විශේෂාංග

දළදා කුලයෙන් බැටකන අමරපුරයේ කුල පුරසාරම

පහතරට ගොවි කුලයට අයත් මාතර බෝවල ධම්මානන්ද හිමියන් මහනුවරට පයින් වැඩම කරද්දී නිරන්තරයෙන් නතර වන්නේ බලපිටියේ අඹගහවත්ත පන්සලේය. ඒ පන්සලට නිතර ආ ගිය සලාගම කුලයේ දරුවකු වැලිතර ඥාණවිමල නමින් මහණ කරගෙන මහනුවර මල්වත්ත මහා පන්සලේ නතර කර වැලිවිට අසරණ සරණ සරණංකර සඟ රජුන්ගෙන් ධර්මය ඉගෙනීමට සැලැසුවේය. නිසි වයස් හා සුදුසුකම් සැපිරූ විට තම ශිෂ්‍යවරයාට උපසම්පදාව ලබාදෙන ලෙස බෝවල ධම්මානන්ද හිමි මල්වතු මහා විහාරයේ වැඩ සිටි සඟ රජු – අසරණ සරණ සරණංකර හිමියන්ගෙන් ඉල්ලා සිටියහ.

එහෙත් අසරණ සරණ සරණංකර සඟ රජු තමන් ඉගැන්වූ සලාගම කුරුඳුකාර කුලයේ සාමණේර ඥාණවිමල හිමියන්ට කුලය නිසාම උපසම්පදාව ලබා නොදුන්හ.

මේ බව පසුකාලීනව විමල් අභයසුන්දර කවියා ඉතිහාසයට වාර්තා කරන්නේ මෙසේය.

කතිකාවතක් පිට
කිත්සිරි රජ අණක් කොට
ගොවි වංශයෙන් පිට
උපසපුව නොදුන්හ කෙනෙකුට

කොහොම නමුත් මේ වන විට ඉංග්‍රිසි පාලනය යටතේ පහත රට ජීවත් වූ කුරුඳුකාර කණ්ඩායමේ නායකයන් වූ මහබද්දේ රාලලා ළඟ උඩරට රජ්ජුරුවන්ටත් වඩා මුදල් තිබූ බව එකල ප්‍රකට වී තිබුණේය. මහා කප්පින වලව්ව බඳු දැවැන්ත නිවාස තැනුණේ මේ ධනවත් භාවය මතය.

උඩරට රජ්ජුරුවන්ට යටත් නොවූ පහතරට සලාගම වංශයේ ධනවතුන් කතිකා කරගෙන තමන්ගේම ධනයෙන් බුරුමයෙන් උපසම්පදාව ගෙන්වා ගන්නේය. බුරුමය හෙවත් එවක අමරපුරයෙන් උපසම්පදාව ගෙනා නිසා එය අමරපුර නිකාය නම් විය. කුරුඳුකාර සලාගම ජනයා මහණ උපසම්පදාව ගත්තේ සියම් නිකායෙන් උපසම්පදාව නොදෙන බැවින් අමරපුර නිකායේය. නමුත් මේ උපසම්පදාව බලපිටියේ මාදු ගඟේ කරගෙන යන්නට ලැබුණේ මුළු රටම ඉංග්‍රිසීන්ට යටත් වෙන තෙක් පමණි. උඩරට රජතුමා නිරුවත්කර වැල්වලින් ගැට ගසා ජෝන් ඩොයිලි නමැති ඉංග්‍රිසි ඔත්තුකරුවාට මැද මහනුවරදී භාරදුන් උඩරට රදලයෝ ඉන්පසු නුවර මඟුල් මඩුවේදී රොබට් බ්‍රව්න්රිග් ආණ්ඩුකරයාට එකාවන්ව අත්සන් කර මුළු උඩරට රාජධානියම ලංඩනයේ වෙසෙන ඉංග්‍රීසි රජුට භාර කළහ. අනතුරුව වහාම බලපිටියේ කෙරෙන උපසම්පදව නවතා සෙසු කුල උපසම්පදාව ලැබීම තහනම් කරන්නැයි සුද්දාගෙන් ඉල්ලා සිටියහ.

