විශේෂාංග

දිනුවත් පැරදුණත් මම මහින්ද රාජපක්ෂයි

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දී අදට වසර 50 සපිරෙයි. අඩසියවස තුළ ලංකාවේ සිදුවූ විපර්යාස බොහෝය.
1971 කැරැල්ලත් 1989 කැරැල්ලත් ඔහු දුටුවේය. 1976න් ඇරඹි වසර තිහක් පුරා ඇදී ගිය ලොව දරුණුම ත්‍රස්තවාදයේ කතාව මුළුමනින්ම ඔහුගේ ජීවිත කාලය තුළ දුටුවේය. 2004 ආ මහා සුනාමි ව්‍යසනය ඇතුළු ඛේදවාචකවලින් ජනතා ජීවිත විනාශ වීමද ඒවායින් රට නැගිටීමද ඔහුගේ දේශපාලන ජීවිත කාලය තුළ සිදුවූ දේය. රාජ්‍ය මැදිහත් වීමකින් තොර ආවෘත ආර්ථික ක්‍රමයක ස්වරූපද ඊට පටහැනි මුළුමනින්ම විවෘත ආර්ථික ක්‍රමයක ස්වරූපද ඔහුගේ ජීවිත කාලය තුළ අත් දුටුවේය. අතීත පාර්ලිමේන්තුවේ සිටි දේශපාලන දැවැන්තයන් වූ කොල්වින්, ඇන්.ඇම්., ටී.බී. ඉලංගරත්න, බර්නාඩ් සොයිසා, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, පීලික්ස් ඩයස් බණ්ඩාරනායක ආදී දේශපාලන දැවැන්තයන් සමග ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළේය. මේසා මහත් අත්දැකීම් රාශියක් ඇති දැවැන්ත දේශපාලනඥයකු අද ආසියානු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ධාරාවේ හිදී ද යනු සැක සහිතය. මේ ගෙවුණ අඩසියවසෙන් ඇබිත්තක් ගැන ඔහු හා කළ අතීතාවර්ජනයයි.

ඔබගේ පාර්ලිමේන්තු දේශපාලන ජීවිතයට අදට වසර පනහ සම්පූර්ණ වෙනවා. ඔබ වාර දෙකක් ජනාධිපති ධුරයේ තේරී පත් වී කටයුතු කළා. අවස්ථා තුනක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූවා. අවස්ථා දෙකක් විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කළා. කම්කරු ඇමැති, ධීවර ඇමැති, අධිවේගී හා මහා මාර්ග මුදල් ඇමැති, බුද්ධ ශාසන ඇමැති ආදී අමාත්‍ය ධුර රාශියක් හොබවා තිබෙනවා. ලංකාවේ ළාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් 1970 දිවුරුම් දුන් ඔබට සම කළ හැකි දේශපාලනඥයකු දැන් ලංකාවේ නෑ. මේ දැවැන්ත දේශපාලන ගමන ගැන මොනවද හිතෙන්නේ?

මේ සේරම තනතුරුනේ. මේවට ඕනෑ කෙනකුට පත් වෙන්න පුළුවන්. මම මහින්ද රාජපක්ෂ. ඒකයි රටට වටින්නේ. එච්චරයි අන්තිමට ඉතුරු වෙන්නේ.
ඔබ පැවත එන්නේ ලොකු දේශපාලන ඉතිහාසයක් තියෙන පරපුරකින්. දේශපාලනයට එන්න මුලින්ම පාර කැපුණේ කොහොමද?

කවුරුත් දන්නවා ඩී.එම්. රාජපක්ෂ. එයා මගේ ලොකු තාත්තා. එයාට කිව්වේ ‘‘රුහුණේ සිංහයා’’. අධිරාජ්‍ය විරෝධී හැඟීම් එයාගේ ඇඟේ තිබුණා. 1937 බ්‍රේස්ගල්ඩ් සිද්ධිය වෙලාවේ ගෝල්ෆේස් පිට්ටනියේ මහ රැලියේදී සුද්දො පන්නන්න අපි ලේත් මසුත් පූජා කරන්න ඕනෑ කියලා කිව්වා.

ලොකු තාත්තා මළාට පස්සේ අපේ තාත්තා ඩී.ඒ. රාජපක්ෂ තමයි රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගියේ. කුඹුරෙන් ගොඩවෙලා නාම යෝජනාවට අත්සන් කළේ අපේ තාත්තා. බණ්ඩාරනායක ළඟට යූ.එන්.පී.ය අතහැරලා 1951 විපක්ෂයට ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිහිටුවන්න මුල් වුණේ අපේ තාත්තා. තාත්තා මිය ගියාට පස්සේ තුන් මාසෙ දානේ දවසේ සිරිමාවෝ මැතිනිය අපේ මැදමුලන ගෙදරට ආවා.

‘‘මිසිස් ඩී.ඒ. මට පවුලේ කෙනෙක් ඕනෑ බෙලිඅත්තට ලොකු පුතා චමල්ව දෙන්න.’’ කියලා කීවා.

නමුත් චමල් අයියා දේශපාලනයට එන්න කැමැති වුණේ නෑ. අම්මා මැතිනියට භාර දුන්නේ මාව.

ළමා කාලේ ලැබුණ දේශපාලන ඇත්දැකීම් මොනවාද?

