ථානයේම පටන් ගන්න යන්නේ. ඒකෙන් අපි තවත් අසරණ වෙනවා.

ජනතාව ඉල්ලා සිටින්නේ විසි වසරක් තිස්සේ තමන් පීඩාවට පත් කරන මෙම කුණු කන්ද ඉවත් කරන ලෙසය.

වෝල්ටර් පෙරේරා – කොච්චිකඩේ