විශේෂාංග

දැන් ඉතින් බ්‍රිගේඩියර් ප්‍රියංකට මොකක් ‌වේවිද?

මේ දිනවල රැල්ලක් සේ පැතිර යන තාප්පවල චිත්‍ර අඳින තරුණ තරුණියන් හමුදා නිලධාරීන්ද සිතුවමට නගා තිබුණේය. යුද්ධය ජයග්‍රහණය කරන අවස්ථාවේදී ත්‍රිවිධ හමුදාවන්ට නායකත්වය දුන් හමුදාපතිවරුන්ගේ සිතුවම් ඇඳෙනවාට වඩා ඇඳී තිබුණේ තවමත් සක්‍රීය හමුදා සේවයේ සිටින හමුදා නිලධාරියෙකුගේ සිතුවමයි. ඒ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ සිතුවමයි. රටේ තැන තැන තමන්ගේ සිතුවමින් බිත්ති සැරසෙන විට ඔහුට විරුද්ධව බ්‍රිතාන්‍ය අධිකරණය තීන්දුවක්දී තිබුණේය.

ඒ ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍ය අධිකරණය විසින් නඩු පවරා වරදකරු බවට පත් කර තිබුණේ 2018 පෙබරවාරි හතර වැනිදා ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට කොටි හිතවාදීන් විසින් පැවැත්වූ විරෝධතාවකදී, විරෝධතාකරුවන්ගේ ගෙල සිඳ දමන බවට අභිනයෙන් පෙන්වූ බව කියමිනි.

ඒ වන විට බ්‍රීගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක ලෙස කටයුතු කරමින් සිටියේය. ඔහුට විරුද්ධව නඩුව විභාගයට ගත් විනිසුරුවරයා පවසා තිබෙන්නේ ප්‍රියංක ප්‍රනාන්දුට තානාපති විනිර්මුක්තිය නොලැබෙන බවය. පසුගිය වසරේ නිදහස් දිනයේදී කොටි හිතවාදීන් ධජ සහ සටන් පාඨ කියමින් සාමකාමී විරෝධාවක් පවත්වා ඇති බවත් ඒ අවස්ථාවේදී හමුදා නිල ඇඳුමින් පැමිණි බ්‍රිගේඩියර්වරයා ගෙල සිඳ දමන බවට වන ඉඟිය තුන් වරක්ම අතේ ඇඟිලිවලින් විදහා දක්වා තිබෙන බවත් අධිකරණ තීන්දුවේ දැක්වුණේය.

බ්‍රිගේඩියර් ප්‍රනාන්දුට විරුද්ධව බ්‍රිතාන්‍ය අධිකරණය නඩු පැවරුවේ බ්‍රිතාන්‍ය නීතිය හා සාමය සුරකීමට අදාළ පනත අනුවය. එම පනත අනුව බ්‍රිගේඩියර්වරයාට විරුද්ධව නඩු පවරන අවස්ථාව වන විට ඔහු එරට සිටියේ නැත. එවකට පැවැති ආණ්ඩුව වහාම තානාපති සේවයෙන් ඉවත් කර ඔහු ලංකාවට ගෙන්වා ගත්තේය. ඒ අවස්ථාවේදී සිටි යුද හමුදාපතිවරයා වූ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පැවසුවේ එම නිලධාරියාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු ලංකාවට ගෙන්වා ගත් බවය. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය නිල වශයෙන් දැනුම්දුන්නේ බ්‍රිගේඩියර් ප්‍රනාන්දු තානාපති කාර්යාලයේ සේවය කළ අයෙක් වන නිසා ඔහුට තානාපති විනිර්මුක්තිය ඇති බවය. තානාපති විනිර්මුක්තිය ඇති නිලධාරියෙක්ට එරෙහිව නඩු පැවරිය නොහැකි බව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය විය.

එහෙත් බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය තීන්දුවක් දෙමින් ප්‍රකාශ කළේ ඔහුට විනිර්මුක්තිය හිමි නොවන බවය. බ්‍රිගේඩියර් ප්‍රනාන්දු වෙනුවට ඔහුගේ නියෝජිතයෙක් පමණක් සහභාගි කරවමින් පැවති නඩු විභාගයේදී ස්ටර්ලින් පවුම් දෙදහසක නඩු ගාස්තු අතිරේක ගාස්තු හා වන්දි හා දඩ මුදල් ලෙස ස්ටර්ලින් පවුම් 4420 ක දඩයකට යටත් කළ බ්‍රිගේඩියර් ප්‍රනාන්දුට තානාපති විනිර්මුක්තිය නොමැති බවද නැවත වරක් තහවුරු කර ලැබිණි.