ලොකු තාත්තා දේශපාලනය කරන්න ගිහින් අපේ දේවල් සෑහෙන්න නැති කරගෙන තිබුණා. අපේ තාත්තා ලොකු තාත්තාට දේශපාලන වැඩවලට සල්ලි ඕන වුණාම ඉඩම් උකස් කරලා සල්ලි අරන් දෙනවා. දැන් මහ ඉඩමට යා වෙලා තියෙන අක්කර 200ක් ඒ කාලෙම දේශපාලන වැඩවලට සින්න වෙලා ගියා. අපේ මැදමුලන මහ ගෙදරත් ලොකු තාත්තා මැරෙනකොට උකස් කරලා තිබුණේ. ගේ සින්න වෙන්න යනකොට නෑයොයි, පසුකලෙක ශ්‍රීලනිපයේ එදා හිටපු මන්ත්‍රීවරුනුත් බණ්ඩාරනායක මහත්තයයි සල්ලි දීල තමයි උකස බේරා ගත්තේ.

අපේ පවුල ලොකු එකක්. එදා කොයි පවුලත් එහෙමයි. අපේ ගෙදර තිබුණා නව රියන කියලා කොටසක්. ඒක දිග එළිමහන් ශාලාවක්. පිරිමි ඔක්කොම නිදා ගත්තේ ඒකේ. කාර් එක ඉල්ල ගන්න මහරෑටත් ඔය ශාලාවට තමයි අපිව හොයාගෙන එන්නේ.

ඒ වෙනකොට අපේ ලොකු තාත්තාගේ පුත්තු දෙන්නත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගිහින්. ලක්ෂ්මන් රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ. මේ දෙන්නා අතරින් මම වඩා කැමැති ලක්ෂ්මන් අයියාට. එයා මුල්කිරිගල ජනතාව අතරේ වැඩ කළ හැටි. මිනිස්සු දිනාගත්ත හැටි මට පාඩමක් වුණා.

ඔබගේ පවුලේ සහෝදරයෝ දෙන්නෙක් දේශපාලනයට ආවා. ඒක ඔබේ දේශපාලන ගමනට බලපෑවේ කොහොමද?

බැසිල් මාත් එක්කම වාගෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනයට ආවේ. එයා ශ්‍රී ලාංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ ලේකම් වුණා. නමුත් මම ඒ තරුණ සංවිධානයේ තනතුරකට තරග කරලා පරාද වුණා. බැසිල්ට හොඳ සංවිධාන ශක්තියක් තියෙනවා. ඒක අපේ ගෙදරත්, ගෙදර දාන මාන උත්සව මොන දේ තිබුණත් සංවිධානය කළේ බැසිල්. දානයක් දුන්නත් වුවමනා පුටු, පිඟන්, හැඳි, පඩික්කම්, තිර ඇතිරිලි, බුලත් අත පවා එයා ලිස්ට් හදලා පිළිවෙළට කරනවා. මම ඒ වැඩවලට එනවාට එයා කැමැති නෑ. මොකද වැඩ කරන අයව මම ගිහින් කතාවට අල්ල ගන්නවයි කියලා. බැසිල්ගෙ කවුරුත් නොදන්න ආසාවක් හැකියාවක් තියෙනවා. ඒ තමයි ගොවිතැන. ඉස්කෝලේ යන කාලේ මිරිහානේ නතර වෙලා ඉන්න නිසා එයා ගෙදර වත්ත වැව්වා. නුවරඑළියෙ වැවෙන හැම දෙයක්ම ඉතාම හොඳට ඒ වත්තේ වැව්වා. තවත් වතාවක් වීරකැටියේ වත්ත බැසිල් වැව්වා. ඒ පළාතේ තිබුණ ආදර්ශමත්ම පොල් වත්තට ඒ වත්ත තේරුණා. එදා ඒ වත්තෙ තිබුණ හැම පොල් ගහකටම ෆයිල් එකක් දාලා තිබුණා. පෝර දාපු දිනය, වවපු දිනය, ගෙඩි ගාණ රෝග ඒ ෆයිල් එකේ තිබුණා. ඒ පුරුද්ද අද හැම ගමකම විස්තර තියෙන ෆයිල් එකක් බැසිල් ගාව තියෙනවා. (සිනාසී) සමහර විට හැම මිනිහගෙම ෆයිල් එකකුත් ඇති. උතුරේ යුද්ධෙ කරන කොට නැගෙනහිරම ගොඩ නගන්න පුළුවන් වුණේ බැසිල් නිසා.

එතකොට පවුලේ වැඩිමලා වූ චමල්

1992 පාද යාත්‍රාවෙන් පස්සේ බැසිල්, මම, චමල් අයියා, අපේ සමීප හිතවතුන් එකතු වෙලා සාකච්ඡාවක් කළා ඉදිරි දේශපාලන කටයුතු කරන්නේ කොහොමද කියලා. එතනදී මම ජාතික දේශපාලන කාරණා ගැන පෙනී සිටින්නත්, චමල් අයියා රුහුණේ දේශපාලනය ගැන බලා ගන්නත් තීන්දු කළා. චමල් අයියා තමයි දකුණේ බොහෝ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වුණේ. එයා රුහුණේකම හොඳින්ම තේරුම් ගත්ත කෙනා. එයාට අපේ පවුලේ සියලු දෙනා වගේම ප්‍රදේශයේ ජනතාවත් ආදරෙයි. එයා එක්තරා විදියට නියෝජනය කරන්නේ අපේ තාත්තාගේ තිබුණු අව්‍යාජකම වගේම නිරහන්කාර කම.

ගෝඨාභය රාජපක්ෂ වතාවක් කියලා තිබුණා එයා තමයි පවුලේ අහිංසකම ළමයා කියලා. ඇත්තද ඒ කතාව.?

