කතුවැකි

දහසය දායින් පසු කකුල් වන වනා නිකං ඉන්න පුළුවන් රටක් ලැබෙයි

නිදහස ලබා වසර 71 ක් ගත වී ඇතත් අපට රටක් ලෙස ඉදිරියට යන්නට නොහැකි වී ඇත්තේ අප අනුදත් දේශපාලන ක්‍රමයේ වරදින් බව දේශපාලනය ගැන දන්නා නොදන්නා බොහෝ දෙනකුගේ ජනප්‍රිය තර්කයකි. මේ තත්ත්වය වෙනස් කිරීමට නම් පොරොන්දු දේශපාලනය පිටුදැක ප්‍රතිපත්ති දේශපාලනයේ නිරත විය යුතු බව ඔවුන්ගේ අදහසය. එහෙත් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ කතා අසන, දකින විට පෙනී යන්නේ අපට තවමත් පොරොන්දු දේශපාලනයෙන් මිදෙන්නට නොහැකි වී ඇති බවය.

ජනාධිපති අපේක්ෂකයන් කුමන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළත් ජනතාවගේ ආකර්ෂණය දිනා ගන්නේ ඒවා නොව පොරොන්දුය. ඒ නිසා අපේක්ෂකයෝද පොරොන්දු කෙරෙහි වැඩි බරක් තබන බවක් දක්නට තිබේ. මේ නිසා ප්‍රතිවාදී අපේක්ෂකයාගේ පොරොන්දු අනුව සලකා බලා පොරොන්දු දෙන්නට හැම අපේක්ෂකයකුම කටයුතු කරමින් සිටිති.

ඔවුන්ගේ මේ පොරොන්දු ඉතාමත් ආකර්ෂණීයය. ප්‍රතිවාදී අපේක්ෂකයන්ගේ පොරොන්දු හා සැසඳූවත්, ඒවායින් වෙන්ව බැලුවත් ඒවා බොහෝ ආකර්ෂණීය පොරොන්දුය. මේ පොරොන්දුවලට අප කොතරම් ආශක්තව සිටින්නේද කිවහොත් ඒවා ඇත්තෙන්ම ඉටු කළ හැකි පොරොන්දු දැයි කිසිවකු විමසන්නේ නැත.

ජනාධිපති අපේක්ෂකයන්ගේ පොරොන්දු ව්‍යාපාරික සමාගම් විසින් සිය පාරිභෝගිකයාට දෙන වට්ටම් හා දීමනා හා සමානය. එක් සමාගමක් මුදලින් වට්ටම් දෙන විට තරගකාරී සමාගම් කියන්නේ එකක් ගත් විට තවත් එකක් නොමිලයේ දෙන බවය. මේ අන්දමට ව්‍යාපාර ලෝකය තුළ විවිධාකාරයේ ආකර්ෂණීය වට්ටම් හා දීමනා තිබේ.

ව්‍යාපාරිකයන් මෙවැනි වට්ටම් සහ දීමනා ලබා දෙන්නේ ඔවුන්ගේ නිෂ්පාදනවල අලෙවිය වැඩිකර ගැනීමටය. කෙසේ වෙතත් ඔවුන් අවසානයේ ලාභයක් උපයා ගන්නටද සමත් වෙති. ඒ ඔවුන් වට්ටම් හෝ දීමනා වැනි ඕනෑම අලෙවි උපක්‍රමයක් දියත් කරන්නේ අලෙවි සැලසුමකට අනුව බැවිනි.

එහෙත් ඡන්දය ලබා ගැනීම සඳහා එකිනෙකා පරයා අපිට පොරොන්දු දෙන දේශපාලකයන් සතුව එවැනි සැලසුම් තිබේද? සැලසුම් ඇතත් ඒවාට අවශ්‍ය මුදල් තිබේද? සමාගම් තමන්ගේ ප්‍රවර්ධනය සඳහා වැය කරන්නේ තමන් විසින් උපයා ගන්නා මුදල්ය. නමුත් දේශපාලකයන්ට ජනතාවට සහන දෙන්නට ආයෝජනය කිරීමට සිදුවන්නේ මේ අපගේම මුදල්ය. එහෙත් මේ සහන දීම සඳහා අවශ්‍ය අමතර මුදල් උපයා ගන්නේ කෙසේ දැයි අපේ දේශපාලකයන් තම ප්‍රතිපත්ති ප්‍රකාශවලින් කියන්නේ දැයි සොයා බලන්නේ කව්ද?

