විශේෂාංග

දිනකට වාහන පන්ලක්ෂයක් කොළඹ හිරකරයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන බසයක්, ගාල්ලේ සිට කිලෝමීටර් 105ක් පමණ දුර ගෙවා, කොට්ටාවේ ‘මාකුඹුර’ බහුකාර්ය බස් නැවතුම්පොළට ළඟා වන්නට ගත කරන කාලය සාමාන්‍යයෙන් පැය එකහමාරකි. යම් මගියකුට එතැනින් ගමන් අරඹන බසයකින්, කිලෝමීටර් දහසයක් ගෙවා බත්තරමුල්ල ඔස්සේ බොරැල්ලට එන්නට තවත් පැය එකහමාරක් හෝ දෙකක් පමණ ගතවේ.

මෙය, කොළඹ නගරය වර්තමානයේ මුහුණ දෙන රථවාහන තදබදය කොතෙක් බරපතළ ද යන්න පෙන්නුම් කරන නිදසුනක් සේ ගිනිය හැකිය. මාකුඹුර – බොරැල්ල (කලින් කොට්ටාව – බොරැල්ල), කොළඹ නගරයට ප්‍රත්‍යන්තයෙන් ඇරඹී, කොළඹ නගර මධ්‍යයෙන් අවසන් වන බස් මාර්ගයකි. එය ද උග්‍ර තදබදයකින් පෙළෙන බව, කිලෝමීටර් දහසයක් ගමන් කරන්නට, දෙපැයක් ගතවීමෙන්ම පෙනී යන්නේය.

රටේ දසතින් අගනුවරට පිවිසීමට එන රථවාහන, අඩු තරමින් කොළඹට කිලෝමීටර් 20-25ක් පමණ දුර සිටම, වාහන තදබදයට හසු වීම දැන් කලක් තිස්සේම අත්විඳින්නට ලැබෙන සුලබ සිද්ධියකි. හයිලෙවල් පාරේ ‘හෝමාගම’, හොරණ පාරේ ‘පිළියන්දල’, ගාලු පාරේ ‘පානදුරය’, මීගමු පාරේ ‘ජාඇල’, නුවර පාරේ ‘කඩවත’, ලෝ ලෙවල් පාරේ ‘කඩුවෙල’ සහ මාලබේ පාරේ ‘තලවතුගොඩ’ යන තදාසන්න නගරවල පටන්ම, දැන් ඉබි ගමනේ ඇදෙන රථවාහන පෝලිම් සුලබව දැකිය හැකිය.

හයිලෙවල් මාර්ගයේ හෝමාගම සිට කොළඹට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 22කි. කාර්ය බහුල වේලාවන්හි දී (උදේ සහ සවස) මගී බසයක් මේ දුර ප්‍රමාණය තරණය කරන්නට පැය දෙකකට ආසන්න කාලයක් ගනියි. ගාලු පාරේ පානදුරයේ සිට කොළඹට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 28කි. උදේ 7.00න් පසුව එන වාහනයක්, පානදුරයේ සිට කොළඹට එන්නට පැය දෙකකට ආසන්න කාලයක් වැය කරයි. නුවර පාරේ කඩවත, ලෝ ලෙවල් මාර්ගයේ කඩුවෙල, මීගමුව මාර්ගයේ ජාඇල ආදී කොළඹට තදාසන්නයේ පිහිටි කුමන නගරයක සිට වුව, කාර්ය බහුල වේලාවන් හිදී කොළඹ එන්නට පැය දෙකක්වත් ගතවේ.

රථවාහන තදබදයට හසුවීම නිසා, දෛනිකව කොළඹ එන දහස් ගණනක පිරිසකට කලට වේලාවට සිය ගමනාන්ත කරා යාමට නොහැකි වේ. මහමග රස්තියාදුව මිනිසුන් අසහනයටත්, විඩාවටත් පත් කරයි. මග වියදම ද අධික වේ. කෙසේ වෙතත්, තදබදයේ හෝ ඉබි ගමනේ අර්බුදය බරපතළ ලෙස බලපාන්නේ මගී බස් රථවලින් එන මහජනතාවටය. පෞද්ගලික වාහන මගින් එන උදවිය නම් කොතැනකින් හෝ රිංගා ගෙන ගමනාන්තය කරා ඉගිලෙති. එහෙත් මගී බස් රථවලට ඒ අවසරය නැත. ඔවුහු ‘කොට කොටා’ පෝලිමේ ම, සිය ගමනාන්ත වෙත සේන්දු විය යුත්තේය.

මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශයේ තොරතුරු අනුව, වර්තමානයේ කොළඹ නගරය තුළ රථ වාහන ගමන් වේගය පැයට කිලෝමීටර් දහයකටත් වඩා පහත වැටී තිබේ. වැල්ලවත්ත, තිඹිරිගස්යාය, නාරාහේන්පිට, බම්බලපිටිය, බොරැල්ල, කුරුඳුවත්ත, කොල්ලුපිටිය, ගෝල්පේස්, කොටුව සහ පිටකොටුව, අලුත්කඩේ, දෙමටගොඩ, මාළිගාවත්ත, කොටහේන, බේස්ලයින් පාර සහ පෑලියගොඩ යන ප්‍රදේශවල තත්ත්වය වඩාත් බරපතළය. සතියේ දිනවල උදෑසන 7.00-9.00 අතර කාලයේ ද, දහවල් 1.30-2.30 අතර කාලයේ ද, සවස 4.00-6.00 අතර කාලයේ ද කොළඹ නගරය තුළ හට ගන්නේ මහා තදබදයකි. එබඳු අවස්ථාවල වාහනයකට, කිලෝමීටරයක් ගමන් කරන්නට විනාඩි තිහක් ගත වෙන අවස්ථා ද එමටය.

කොළඹ නාගරිකයේ තදබදය අධික ප්‍රදේශවල කුලී ත්‍රී රෝද රථ රියැදුරන් දැන් රුපියල් සීයේ-එකසිය පණහේ ‘පොඩි හයර් කෑලි’ යන්නේ නැත. සවස 4.00න් පසුව කොළඹ වෝඩ් පෙදෙස, විජේරාම මාවත සහ බෞද්ධාලෝක මාවත ආදී පෙදෙස්වලින් බොරැල්ල හන්දියට යන්නට ත්‍රීරෝද රියක් අල්ලා ගන්නවා බොරු ය. කොළඹ ඇතුළේ සිට රාජගිරිය පැත්තට හයර් යන්නට ත්‍රිරෝද රථ රියැදුරන් කැමැති නැත.

‘කොළඹ’ යනු අධික තදබදයෙන් යුත් නාගරික ජනාවාසයකි. එසේම එය රටේ ප්‍රධාන ආර්ථික, වාණිජ සහ පරිපාලනමය කේන්ද්‍රස්ථානය ද වෙයි. එබැවින් දිනකට විසි ලක්ෂයක පමණ පිරිසක් පිටතින් පැමිණ නගරය පරිහරණය කරන්නෝය. මීට අමතරව, කොළඹ නගරයේ නිවැසි ජන සංඛ්‍යාව ද හතළිස් ලක්ෂයකට ආසන්නය. රථවාහන ගාල් කිරීමට ප්‍රමාණවත් තරම් ස්ථාන නැතිකම, නාගරික මාර්ග පද්ධතියට දරා ගන්නට බැරි තරම් වාහන සංඛ්‍යාවක් පැමිණීම ආදී කාරණා රාශියක්ම කොළඹ වාහන තදබදයට හේතු වෙයි. විශේෂයෙන්ම, සඳුදා දිනවල උදේ කාලයේ කොළඹ පුරා හට ගන්නා තදබදය, සිත් නො සන්සුන් කරන තරම් ය.

‘Comtrans Study’ නමින් 2014 වසරේ පළ කෙරුණු සමීක්ෂණ වාර්තාවට අනුව, මහජනතාව කොළඹට පිවිසෙන ප්‍රධාන මාර්ග හතකි. මීගමු පාර, නුවර පාර, ලෝ ලෙවල් පාර, මාලබේ පාර, හයිලෙවල් පාර, හොරණ පාර සහ ගාලු පාර යනු ඒවාය. මින් දිනකට වැඩිම ජන සංඛ්‍යාවක් පැමිණෙන්නේ, නුවර පාර (දිනකට 4,37120ක්), මාලබේ පාර (දිනකට 3,48,000ක්), ගාලු පාර (දිනකට 2,98,000ක්) සහ මීගමු පාර (දිනකට 2,45,880ක්) යන මාර්ගවලිනි. සඳුදා දිනවල උදේ කාලයේ සහ සිකුරාදා දිනවල සවස් කාලයේ මේ මාර්ගවල උග්‍ර තදබදයක් හට ගනියි.