සම්පූර්ණ ඇත්ත. ගෝඨා අහිසංක විතරක් නෙවෙයි. බොහොම සංවේදී කෙනෙක්. බාල කාලෙ ඉඳලම කොළඹ ආනන්දෙ බෝඩිමේ හැදුණේ. පුංචි කාලෙ ගෙදර ආවහම අම්මා දාලා කොළඹ යන්න කැමැති නෑ. මමයි තාත්තයි අඬද්දි බලෙන් කාරෙකේ දාගෙන කොළඹ ඇවිත් මාමා කෙනකුට ගෝල්ෆේස් පෙන්වන්න කියලා භාර දෙනවා. මාමා ගෝල්ෆේස් පෙන්නලා එක්කගෙන ගිහින් ආනන්දෙ බෝඩිමට භාර දෙනවා.

ගෝඨා ආනන්දෙන් ලොකු හැදියාක් ඇතිව හැදුණා. ඒ කාලෙත් විශාල වශයෙන් පොත් කියවනවා. වැඩක් කරන්න කලින් ඒකෙ අවසාන නිමාව ගැන හිතනවා. ඒකට අනුව සැලසුම් කරනවා. වචනයක් කතා කළත් දෙපාරක් හිතනවා. අහිංසකකම වගේම තමයි නිර්භීතකම. හතර වටෙන් ගහනකොට සේනාවක් එක්ක යාපනේ කොටුවට යන්න තරම් නිර්භීතකමක් එයාට තිබුණා. හමුදා බලධාරියෙක් නිසා එයාට ​හොඳ විනයක් තිබුණා. උදේ නැගිටින කොට පළමුවෙන් තමන් නිදා ගත්ත ඇඳ පිළිවෙළට හදලා ඇඳෙන් බහින්න ඕනෑ කියන හැඟීම එයාට තිබුණා.

නිදාගත්ත ඇඳ උදේට හදලා වැඩ පටන් ගත්ත පරපුරකට රටක් හදන්න පුළුවන් කියලා එයා ඒ කාලෙ ඉඳන් කිව්වා. ඒකනේ එයා විශ්වවිද්‍යාලේ යන හැම කෙනකුටම නායකත්ව පුහුණුව දෙන්න පටන් ගත්තේ.

පාද යාත්‍රාවේදී අනුර සමග

ඔබ ජන සමූහයක් සමග නිතරම ජීවත් වුණ කෙනෙක්. හොඳම යාළුවා කවුද?

මඟුල් ගෙදර හොඳම යාළුවාට හිටියේ අනුර බණ්ඩාරනායක. අනුර හොඳ යාළුවෙක්. මඟුල් පින්තූරෙ අනෙක් පැත්තේ හිටියේ සරත් නන්ද සිල්වා. මාත් එක්කම 1970 පාර්ලිමේන්තු ආව වාසුත් ඒ වාගේම යාළුවෙක්. අනුර මට වඩා බාලයි. අනුර තරහ වුණහම ලොකු ලියුම් එවනවා. මම ඒවා කියවන්නෙවත් නෑ. මොකද ආයෙත් යාළු මිත්‍රකම් පවත්වන්න ඕනෑ නිසා. යාළුවන්ව ආශ්‍රය කරන්න ඕනෑ ඒ අයගෙ දුර්වලකම් භාර ගන්න බලාගෙන. එහෙම නැතුව හොඳ යාළුවො වෙන්න බෑ. 1992 මම පාද යාත්‍රාව ගියෙත් අනුරව බලයට ගේන්න හිතාගෙන.

ඔබ නෙවෙයි එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔටුන්න හිමි කුමාරයා අනුර. ඇයි අනුරට ඔටුන්න මග හැරුණේ

මැතිනියට අනුරව කවදත් පෙනුණේ පොඩි පුතා හැටියට. පොඩි එකෙක් හැටියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුරට භාර දෙන්න මැතිනිය කවදාවත් කැමැති වුණේ නෑ. අනුර ජේ.ආර්. ජයවර්ධනගෙ උගුලට වැටිලා පක්ෂය විනාශ කරයි කියලා මැතිනිය හිතුවේ. අනුරත් හිතාගෙන හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් රටේ නායකත්වයත් එයාට උරුමයෙන් ලැබෙයි කියලා.
මට මතකයි 1983 මුල්කිරිගල අතුරු මැතිවරණය වෙලාවේ මුල්කිරිගල ශ්‍රීලනිප අපේක්ෂකයා වුණේ චමල් අයියා. කොළඹ පාතාලේ හිටපු ඔක්කොම මැරයො ජේ.ආර්. මුල්කිරිගල අතුරු මැතිවරණයට එවලා තිබුණා. තුවක්කු, බෝම්බ එක්ක. ශ්‍රීලනිප පාක්ෂිකයන්ට එළියට බහින්න නොදී මැරයො පහර දුන්නා. අපිට සිද්ධ වුණා මුල්කිරිගල ලොකු සටනක් කරන්න. කොළඹින් ආව මැරයෝ පැනලා ගියා. මාව ඡන්ද දවසෙම අත්අඩංගුවට ගන්න හැදුවා. මම කොළඹ ඇවිත් උසාවියට භාර වෙලා රිමාන්ඩ් වුණා. 2015 වාගේම තමයි ශ්‍රීලනියේ කවුරුවත් මාව බලන්න බන්ධනාගාරයට ආවේ නෑ. අනුර ඔය ඉලෙක්ෂන් එක වෙනුවෙන් කොළඹ හිතවතුන්ට ලොකු පාටියක් දීලා තිබුණා. අපේ පාක්ෂිකයො ඒ පාටිය ගැන අනුරට හොඳට දොස් කියලා පාටියේ අයගේ කාර්වලත් හුළං අරලා. එයා හිරගෙවල්වලට තුවක්කුවලට බයයි. මම ඒක දන්නවා. අන්තිමට අනුර බන්ධනාගාරයට ඇවිත් මාව බලලා ඇඬුවා. ඒ මගෙ යාළුවාගෙ හැටි. මම රිමාන්ඩ් එකේ ඉන්න කොට අම්මාට ගොඩක් අසනීප වෙලා රෝහල් ගත කර තිබුණා. අම්මාගේ මරණ මොහොතේ මම අම්ම බලන්න ඇඳ ළඟට යන්න අවසර ඉල්ලුවා. එදා ඒ අවසරය දුන්නේ ගොඩක් පරක්කු වෙලා. ​රෝහල ළඟට මාව ගෙනිච්චෙ කසි කබල් බස් එකක. බස් එක මගදි කැඩුණා. එතකොට සරත් නන්ද සිල්වා නීතිපති දෙපාර්තමේන්තුවේ. සරත් නන්ද සිල්වාත් එයාගේ වාහනෙන් බැහැල ඇවිත් බස් එක තල්ලු කළා මාව අම්මාගෙ ඇඳ ළඟට ඉක්මනට ගෙනියන්න. ඒත් මම අම්මගෙ ඇඳ ළඟට යනකොට අම්මා ඇස් දෙක පියාගෙන. යූ.එන්.පී.ය බලයට ආවහම විරුද්ධවාදීන්ගේ ඇස්වල කඳුළු දකින්න හරි කැමැතියි.