පොරොන්දු දෙන විට ඉලක්කම්වලින්, ඉලක්කයන් සටහන් කරන දේශපාලකයන් ඉපැයීම් ගැන සඳහන් කරන්නේ වචනවලිනි. එහෙත් ගිණුම්කරණයේදී වචන හා ඉලක්කම් තුලනය කළ නොහැකිය. එහෙත් දේශපාලකයන්ට ඒ ගැන වගක් නැත්තේ ඔවුන් වැය කරන්නේ ඔවුන්ගේ මුදල් නොව අපේ මුදල් බැවිනි. මේ අය ජනතාවට අවශ්‍ය දේත්, අවශ්‍යම නොවන දේත්, නිකං දිය යුතු දේත්, එසේ නොදිය යුතු දේත් දෙන්නට පොරොන්දු වන්නේ එනිසාය. අවසානයේ සියල්ල බැර වන්නේ ඔවුන්ගේ ගිණුම්වලට නොව රටේ ගිණුමටය.

2015 දී රජයේ සේවකයන්ට රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් දෙන්නට වූ පොරොන්දුව හොඳම උදාහරණයකි. ඒ පොරොන්දුව ඉටුකිරීමට මාසයකට කොතරම් අමතර වියදමක් රාජ්‍ය ගිණුමට එක්වන්නේ දැයි පොරොන්දුව දුන් අය ගණන් බලා තිබුණේද? මේ වන විට මෙරට රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 14 ක්, 15 ක් පමණ වේ. මෙතරම් පිරිසකට මසකට රුපියල් දසදහස බැගින් දෙන්නට අති විශාල මුදලක් අවශ්‍යය. වසරකදී ඒ මුදල 12 ගුණයකින් වැඩිවේ. මේ තරම් විශාල මුදලක් වැය වුවත් ඊට සාපේක්ෂව ජාතික ආර්ථිකයට ලැබුණු ප්‍රතිලාභයක් තිබේද?

මේ වන විට මෙරට සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන දහයකට ආසන්නය. මේ ණයවලින් රට තුළ කිසියම් සංවර්ධනයක් සිදුව නැතැයි කිව නොහැකි නමුත් දේශපාලකයන් උඩ බිම නොබලා දුන් මැතිවරණ පොරොන්දු සඳහාත් මේ මුදල් වැය වී නැති බවට සහතික විය හැක්කේ කාටද?

එසේ නම් ආණ්ඩුවක් සැලසුමකින් තොරව කුමන ප්‍රතිලාභය ලබා දුන්නත් අවසානයේ ඒ වෙනුවෙන් පොලියත් සමග ගෙවන්නට වන්නේ සමස්ත රටටමය.

මෙවර ජනාධිපතිවරණයේදීත් රජයේ සේවකයන්ගේ වැටුපේ සිට වැඩිහිටි දීමනාව දක්වා වැඩි කිරීමට පොරොන්දුය. ගොවියාගේ පොහොර ටිකේ සිට කාන්තාවගේ සනීපාරක්ෂක තුවාය දක්වා නොමිලයේ දෙන බවද කියැවේ. මේ ආදී තවත් බොහෝ දේය.

මේ තරම් ආකර්ෂණීය පොරොන්දු අසා සිටින විට අපට සිතෙන්නේ කිසිවක් නොකර දෙකකුල් උඩ තියං සිටියත් සැපට ජීවත් විය හැකි බවය. එහෙත් වැඩි කලක් එසේ සිටිය නොහැකි බව අපට කල්පනා වන්නේ නැති එක අපේ අවාසනාවය, දේශපාලකයන්ගේ වාසනාවය.