ආණ්ඩුකාර බ්‍රවුන්රිග් මේ අලුත් ගෝලයන්ගේ ඉල්ලීම වහාම ක්‍රියාවේ යොදවමින් බලපිටියේ උපසම්පදාව තහනම් කළේය. මේ ඒ බව තහවුරු කරන විමල් අභයසුන්දරගේ තවත් කවියකි.

මාදුගඟේ සීමාවේ පැවැත් වෙන
උපසම්පදා කර්මය සෙද නවත් වන
තහනම් නීතියක් හදිසියෙ නිකුත් වින
රොබට් බ්‍රවුන් රිග් ලකිසුරු අණක් වින

නමුත් එකල රටේ ප්‍රධාන නිෂ්පාදනයක් වූත් ඒ වනවිට මුළු ලෝකයේම කුරුඳු වෙළෙඳාමේ එ්කාධිකාරය ඉසුලූ ඉංග්‍රිසින්ට, තමන්ට කුරුඳු නිපදවා දෙන කුරුඳුකාර නායකයන්ගේ තර්ජනය ඉදිරියේ සියම් නිකායේ කුලවාදී නියෝගය අකුළා ගැනීමට සිදු වුණේය. එහෙත් කුරුඳු කර්මාන්තයේ යෙදුන සලාගම කුලයේ අය සිංහල බුද්ධාගමට ගෙනා මේ ආගමික ප්‍රජාතන්ත්‍රවාදය වල්බූරු ප්‍රජාතන්ත්‍රවාදයක් වූ ආකාරය දැන් අපි සොයා බලමු.

තමන්ට පූර්ණ ආගමික නිදහස දිනා ගැනීමට ගෙන්වූ අමරපුර උපසම්පදාව සලාගම වංශයෙන් ලබා ගැනීම සලාගම වංශයේම උපවංශයක් වූ හේවාකාර උප කුලයට පෙනුනේ පහත් වීමක් හැටියටය. මේ නිසා හේවාකාර කණ්ඩායම තමන්ට වෙනම උපසම්පදාවක් අමරපුරයෙන් ගෙන ආහ. මෙයින් නොසතුටට පත් එම කුලයේම ඌලියක්කාර උප කුලය ඔවුන්ට වෙනම උපසම්පදාවක් ගෙන එන්නේය. අනතුරුව සලාගම කුලයේම ගාල්ලේ දඩල්ලේ වෙසෙන කණ්ඩායම තමන්ට වෙනම උපසම්පදාවක් එ් අමරපුරයෙන්ම ගෙනෙන්නේය. අනතුරුව තලල්ලේ සලාගම්වරුත්, වස්කඩුවේ සලාගම්වරුත් වෙන වෙනම උපසම්පදාව අමරපුර හෙවත් බුරුමයට ගොස් ගෙන ඒමෙන් අමරපුර නිකාය කොටස්වලට බෙදෙන්නේය.

1803 දී සලාගම වංශය ගෙනෙනු ලැබූ උපසම්පදාව තමන්ද ලබා ගතහොත් බාලවීමක් බව විශ්වාස කළ කරාව වංශය 1808 වෙද්දී ශ්‍රී කල්‍යාණවංශය පිහිටුවා කතලුවෙන් වෙනම නිකායක් යටතේ තමන්ගේ කුලයේ භික්ෂූන්ට මහණ උපසම්පදාව දීම පටන්ගත්තේය. ඔවුන් උපසම්පදාව ගෙනෙන්නට යන්නේ අමරපුරයට නොව රාමඤ්ඤ දේශයටය. නමුත් 1924 දී එම නිකාය දෙකට බෙදුනේය. 1972 වෙද්දී යළිත් බෙදී ගිය මේ නිකාය දැන් නිකාය දුසිම් භාගයකට නොඅඩුව බෙදී ඇතිවාට කිසිදු සැකයක් නැත. මීට අමතරව කරාව වංශික භික්ෂූන් අමරපුර සමාගම යටතේ වෙනම නිකාය පිහිටුවා ගෙන සිටින්නේය.