1992 පැවැත්වූ පාද යාත්‍රාවෙන් නේද මහින්ද රාජපක්ෂ ජන නායකයෙක් හැටියට උඩට ආවේ?

පාද යාත්‍රාව මම උඩට එන්න කළ දෙයක් නෙවෙයි. පක්ෂය ඒ වෙනකොට කෑලිවලට බෙදිලා වෙන් වෙලා. පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මාස හතරකින් පහකින් රැස් වෙලා නෑ. මධ්‍යම කාරක සභාව මාස තුනකින් රැස් කරන්න පුළුවන් වෙලා තිබුණේ නෑ. චන්ද්‍රිකාල, විජයල පක්ෂෙ කඩාගෙන ගිහින්. අපිට බලය ගන්න පුළුවන් කියන විශ්වාසය ජනතාවට තිබුණේ නෑ. ජේවීපී එකත් කැරලි ගහලා දහස් ගණනක් මැරුම් කාලා ප්‍රේමදාසව හොලවන්නවත් පුළුවන් වෙලා තිබුණේ නෑ. ඒ වෙලාවේ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්ටත් වඩා මාත් එක්ක හිටියේ යූඑන්පී විරෝධී බලවේග. කුසල් පෙරේරාව අමතක කරන්න බෑ. ඒ වාගේ පක්ෂයට පිටස්තර බලවේග තමයි අපට ලොකු ජවයක් දුන්නේ. පාද යාත්‍රාව පටන් ගත්තේ විහාර මහා දේවි උද්‍යානය ළඟින්. හැමෝම හිතුවේ පටන් ගන්නකොට අපිව ගහලා විසිරුවා හරියි කියලා. සෙනඟ පාර දෙපැත්තට වෙලා ඈතට වෙලා බලා හිටියා මිස ආවේ නෑ. මට මතකයි මුල හරියේ යන කොට මන්ත්‍රී කෙනෙක් කිව්වා මෙහෙම යනවාට වඩා හොඳයි පොලිස් නිලධාරියකුගේ ඇඟේ හැපිලා ගහගෙන ප්‍රේමදාස පාද යාත්‍රාව විසුරුවා හරී කියලා කියවාගමු. නැතිනම් වස ලජ්ජාව කියලා කිව්වා. නමුත් අපි අල්ලාගෙන බම්බලපිටිය පසුකරගෙන යන කොට ටික ටික සෙනඟ එකතු වුණා. ඊට පස්සේ අනුරත් චන්ද්‍රිකාත් පාද යාත්‍රාවට ආවා. මේ දෙන්නත් දෙපැත්තක තියාගෙන තමයි අපිට පාද යාත්‍රාව යන්න පුළුවන් වුණේ. පානදුර, කළුතර පසු කරගෙන යන කොට දහස් ගණනක් ජනතාව පාද යාත්‍රාවට ආවේ. දරුවො මැරුම් කාපු, ටයර් සෑ උඩ මරා දාපු අම්මලා අඬ අඬා පාද යාත්‍රාවේ ආවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ පාද යාත්‍රාවට විරුද්ධව පෝස්ටර් ගැහුවා. ඒක තමයි ඒ ගොල්ලන්ගේ දේශපාලනය.

මාතරදි පාදයාත්‍රා ජන හමුවේදී ඔබතුමා චන්ද්‍රිකා කුමාරතුංගට බැන්නා. ඒක පසු කාලීන දේශාපාලනයටත් බලපෑවා. මම හරිද?

ඔව් ඒ රාජිත නිසා. රාජිත තමයි පාදයාත්‍රාවේ ලවුස්ස්පීකර් බඳින වෑන් එක දුන්නේ. නමුත් මාතර වේදිකාවේදි රාජිතට කතාවක් දෙන්න බෑ කියලා චන්ද්‍රිකා කීවා. මම ඒ වෙලාවේ බලෙන් රාජිතට කතාවක් දුන්නා. මම චන්ද්‍රිකාට දොස් කියන පින්තූරෙ පසුදා ඉංග්‍රීසි පත්තරේක මුල් පිටේ පළ වුණා.

එදා ඉඳන් එතුමිය වෛර බැන්දා?