මේ ආකාරයට ඔහුට තානාපති විනිර්මුක්තිය නොමැති බවට දී තිබෙන නියෝගය පිළිගත නොහැකි බව ජාත්‍යන්තර නීතිය පිළිබඳ විද්වතෙක් වන ශ්‍රී ලංකා නීති විදුහලේ හිටපු විදුහල්පති ජනාධිපති නීතීඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා පැවසුවේය.

කෙසේ නමුත් මේ ආන්දෝලනයට ලක්ව ඇති තානාපති විනිර්මුක්තිය යනු කුමක්ද යන්න ගැන අවධානය යොමු කළ යුතුව ඇත. තානාපති විනර්මුක්තිය පිළිබඳ සංකල්පය ලෝකයේ පිළිගැනීමට ලක්වූයේ 1961 වසරේදී ඇතිකරගත් වියානා සම්මුතියත් සමගය. නිදහස් හා ස්වාධීන රටවල් සමග තානාපති සම්බන්ධතා පවත්වා ගැනීමේදී තිබිය යුතු කරුණු ඇතුළත් කරගනිමින් ඇති කරගත් සම්මුතියට විවිධ විෂය පරාසයන් ඇතුළත් විය.

තානාපති කාර්යාල නිලධාරීන්ට, එම තානාපති කාර්යාලය පිහිටි රටේ බලපෑම්වලින් හා බියගැන්වීම්වලින් මිදී නිදහස්ව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරදීම මෙම සම්මුතිය ඇතිකරගැනීමේ මූලික අරමුණ විය. 2018 වසර වන විට රටවල් 192ක් තමන්ගේ රටේ නීති පද්ධති මගින් පිළිගෙන තිබෙන වියානා සම්මුතිය තානාපති විනිර්මුක්තිය ලබාදීම සඳහා නීතිමය පදනම දුන්නේය. යුද ගැටුම් හා දුෂ්කරතා පවතින අවස්ථාවලදී රටවල් අතර සම්බන්ධතාවන් යහපත් තත්ත්වයේ පවත්වාගෙන යාම සඳහා විනිර්මුක්තියක් පැවතීම අතවශ්‍ය වී තිබේ.

ඒ අනුව තානාපති නිලධාරීන්ට ලැබෙන විනිර්මුක්තියෙන් අදහස් වන්නේ සුරක්ෂිතව හා අදාළ රටේ බලපෑම්වලින් තොරව කටයුතු කිරීම සඳහා එම රටේ නීති පද්ධතියේ බලපෑමෙන් තොරව කටයුතු කිරීමට ලැබෙන අවස්ථාවයි. ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙන්ම,

“තානාපති විනිර්මුක්තිය’’ කියන එක අන්තර්ජාතික නීතියේ පිළිගත්ත සංකල්පයක්. ශිෂ්ට සම්පන්න ලෝකයේ රටවල් තානාපති විනිර්මුක්තිය පිළිගන්නවා. අපේ රටේ තිබෙන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ගේ නිල නිවස බ්‍රිතාන්‍යයේ කොටසක් විදියට තමයි සැලකෙන්නේ. ඒ වගේම තමයි බ්‍රිතාන්‍යයේ තිබෙන ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ලංකාවේ කොටසක් විදියට තමයි පිළිගන්නේ. එතකොට මෙතැනදි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට තානාපති විනිර්මුක්තිය හිමිවිය යුතුයි. ඔහු තානාපතිවරයා නොවුණට තානාපති කාර්යාලයේ සේවය කරන අයෙක්. තානාපති කාර්යාලයෙන් වැටුප් ලැබූ අයෙක්. ඒ ආකාරයට පුළුල් වශයෙන් බලන විට ඔහුගේ ක්‍රියාවන්ට විරුද්ධව නඩු පැවරිය නොහැකියි”ආචාර්ය ජයතිස්සද කොස්තා පැවසුවේය.

