කතුවැකි

දැන වෙ‌ළෙඳාම නොදැන ගොයිතැන්

ගෙදරටම වී ඉන්න යයි රජය කළ නියෝගය රට වැසියන් මුලදී භාර ගත්තේ කෑම බීම පොදි ගසාගෙන කළ යුතු අමාරු දෙයක් හැටියටය. එහෙත් දැන් එය අනෙක් පැත්තට පෙරළී ඇත. කෑම බීම පොදි ගසාගෙන ගෙදර ඉන්නට හැදූ ජනතාව දැන් කෑම බීම ගෙදරදීම වගා කර ගන්නා තැනට මාරු වී සිටිති.

දැන් මෙරට දහස් දසදහස් ගණනක් ගෙවතු වගා කෙරෙන උදළු හඬ අපිට ඇසේ. ගෙවතු මතුනොව ලැබුන නිවාඩුවේ දී එළවළු කොරටුද වගාවට බිම් සකසා අවසන්ය.

කොරෝනා වසංගතයෙන් පසු එන්නට නියමිත ආහාර හිඟය ගැන ආණ්ඩුව හොඳින් වටහා ගත් බව පෙනේ. ඇඳිරි නීතිය පැනවූ මුල් දිනවල රජයේ තීරණ දැනුම් දෙන ප්‍රවෘත්ති සාකච්ඡාවට ආ බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා ඇට වර්ග පහක පැකට්ටුවක් පෙන්නා සහන මිලට සෑම ගෙයකටම ඇට පහේ පැකට්ටුව බැගින් ලබා දෙන බව කීවේය. එහෙත් කැබිනට් ප්‍රකාශ තුමාගේ ඒ කතාව සමාන වන්නේ 1977 දී ජේ.ආර්. ජනතාවට දෙන්නට පොරොන්දු වූ ඇට අටේ මල්ලටය. සෞභාග්‍යා නම් වෙබ් පිටුවක් ආරම්භ කළ ආණ්ඩුව එය මගින් ඇට පැළ ඉල්ලන ලෙස ජනතාවට දැනුම් දුන්නේය. එහෙත් දින ගණනාවක් ඇතුළත වෙබ් පිටුව වසා දමා තිබුණේ ඇට පැළ ඉල්ලුමට සැපයිය නොහැකි බව පිටුවේ සඳහන් කරමිනි.

දැන් ලක්ෂ ගණනක් ජනතාව ගෙවතුද ගොවි බිම්ද සකසා ගෙන බලා හිඳී. ඇට ගන්නට පැළ ගන්නට තැනක් වත් විදිහක්වත් රජයේ මග පෙන්වීමක්වත් නැත. ගමේ ජනතාව ගොවි නියාමකයන් විමසූ විට ලැබෙන්නේ ඔවුන් ද අන්දමන්ද වූ බව හැඟෙන උත්තරයකි.

කොවිඩ්-19 නිසා ලැබුණ නිවාඩුවේ දී ජනතාව ගෙවතු වගාවන් බොහොමයක් වගා කළේ වස විසෙන් තොර ආහාර වේලක් ගෙදරදීම සකසා ගැනීමේ ඉහළ බලා​පොරොත්තුවෙනි. වස විස යොදන ගොවිතැනට එරෙහිව දිය හැකි හොඳම උත්තරය ද එයය. එහෙත් ගෙවතු බිම් සකසා ආපසු හැරෙන ජනතාවට ඊට උවමනා කාබනික පොහොරද ගන්නට තැනක් නැත. රජය කාබනික පොහොර තනන්නේ නැත. ඒවා විදේශවලින් ගෙන්වන්නේද නැත.

අමාරුවෙන් හෝ ඇට පැළ හොයාගෙන කළ වගාවන්ට ඊළඟට එන්නේ කෘමි නාශකය. මුල් වරට ඵලයක් පතා ඇටයක් පැළයක් සිටුවන්නා එයින් මහත් බලාපොරොත්තු තබයි. එහෙත් එබඳු තත්ත්වයකට මුහුණ දීමට දැනුමක් නැතිව වගාවේ යෙදෙන්නා කෘමි හානියකදී වගාව වැනසුනහොත් ඔහු ඒ ඇටයක් සිටුවන අවසාන වතාව විය හැකිය.

මේ සියලු තත්ත්වයන් යටතේ වුවද මේ මොහොත වන විට වෙන කවදාටත් වඩා එළවළු ප්‍රමාණයක් ලංකා පොළොවේ පැළ වී තිබේ. ඒ වගාව හෙට දිනයේ වෙළෙඳපොළට අතිරික්තයක් ගෙනෙනු ඇත. එදා වේල සඳහා නොව ජීවනෝපායන් සඳහා වවන්නෝ සුලභ බෝග වගාවේම මෙවර යෙදුනහොත් වවන්නෝ නැසෙන්නෝය යන කියමන නුදුරේදී ඔවුන් වටහාගනු ඇත. එබැවින් දැන්ම තබා මේ ප්‍රශ්න ගැන ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත්ය. එසේ නොවුනහොත් වන්නේ ‘‘දැන වෙළෙඳාම නොදැන ගොයිතැන්’’ කියමන යළිත් මෙරට තහවුරු වීමය.