කතුවැකි

දැන් පෙන්වනවා වී මිලදී ගැනීමේ විකට නාටකය II

ආණ්ඩුව විසින් වී මිලදී ගැනීමේ විහිළු නාට්‍යයේ දෙවන කොටස දැන් ආරම්භ වී තිබේ. මෙම කොටසට හිනා විය හැක්කේ පළමු කොටස මතක අයට පමණකි. ඒ නිසා දෙවන කොටස ගැන කියන්නට පෙර පළමු කොටස සිහිපත් කරගත යුතුය.

පළමු කොටස ආරම්භ වූයේ මෙදා සැරේ දෙනව බැටේ යැයි කියමින් ගොවීන් සතු අන්තිම වී ඇටය දක්වා ආණ්ඩුව මිලදී ගන්නා බවට වහසි බස් දොඩමිනි. කෘෂිකර්ම අමාත්‍යවරයා එවැනි චණ්ඩි පාට් එකක් දැම්මේ අනෙක් හැමදාම මහා පරිමාණ මෝල් හිමියන් කිහිප දෙනකු රට පුරාම වී අස්වැන්න සූරා ගන්නා නිසාය. ආණ්ඩුව වීවලට සහතික මිලක් නියම කළත් ආණ්ඩුවට කොකා පෙන්වා වී මිලදී ගන්නා මේ මහා පරිමාණ වී මෝල් හිමියන් සහල් තොග රඳවා ගනිමින් ආණ්ඩුවත්, පාරිභෝගිකයාත් තමන්ගේ අල්ලේ නැටවීම නවත්වන්නට සමත් ආණ්ඩුවක් මේ දක්වා බිහිව තිබුණේ ද නැත.

මේ සෙල්ලම නවත්වන්නට කල්පනා කළ ආණ්ඩුව පොහොර සහනාධාරය ලබා ගන්නා ගොවීන් අනිවාර්යයෙන්ම තමන්ගේ වී අස්වැන්නෙන් කොටසක් හෝ ආණ්ඩුවට අලෙවි කළ යුතු බවට තර්ජනය කළේය. ගොවීන් මේ තර්ජනය තඹ පයිසයකට මායිම් කළේ නැත. මේ නිසා පස්ස බිම ඇනගත් ආණ්ඩුව මහා පරිමාණ මුදලාලිලා සමග සමාදානයට ගියේය. ඒ අනුව ආණ්ඩුව වී සඳහා නියම කරන රුපියල් 55 ක මිලටම මුදලාලිලා ද වී මිලදී ගන්නට එකඟවන බවට ගිවිසුමක් ද අත්සන් කෙරිණි.

මේ නාටකයේ දෙවන කොටස ආරම්භ වන විට පෙනෙන්නට ඇත්තේ වී මුදලාලිලා ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම බල්ලාට දමමින් තමන් මුදලාලිලාම බව ඔප්පු කර තිබෙන බවය. ඊයේ අප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වූයේ පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර, පොළොන්නරුව හා අම්පාරෙන් නීති විරෝධීව වී තොග රැස් කළ ගබඩා 14 ක් වටලා ඒවාට සීල් තබා ඇති බවය. මෙම ගබඩාවල තිබූ වී ප්‍රමාණය කිලෝග්‍රෑම් ලක්ෂ 80 කට වැඩිය. වාර්තාවන ආකාරයට මෙම වී තොග රැස්කර ඇත්තේ මහා පරිමාණ වී මුදලාලිලා වෙනුවෙනි. පාරිභෝගික අධිකාරිය ඊයේත් අම්පාර හා පොළොන්නරුවේ මෙවැනිම වී ගබඩා අටකට මුද්‍රා තබා තිබේ. මේ අතරින් අම්පාරේ ගබඩාවක වී කිලෝග්‍රෑම් ලක්ෂ තිහක් ගබඩාකර තිබී ඇත්තේ බියර් නිෂ්පාදන සමාගමක් සඳහා බවද කියැවේ. තවත් ගබඩාවක සහල් කිලෝ ග්‍රෑම් ලක්ෂ 10 ක් ගබඩා කර තිබී ඇත්තේද මේ සඳහාය.

