Uncategorized

දැන් තියෙන්නේ UNP එකේ JVP එකක්

අයවැය ඡන්ද විමසීම නිමා වූ පසුව මහින්ද රාජපක්ෂ කෙළින්ම ගියේ තරංගනී සිනමා ශාලාවට යි. ඒ ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය නැරැඹීමටය.

ඒ එහි නිෂ්පාදකවරිය චමත්කා පීරිස්ගේ පියා වන ජයලත් පීරිස්ගේ ඇරයුමිනි. චිත්‍රපටය නරඹන අතර නිෂ්පාදිකාවගේ පියා ජයලත් මහින්දට කීවේ ‘ජ. වි. පෙ පිරිස මෙම චිත්‍රපටයට අකමැති’ බවය.

“විජේවීරලා හිටපු ජේ. වී. පී එක දැන් නැහැ’’ මහින්ද පැවසීය.
“දැන් තියෙන්නේ යූ .ඇන්. පී එකේ ජේ. වී. පී එකක් මහින්ද සමග චිත්‍රපටිය නැරඹූ සනත් නිශාන්ත කීවේය.
අනතුරුව මහින්ද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ පියාගේ මළගෙදර ගියේ ය. මහින්ද යන විට ගෝඨාභය, ප්‍රසන්න, මහින්දානන්ද, කාංචන, ෂෙහාන්, සනත් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ද එහි රැස්ව සිටියහ.

මළගෙදර පාළු කැපූ ඒ පිරිස අතර මාතෘකාව වූයේ ද ‘අයවැය ඡන්ද විමසීමේදී ශ්‍රීලනිපය කළ කැත වැඩේ’ ය.
“අපි එකඟතාවකට ආවා අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා කියලා. ඒ එකඟතාවට අනුව වැඩ කරන එක කාගෙත් යුතුකම’’ ප්‍රසන්න පැවසීය.

“ඒක තමයි මේවා දෙකේ පන්තියේ වැඩ. සර් ඉස්සරහා හා කියලා ගිහින් පස්සේ බෑ කියනවා. මේ අයත් එක්ක කොහොමද ගමනක් යන්නේ’’ සනත් කීවේය.

“අයවැය පරද්දන්න කෙසේ වෙතත් ඒකට උත්සහවත් කරන්න බැරි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගෙන් වැඩක් තියෙනවද? ඔයිට වඩා හොඳයි ගිහින් එක්සත් ජාතික පක්ෂයත් එක්කම ජාතික ආණ්ඩුව අටව ගත්තනම්’’ ෂෙහාන් පැවසීය.

“මේක අපි කාටවත් අත් උස්සන්න පුළුවන් ජාතියේ අයවැයක් නෙමෙයි. මේක ජනතාව විනාශ කරපු අයවැයක්. ඒකයි අපි විරුද්ධ වෙමු කියලා තීන්දු කළේ’’ මහින්ද පෙන්වා දුන්නේය.

“අපි දැන් අවුරුදු හතරක් තිස්සේ කළේ ආණ්ඩුවට විරුද්ධ වෙන එකයි. කවුරු ආවත් නාවත් අපේ ගමන යමු. ඔය පාවා දෙන සෙට් එක ගැන ඊළඟ පාර ජනතාව තීන්දුවක් ගනී’’ ප්‍රසන්න පැවසීය.