අතන මෙතන

දළඹුවා නසන්න ජවිපෙන් පුළුල් මැදිහත්වීමක්

සේනා දළඹු උවදුර පැමිණි මොහොතේ සිට මේ දක්වා දළඹුවා මර්දනයටත් එයින් වැළකීමේ මඟ ගොවි ජනතාවට කියා දීමටත් පෙරමුණ ගත්තේ සමසත් ලංකා ගොවිජන සම්මේලනයයි.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න රට පුරා ගොවි දිස්ත‍්‍රික්කවලට යමින් ගොවි ජනතාව හමුවී ගැටලූ සාකච්ජා කරමින් එම ගැටලූ ආණ්ඩුවේ වගකිව යුතු පාර්ශවයන් සමඟ සාකච්ජා කිරීමේ අතරමැදියා බවට පත්විය.

ඇතැම් රූපවාහිනී සංවාදවලදී නාමල් කරුණාරත්න විසින් සේනා දළමුවා මර්දනය කිරීමේ පියවර කිහිපයක්ද යෝජනා කරන ලදී. මුල් අවස්ථාවලදී එම යෝජනා ඇතැම් පිරිස් විසින් බැහැර කළද එක් රූපවාහිනී වැඩසටහනකින් අනතුරුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරයා නාමල් කරුණාරත්නට කීවේ ”හොඳ යෝජනා ටිකක්නේ ඔබතුමා ඉදිරිපත් කෙරුවේ. ඇත්තටම මේවා ආණ්ඩුව මැදිහත් වෙලා කරන්න පුළුවන්” යනුවෙනි.

කෙසේ වෙතත් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ විධායක සභාව පසුගිය 31වෙනිදා පැවැති අතර එහිදී ද මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු විය. ”දළඹුවාගේ ප‍්‍රශ්නය නිසා ආණ්ඩුව දැන් ගොවි වන්දි අමතක කරලා. ඒකට ඉඩ දෙන්න බෑ. අපි සේනා දළඹුවා නිසා වෙච්ච පාඩුවටත් මීට කලින් නියඟය නිසා සිදුවුණු වගා හානිවලට ලබාදිය යුතු වන්දි ගැන ආණ්ඩුවේ අවධානය යොමුකරන්න උද්ඝෝෂණ වටයක් සූදානම් කරන්න ඕනෑ. දළඹුවා මර්දනයට ආණ්ඩුව තමයි මැදිහත් වෙන්න ඕනෑ. වගකිව යුතු නිලධාරීන් එක මේසයකට එන්නේ නැතුව මේ ව්‍යසනයෙන් බේරෙන්න බැහැ. මේක ජාතික අවශ්‍යතාවයක් ලෙස ගත්තේ නැත්නම් ලොකු විනාශයක් වෙනවා.” නාමල් කරුණාරත්න එහිදී ක‍්‍රියාමාර්ග ගැන පැහැදිළි කළේය.

මේ අතර ජෛව ජනන තාක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී ආචාර්ය අශෝක රන්වලද බස්නාහිර පළාත තුළ සේනා දළඹුවා මර්දනය කිරීමේ වැඩසටහනක් දියත් කළේය. පළාත් සභාව මට්ටමින් නිළධාරීන් සමඟ සාකච්ඡුා කොට මේ වැඩසටහන දියත් කිරීමට ඔහු මූලිකත්වය ගත්තේය. බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම ඇමතිවරයා සහභාගි නොවුණ තත්වයක් තුළ එම රැස්වීම්වල මුල් පුටුව ගත්තේ ද අශෝක රන්වලය. මේ අතර කෑගල්ල දිස්ත‍්‍රික්කයේ සේනා දළඹුවා ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පියවර ගැනීමට ආණ්ඩුවේ මැදිහත්වීම ලබාගැනීම සඳහා ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී රත්නායක මැදිහත්වීය.