මුදලාලිලා ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම බල්ලාට දමා වී තොග රැස් කිරීම නිසා වී මිලදී ගැනීම ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා ආණ්ඩුවට මිලදී ගැනීමට හැකිව ඇත්තේ වී මෙට්‍රික් ටොන් තුන්දහසකටත් අඩු ප්‍රමාණයක් පමණි. එයින්ද මෙට්‍රික් ටොන් දෙදහසක පමණ ප්‍රමාණයක් රතු නාඩු විය. රතු නාඩු වී මෙට්‍රික් ටොන් දෙදහසක් නොව ලක්ෂයක් එකතු කළත් පලක් නැත්තේ රතු නාඩු සහල් සඳහා වෙළෙඳපොළේ වැඩි ඉල්ලුමක් නැති නිසාය.

වී මිලදී ගැනීම සඳහා ආණ්ඩුව මුදලාලිලා සමග කරන සටනින් පරදින බව අපි කල් තියාම දැන සිටියා පමණක් නොව ඒ බව ප්‍රකාශ කොට ද ඇත්තෙමු. ආණ්ඩුව වී මිලදී ගැනීමෙන් හෝ පෞද්ගලික අංශයේ සහල් ඒකාධිකාරිය සමග තරග කර ජයගත නොහැකි වීමට ප්‍රධානම හේතුව ඒ සඳහා වන යාන්ත්‍රණයක් නොමැතිකමය. වී අලෙවි මණ්ඩලය, සමුපකාර සමිති හා දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් වී මිලදී ගන්නා නමුත් මේ සියලු ආයතන බලා සිටින්නේ ගොවීන් වී තොග රැගෙන තමන් වෙතට එනු ඇතැයි කියාය. එවිට පෞද්ගලික අංශය කරන්නේ ගොවියා ළඟට ගොස් වී මිලදී ගැනීමය. ගොවීන් ආණ්ඩුවේ ආයතන වෙත වී තොග රැගෙන ගියත් ඔවුන් මිලදී ගන්නේ හොඳින් වියළී ඇති වී පමණය. පෞද්ගලික අංශය තෙත වී වුවත් මිලදී ගන්නට සූදානම්ය.

ගොවීන් වී අලෙවි කළත් ඒ සියලු තොග ගබඩා කරන්නට පහසුකම් ආණ්ඩුවට නොමැති අතර වී සහල් බවට පත් කිරීම සඳහා මෝල් ද ආණ්ඩුවට නැත. ආණ්ඩුව රටේ සමස්ත වී නිෂ්පාදනය මිලදී ගන්නා බව කීම අපට විහිළු නාට්‍යයක් වන්නේ මේ නිසාය. නාට්‍යය විහිළුවක් වුවත් එය බලා සිටින විට ඇඬෙනවා මිස හිනා යන්නේ නැත. මේ නිසා මේ රටේ බත් කන අපි කාටත් සහල් මුදලාලිලා කිහිප දෙනකුගේ ග්‍රහණයෙන් ගැලවීමක් නැති නිසාය.

හාල් මුදලාලිලා අතළොස්සක් දෙනා මේ රටේ බත් කන ජනතාවට බත් කෑම එපා කරවන තත්ත්වයක් ඇති කරන්නේ නමුත් ඒ ගැන ඔවුන්ට පමණක් ඇඟිල්ල දිගු කළ නොහැකිය. ඔවුන් කරන්නේ පවතින තත්ත්වයෙන් ප්‍රයෝජනයක් ගැනීමය. ඒ තත්ත්වය ඇති කිරීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට පෙර වගකිව යුත්තේ හිටපු ආණ්ඩුය. මේ ආණ්ඩුවේ වරද වන්නේ ඒ තත්ත්වය වෙනස් කරන්නට කටයුතු නොකිරීමය. අපි සහල් ඒකාධිකාරිය පරදනවා, රටේ මුළු වී නිෂ්පාදනයම මිලදී ගන්නවා යැයි කී පමණින් පවතින තත්ත්වයේ වෙනසක් නොවන බව දැන්වත් තේරුම්ගත යුතුය.

