විශේෂාංග

දැන් ​සිරකරුවෝද සිත්තරුය

වැලිකඩ බන්ධනාගාරය දෙස බලන්නකුට මුලින්ම ඇස ගැටෙන්නේ බන්ධනාගාර තාප්පයේ සිත්තම්ව ඇති බිලිඳාට කිරි දෙන මවගේ රුවයි. ඒ සිත්තම එහි මැවුවේ ආර්ට් සුදා නොහොත් හෙට්ටිආරච්චිගේ හිරන්ත සිරිල් රුද්‍රිගූය. ඔහු වැලිකඩ බන්ධනාගාරයේම රැඳවියෙකි. ‘ආර් සුදා’ කට පුරා ‘පට්ට පොරක්’ කියන්න පුළුවන් මාර ආටිස් කෙනෙකි. තවත් විදියකින් කීවොත් ආර්ට් සුදා බන්ධනාගාර රැඳවියන්ගේ චිත්‍ර කලාවේ බ්‍රෑන්ඩ් නේම් එකයි. ඇත්තෙන්ම තාප්පයෙන් වට වූ ඒ ලෝකයේ ඔහු වන් මාර ආටිස්ට්ලා බොහෝමයකි. ඒ බව යළි යළිත් සපථ වූයේ ‘‘සිපිරි රූ’’ චිත්‍ර ප්‍රදර්ශනය තුළිනි. මේ සිතුවම් ප්‍රදර්ශනය සංවිධානය කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවයි. ඒ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විජයනාත් තෙන්නකෝන්ගේ උපදේශකත්වය යටතේය.

අපේ රටේ බන්ධනාගාරයට නියම වූවන් හරිපාරට ගන්නට කරන්නේ පුනරුත්ථාපනයයි. එකී පුනරුත්ථාපනයට නොයෙක් අංග ඇතුළත්ය. රැකියා පුහුණුව, හැම ආගමකටම අදාළ උපදේශනය, භාවනා වැඩසටහන්, අධ්‍යාපනික වැඩසටහන් ආදී එකී මෙකී නොකී වැඩසටහන් ඒ අතර ඇත. ඒ අතරේ සිත්තම්කරණය කියන්නේ ඕනෑම වේදනාවකින් පිරී ගිය සිතක් සනීප කරන්නට හපන්කම් ඇති කදිම ඔසුවකි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විජයනාත් තෙන්නකෝන් සිත්තම් කලාවේ කදිම රසිකයෙකි. බන්ධනාගාර රැඳවියන්ට චිත්‍ර බෙහෙත් දෙන්නට ඔහු තෝරා ගත්තේ ජාතික කලා භවනේ ලංකා කලා සංගමයයි.

කලා සංගමයේ ගුරුවරුන්ට, සිසුන් ලෙස ලැබුණේ රට වටා බන්ධනාගාරවල සිත්තමට දස්කම් ඇති සිරකාර සිත්තරුන් අතරින් තෝරා ගත් අයය. රට වටේ සිරකාර චිත්‍රකාරයන් මසක චිත්‍ර පුහුණුවට වැලිකඩ බන්ධනාගාරයට එක් වූහ. සිත්තරුන්ට පළමු පාඩම ලැබුණේය. ඒ ආත්ම විශ්වාසයයි. තමන්ට මෙය කළ හැකි බවය. ඒ ආත්ම ශක්තිය කැටිකරගත් ඔවුන් තම චිත්‍ර පාඩමේ පළමුවැනි පියවර තැබුවේය. පළමු දවසේ ඔවුන් උගත්තේ මිනිරනින් සැදි පැන්සල් තුඩක අරුමයයි. අනේක විධ වර්ගීකරණයන් යටතේ සිහින් ඉරකින් තද පාටින් ඇදෙන පැන්සල් ඉරක විශ්මය ඔවුන් ඉගෙන ගත්තේය. පාට පෙට්ටියේ වර්ණ ලෝකයේ අපූර්වත්වය ඔවුහු ඉගෙන ගත්තෝය. සිත්තම් කලාවේ එළිය අඳුර, ඈත මෑත, උණුසුම් වර්ණ, සීතල වර්ණ, පොළෝ වර්ණ පර්යාවලෝකනය ආදී දේ ඔවුන් ඒ පාඩම්වලින් ඉගෙන ගත්තෝය.