ඒක මම දන්නේ නෑ. හැබැයි එතුමිය ඒ ගැන පසුකාලීනව ජනාධිපති වුණහම මතක් කළා. මට ලැබුණෙත් කම්කරු ඇමැතිකම.ඊළඟට ධීවර ඇමැතිකම ​ ‘‘හොඳ ඇමැතිකමක් ලැබුණේ නෑනේ.’’ ඒ නිසා මට වැඩ කරන්න බැරි වුණානේ. ​ලොක්කා මට වැඩ කරන්න දුන්නේ නෑනේ කියලා සමහර ඇමැතිවරු කියන කොට මම එදා වැඩ කළ හැටි පෙන්නලා දෙනවා. තමන්ගේ දේශපාලන ගමන යන්න ඇමැතිකම ඕනම නෑ.

දේශපාලන ලෝකයේ උගුල් බොරු වළවල් බොහොමයි. වසර පනහ තුළ එහෙම ඔබේ මග කපලා තිබුණ බොරු වළවල් මොනවද?

70 ලංකාවේ ළාබාලම පාර්ලි​මේන්තු මන්ත්‍රී වුණ වෙලාවේ මම පෞද්ගලක මන්ත්‍රී යෝජනාවක් ගෙනාව ඉන්දියාවේ ලුම්බිණිය සංවර්ධනය කරන්න කියලා. විපක්ෂ නායක ජේ.ආර්. ඒක අහලා මට ප්‍රශංසා කරලා කීවා ඔබතුමා ගේන්න. මම ස්ථිර කරන්නම් කියලා. මට අගමැති සිරිමාවෝ මැතිනිය පණිවුඩයක් එවලා තිබුණා ඔය යෝජනාව විදේශ අමාත්‍යාංශයේ වැඩක්. ඕක ඉවත් කර ගන්න කියලා. මම මේ යෝජනාව ඉල්ලා අස් කර ගන්න යන කොට ජේ.ආර්. ඒක හොඳ යෝජනාවක්. ඉල්ලා අස් කර ගන්න එපා කිව්වා. ඒත් මම නායිකාවගේ කීමට යෝජනාව ඉල්ලා අස් කර ගත්තා. මම ඒක ඉල්ලා අස් කර ගන්න හදනකොට ජේ.ආර්. ඒ යෝජනාව එයා පාර්ලිමේන්තුවට ගේන්න හැදුවා. නමුත් කතානායක ස්ටැන්ලි තිලකරත්න ඒකට ඉඩ දුන්නේ නෑ. ජේ.ආර්. එහෙම කළේ ඇයි කියන්න අදටත් අපි දන්නෙ නෑ. මම මුලින්ම කළ යෝජනාව 2005 ජනාධිපති වුණාම ක්‍රියාත්මක කළා.

1994 දී චන්ද්‍රිකා මට යෝජනා කළා පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා දකුණේ මහ ඇමැතිකමට තරග කරලා දකුණ භාර ගන්න කියලා. මම එතුමියට කිව්වා ඔබතුමිය මට කරන්න හදන්නේ ඩී.එස්.ලා බාරොන් ජයතිලකව රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් අයින් කරලා ඉන්දියවේ මහ කොමසාරිස් හැටියට යවලා කළ දේම තමයි කියලා. නෑ නෑ එහෙම එකක් නොවෙයි, ඔයාට විතරයි දකුණ දිනන්න පුළුවන් කියලා චන්ද්‍රිකා යෝජනාව අයින් කර ගත්තා.

ඊළඟට මම හම්බන්තොට අතහැරලා කොළඹට ඇවිත් තරග කරන්න ඕනෑ කියලා යෝජනා කළා. කොළඹ ලොකු ප්‍රධාන දිස්ත්‍රික්කය හම්බන්තොට වගේ නොවෙයි. ඒකේ මන්ත්‍රී කෙනෙක් එන්නේ විශාල ඡන්ද ගණනකින්. ඒ වගේම ජන වර්ග රාශියක නියෝජනය තියෙනවා. අගමැතිවරු ජනාධිපතිවරු බිහි වෙන්නේ ඒ වාගේ ප්‍රදේශවලින් කියලා කිව්වා. හම්බන්තොට කියන්නේ ඒ කිසිවක් නැති දුප්පත්ම දිස්ත්‍රික්කය. ඒත් මම ඒ ලණුව කෑවෙත් නෑ. 2004 මහ මැතිවරණයේදී ජේ.වී.පෙ. එක තරග කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේ බුලත් කොළය ලකුණ යටතේ. ඡන්ද ප්‍රතිඵල ආවා. කොළඹ දිස්ත්‍රික්කයේ පළමු වැනියත් ජේ.වී.පී. දෙවැනියත් ජේ.වී.පී. තුන්වැනියත් ජේ.වී.පී. ගම්පහ පළමුවැනියා විජිත හේරත්. දෙවැනියා අනුර බණ්ඩාරනායක. කළුතර පළවැනියත් ජවිපෙ නන්දන ගුණතිලක. හම්බන්තොටින් ඉල්ලපු මමත් පොළොන්නරුවෙ මෛත්‍රිත් පුත්තලමේ ද.මු.ත් විතරයි දිස්ත්‍රික්කයේ පළමුවැනියා වුණේ. ඒක මට අගමැතිකම ගන්න ලොකු ශක්තියක් වුණා. ගම නිසයි මම බේරුණේ.
2004 අගමැති හැටියට දිවුරුම් දුන්නම චන්ද්‍රිකා මට උපදෙස් දුන්නා මහින්ද ඔයා අගමැති. ඒ නිසා සිංහල බෞද්ධකම අමතක කරලා අනෙක් ජාතීන්වත් අමතන්න කියලා. මම ඒක අහගෙන ජනාධිපති මැදුරෙන් එළියට එනකොට මංගල හමු වුණා.
මංගල මට කීවා අපිට සුළු ජාතීන්ට ජනාධිපතිනිය ලවා අමතන්න පුළුවන්. මහින්ද සිංහල බෞද්ධකමට කතා කරලා ඒ ඡන්ද ටික රැක ගන්න කියල.
මම දෙන්නටම හා කීවා. දේශපාලනයේ තියෙන බොරු වළවල් උඩ ලස්සන මල් වවලා තියෙනවා. ඒ නිසා තමයි අපි කටු අකුල් මාවතේ යන්න පුරුදු වෙන්න ඕනෑ.