මොනවා කිව්වත් ආණ්ඩුවට ඒ සඳහා සැබෑ අවශ්‍යතාවක් ඇත්දැයි සැක සිතෙන්නේ ආණ්ඩුවේ බැංකු පවා පෞද්ගලික සහල් මුදලාලිලාට පමණක් නොව ඔවුන්ගේ රූකඩ ගබඩාකරුවන්ට පවා ණය පහසුකම් ලබා දෙන නිසාය. පාරිභෝගික අධිකාරිය පසුගිය දින දෙක තුළ වැටලූ ඇතැම් වී ගබඩාවලට වී මිලදී ගැනීම සඳහා ණය ලබා දී ඇත්තේ රාජ්‍ය බැංකු විසිනි. වී මිලදී ගත හැක්කේ ඒ සඳහා අනුමැතිය ලබාගත් ව්‍යාපාරිකයන්ට පමණක් නම් එවැනි අනුමැතියක් නැති අයට රාජ්‍ය බැංකු විසින් ණය ලබා දෙන්නේ කෙසේද? හොර වී ගබඩා වටලන බව කියන බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා හෝ ආණ්ඩුවේ වෙනත් වගකිව යුත්තකු ඒ පිළිබඳ සොයා බලන්නේ දැයි දැන ගැනීමට අප කැමැතිය.

පාරිභෝගික අධිකාරිය විසින් වටලන ලද හොර වී ගබඩාවලින් බහුතරය ප්‍රධාන වී මෝල් හිමියන් වෙනුවෙන් වී තොග රැස්කරන ලද අය මිස ව්‍යාපාරිකයන් නොවන බව හෙළිදරව් වී තිබේ. එසේ නම් ඔවුන්ට රාජ්‍ය බැංකුවලින් ණය පහසුකම් ලැබෙන්නට ඇත්තේ කෙසේද යන්නද පැහැදිලිය.

ප්‍රධාන පෙළේ වී මෝල් හිමියන්ගේ ඒකාධිකාරය බිඳින්නට උත්සාහ කරන්නා සේම ආණ්ඩුව අවධානය යොමු කළ යුතු තවත් ප්‍රධාන කාරණයක් තිබේ. බියර් නිෂ්පාදනයේ අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීම සඳහා වී තොග රැස් කිරීමය. සහල් මෝල් හිමියන් මිලදී ගන්නා වී සහල් බවට පරිවර්තනය වන බවට සැකයක් නැතත් බියර් සඳහා වී මිලදී ගැනීම සත්‍ය වශයෙන්ම සහල් හිඟයක් ඇති වීමට හේතුවකි. ​ඊයේ සොයාගත් සහල් හා වී තොගවලට අමතරව තවත් තැන්වල මේ සඳහා මිලදී ගත් වී සහ සහල් තොග තිබිය හැකිය.

මෙම ජාවාරමේ නිරත මත්පැන් නිෂ්පාදන සමාගම් හෙළිදරව් කර ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පැකිළෙන්නේ කුමක් නිසාද? මෙම සමාගම්වලට පමණක් නොව මහජන මුදලින් පොහොර සහනාධාර ලබා බියර් සමාගම්වලට වී අලෙවි කිරීමේ අපරාධයට හවුල්වන ගොවීන්ට එරෙහිව ද පියවර ගත යුතුමය.

ආණ්ඩුවට මහා පරිමාණ වී මෝල් හිමියන් දණගස්වන්නට හයියක් නොමැති බව දන්නා නමුත් අඩුම වශයෙන් මෙම බියර් ජාවාරම හෝ මර්දනය කරන්නට පියවර ගත යුතු බව මෙරට බත් කන ජනතාවගේ නාමයෙන් ආණ්ඩුවට මතක් කර සිටිමු.