විදේශයන්හි තානාපති කාර්යාලවලට බලපාන්නේ එරට නීතිය මිසක් තානාපති කාර්යාලය පිහිටි රටේ නීතිය නොවන බවට හොඳම උදාහරණයක් වන්නේ මීට කලකට ඉහතදී ශ්‍රී ලංකාවේ බුරුම තානාපති කාර්යාලයේදී වූ ඝාතනය ය. එම සිද්ධියට ශ්‍රී ලංකා පොලිසිය මැදිහත් නොවීය. සැකකාර තානාපතිවරයා අත්අඩංගුවට ගෙන එරටට ගෙන ගියේ බුරුම ආරක්ෂක අංශයය.කෙසේ නමුදු බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව මෙම නඩුව පැවරූ අවස්ථාවේදී මෙන්ම ඉන් පසුවද විදේශ කටයුතු අමාත්‍යාංශය එක් ස්ථාවරයක් දැරුවේය.

එනම් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට තානාපති විනිර්මුක්තිය හිමි බවත් මේ නිසා ඔහුට විරුද්ධව බ්‍රිතාන්‍ය අධිකරණයට කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බවත්ය.
විත්තිකරු ලෙස අධිකරණයට ඉදිරිපත්වූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තියෙන් ආරක්ෂාව නොලබන බවට මීට ඉහත දී තීන්දු කළ බ්‍රිතාන්‍ය විනිසුරුවරිය, එම තීන්දුව පිළිබඳව නැවත සලකා බැලීමක් ද කර තිබුණේ නෑ.

නඩුව පිළිබඳ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ තර්කය ද ඇය විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටි රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස, 1961 රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ 31 වැනි වගන්තියට අනුව බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මහතාට රාජ්‍යතාන්ත්‍රික විනිර්මුක්තිය හිමිවන බව ශ්‍රී ලංකා රජය දිගින් දිගටම කියා සිටිනවා” ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමතාත්‍යාංශය සිය ස්ථාවරය පැහැදිළි කළේ එසේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ නඩුව ආරම්භයේ සිටම බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බව අවස්ථා කිහිපයකදීම දැනුම් දුන් බවය.

2019 ජනවාරියේ දී වෙස්ට්මිනිස්ටර් ම‌​ෙහස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රථම වරට සිතාසි නිකුත් කළ අවස්ථාවේ දී, එවකට ශ්‍රී ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා විදේශ ලේකම්වරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවනු ලැබුවා. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ රාජ්‍යතාන්ත්‍රික විනිර්මුක්තිය නොසලකමින් චෝදනාවට ලක්වූ සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අධිකරණ මගින් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව විරෝධය පළ කළා.

එම අධිකරණය විසින් ජාත්‍යන්තර නීතිය පිළිබඳ වරදවා වටහා ගැනීම සහ විනිර්මුක්තිය ඉල්ලා ශ්‍රී ලංකා රජය විසින් එවන ලද රාජ්‍ය තාන්ත්‍රික සටහනේ අන්තර්ගතය එම අධිකරණයේ පරිපාලනය මඟින් මහෙස්ත්‍රාත්වරයාගේ අවධානයට යොමු කිරීමට අතපසු වීම සම්බන්ධයෙන් සිදුව ඇති අඩුපාඩු නිවැරදි කිරීම සඳහා, වෙස්ට්මිනිස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගය ඇතුළු ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහතික කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය වෙත ඉල්ලීමක් කරලා තිබෙනවා..

මේ පිළිබඳව විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය සමග තවදුරටත් කටයුතු කිරීමට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියට ද උපදෙස් දුන්නා. ඒ වගේම මෙම අන්‍යෝන්‍ය බැඳීමට ගරු කරන ලෙස එක්සත් රාජධානියේ රජයෙන් ද ඉල්ලා සිටියා” විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ඉල්ලීම්වලට කන් නොදුන් බ්‍රිතාන්‍ය රජය තමන්ගේ අධිකරණයේ තිබෙන නඩු විභාගය අඛණ්ඩව පවත්වාගෙන ගියේය. එය අවසන්වූයේ බ්‍රිගේඩියර්වරයාට විරුද්ධව මූල්‍ය දඬුවමක් දෙමිනි. බ්‍රිතාන්‍යයේ මහජන සාමය පිළිබඳ පනතේ 4 (අ) වගන්තිය අනුව තීන්දුව දුන් දඬුවම පහළ මට්ටමේ දඬුවමක් යැයි ජාත්‍යන්තර නීති විෂ්ලේශකයෝ පෙන්වාදෙති. මේ ආකාරයට දුන් දඩය සුළු දඩයක් සේ බ්‍රිතාන්‍ය සලකන අතර එය සංකල්පීය මූල්‍ය දඬුවමක් සේ සලකයි. ඒ අධිකරණයට අවශ්‍ය වූයේ නම් මීට වඩා දැඩි දඬුවමක් දීමේ හැකියාවද බ්‍රිතාන්‍ය නීති අනුව තිබෙන නිසාය.