දේශපාලනයේ කුලය කියන කාරණය 1970 ගණන්වල අදට වඩා දැඩිව බලපාන්න ඇති?

ඔව්. අපේ තාත්තා තමයි රටේ අඩු කුල ජනතාව උඩට ඇඳුම් ඇඟලන්න අවසර දෙන්න ඕනෑ කියන යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගෙනාවේ. ඒ යෝජනාව එදා ස්ථිර කළේ උතුරේ මන්ත්‍රී කෙනෙක්. දකුණට වඩා උතුරට ඒක බලපාන බව කියලා. ඊළඟට තාත්තලා අඩු කුල ජනතාවට උඩට ඇඳුම් අන්දාගෙන පෙළපාලි ගියා බය නැති කරන්න.
මම 70 මුලින්ම කළ යෝජනා දෙකින් එකක් තමයි කුලය හගවන වාසගම් නම්වලින් ගම්වලින් ඉවත් කරන්න කියන යෝජනාව. කුලය කොයිතරම් බලපෑවද කීවොත් ඒ පාර්ලිමේන්තු සභා වාරය අවසාන වෙනතුරු ඒක සම්මත කර ගන්න ඉඩ දුන්නේ නෑ. මට සියලු කුලවල නෑයෝ ඉන්නවා. සියලු ජාතිවල නෑයෝ ඉන්නවා. ඒක මගේ වාසනාවක්.

2005 ජනාධිපතිවරණය ඔබගේ ජීවිතේ තීරණාත්මක ඡන්දයක්. එල්ටීටීඊය උතුරේ ඡන්දය වර්ජනය කළා. ජවිපෙ ඔබට සහාය දුන්නා.

ඒ විතරක් නෙවයි මම කැප වුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මා වෙනුවෙන් පත්‍රිකාවක් ගහන්න ඉඩ දුන්නේ නෑ කියලා හිටපු මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන කියලා තිබුණා. අනුරවත් චන්ද්‍රිකාවත් මගේ එක වේදිකාවකටත් නැග්ගේ නෑ. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පක්ෂයේ අදහස නෙවෙයි. ඒකීය ලංකාව වාගේ ඒවා අපේ පක්ෂය දැන් පිළිගන්නෙ නෑ කියලා චන්ද්‍රිකා මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගහන්න එපා කීවා. එහෙම නම් ඒක පක්ෂයේ ප්‍රතිපත්තිය නෙවෙයි. ඡන්දයට යන්නේ තනියම නිසා ඒක අපේක්ෂකයාගේ ප්‍රතිපත්තිය කියලා මම ප්‍රකාශ කරන බව කීවා. ඒ නිසයි අපි ඒකට මහින්ද චින්තනය කියලා දා ගත්තේ.

ඒ ඡන්දෙදි ජවිපෙ ඔබට උදව් කළා?

​ඔව්. ඒ වෙනකොට ජවිපෙ පොදු සංවිධානයක් එක්ක එකතු වෙලයි හිටියේ. ඒ ගොල්ලො නිතර කියලා තිබුණා 2004 ඉඳන් ජවිපෙ තමයි ආණ්ඩු මෙහෙයවන රිමෝට් කන්ට්‍රෝලරය කියලා ඒක ඒ වෙනකොට ඇත්ත. ජවිපෙට ලොකු බලයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තිබුණා. ඒ වුණාට එහෙම ආණ්ඩු කරන්න බෑ. ඒ නිසා මට ජනතා විමුක්ති පෙරමුණේ අ​තේ තිබුණ රිමොට් කන්ට්‍රෝලය මගේ අතට අරන් සාක්කුවේ දා ගන්න සිද්ධ වුණා. එහෙම නැතිව අපිට අපේ වැඩපි​ළිවෙළක් ක්‍රියාත්මක කරන්න බෑ.

දැන් එල්.ටී.ටී.ඊ.යට එරෙහිව යුද්ධ කරන්න කියපු කාරණයේ ගෞරවය ගන්න විවිධ පාර්ශ්ව ඉදිරිපත් වෙනවා.

ඔව්. 2005 මට උදව් කළ සියලු පාර්ශ්වවලට මම ඒ ගෞරවය දෙන්න ඕන. එල්ටීටීඊයටත් ඒ ගෞරවය හිමි වෙන්න ඕන.

ඒ කොහොමද?

එල්ටීටීඊය කොහොමත් ජනාධිපතිවරණයකදි දකුණේ නායකයකුට ඡන්දෙ දෙන්නෙ නෑ. ඊළඟට ඒ ගොල්ලො හිතුවේ මහින්දට ඡන්දෙ දීලා යුද්ධෙට කැඳවලා පරාද කරලා රටම යටත් කර ගන්න. ඒ නිසා උතුරේ ඡන්ද දාන්න ජනතාව උනන්දු කළේ නෑ. ඒ නිසා තමයි මම බලයට ආවේ. ඒ නිසා ඒ ස්වයං නාශක තීරණය ගත්ත අයටත් ගෞරව කරන්න ඕනෑ.