සිය හදවතේ රැඳි හැඟුම කැන්වසයට ගෙන එන්නට මාර්ගය ගුරුවරුන් ඔවුන්ට කියා දුන්නේය. සමාජ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිධාරීන් වූ ඔවුන් සිය අතීත ස්මරණ අතරේ තිබූ භූමි දර්ශන, මතකයේ රැඳුණු සිදුවීම, හිමි වූ අහිමි වූ දේ, තමා දකින ලෝකය ආදී වූ අනේක විද මාතෘකා කර ගත්තෝය.

‘‘මේ චිත්‍ර කලාවෙන් ලැබුණු හික්මීම, සංයමය මීට කලින් ලැබුණා නම් අද අපි මෙතැනට එන්නේ නෑ. ආයෙත් එළියට ගියොත් කූඹියෙක්වත් මරන්නේ නෑ. ඒත් අපිට මෙතැනින් එළියට යන්න බෑ.’’

එසේ කියන්නේ මරණයට දින නියම වෙන තෙක් බලා සිටි මනුෂ්‍යයෙකි. සිරගත වූ ජීවිතයේ වේදනාවේ සිරගත නොවූ සිතුවිලිවලින් කැන්වසයක් මත තැවරුව සිත්තරෙකි. සිරකාර සිත්තාර එසේ කීවේ සිය ගුරුකාර සිත්තරාටය. හැම සිරකරුවකුගේම හදවත එසේ කොඳුරන්නට ඇත. ඔවුන් ඇඳි සිතුවම්වල අඩුපාඩු අකාමකා දැමූ චිත්‍ර ගුරුවරුන් චිත්‍ර 102 ක් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයට එක් කළහ. සිරකාර සිත්තරුන් 62 කගේ සිතැඟිය අපූරුවට එහි වර්ණ වී තිබුණේය.

නිදහසේ අගය දැනෙන්නේ එය අහිමි වූ විට යැයි කියමනක් ඇත. ඒ කියුමට අඩුවැඩියක් සිරකරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයේ කැටි වී තිබුණේය. ඒ චිත්‍රවලින් බොහෝමයක් සිත්තම්ව තිබෙන්නේ පරිසරයේ සුන්දරත්වය රැගත් භූමි දර්ශනය. චිත්‍ර 162 ක් අතරින් සිතුවම් 51 කට ආසන්න වූ සිත්තම්වල තිබුණේ නිදහසේ පැතුමගත් පරිසරයේ චිත්‍රයි. මිහිකත වර්ණයන්ගෙන්, එළිය අඳුරෙත් විශ්චිතව පර්යාවලෝකනයෙන් අපූර්ව වූ පාරිසරික චිත්‍රයි. අහස පමණක් ඇසින් දකින ඔවුන් මසැසින් දුටු වනාන්තර කැන්වසයේ සිත්තම් කර තිබුණේය. බුදුදහම, කිතු දහම හා හින්දු දහමේ සුන්දරත්වය තැවරුණු සිතුවම් 15 ක් ඒ අතර විය. අංගුලිමාල දමනය ද එහි තිබුණේය.

‘‘මට මෙතන ළමයි ගැන සතුටුයි. සමහරු උපතින්ම චිත්‍ර කලාවට දක්ෂකමක් ඇති අය මෙතන ඉන්නවා. සමහරු මාස හයට, අවුරුදු දෙකට හිරේට නියම වෙච්ච අය. තවත් අය මරණ දඬුවම නියම වෙලා මෙතැන ඉන්නේ. වැලිකඩ බන්ධනාගාර තොරණෙ චිත්‍ර අඳින අයගේ චිත්‍රත් මේ අත‌​රේ තියෙනවා.’’