කෙසේ නමුත් දඩයක් නියම කිරීමත් සමග ලංකාවේ සිටින භික්ෂූන්වහන්සේ හා තවත් පිරිස් එක්වූයේ මෙම දඩය ගෙවීමටය. මෙම දඩය ගෙවීමේ බර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ කර මත පටවන්නේ නැතිව තමන් භාර ගන්නා බවටත් අදාළ සම්පූර්ණ දඩයම තමන් ගෙවන බවටත් විවිධ පුද්ගලයෝ ඉදිරිපත්විය. මෙසේ ඉදිරිපත්වූ ඇතැම් අය යුද හමුදාපතිවරයාද හමුවිය. එහෙත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඒ පිළිබඳ රජය පියවර ගනු ඇති බවයි. මෙම දඩය ගෙවීමට පිටස්තර පුද්ගලයින් සම්බන්ධ කරගත යුතු නැති බවය.

ජාත්‍යන්තර නීතිය ගැන නොසලකා හරිමින්, තානාපති විනිර්මුක්තිය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රිකව කළ දැනුම්දීම් නොසලකා හරිමින් මේ ආකාරයට කටයුතු කරඇත්තේ‌ දේශපාලන මැදිහත්වීම නිසා යැයි ජනාධිපති නීතීඥ ජයතිස්ස ද කොස්තා සිහිපත් කරයි. මෙම සිදුවීම සිදුවූයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය පැවති කාලයේදී නිසා සියල්ල අභිභවා තමන්ගේ මැතිවරණ ජයග්‍රහණ ගැන සිතීමට බ්‍රිතාන්‍ය දේශපාලනඥයින්ට සිදුව තිබූ බවත් ඔහු සිහිපත් කරයි.

“මේක විශේෂිත කරුණු රැසක් තිබෙනවා. මේ වගේ නඩු තීන්දුවක් ලැබීමට බ්‍රිතාන්‍යයේ දේශපාලනය මැදිහත් වෙලා තිබෙනවා. නීතියේ සාධාරණත්වය ගැන, අන්තර්ජාතික නීතියේ සම්ප්‍රදායන් ගැන දේශනා කරන බ්‍රිතාන්‍ය කටයුතු කරන ආකාරය ගැන අපිට හොඳින්ම පෙනී යනවා. මේ තීන්දුව දීපු දවසේ තහනම් කළ සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කොඩි අරගෙන ඇවිත් විරෝධතා දක්වා තිබුණා. මේ නඩුවේ ඉතිහාසය ගත් විටත් වැරදි විදියට තමයි වරෙන්තු දුන්නේ. මේක වැරදියැයි පෙන්වූ විට වරෙන්තු අවලංගු කළා.

මේ වෙලාවේදී බ්‍රිතාන්‍යයේ සිටින කොටි හිතවාදීන් නැවත වරක් උද්ඝෝෂණ කළා. මේවා වුණේ බ්‍රිතාන්‍ය මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී. බ්‍රිතාන්‍ය ඡන්ද ක්‍රමය අනුව ද්‍රවිඩ ජාතිකයන් ලක්ෂ ගණණක් සිටිනවා. මෙයින් බහුතරය ඡන්ද දායකයින්. නමුත් ‌මේ තරම් සිංහල අය නෑ. මේ නිසා එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ ඡන්ද දිනාගැනීම සඳහා මේ අය යුක්තිය පසිඳලීම පසෙක තබා ක්‍රියා කරලා තිබෙනවා. සිංහල විරෝධි ලෙස කටයුතු කරලා තිබෙනවා. මේ තීන්දුවේදීත් වටපිටාව හා දේශපාලන බලපෑම් දෙස බලන විට තීන්දුව සාධාරණ නෑ” ජයතිස්ස ද කොස්තා කීවේය.