එහෙම වුණාට ඔබත් එල්ටීටීඊය එක්ක සටන් විරාමයකට සාකච්ඡා කළා?

ඔව්. ඒ පැවැති තත්ත්වය යටතේ යුද්දෙට ගියා නම් එල්ටීටීඊය බලාපොරොත්තු වූ දේ ඉටු වෙනවා. සෙබළු හමුදාව අතහැරලා යනවා. ආයුධ නෑ. එල්ටීටීඊය විරුද්ධව යුද්ධ කරනවා කිව්වම එදා ජනාධිපති කාර්යාලෙ අයත් ඔළුවෙ අත ගහ ගත්තා. නෝර්වේ මට කිව්වෙ ප්‍රභාකරන් වන්නියේ ජීනියස් කියලා. කිසිම විදේශ රටකින් සහායක් නෑ. ඉන්දියාව මගේ පළමු සංචාරයේදී පින්තූරයකට ඉන්නවත් ආවේ නෑ. මම යුරෝපා රාජ්‍යවලට එල්ටීටීඊය පරාද කරනවා කීවාම ඒ රටවල් පුදුම වුණා. මම 2006 එංගලන්තයේ අගමැති ටෝනි බ්ලෙයාර් හමු වුණා. මම ටෝනි බ්ලෙයාර්ට කිව්වා මට මේක ඉවර කරන්න ඕන කියලා. බ්ලෙයාර් කීවා උඹලා වැරදි තුනක් කරලා තියෙනවා. එක මේ ප්‍රශ්නය ජාත්‍යන්තර ප්‍රශ්නයක් කරලා තියෙනවා. දෙක රටේ ජාත්‍යන්තර ගිවිසුම් ගහලා ජාත්‍යන්තරව මැදිහත් වෙන්න පුළුවන්. No fire zone එකක් පිළි අරගෙන තියෙනවා. තුන කොටි ගුවන් නාවික යුද කියන හමුදා හදනකන්, කොටි මුදල් බැංකු හදනකන් බලා ඉඳලා තියෙනවා. එහෙම ප්‍රශ්නයක් කොහොමද විසඳන්නේ කියලා ටෝනි ​බ්ලෙයාර් ඇහුවා. විනාඩි 15කට දුන්න වෙලාව පැය එකහමාරක් දක්වා කතා කරන්න මට ඉඩ දුන්නා.
මම කිව්වා මම කොහොම හරි මේක ඉවර කරනවා කියලා. බ්ලෙයාර් කිව්වා පුළුවන්නම් කරලා බලපං කියලා. එදා එහෙම තත්ත්වයක් ලෝකෙ තිබුණේ.

ඔබට බරපතළ විදියට විදේශ බලපෑම් ආවා. කොහොමද ඒවා විසඳගත්තේ?

වැනෙන්නේ නැති පැහැදිලි අරමුණක් අපට තිබුණා. අපේ අරමුණ පැහැදිලි නම් ඒක නිවැරදියි කියලා හිතට දැනෙනවා නම් බයක් දැනෙන්නේ නෑ. මේක වැරදුණොත් මාත් මගේ පරම්පරාවත් රටත් ඉවරයි කියලා මම දැනගෙන හිටියා. ඒ නිසා එක අඟලක් පස්සට යන්න මම හිතුවේ නෑ.
යුද්ධෙ අවසාන දවස් වෙනකොට ඇමරිකානු ගුවන් යානයක් ආවා වෙල්ලමුල්ලි වයික්කාල් යන්න. ගිහින් ප්‍රභාකරන් හමුවෙලා සාකච්ඡා කරන්න. මම පැහැදිලිව කිව්වා ගියොත් හමුදාවෙන් පහර දෙනවා. යන්න දෙන්න බෑ. ඔබට පුළුවන් අපව යටත් කරන්න. ඒත් අපි මේක නතර කරන්නේ නෑ කියලා. ඒක බොහොම තීරණාත්මක දවසක් වුණා. ඒ අතරේ ඉන්දියාවේ පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දෙ පැවැත්වෙන අතරෙම අපි යුද්ධෙ ඉවර කරන්න තීරණය කළා. ලෝක නායකයන්ගේ බලපෑමෙන් ඉවත් වෙන්න මම ඒ දවස්වල විදේශ ගත වුණා. ගෝඨා තමන්ගෙ ෆෝන් එක ඕෆ් කරගෙන වෙනම හොට්ලයින් එකක් අරගෙනයි වැඩ කළේ.

2013 දී ජිනීවා මානව හිමිකම් කොමිසමට ඔබට එරෙහිව යෝජනාවක් ගෙනත් ඒක සම්මත කරන කොට මොකද හිතුණේ?

මම මේ ඉරණමට මුහුණ දෙන්න වෙන බව දැනගෙන හිටියා. ලංකාවට විතරක් නෙවෙයි ඉන්දියාව ඇතුළු මුළු කලාපයටම අත දාන්න බටහිර යුරෝපා රටවලට තිබුණ ප්‍රධාන තුරුම්පුවක් තමයි අපි විනාශ කළේ. ඉන්දියාව මේක හරියට තේරුම් ගත්තාද මම දන්නෙ නෑ. අයි.එස්. අල්කයිඩා මගින් අරාබි ලෝකයට කළ බලපෑම තමයි එල්ටීටීඊ එක ඉතුරුව තිබුණ නම් ලංකාවටත් ආසියාවටත් කෙරෙන්නේ. එහෙම තුරුම්පුවක් විනාශ කළ මිනිහෙකුට සමාවක් නැති බව මම දන්නවා. නමුත් ඒක මේ රටේ කවුරු හරි කළ යුතුව තිබුණා.