සිරකාර සිත්තරුන්ගේ ප්‍රධාන ගුරුවරයා වූයේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ජාතික කලාකරුවකු මෙන්ම ජාතික කලාභවනේ චිත්‍ර අංශයේ ප්‍රධාන පුහුණුකරුවකු වූ ජයරත්න තිසේරා මහතා තම ගෝලයන් ගැන කිව්වේ එහෙමයි.

‘‘මට එතැන හිටිය එක රැඳවියෙක් මෙහෙම කතාවක් කිව්වා. මේ කලාවෙ තියෙන සංයමය අපට ලැබුණේ ගැලවෙන්න බැරි තැනකට ආවට පස්සෙ. ‘අපි මෙතැනට ආවේ ප්‍රශ්නයකට මැදිවෙලා. ඒත් මෙතැන එදිනෙදා වැඩවලින් අපේ හිතේ තියෙන ඒ ප්‍රශ්න වැඩි වෙනවා. මොකද අපිට එතැන කරන්න දෙයක් නෑ. අර දේ ගැනම හිත හිත ඉන්නවා. ඒත් මේ වගේ පුනරුත්ථාපන වැඩසටහන් නිසා අපේ මනසට සැනසීමක්, සතුටක් ලැබෙනවා.’ කියලා.’’

තවත් කෙනකුට මම කිව්ව සමහරක් විට බන්ධනාගාර බස්වලින් ඕගොල්ලන්ව මේ ප්‍රදර්ශනය බලන්න එක්ක ඒවි කියලා. එතකොට එයා කිව්වා නෑ, මම ගෙදර කට්ටිය එක්ක පාරේ බස් එකේ එනවා කියලා. ඒ දරුව චිත්‍ර ප්‍රදර්ශනේ පටන් ගන්නකොට නිදහස් වෙලා යනවා.’’

මේ කට්ටිය එක්ක ගනුදෙනු කරන්න ලැබිච්ච එක ජීවිතේ ලබපු හොඳ අත්දැකීමක්. ඒ ගොල්ලෝ එළියේ සමාජය හිතන් ඉන්නවා වගේ දරුණු නරක අය නෙවෙයි. ඇත්තටම හොඳ මිනිස්සු. සමහර විට ජීවිතේ තත්පර ගාණකින් ගත්ත වැරදි තීරණයක් නිසා හිරේට ආපු අය. ඇත්තටම සමහර විට එළියේ ඉන්න මිනිස්සු තරම් මේගොල්ලෝ දරුනු නෑ.’’

චිත්‍රකාර සිරකරු සිසුන්ට චිත්‍ර පාට පෙට්ටියේ අකුරු කියා දීමට එක් වූයේ ජයන්ත තිසේරා ගුරුතුමා පමණක් නොවෙයි. ඒ අතර ලංකා කලා සංගමයේ සභාපති පුලස්ති එදිරිවීර, ලේකම් අරුණ ගමගේ, මාරියස් පෙරේරා, චමිලා සේනපාල, ආනන්ද අබේකෝන් යන සිත්තර ගුරුවරු ගුරුවරියෝද ඒ අතර වූහ.

සිත්තම් ප්‍රදර්ශනයේදී අපිට එක් විශේෂ සිත්තරෙක් හමුවිය.

‘‘ඉස්කෝලේ හත වසර ඉඳලා වගේ තමයි මම චිත්‍ර ඇන්දේ. ගිය අවුරුද්දෙ පෙබරවාරි මාසෙයි ආවේ. ඒ ඇවිල්ල තොරණට උදව් කළා. මට මේ චිත්‍ර අඳින එකෙන් ලැබෙන්නේ විශාල ආත්ම තෘප්තියක්. මම මේ චිත්‍ර විශේෂ හේතු ඇතුව ඇන්දේ. මේ චිත්‍රය ඇන්දේ කාන්තාවක්, ගැහැනියක් කියන්නේ කන්දක් වගේ සියල්ල දරාසිටින්නියක්. බැලූ බැල්මට මේක පාරිසරික භූමි දර්ශනයක් කියලා හිතුවට මේකෙ ඇත්තටම ඉන්නේ කාන්තාවක්. මට කාන්තාවක් ගැන තියෙන ගෞරවය තමයි මේකෙන් පෙන්වන්නේ.