කෙසේ වෙතත් මේ වන විටත් බ්‍රිගේඩියර්වරයා දඩය ගෙවා නැත. එමෙන්ම අභියාචනාවක්ද ඉදිරිපත් කර නැත. ඒ වෙනුවට ඔහුට හමුදාවේ අභ්‍යන්තර තනතුරක් ලැබී තිබේ. මෙය පසුගිය දිනවලදී මාධ්‍යයේ වැඩි අවධානයක් දිනා ගත් සිදුවීමක් විය. බ්‍රිතාන්‍ය අධිකරණයෙන් දඩයක් නියම කර සතියක් යාමට පෙර ඔහුට හමුදාවේ තවත් තනතුරක් ලැබීම ගැන බොහෝ දෙනා බලා සිටියේ එය බ්‍රිතාන්‍යයට ඔහු ගැන ලක් රජය ස්ථාවරය පෙන්වූ සිද්ධියක් වන නිසාය.

“දැන් අවශ්‍ය නම් බ්‍රිගේඩියර්වරයාට අභියාචනයක් ඉදිරිපත් කළ හැකියි. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය ලංකාවේ අයට වෙනස් ආකාරයට හා අනෙක් අයට වෙනස් ආකාරයට කටයුතු කරනවා නම් ඒක කනගාටුදායක කරුණක්. මේක හෙළා දැකිය යුතු කරුණක්. මේ සම්බන්ධයෙන් ලංකාවේ රජය ඉදිරියේදී කටයුතු කළ යුතුයි. රාජ්‍යතාන්ත්‍රික අයුරින් කටයුතු කළ යුතුයි. ලංකාවේ ආණ්ඩුවට අවශ්‍ය නම් අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියි.

නැතිනම් අන්තර්ජාතික වශයෙන් රාජ්‍යතාන්ත්‍රික බලපෑම් කළ හැකියි. ඒ වගේම මේ දඩය ශ්‍රී ලංකා රජයට ගෙවිය හැකියි. ඔහුට මේ වන විට හමුදවේ තවත් තනතුරක් ලැබී තිබෙනවා. ඒක හොඳ තත්ත්වයක්. බ්‍රිතාන්‍යයට අවශ්‍ය ආකාරයට අපිට කටයුතු කරන්න බෑ. අන්තර්ජාතික නීතිය අනුව අපිට බැඳීම් තිබෙනවා වගේම බ්‍රිතාන්‍යයටත් බැඳීම් තිබෙන බව අපි සිහියේ තබාගත යුතුයි” ජයතිස්ස ද කොස්තා කීවේය.

කෙසේ නමුත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ සිද්ධිය සම්බන්ධයෙන් තවමත් කටයුතු කරමින් සිටින බවය. විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුව එක්ව මේ වන විටත් සාකච්ඡා කරමින් සිටිනේනේ ගත යුතු ඉදිරි පියවර ගැනය. ඒ අනුව අභියාචනායක් ඉදිරිපත් කරන්නේද නැතිනම් දඩය ගෙවන්නේද යන්න ගැන තීරණයක් ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

“අපිට තවමත් මොකක්ද ගන්න පියවර කියලා කියන්න බැහැ. අපි මේ නඩු තීන්දුව දුන් අවස්ථාවේ සිටි ස්ථාවරයේම තමයි තවමත් සිටින්නේ. ඉදිරියේදී ගනු ලබන පියවර මොකක්ද කියන එක තීරණය කිරීමට ලැබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුව සමග පවත්වන සාකච්ඡාවලදී ගන්නා අවසන් තීරණයක් අනුවයි”විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේය.

කෙසේ වෙතත් මේ නඩු තීන්දුව සම්බන්ධයෙන් මෙන්ම එයට ශ්‍රී ලංකා රජය දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන්ද ජාත්‍යන්තරය දැඩි අවධානයෙන් පසුවනු ඇත. ඒ ඉදිරියේදී රාජ්‍යතාන්ත්‍රික විනිර්මුක්තිය සම්බන්ධයෙන් ලෝකයටම මේ තීන්දුව පූර්වාදර්ශයක් ලෙස බලපාන නිසාය.

සංජය නල්ලපෙරුම