අනතුරුව කරාවවරුන්ගේ උපසම්පදාව අම්බලන්ගොඩ කරාවේ ජනයා, දොඩන්දුවේ කරාවේ ජනයා කතලුවේ කරාවේ ජනයාට දෙවුන්දර කරාවේ ජනයාට වෙන වෙනම උපසම්පදා ගෙන ඒමෙන් අමරපුර නිකායේ කරාව වංශික ප්‍රදේශීය වාදයන්ට අනුව වෙන වෙනම ශාඛා ඇතිවන්නේය. මේ වනවිට තනිකරම සිංහල බෞද්ධ නගරය හැටියට පවතින අම්බලන්ගොඩ කරිත්තකන්දේ පංසල අයිති කරාව කුලයේ එක් නිකායකටය. මහ අම්බලංගොඩ පංසල අයිති වෙනත් කරාව කුල නිකායකටය. කලුවඩුමුල්ලේ විජයාරාමය අයිති වෙනත් කරාව කුල නිකායකටය. මේ තත්ත්වයම බලපිටිය අැතුළු සැම තැනකටම පොදුය.

කරාව සහ සලාගම වංශය මෙසේ බෙදි බෙදී ගියද තවමත් අමරපුර සමාගම තුළ එක නිකායකට ගොනුවී සිටින්නේ දුරාව වංශය පමණි. ඒ අමරපුර ශ්‍රී ධර්මරක්ශිත නිකායයි. මේ නිකාය ඕනෑම කුලයක වැසියෙක්ට මහණ උපසම්පදාව දුන්නත් පංසල්වල නායක තනතුරු හා නිකායේ මහනායක තනතුරු සෙසු කුලවලට දෙන්නේ නැත. මෙයට අපූරු උදාහරණ දෙකක් ඉතිහාසයේ ඉතිරි වී තිබේ. බම්බලපිටියේ දී නාගරික ප්‍රභූ දරුවන්ට පිරිසිදු බුද්ධාගම උගන්වන වජිරාරාමයේ කලකට පෙර පැවිදිව සිටි නාරද හිමි වෙනත් කුලයකින් ධර්මරක්ශිත නිකායේ පැවිදි වූවෙකි. ඒ හිමි පැළෑනේ වජිරඤාණ හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යවරයාය. නමුත් වජිරාරාමයේ නායකකමට ප්‍රකට බෞද්ධ නායකයෙකු වූ මඩිහේ පඥ්ඥාසීහ හිමි දුරාව වංශය පත්කළේ නාරද හිමි පසෙකට තල්ලු කරමිනි. මේ නිකායේම වෙනත් කුලයකින් පැවිදිව සිටි ගංගොඩවිල සෝම හිමිට සුවිශාල සමාජ බලයක් හිමිවී තිබෙද්දීත් එකල ඇමැතිවරයෙකු වූ මර්වින්ද සිල්වා ‘තමුන්නාන්සේ තමන්ට අදාළ කුල නිකායට බැඳී කැමැති දේ කරන්නැ’යි නියෝග කිරීම දෙවැනි සිදුවීමය.

පිරිසිදු සිංහල බෞද්ධයන් වීම ගැන මහත් ආඩම්බරයෙන් සිටින දේව වංශය හෙවත් වහුම්පුර වංශය පවා අමරපුර සමාගම තුළ වෙන වෙනම නිකාය දෙකක් තනා දෙකට බෙදී සිටින්නේය. මෙයින් අමරපුර අරියවංස සද්ධම්ම යුක්තික නිකායේ බහුතරයක් භික්ෂුන් කරන්දෙණියේ දේවවංශික නායකත්වය යටතේ ගොනු වී සිටිති වලස්මුල්ලේ දේවවංශික භික්ෂු නායකත්වයට යටත්ව සෙසු දේවවංශික භික්ෂුහු අමරපුර ම්‍රම්මවංශාභිධජ සිරි සද්ධර්ම යුක්තික නිකාය යටතේ ගොනු වී සිටිති.