සිත්තම් ප්‍රදර්ශනයේ චිත්‍ර අතරින් සිතුවම් 38 ක හිමිකරු ඔහුය. කාන්තාවගේ සැඟවුණු රුව රැගත් සිත්තම මිලට ගෙන තිබුණේ එළිසබෙත් රහීමාය.

‘‘මම බන්ධනාගාර රැඳවියන්ගේ මනෝ උපදේශිකාවක්. මම මේ චිත්‍රය මිලදී ගත්තේ කලබලකාරීත්වයෙන් තොර නිදහස්, නිස්කලංක බවක් සාමකාමී බවක් මේකෙ තියෙන නිසා. හරිම කූල් කලර්ස් මේකට භාවිත කරලා තියෙන්නේ. මේක දිහා බලන් ඉන්නකොට ස්ට්‍රෙස් එක නිකන්ම අඩුවෙනවා.

මේක ඇඳපු චිත්‍ර ශිල්පියා ඇත්තටම සුන්දර හිතක් තියෙන කෙනෙක්. ඒ වගේම නිදහස, සැහැල්ලුව ප්‍රිය කරන කෙනෙක්. සමහර විට එයා ඒ නිදහස් සැහැල්ලුව සුන්දරත්වය සොයාගෙන වැරදි පාරක ගිහින් මෙතැනට එන්න වුණා වෙන්න පුළුවන්.’’

ඔහු ඇඳි සිතුවම් අතරේ බාල අපචාර, සිරගත ජීවිතය, ගතින් සිර නොවූවද, සිතෙන් සිරගත නොවූ හැඟීම, පවුල් ජීවිතය, මරණ දන්ඩනයේ වේදනාව, මනුෂ්‍යත්වයේ සුන්දරත්වය රැගත් චිත්‍ර තිබුණේය.

‘‘අපි මේ වැඩෙන් ලොකු සතුටක් ලබනවා. අපි චිත්‍ර අඳින එකෙන් අපේ හිතේ තියෙන වේදනාව. දුක නැති කරගන්න පුළුවන්. අපි කලින් වැරදි කළා. ඒත් මේ චිත්‍ර ඇඳීම තුළින් ලබපු හික්මීමෙන්. ආයෙත් සමාජෙට ගිහින් වරදක් කරන්නේ නෑ. මම ඇඳපු චිත්‍ර අතරෙ පිය සෙනෙහස, දුප්පත් පොහොසත් භේදය ආදී දේ තියෙනවා. මම ඇඳපු එක චිත්‍රයක ‘නිදහස’ තියෙනවා. අපට සිරගත ජීවිතේ හිමි වෙන්නේ පිඟාන, කෝප්පෙ, පැදුර. පොත් වගේ දේවල් තමයි. අපිට යාළුවො වෙන්නෙ පූසයි, මීයයි විතරයි. කන්න පුරුදුවෙලා ඇවිල්ලා තඩි මීයෝ ඉන්නෙ. ළඟට වෙලා ඉන්නවා. අපි නිදහස් වෙන්නෙ මේ හැමදේම දාලා. ඒ සිතුවම් ඇඳි තවත් සිරකාර හදවතක පාපොච්චාරණයයි.

