විශේෂාංග

දෑතකුත් කකුලකුත් නැතිව A 8ක් ගත රෂ්මි

මෙදා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පන්ලක්ෂ දහඅටදාහකට අධික දරු පිරිසක් ගෙදරින් පිටත් වූයේ දෑත් එක්කොට ගෙදර ඉන්නා දෙගුරුන්ට වැඳ නමස්කාර කරය. එහෙත් රෂ්මි නිමේෂා දුව අ.පො.ස. විභාගයට ගෙදරින් පිට වූයේ දෙමාපියන්ගේ දෙපා නමැද යන්නට ඉඩක් නැතිවය. ඒ අම්මා, තාත්තාගේ දෙපා අල්ලා වඳින්නට ඇයගේ දෑත් නැති නිසාය.

එහෙත් ගෙදරින් පිටවන විට අප්‍රමාණ සෙනෙහසින් දෙගුරුන්ගේ දෙපා වඳින දූ පුතුන් සේම තම හිස මව් උරහිස තබා ආචාර කර ඈ විභාගයට පිටත් වූවාය.

අත් පා ඇති ළමයි සේම ඇයද විභාගයට අරඹන්නට පෙර පන්සිල් සමාදම් වීමේ වතාවත්වල යෙදුණාය. එහෙත් වතාවත් අවසානයේ දෙවියන්, බුදුන්ගේ ආරක්ෂාව ඉල්ලා එක් කරන්නට දෑතක් ඇයට තිබුණේ නැත. එහෙත් නොපෙනෙන දෙවියන්ගේ ආරක්ෂාවට වඩා ඇයට ඇය ගැන තිබුණේ දැවැන්ත වූ විශ්වාසයකි. දොළොස් අත් ඇති කතරගම දෙවියන්ට බාරහාර වී දෑතින්ම ප්‍රයෝජන ගෙන සෙසු ලක්ෂ ගණන් දරුවන් විභාගයට වාඩි වෙද්දී ඇය ඒ කිසිවක් නැතිව විභාගයට වාඩි වූවාය.

එහෙත් තිස්තුන්කෝටියක් දෙවි දේවතා බලය පරදන ආත්ම ශක්තියක් ඈ සතු වූවාය. දෙඅත නැතැයි කියා විභාග දෙපාර්තමේන්තුවෙන් කිසිම වෙනසක් ඇයට නොතිබිණ. ඒ මොහොතේ ලක්ෂ පහක දූ පුතුන් මුහුණ ඔබාගෙන කියවන ප්‍රශ්න පත්තරය ඇයද කියවා ලීවාය. වෙනසකට වූයේ ඇය ලීවේ පාදයෙන් වීමය.

දකුණු පයේ මහපටැඟිල්ලත්, මැදැඟිල්ලත් අතරට ඈ බෝල්පොයින්ට් පෑන හසුකර ගත්තාය. සෑම විෂයකම පළමු ප්‍රශ්න පත්‍රය කියවා උත්තර ලියන්නට ඉරි ගසන්නට තිබුණේ පැයකි. අනෙක් සිසුන් සිසුවියන් අඩිරූල් තබා ක්‍රමානුකූලව නිවැරදි උත්තරයට කොටු කපද්දී ඇයද පාදයෙන් කොටු කැපුවාය.

විභාගවලට ඉඳගන්නා සෑම සිසුවකුටම ඉරිගහන ප්‍රශ්න පත්‍තරය ලේසිය. ඒ උත්තරය නොදත්තත් කණා පල්ලන් හෝ ගහන්නට පුළුවන් නිසාය. රෂ්මිට ඒ ප්‍රශ්න පත්තරය ඒ ලක්ෂ පහක දරුවන්ටත් වඩා ලේසිය. එයට හේතුව වූයේ අකුරු ලියනවාට වඩා කකුලෙන් ඉරි ගහන එක ලෙහෙසි නිසාය. ඒ නිසාදෝ ඉරිගහන ප්‍රශ්න පත්‍රය ලැබෙනවාට ලංකාවේ වැඩියෙන්ම සතුටු වන්නී රෂ්මි නිමේෂා වැනි දුවලාටය. එහෙත් ඒ දෑත් තිබෙන දරුවන්ට මෙන් කණා පල්ලම් ගහන්නට පහසු නිසා නොව පාදයෙන් ගත් පෑනෙන් ඉරි අඳින්නට පහසු නිසාය.

වේලාසනින් විභාග ශාලාවට එන්න. ඔබගේ විභාග අංකය සහිත මේසයත්, පුටුවත් තෝරා ගන්න. මේ විභාග අපේක්ෂකයන්ට ලැබුණු අවවාදයයි. එහෙත් මේ අවවාදය වෙනස් විදියට පිළිපදින්නට වූ එකම අපේක්ෂිකාව රෂ්මිය. මක්නිසාද යත් ඇයට කවුරුත් ඉඳගන්නා ආකාරයේ පොදු මේසයක් හෝ පුටුවක් නොතිබුණ නිසාය.

රෂ්මි විභාග ශාලාවට යන විට ඇයට පුරුදු ඇයගේම මේසයද පුටුවද ශාලාවේ නියමිත තැන තබා තිබිණි. ඒ පුටුව මේසය තරම්ම උසය. ශාලාවේ හුන් අනෙක් සිසු සිසුවියන් සේම ඔවුන් අතින් ලියද්දී රෂ්මි පාදයෙන් විභාග ගමන ගියාය.
‘‘මම කකුලෙන් ලීවා. කිසිම වෙනසක් නෑ. යාළුවෝ වගේම වේලාවට පටන් ගත්තා, වෙලාවට ලියලා ඉවර කළා.