බත්ගම වංශික භික්ෂුන්ගේ බෙදීම මේ සියල්ලටම නොදෙවෙනිය. සබරගමු අමරපුර සිරි සද්ධම්මවංස නිකායේ එක්නැලිගොඩ විහාර පාර්ශ්වයට රත්නපුර දිසාවේ වෙසෙන බත්ගම වංශික භික්ෂුන් කොටසක් බැඳී සිටිද්දී එම දිසාවේම වෙසෙන තවත් බත්ගම වංශික භික්ෂුන් පිරිසක් සබරගමු අමරපුර සිරිසද්ධම්මවංශ නිකායේ පැල්මඩුල්ල පාර්ශ්වය යටතේ එක්සත් වී සිටිති. එම වංශයටම අයිති රත්නපුර දිසාවෙ සිටින තවත් භික්ෂූන් කණ්ඩායමක් සබරගමු අමරපුර සිරි සද්ධම්මවංසික නිකායේ ඉද්දමල්ගොඩ පාර්ශ්වයට බැඳී සිටිති.

මේ ආකාරයටම එම වංශයට අයත් මහනුවර, මාතලේ හා කුරුණෑගල බඳු දිසාවල සිටින භික්ෂුහූ වෙන වෙන නිකායවලට බෙදී සිටිති.

නැකැති විශ්ව, හේන, කුඹල් හා සුන්නක්කාර වංශික භික්ෂූන්ට තමන්ටම වූ කුල නිකායන් නොතිබුණත් තමන්ගේම වූ පරම්පරාවට පවරන කුල පංසල් සිය ගණනක් තිබෙන්නේය.

මහනුවර, කුරුණෑගල, මාතලේ දිස්ත්‍රික්කවල ගොවිකුල භික්ෂූන්ගේ පාලනය යටතේ පවතින සියම් නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශ්ව දෙකේ කුල හිරිහැරයෙන් බේරීමට බදුල්ල හා මොනරාගල දිසාවන් දෙකේ ජීවත්වෙන උඩරට ගොවි කුලයටම අයත් භික්ෂූහු පළමුව උඩරට අමරපුර නිකාය තනා පසුව ගොවි කුලයේ ප්‍රාදේශීය බෙදීම් අනුව ඌව අමරපුර, උඩුකිඳ අමරපුර, උඩරට අමරපුර, සමග්‍රී යනුවෙන් වෙන වෙනම සංඝ සභා පිහිටුවාගෙන සිටිති.

අමරපුර සමාගම යටතේ කුල හා ප්‍රාදේශීය කුල හැටියට බෙදුණු නිකාය දුසිම් දෙකක් පමණ ඇත්තේය.

කුල අනුව බෙදුණු භික්ෂු නිකාය හෝ පන්සල් තවමත් නැත්තේ රොඩී වංශයට හා කින්නර වංශයට පමණි. ඔවුන්ට නුතන බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදය තවමත් ලැබී නැත්තේ ඔවුන් රටේ ජනගහනයෙන් ඉතාම සුළු ප්‍රතිශතයන් නියෝජන කරන නිසාය.

ගිහියන් තුළ නොපවතින සිංහල භික්ෂූන් අතරේ පමණක් පවතින මේ කුල හා ප්‍රාදේශීය කුලවාදී බෙදීම සංඝ සමාජයේ පතුලටම මුල් බැස ඇත්තේය. ඔවුහු තමන් විශ්වාස කරන සෙස්සන්ට උගන්වන ධර්මයට පරම විරුද්ධ වූ මේ හැසිරීම ප්‍රශ්න නොකෙරී ගෙඩිය පිටින්ම වන්දනා කෙරෙමින් යහතින් පවතින්නේය. දණගසා වඳින්නන් කිසිවකුටත් එය ප්‍රශ්න කිරීමට ධෛර්යයක් හෝ ආත්ම විශ්වාසයක් නැත්තේය. උදාහරණයකට දකුණු පළාතෙන් කොළඹ නගරයේ පදිංචියට පැමිණි කුලවත්තු සලාක දාන දෙකක් දීමට පුරුදුවී සිටිති. එයින් එකක් නිවස ළඟ පන්සලටය. අනෙක අපේ පන්සලටය. හෙවත් තමන්ගේ කුලයේ පැවිද්දන් සිටිනා කුල පන්සලටය. මේ ගිහියෝ පොදුවේ හාමුදුරුවන් කියා භික්ෂූන් හැඳින්වූවත් අපේ හාමුදුරුවෝ කියා වෙනස් ආමන්ත්‍රණයක් කරන්නේ තමන්ගේ වංශයේ හෝ පවුල්වල කුල බැඳීම් ඇති භික්ෂුන්ටය.

මේ කුල පංසල් ක්‍රමයෙන් මහත්ඵල මහත් අනිශංස ලබන්නේ දේශපාලකයන්ය. ඔවුන්ට මනාප ඡන්දයේදී කුල ඡන්ද ඉතාම තීරණාත්මකය. මෙහිදී කුල ඡන්ද සොයා ගැනීමට උපකාර කරන්නේ කුල පන්සල්ය. කුල පන්සල අවට වංශයේ ඇත්තෝ පදිංචි වී සිටිති. ඔවුන්ගේ ඡන්ද ලබා ගැනීමේ පහසුම මග පන්සලය. ප්‍රශ්නය තරමක් සංකීර්ණ වන්නේ එකම කුලයේ දෙතුන් දෙනෙක් පක්ෂ කීපයකින් පැමිණි විටය. එවිට සංඝ ගැට නමින් ගැමියන් හඳුන්වන උපක්‍රම යොදා ගැනෙන්නේය.

යුරෝපීය යටත් විජිතවාදය පසුපස ගාටමින් පැමිණි ධනවාදය අද අපට මී මුත්තා ජීවත් වීමට කෙරූ කුල රස්සාව නොවැදගත් බව උගන්වා ඇත්තේය. සිංහල යථාර්ථවාදී සාහිත්‍යයේ පියා මෙන්ම කොග්ගල ප්‍රාඥ්ඥයා යන අපර නාමයෙන් හැඳිවුණු මාර්ටින් වික්‍රමසිංහ මීට සියවසකට පමණ පෙරදී ගම්පෙරළිය නවකතාව ලියද්දී කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ හෝ පියල්ගේ හෝ කුල නොලීමට වග බලා ගත්තේය. ඔහු පියල්ගේ කුලය නොකියා ඔහු කත්කාරයාගේ පුතා ලෙස නම් කළේය. වික්‍රමසිංහගේ මේ යථාර්ථවාදය එද්දී පහතරට සිංහල ගම්මානවල තදින්ම කුල භේදය තිබුණේය. උඩරට ප්‍රදේශවලදී හැර රටේ සෙසු සිංහල පළාත්වලදී මේ සමාජ තත්ත්වය දැන් සපුරාම වෙනස්ය. කුරුඳු තැලීම, මසුන් මැරීම, පෙදරේරු රස්සාව හැම කුලයකම ජීවන මාර්ග බවට පත්වී තිබේ. නමුත් සිංහල ගිහියන් අතරේ නැති බෙදීමක් සිංහල පැවිද්දා පවත්වාගෙන යන්නේ ඇයි?
විශේෂයෙන් තමන්ගේ ආගමික ඉගැන්වීම්වලට හතුරු වූ වැඩවසම් සම්ප්‍රදායක් පවත්වාගෙන යන්නේ ඇයි?

මෙයට හේතුව දේපළ හා තනතුරු කෑදරකම බව අපි විශ්වාස කරමු. සාංඝික හෙවත් සඟ සතු කෙරෙන දේපොළ පුද්ගලික දේපළ බවට පත් කිරීමේ ආදර්ශය දුන්නේ මේ පවතින බෞද්ධ පුනර්ජීවයේ ආරම්භකයා වූ වැලිවිට සඟ රජුය. කුලයද බෙදීම් ද සඟ රජු නොතකා සිටියේය. උදාහරණයකට සියම් නිකායේ මල්වතු අස්ගිරි හටන පටන් ගැනුණේ සඟ රජුන් ජීවත්ව සිටිද්දීමය. කීර්ති ශ්‍රී රාජසිංහ පැවිදි වී සෙසු කුල භික්ෂුන් දෙසීයක් යාපනයට පිටුවහල් කරද්දී ඔහු නිහඬ වුණේය. අනතුරුව සාංඝික දේපළ පැවිදි වී සිටි නෑයන්ට දුන්නේය. රජු මරා දැමීමේ කුමන්ත්‍රණයට හවුල් වුණේය. තවමත් පවතින්නේ අවසාන සඟ රජු පටන් ගත් මේ සම්ප්‍රදායන්ය.

මේවා කෙතරම් භයංකරද කීවොත් නූතන සිංහල බෞද්ධ ව්‍යාපාරයේ පියා වූ අනගාරික ධර්මපාලයන් සැඳෑ සමයේ පැවිදි වූ විට ඔහුට කුලය මත උපසම්පදාව දීම පැවිද්ද දීමට ගොවිකුල නිකාය ප්‍රතික්ෂේප කළේය. මේ තතුවලින් පැවසෙන්නේ කවර තරමක කුල අහංකාරයක් ඒ ඒ කුල නිකායික භික්ෂූන් තුළ ඇද්ද යන්නය. දිසාවකට සිය ගණනක් සිටින විවිධාකාර සංඝ නායකයන් ඔවුන් සතු දේපොළ තක්සේරු කරන විට ප්‍රභූභාවයක් නඩත්තු කර ගැනීමේ අවශ්‍යතාව හොඳින් පෙනෙයි.

මේ තත්ත්වයට එරෙහිව නැඟුනු පළමු ගිහි කැරැල්ල පසුගිය සියවසේ මැද භාගයේ පටන් ගැනුණු විනය වර්ධන නිකායයි. කිසිම පැවිද්දෙක් නැති මේ නිකාය තනිකරම ධර්මය දත් ගිහියන් පාලනය කරන්නකි. ඔවුන් පාංසකූලයකටවත් භික්ෂුවක් කැඳවන්නේ නැත. නමුත් අවාසනාවකට ඔවුන්ට කිසිදු ප්‍රසිද්ධියක් දීමට ජනමාධ්‍ය ඉදිරිපත් වන්නේ නැත. වරක් මේ ලියුම්කරු බීබීසි සිංහල සේවයේ ජනමාධ්‍යකරුවෙක්ව සිටිද්දී විනය වර්ධන නිකාය ගැන වැඩසටහන් තැනීමට දැරූ උත්සාහය නතර කෙරුණේ එකල එම ගුවන්විදුලි වැඩසටහන මෙරටේදී රජයේ ගුවන් විදුලිය කරගෙන ගිය ප්‍රති විකාශනය නවතා දමන බවට තර්ජනය කිරීමෙනි. ලංකාවේදී කුලවාදි භික්ෂුව එතරම්ම බලවත්ය. නමුත් තවමත් කුලවාදයට දණ්ඩ නමස්කාර කරන රටකදී මෙබඳු බෙදීම් සමාජයක් තුළින් අතු ගා දැමීම පහසු කටයුත්තක් නොවේ නමුත් මෙහි අපුරු සරදම ජාතියේ මෙන්ම දේශයේ ආරක්ෂකයන් හැටියට කුලවාදීන් පෙනී සිටීමය. කුලවාදීනට මුක්තියක් ලැබෙන නිසා රට තුළදී ඔවුන් ප්‍රශ්න නොකෙරෙන්නේය. මේ පසුබිමේ සිට බලද්දී ලංකාවේ දෙමළ බස කතා කරන බෞද්ධයන් නොසිටීම වාසනාවකැයි අපට සිතේ. වැරදීවත් දෙමළ බෞද්ධයන් ලංකාවේ සිටියේ නම් කවර තරමක කුලවාදයක් සංඝ සමාජයට ඇතුළුවනු ඇත්ද?
නන්දන වීරරත්න

‘‘දළදාව යට සැඟවූ කුල යගදාව’’ යන මැයෙන් පසුගිය සතියේ පළ වූ ලිපියේ ලේඛකයා නන්දන වීරරත්නය. එය නන්දන වීරසිංහ යනුවෙන් පළ වූයේ ප්‍රමාද දෝෂයකිනි.

නන්දන වීරරත්න