ඒ සිත්තරුන්ගේ ආත්මයේ හදවතේ සියුම්ව තත් පිරිමැද ආ ඒ චිත්‍ර තුළ සමාජයේ විවිධ කියැවීම් ගැබ්ව තිබුණේය. හරිත වර්ණය ඇස නොගැසෙන ඔවුන්ගේ සිත්තම්වල වැඩියෙන්ම තැවරී තිබුණේ මිහිකත වර්ණය. ලෝකයේ ඇති ගැටලු හමුවේ අඳ ගොළු බිහිරි ප්‍රතිපත්තියක සිටින මිනිසුන්, සිරගත ජීවිතයේ ඛේදවාචකය, සමාජ අසාධාරණය, ඇති නැති පරතරය, නිදහස, පරිත්‍යාගය, දෛවය, බලාපොරොත්තුව, ඇත්ත සහජීවනය, කාන්තා නිදහස, බුද්ධිය, වින්දනයේ ඉව, දරු සෙනෙහස ආදී අනේකවිද මාතෘකා ඔස්සේ එහි චිත්‍ර සිතුවම් ඇඳී තිබුණේය.

මේ ජයග්‍රහණය තුළ සිත්තරුන්ට ත්‍යාගද ලැබෙන්නේය. ඒ සබන්, දත් බෙහෙත් ආදී සනීපාරක්ෂක උපකරණය. ආණ්ඩුවේ බෝඩිමට බොහෝ දේ අකැපය. ඒ නිසා ජයග්‍රාහී සිත්තරුන්ට දෙන්නට හැකි තෑගිද සීමිතය. එහෙත් එයින් ඔවුන් ලබන මානසික සතුට අසීමිත වනු ඇත.

සිරකාර සිත්තරුන්ගේ සිතුවම් දැක්ම ගැන වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන පුනරුත්ථාපන නිලධාරි එන්.පී.එස්. දසනායක මෙසේ කියා සිටියේ ය.

‘‘දැන් ලෝකයේ වරදට දඬුවම් කියන දේ ටික ටික වෙනස් වෙලා පුනරුත්ථාපනය කියන දේ කරන්නෙ. පුනරුත්ථාපනය යටතේ අපි විවිධ දේ කරනවා. ඒ අතරින් අපි චිත්‍ර හැකියාව තියෙන අයගේ ඒ හැකියාවන් වැඩි කරන්නටත් කටයුතු කරනවා.’’

බන්ධනාගාරෙ ඇත්තන්ගේ චිත්‍ර කර්මයට අතහිත දුන්නේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතාය.

‘‘මීට පෙර කාලයේ අපි චිත්‍ර ප්‍රදර්ශනයක් කළා ‘සිර නොවූ සිතුවම්’’ කියලා. ඒකේ ප්‍රථම ස්ථානයත්, දෙවන ස්ථානයක් දෙකම දිනා ගත්තේ එකම රැඳවියෙක්. අවුරුදු 40 ක් විතර හිරේ හිටිය, හිරෙන් පැන යන්න උත්සාහ කළ රැඳවියෙක්. කළු සුදු වර්ණ භාවිතයෙන් ගිරා පවුලකට ආදේශ කරලා එයා එයාගේ පවුලෙන් වෙන්වීම ඇඳලා තිබ්බ. අපි අත්දැකීමුත් සම්බන්ධ කරගෙන තමයි මේක සංවිධානය කළේ.

අපි මේකෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. චිත්‍රවලට සංචාරක ක්ෂේත්‍රයේ ලොකු ඉල්ලුමක් තියෙනවා. අපි උත්සාහ කරනවා නිදහස් වුණාම මේ චිත්‍ර ශිල්පීන්ට එක වෘත්තියක් විදියට කරගෙන යන්න පසුබිම හදන්න…
කලාව විශ්ව භාෂාවකි. ඒ භාෂාවට ජාති කුල ආගම්, දේශ සීමා වැටකොටු තහංචි නැත. ඒ නිහඬ බසින් සිරකාර සිත්තරුන් පවසන පණිවුඩයේ මනුෂ්‍යත්වයේ සියුම් වේදනාවක් ලියැවී තිබුණේය.

 

මදුෂානි කොඩිතුවක්කු