රෂ්මි ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගත්තේ දෙල්ඔලුව කනිෂ්ඨ විද්‍යාලයෙනි. මේ අන්දමට කකුලෙන් විභාගය ලියූ ලකුණු 153ක් ලබා ශිෂ්‍යත්වය සමත් වන ඇය පසුව ඇහැලියගොඩ ජාතික පාසලට පැමිණියේ දහසකුත් බලාපොරොත්තු සමගිනි.
ඉස්කෝලෙදි උගන්වන ඒවා මම හොඳින් අහගෙන ඉන්නවා, ගෙදර ආවට පස්සෙ ඒවා පාඩම් කරනවා. ඒ වුණාට ඒක ගැනම හිත හිත හිටියේ නැහැ. මම සිංදු කිව්වා, ටීවී බැලුවා, ඒ වගේම සෙල්ලම් කළා. ගණන් වලටයි විද්‍යාවටයි පංති ගියා. පාඩම් කරන වෙලාවට හොඳට පාඩම් කළා.”

රෂ්මි අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉඳගත්තේ අනෙක් සිසුනට තිබෙන පුළුල් ඉඩකඩ ඇතිව නොවේ. ඇයට සංගීතය විෂයක් ලෙස තෝරා ගැනීමට නොහැකිය. නාට්‍ය හා රංග කලාවද තෝරා ගැනීමට නොහැකිය. කෘෂිකර්මයද තෝරා ගැනීමට නොහැකිය. ඇය විකල්ප විෂය ලෙස තෝරා ගත්තේ දෙමළය. රෂ්මි කකුලෙන් අකුරු ලියන්න පටන් ගත් දවස ඇයට මතක නැත. “මම කකුලෙන් ලියන්න පටන් ගත්තේ කවදද කියලනම් මට මතක නැහැ. අම්මයි අප්පච්චියි තමයි මට ඒක පුරුදු කරනවා මතක. මට එක අලුත් දෙයක්වත්, අමාරු දෙයක් වත් වුණේ නැහැ. මුලින් ටිකක් අමාරුයි වගේ දැනුනත් පස්සේ මට ඒක සාමාන්‍ය දෙයක් වුණා .මම පුරුදු වුණා එකට. ඒ නිසා හරිම පහසුවට අකුරු ලියන්න පටන් ගත්තා.

පුටුවට වඩා ටිකක් උසින් තමයි මගේ මේසේ තියෙන්නේ. ඉස්කෝලෙත් මට ඒ විදියට හදපු පුටුවකුයි මේසෙකුයි තියෙනවා ” ඒ මේසය රෂ්මිටම වෙන් වූ මේසයකුත්, පුටුවකුත්ය. රෂ්මි උපදින්නේම අත් දෙක නැතුවය. ඇගේ අම්මා ඒ අතීතය මෙසේ සිහි කළාය. ‘‘සීසර් කරලා තමයි රශ්මිව ගත්තේ. ඒත් කලින් කිසිම දොස්තර කෙනෙක් මට දුවගේ මේ තත්ත්වය ගැන කීවේ නැහැ. මගෙන් සැරින් සැරේට ඇහුවේ මම හරියට බෙහෙත් බොනවද කියලා විතරයි.

රශ්මි උපන්නාම අත් දෙකයි කකුලකුයි නැති බව දැනගත්තාම මට ඒ දරාගන්න බැරි වුණා. මම ගොඩක් මානසිකව වැටුණා. මට රශ්මිව නාවන්න වත් අල්ලගන්නවත් තේරුණේ නැහැ. මම ඇඬුවා ගොඩක්. මේ දුක දරාගන්න බැරුව මගේ ඔළුව ගැහෙන්න ගත්තා මම අසනීප වුණා හොඳටම. රස්සාවෙන් ඉවත්වෙන්න පවා තීරණය කළා මේ පීඩනය දරාගන්න බැරුව. මහත්තයාගේ අක්ක තමයි ඒ කාලේ දුව හැදුවේ. අන්තිමට මම තීරණය කළා මේ තත්ත්වයට මම මුහුණ දෙන්න ඕනෑමයි කියලා. ඊට පස්සේ මම ටික ටික දූගේ වැඩවලට හුරු වුණා.”

දැන් ඇයගේ ප්‍රතිඵලය රටම දනී. විශිෂ්ට සාමාර්ථ 8 කි. අධි සම්මාන එකකි. සමහර ළමයි උත්තර ලීවාම ඒවා බලනකොට අපිට හිතෙනවා මේක කකුලෙන්ද ලීවේ කියලා. ඒ තරමට අවුල්. විභාග උත්තර පත්‍ර පරීක්ෂකවරු නිතර කියති. එහෙත් රෂ්මි ස්වභාව ධර්මයට අභියෝග කර තිබේ.

කකුලෙන් ලියා අතින් ලියූ උත්තරවලට වඩා හොඳ ප්‍රතිඵල ගෙන රටට ආදර්ශයක් දී තිබේ. රෂ්මි දුවගේ ධෛර්යය තවත් වර්ණවත් කරන තව තවත් උදාරත්වයට නංවන තවත් කරුණක් තිබේ. මේ උදාර දියණියට ඇත්තේ එක් කකුලකි. මේ සමතුන් තුන්ලක්ෂ තිස්තුන්දාහෙන් විශිෂ්ටතම ප්‍රතිඵලය වන්නේ තනි කකුලෙන් ලියා ගත් රෂ්මිගේ ප්‍රතිඵලයය.

උපුලි පුන්සරා