රාජපක්ෂ පවුලේ අලුත්ම ඡායාරූපය

විජයග්‍රහණයේ කතාවේදි ඔබ මේ වෙනුවෙන් පවුලේ අයටත් ස්තුති කළා?

​ඔව්. යුද්ධය පිළිබඳ තීරණයක් ගන්න කොට ගෙවල්වල අයත් ඒකට බලපානවා. යුද්ධයක් නොකළත් ලංකාවේ නායකයකු වෙන්න ගිය බොහොම දේශපාලන පවුල්වල අය ඒ වෙන​ කොට වැන්දඹු පියා නැති පවුල් වෙන තත්ත්වයට එල්ටීටීඊය පත් කරලා තිබුණේ. ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ප්‍රේමදාස පවුල්වලට වුණේ ඒක. එහෙම තත්ත්වයක් යටතේ යුද්ධයක් කරන්න ගියහම ගෙරදට වෙන දරුණු බලපෑම නිසා ඕනෑම තැනක පස්සට අදිනවා. නමුත් ශිරන්තිවත් මගේ දරුවොවත් එහෙම මාව අධෛර්යමත් කළේ නෑ. ඒ ගොල්ලන්ට මාරාන්තික ජීවිත තර්ජනයක් එන බව දැන දැනත් නිහඬව උදව් කළා. එහෙම නැති නම් මට මේ වැඩේ කරන්න වෙන්නේ නෑ.

බොහෝ දෙනෙක් ඔබව අගයන්නේ යුද ජයග්‍රහණය වෙනුවෙන් පමණයි. ඔබගේ පාලන යුගයේ කෙරෙන සංවර්ධන කටයුතු ගැන සඳහන් කරන්නේ නැත්තේ ඇයි?

අපේ ඉතිහාසයේ මතක තියෙන්නේ යුද්ධ කරලා ජයගත්ත රජවරු ගැන විතරනේ. සාම කාලේ වැඩ කළ රජවරු වැඩිය මතක නෑ. යුද්ධ කරනවා වාගේම තමයි අපේ රට යෝධ සංවර්ධනයකින් ගොඩ ගන්න එකත් යුද්ධයක්. හම්බන්තොට වරාය හදන්න මම කළ යෝජනාව වාර ගණණක් යට ගැහුවා. ඒක වෙන තැනකට ගෙනියන්න හැදුවා. මට ඒ වෙලාවේ දැඩිව ඉන්න වුණා.
ඊළඟට කොළඹ දකුණ වරාය අපි කාලේ හැදුවා. මගේ කාලය තුළ මේ රටේ දැනට තියෙන එකම අධිවේගී මාර්ග දෙක ඉදිවුණේ. රටේම පාරවල් කාපට් කරලා ගම් සභා පාර කොන්ක්‍රීට් කළේත් මගේ කාලේ. ඒක රටක සංවර්ධනයට අවශ්‍ය දැවැන්ත පිම්මක්. මම රට භාර ගන්නකොට එක ගුවන්තොටයි ජාත්‍යන්තරව තිබුණේ. මම ඒකට තව එකක් එකතු කළා. ජනතාවගෙන් සියයට අනූවකට වඩා විදුලිය දුන්නා. මේ රටට අලුතින් මහ පොළොවක් මම එකතු කළා. ඒ වරාය නගරෙ කොළඹ වරාය නගරය කියන්නේ අලුතින්ම මහ පොළොව වැඩි කරන එක. මම භාර ගත්ත රටට වඩා රටේ වටිනාකම කිහිප ගුණයකින් වැඩි කරලයි මම 2015 ගෙදර ගියේ.

වසර පනහක දේශපාලන අත්දැකීම් කැටි කරලා තරුණ දේශපාලනඥයන්ට කියන්න තියෙන දේ මොනවාද?

පරාද වෙන්න බය අය දේශපාලනය කරන්න එන්න නරකයි. තමන්ට දෙයක් නොලැබුණත් ඒ ගැන කියව කියවා ඉන්නෙ නැතිව වැඩ කරන්න ඕනෑ. එක අවස්ථාවක් මග ඇරුණට ඊළඟට ඊට වඩා හොඳ අවස්ථා එන්න පුළුවන්. ඉවසන්න ඉගෙන ගන්න ඕන. නායකත්වය උදුරගන්න යන්න එපා. ඒක ළඟට ගෙනත් දෙන එකක්. වෛර කරන අයට දේශපාලනය කැප නෑ. ජනාධිපති, අගමැති නෙවෙයි වෙන්න ඕනෑ. ගොඩ නගන්න ඕනෑ චරිතයක්. චරිතයක් ගොඩනැගුවාම ජනතාව ඒක උස්සාගෙන ගිහින් පුටුවේ තියනවා. මම ජනාධිපති, අගමැති නෙවෙයි මම මහින්ද රාජපක්ෂ. ඒ නිසයි 2015 පරාද වෙලා ගෙදර ගියහම ලක්ෂ ගණන් ජනතාව දරුවොත් එක්ක​රගෙන අඬ අඬා මාව බලන්න ආවේ. ඒ ආවේ මහින්ද රාජපක්ෂ බලන්න. ඒක උදුරගන්න බෑ කාටවත්. තේරුණැයි.

මහින්ද ඉලේපෙරුම
ඡායාරූප – ප්‍රසන්න හෙන්නායක