සවස් කාලයට, විශේෂයෙන්ම සිකුරාදා දිනවල සවස් කාලයට නුවර පාර ඔස්සේ කොළඹින් පිටව යන රථ වාහන ද මුහුණ දෙන්නේ උග්‍ර තදබදයකටය. තදබදය බේස්ලයින් මාර්ගය සහ පෑලියගොඩ සිටම ආරම්භ වේ. ඉන් පසුව කිරිබත්ගොඩ ඔස්සේ කඩවතට යනතුරුම ලැබෙන්නේ ‘ඉබි ගමනකි’. එයින් මිදීම පිණිස ඇතැම් පෞද්ගලික වාහන, මාලබේ, කඩුවෙල, බියගම නව නුවර පාරෙන් ගමන්කර, වැලිවේරිය ඔස්සේ බැලුම්මහරට මතුවන්නට පුරුදුවී සිටිති. එහෙත් සිකුරාදා සවසට‘නව නුවර පාර’ ද ඉබි ගමනකට මුල පුරයි. තවත් සමහරු, මීගමු පාරේ ගොස් වත්තලින් හැරී ගනේමුල්ල ඔස්සේ නුවර පාරට වැටෙති. ඇතැමෙක්, දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් කඩවත දක්වා ගොස් නුවර පාරට දමා ගනිති. වාහන තදබදය මගහැරීම සඳහා දැන් මීගමු පාරේ යන වැඩි දෙනෙක් කටුනායක අධිවේගී මාර්ගය භාවිතා කිරීමට පුරුදුව සිටිති. රත්නපුරයේ සිට කොළඹ එන ඇතැම් පෞද්ගලික වාහන, දැන් පානදුර මාර්ගය ඔස්සේ පැමිණ බණ්ඩාරගම පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසෙති. ඉන් පසුව, කොට්ටාව ඔස්සේ කොළඹට පැමිණෙති.

හයිලෙවල් මාර්ගය ගත් විට, සවස් වරුවට නුගේගොඩ මංසන්ධියේ පටන්ම මාර්ග අවහිර වීම් හට ගනියි. කොළඹින් පිට වෙන වාහනවලට එයින් මහත් රස්තියාදුවක් අත්වේ. මහරගම සහ කොට්ටාව යන නගර නිතර අවහිර වේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ එන වාහන වැඩි සංඛ්‍යාවක් පිටතට එන්නේ ‘මාකුඹුර’ පිවිසුමෙනි. මේ කාරණය නිසා දැන් කලක පටන්ම, සවස් වරුවට හෝමාගම නගරය අධික රථවාහන තදබදයකින් පිරී යන්නේය. සවස් කාලයට ගලවිලවත්ත ප්‍රදේශයේ සිට, හෝමාගම නගරය පසුකර යන්නට විනාඩි හතළිහක පමණ කාලයක් ගතවේ. මේ තත්ත්වය නිසා කුලී ගමන් යන ත්‍රීරෝද රථ රියදුරන්, හෝමාගම නගරයට ඇතුළතින් වැටුණු ‘වලව්වත්ත පාර’ භාවිත කරන්නට පුරුදුව සිටිති.

කොළඹ නගරයේ රථවාහන තදබදය අඩු කිරීම සඳහා පසුගිය කාලයේ විවිධ ක්‍රියාමාර්ග ගැනුණි. ඔරුගොඩ වත්ත, දෙමටගොඩ, දෙහිවල, නුගේගොඩ, නුවර පාරේ තොරණ හන්දිය සහ රාජගිරිය යන ස්ථාන ආශ්‍රිතව ගුවන් පාලම් ඉදි කිරීම, ගාලු පාරේ බම්බලපිටියේ සිට කොළඹ කොටුව දෙසට ‘තනි මං තීරු’ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, බස් මං තීරු ක්‍රමය ආදී කටයුතු මෙන්ම, මාර්ග පුළුල් කිරීම් ද ඒ අතර විය. මේවා සඳහා විශාල මුදලක් වැය කෙරිණි. එහෙත් තවමත් රථවාහන තදබදය ප්‍රමාණවත් තරම් පාලනය කරන්නට නො හැකි වී තිබේ.

දැන් රජය සැලසුම් කරමින් සිටින්නේ, කොළඹ නගරය කේන්ද්‍රකර ගෙන ‘සැහැල්ලු දුම්රිය’ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටයි. රජයේ සැලසුමේ එන හැටියට, එයට දුම්රිය මාර්ග හතරක් අයත් වේ. ඒ, රාගම-නාරාහේන්පිට, මොරටුව-කැලණිය, පන්නිපිටිය-හුණුපිටිය සහ මාලබේ-පිටකොටුව යනුවෙනි. රජය කියන්නේ මේවායෙහි ඉදිකිරීම් වැඩ ළඟදී ම ආරම්භ කරන බවය.

ගුවන් පාලමක් පවා ඉදිකර තිබුණ ද, උදේ 7.00-9.00ත් අතර කාලයේ රාජගිරිය අවට හට ගන්නේ දරුණු තදබදයකි. මාලබේ දෙසින් පැමිණ ඊට හසුවන ඇතැමෙක් බස්වලින් බැස පයින් යාමට පුරුදුව සිටින්නෝය.

‘අපි රාජගිරිය හන්දියටත් ආවා. ඒත් බස් එක තවමත් නෑ’, පයින් යාමෙන් තදබදය ජය ගත් අය කියන්නේ බොරුවට නොවේ. උදේ කාලයට කොළඹ නගරයේ ගමන් වේගය එතරම් පහත වැටී තිබෙන බැවිනි.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර