විශේෂාංග

දහසක් බුදුන් මැවූ සද්ධාරංසි හාමුදුරුවෝ

ජීවිතේ සියලු සැප ලබන්නට සැප සම්පත් තිබියදී බමුණුඅාරච්චිලාගේ අබේසිරි එඩ්මන් චන්ද්‍ර කුමාරට සිවුරට යන්නට ආසා හිතෙන්නේ වයස අවුරුදු 13 දීය. ඒ විශේෂයෙන් ආච්චි අම්මාගේත්, පවුලේ අයගේත් පෙලඹවීම ඔස්සේ ඇති වූ කැමැත්ත නිසාය. ව්‍යාපාරිකයකු වූ බී. ඒ. ගුණතිලකගේත් ගුරුවරියක වූ එම්. එම්. සෝමාවතීගේත් හතරවැනි දරුවා වූයේ චන්ද්‍ර කුමාරයි. දරුවන් 14 දෙනකු ජාතියට දුන් ඒ මව් පියවරුන්ට සසුනට දරුවකු පූජා කිරීමේ භාග්‍යයත් ලැබුණේය.

එකල කොළඹ සිට ශ්‍රී මහා බෝධිය දක්වා ගමන් කළ පට්ඨාන පෙරහරක් තිබුණේය. පට්ඨාන දේශනා යනු බුදු දහමේ ගැඹුරුම දේශනාය. එම දේශනා ශ්‍රී මහා බෝධි මලුවේ සිදු කිරීමට පෙරහරින් වාර්ෂිකව යන සිරිතක් තිබුණේය. යක්කල, අලුත්ගම බෝගමුව විහාරයේ විහාරාධිපති යාගොඩ ධර්මප්‍රභ හාමුදුරුවන් එහි විශාල වැඩ කොටසක් කළේය. ඒ එඩ්මන් චන්ද්‍රකුමාර දරුවාගේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝය.

එදා 1966 මැයි 30 වැනිදාය. පට්ඨාන පෙරහරේ අනුරාධපුරයට ගිය පිරිස අතරේ මේ චන්ද්‍රකුමාර දරුවාද සිටියේය. ඔහු ආපසු ගමට යන්නට සිතුවේ නැත. ඊට පසුදාම අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයේ දී මේ දරුවා පැවිද්ද ලැබුවේය. ඒ අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි යන පැවිදි නාමයෙනි. පැවිද්ද ලැබූ මේ සාමණේරයන් වහන්සේ එදවස පටන්ම භාවනාවට වැඩි කැමැත්තක් දැක්වූවේය.

“මම විද්‍යෝදය මහ පිරිවෙනේ ඉගෙන ගෙන බුද්ධශ්‍රාවක ධර්ම පීඨයට තේරුණා. 1976 දී උපසම්පදාව ලැබුවා. ඒ අතරෙ මම සාමාන්‍ය පෙළ විභාගය හා උසස් පෙළ විභාග දෙකටම අයැදුම් කළා. සාමාන්‍ය පෙළ විභාගය ආසන්නයේ මා අසනීප වුණා. එවර සාමාන්‍ය පෙළ ලියන්න බැරි වුණාට මම උසස්පෙළ ලිව්වා. එයින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරුණා. ඊට පස්සෙ තමයි මම සාමාන්‍ය පෙළ ලිව්වේ. විශ්ව විද්‍යාල ප්‍රවේශයෙදීත් මගෙන් ඇහුවා උසස් පෙළ ලිව්වට පස්සෙද සාමාන්‍ය පෙළ ලිව්වේ කියලා මම ඔව් කිව්වා. පේරාදෙණියෙන් ශාස්ත්‍රවේදී උපාධිය අරන් කැලණියෙන් ශාස්ත්‍රපති උපාධිය ගත්තා.”
උපාධියෙන් පසු සද්ධාරංසි හාමූදුරුවන් විජයපුර සිරි විජය විදර්ශනා පිරිවෙනේ ගුරු පත්වීම් ලැබුවේය.

පිරිවෙනේ ගිහි පැවිදි සිසුනට විෂය නිර්දේශයට අමතරව භාවනා ක්‍රම දියුණු කර ගැනීම ගැන ප්‍රායෝගික පුහුණුවීම් ද කළේය. අධ්‍යාපන අමාත්‍යාංශය සද්ධාරංසි හාමුරුවන්ගේ සුදුසුකම් කුසලතා හඳුනාගෙන පිරිවෙන් පරීක්ෂක, භාවනා උපදේශක තනතුර ප්‍රදානය කර තිබේ. ඒ අතරතුරේ 1989 දී සද්ධාරංසි හාමුදුරුවෝ රටේ ඇති වූ තරුණ කැරැල්ලෙන් පසුව කඳවුරුගත වූ යෞවනයන් පුනරුත්ථාපන ක්‍රියාවලියේ වගකීම්ද පැවරී තිබුණි.

“89 දී මට පුළුවන් වුණා බොහෝ තරුණ තරුණියන් නිදහස් කරන්න උපකාර කරන්න. මා කළ නිර්දේශ හැමවිටම සලකා බැලුනා. ඒ තරුණ අය අවිහිංසාවාදීන් කරන්න දායක වෙන්න මට ලැබීම වාසනාවක්. ඔය අතරෙ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරින්ට ගිහි පැවිදි ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට භාවනා පුහුණු වැඩසටහන් කරන්න අමාත්‍යාංශයෙන් හා ජාතික අධ්‍යාපන පීඨයෙන් මට පැවරුණා. විද්‍යා පීඨයන්හීත් මම භාවනා පුහුණුකරුවකු ලෙස සේවය සැපයූවා. අපේ නායක හාමුදුරුවන් අපවත් වුණාට පස්සේ මට මේ අනුරාධපුර සිරි සඟබෝ භාවනා මධ්‍යස්ථානයේ වගකීම පැවරුණා. ඊට පස්සේ මේ ආසන්නයෙම ඉඩමක් අරං මම රජරට ශීල, භාවනා මධ්‍යස්ථානය 1990 නිර්මාණය කළා.”

අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ ඉදිවෙමින් පවතින සඳහිරු සෑය ඉදිරිපිටය. ඊටම මීටර් 500 ක දුරකින් රජරට ශීල භාවනා මධ්‍යස්ථානය සද්ධාරංසි හාමුදුරුවන් ගොඩ නගා තිබේ. පහසුකම් සහිත කාමර 16 කින් ද භාවනා කුටි 23 කින්ද සමන්විත එම ස්ථානයේ නිති පොහොය සිල් සමාදන්ව ගුණ වඩන උවැසු උවැසියෝ 5000ද ඉක්මවයි. ඒ සියලු පිංවතුන්ට දාන ගිලන්පස හා අනෙකුත් පහසුකම් සැලසීම සිදු කරන්නේ සද්ධාරංසි හාමුදුරුවන් විසිනි. ඒ තමන් වහන්සේට ලැබෙන වැටුප් හා ශ්‍රද්ධාවන්තයන්ගෙන් ලැබෙන දායකත්වයන්ගෙනි.

“මට ඕනකම තිබුණා. විශේෂ බුද්ධ මන්දිරයක් හදන්න. මෙතෙක් ලංකාවේ හෝ ලෝකයේ නොකෙරුණ. ඒ බුද්ධ ප්‍රමුඛ අසූමහා ශ්‍රාවක විහාරයක්. ඉතින් මම ඒක සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයේම හැදුවා. එහි ශ්‍රාවක භික්ෂු භික්ෂූණීන් වහන්සේලා වගේම බුදු සසුනෙ තනතුරුලාභී ගිහි උපාසක උපාසිකාවෝත් පිළිම ලෙස අඹා නිර්මාණය කළා.”

විහාරයට ඇතුළු වෙද්දිම හැඟෙන්නේ සම්බුදු පියාණන් හැබෑවටම වැඩ ඉන්නා බවකි. පඩි පේළියකින් බුදුරදුන් වැඩ සිටින ආසනය අසලට සමීප වෙද්දි විහාරය වටා නෙත් ඇදීයන්නේ ඒ විස්මිත නිමැවුම් ක්‍රමය නිසාය. එසේ ඇඳෙන දෙනෙතට පහළ මාලයෙ පිළිවෙළින් වැඳ සිටින සම්බුදු සසුණේ තනතුරුලාභී උපාසක උපාසිකාවෝ සිටින අයුරුත් බුදුරදුන් දෙපස බුදු සසුනේ තනතුරුලාභී භික්ෂු භික්ෂුණී රහතන් වහන්සේලා වැඩ සිටිනුත් දක්නට හැකිය. එදා දම් සභා මණ්ඩපයට, අද වන්දනාකරුවෝද කැඳවාගෙන යාමට ඒ නිමැවුම් සමත් ය. අසිරිමත් ය.

“මට මේ වගෙ වෙනස් විදියට හිතන්න පොලඹවපු කරුණක් තිබ්බා. ඔය විවිධ පළාත්වලින් අනුරාධපුර වන්දනාවේ එන ඇතැම් අය සමහර වෙලාවට පූජනීය ස්ථානවල වාහනෙන් බහින්නෙවත් නෑ. අපි ගිය පාරත් ඔතැන නැරඹුවා, වැන්දා කියලා ඉන්නව. මට ඕක හරියට ඇහිලා තියෙනවා. මම කල්පනා කළා අතීත රජවරු කළ නිර්මාණයක් ඇරෙන්න මොකක්ද දකින්න වඳින්න තියෙන්නෙ කියලා.

ඒ නිසා මම පැවිද්දෙක් වශයෙන් සම්බුද්ධ ශාසනයට ශ්‍රද්ධාවන්තයින්ට යමක් දායක කරන්න ඕන කියලා. ඒක වෙහෙසකර වුණත් එයින් ලැබෙන නිරාමිස සතුට විස්තර කරන්න නොහැකි තරම් මිහිරියිනෙ. ඉතින් මම මේ අසූමහා ශ්‍රාවක විහාරය නිර්මාණයෙන් නතර වුණේ නෑ. අනුරාධපුර තන්තිරිමලේ පාරට යාබදව නෙල්ලිකුලමෙන් අක්කර 10ක කැලෑවට ගොස් තිබූ ඉඩමක් අරං සිරි සම්බුද්ධ පංචසතික චාරිකාරාමය නිර්මාණය කළා.”

සද්ධාරංසි හාමුදුරුවෝ කැලෑවක් ගත්තාය කියූ විට හපොයි වන විනාශයක් යැයි කෙනකුට හිතෙන්ට පුළුවන. එවැන්නක් සිදු වී නැත. එයින් ක්‍රමවත් වන සංරක්ෂණයක් සහ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විශ්වකර්ම නිමැවුමක් ඉදිවී ඇත. එමෙන්ම සසුනට වැඩැති ගිහි පැවිදි සිසුනට ත්‍රිපිටක ධර්මය දානය කෙරෙන මූලික පිරිවෙනක්ද එහි තුරුලිය සෙවණේ ක්‍රියාත්මකය. අපූර්ව නිර්මාණශීලී චින්තනයකින් යුතු මේ යතිවරයාණෝ කැලණියේ සිට වනගත මාර්ග ඔස්සේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා 500 ක් සමග අනුරාධපුරයට වඩිනා පරිදි මේ පිංබිම සකසා ඇත.

“94 දී ඉඩම අරගෙන 95 දී අපි මේ නිර්මාණ කිරීම් පටන් ගත්තා. මගෙ හිතේ මැවෙන රූප මම සිතුවම් කෙරෙව්වා. ඒත් එකවර පිළිම නිර්මාණ කරන කට්ටියට ඒක වටහා ගන්න බැරි වුණා. කොහොම හරි පැහැදිලි කරල මම ම ළඟ ඉඳගෙන හැදෙව්වා. මේ නිර්මාණය වෙනුවෙන්ම යෝධ කඳු වැටියක් හැදෙව්වා. කඳුවැටිය මුදුනේ ඓතිහාසික ශිලාමය සිරිපතුල් සලකුණක් තියා එතැන සිට කඳුවැටියේ පහළට පිළිවෙළින් මහ රහතන් වහන්සේලා චාරිකාවෙ වඩින අයුරුත් කඳුවැටිය නිමාවේ සමතලා භූමියේත් පිළිවෙළින් වඩින අයුරුත් ජීවමාන සිරුරු ප්‍රමාණයෙන් එකට එකක් මුහුණුවර පෙනුම වෙනස් ලෙස නි‍ර්මාණය කළා. බුදුරජාණන් වහන්සේ ඒ චාරිකාවෙ පෙරමුණේ වඩින අයුරුත් නිර්මාණය කළා.

පරිසරය ආරක්ෂා කරගෙන සුන්දර වනයක මේ කාර්යය කරන්න මට පුළුවන් වුණා.”
බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලාගේ චාරිකාව වෙනුවෙන් නිර්මාණය වූ කඳු වැටියේ ඇතුළත කුහරය ලෙන් විහාර සම්ප්‍රදායට අනුව යමින් කුටි 18ක ශාසන ඉතිහාසයෙ බොහෝ දෑ පිළිරූ මගින්ද චිත්‍ර මගින්ද පිළිබිඹු කර තිබේ. නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමයේ අසිරිය ලිපියකින් හෝ ඡායාරූප මගින් විස්තර කර නිමවීම කළ නොහැක්කකි. එය දැකම වැඳ පුදා ගත් අයකුට විනා අනෙකකුට කීමෙන් වටහා ගැනීම අමාරුය.

“ඒ නිර්මාණය සම්බුද්ධ ශාසනයට කරලත් මට තව යමක් කළ යුතු යැයි හිතුණා. මම අප ආචාර්ය තනතුරේ සිට සියයකට වැඩි කුල දරුවන් පැවිදි බිමට ඇතුළත් කරගෙන ඒ අයට දහම් මග කියාදෙන්න මූලික වුණා. තවත් සසුනට යමක් කළ යුතුයි කියා හිතෙද්දි බුදුන් දවස මහා ප්‍රාතිහාර්යයන් නිර්මාණය කර මිනිසුන්ගෙ දැනුම, නුවණ සතුට ගොඩනගන්න මට හිතුණා. ඒ වගේ වැඩකට හරියන තැනක් හොය හොයා ඉද්දි මට අපේ නෙල්ලිකුලම ශ්‍රාවක චාරිකාරාමයේ සිට කිලෝමීටරයක් එහායින් අක්කර දහතුනක අන්දර කැලයක් වැවී තිබූ ඉඩමක් ගන්න ලැබුණා. මට ඕන වුණේ වනාන්තරය ඒ විදියෙන්ම තියෙද්දි නෙල්ලිකුලම හැදුවා වගෙ ප්‍රාතිහාර්ය විහාර භූමියක් ගොඩනගන්න. ඉතින් මම ඒකත් ගොඩනැගුවා. එවන් ස්ථානයක් මෙතෙක් කවුරුවත් නිර්මාණය කර නෑ.”

සද්ධාරංසි හාමුදුරුවන්ගේ කතාව ඇත්තය. තන්තිරිමලය පාරේ කොක්කිච්චිය ග්‍රාමයට ආසන්නව පිහිටුවා ඇති සම්බුද්ධ ප්‍රාතිහාර්ය විහාරය පෙර නොවූවක්මය. ලඳු පදුරු අස්සෙන් අඩිපාර දිගේ ස්වාභාවික පරිසරයේ අක්කර 13ක ඇවිදිමින් ශාසන ඉතිහාසයේ ප්‍රාතිහාර්ය සිදුවීම් අඹා ඇති අයුරු එහි එන අයට දැක්මට හැකිය. සමස්ත භූමියම අභය භූමියකි. වන ලැහැබ වලිකුකුල් රජදහනකි.

ඒ වනයෙ අඩි පාරෙ යනෙන අයට තැන තැන ලී දඬු මත ගසා ඇති ආදර්ශ වැකි හත්අට සීයක් කියවන්ටම හැකිය. තැනක ඛේමා බිසව බුදුන් දැකි මොහොත නිර්මාණය කර තිබේ. තැනක සුභා තෙරණියෝ, කාමයෙන් මුසපත් තරුණයාට සිය ඇස ගලවා දෙන දර්ශන නිරූපිත පිළිමයන්‍ ය. තව තැනක පිංඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ අඩි 40කට වැඩි උඩ අහසේ වැඩ සිටින්නෙ ජීවමාන ස්වරූපයෙන් මේ දැන් සිදුවන්නා සේය. දෙව්දතුන් ගල් පෙරළීම, බුදුරදුන් තොටියා එනතුරු ගං ඉවුරෙ සිටියදී තාපසයෙකු ලේන්සුවක් මත හිඳ ගඟ තරණය, දම් සභා මණඩපය ඇතුළු බොහෝ දෑ අත්‍යලංකාරයෙන් ප්‍රතිමා කලා විෂයානුබද්ධව නිර්මිතය. ඒ පිංබිමේ කොතරම් දුරක් පා ගමනින් ඇවිද්දද වෙහෙසක් නොවන්නේ තුරුලිය සෙවණේ ඉතා සංසුන් පරිසරයක මේ ප්‍රාතිහාර්යන් නිර්මිත බැවිනි.

“ශාසන ඉතිහාසයේ තවත් ප්‍රාතිහාර්ය කීපයක් මම මේ භූමියේ අනාගතයේ නිර්මාණය කරන්න හිතාගෙන ඉන්නෙ. නිර්මාණය කර ඇති සියලු කතා වස්තූන්ද ඒ අසලදි සිංහලෙන් කියවන්න ලියා සටහන් කරලයි තියෙන්නෙ. එතැන අලුතින් හදන බුද්ධ මන්දිරයේ දහසක් බුදු රජාණන් වහන්සේලා වැඩ ඉන්න අයුරු සකසන්නයි බලාපොරොත්තුව. දැනට බුදුපිළිම දහසම නිර්මාණය කරල ඉවරයි.”
සද්ධාරංසි හාමුදුරුවන්ගේ ඒ වචන පරිදිම දහසක් සම්බුදු විහාරයද විස්මිත නිමැවුමක් වනු නොඅනුමානය. මේ අයුරින් සද්ධාරංසි හාමුදුරුවෝ අනුරාධපුරයට පිළිම 2500 කට වැඩිප්‍රමාණයක් සාදවා ඇත.

“මට තව සිතුවිල්ලක් තිබුණා බුදුරජාණන් වහන්සේගේ මුද්‍රාවන් සහිත විහාරයක් හදන්න. ඒක හදන්න තැනක් හොයාගෙන තන්තිරිමලේ පාරෙ යද්දි අපි ඔයාමඩුව පහුකරලා වන්නිහැලඹ වැව හන්දියෙ ඉද්දි අඳුනගෙන උපාසක මහත්තයෙක් ඇවිත් කිව්වා අනේ හාමුදුරුවනේ අපේ පන්සල අරං පන්සල ජරාවාස වෙන එකෙන් වළක්වා දෙන්න කියලා. මම ඉතින් පන්සලක් භාර ගන්න නම් බෑ කියලා ගියා. පස්සෙ ඒ පන්සලේ වයසක ස්වාමින් වහන්සේ නමක් හිටියේ. ඒ හාමුදුරුවන් මා සොයාගෙන ඇවිත් කිව්වා අනේ ඔබ වහන්සෙ මාවයි පන්සලයි අපේ දායකයොයි ඔක්කොම භාරගන්න කියලා.

ඉතින් ඒ හාමුදුරුවන්ගෙයි, දායකයන්ගෙයි ඉල්ලීමට එතැන ගොඩනැගූ ප්‍රතිමාලංකාර විහාරය. එහි බුද්ධ මන්දිරයෙ තමයි බුදු පියාණන්වහන්සේගෙ සියලුම මුද්‍රා සහිත පිළිම වහන්සේලා තැම්පත් කරන්න හදන්නෙ. දැනට විශාල වැඩ කොටසක් නිමා කර තිබෙන්නේ. මේ නිර්මාණ පිංකමට යොදා ගැනෙන්නෙ දැවමය ප්‍රතිමා. මේ දිනවල ඒ ප්‍රතිමා නෙළීම් නිමා කරමින් තිබෙන්නේ.

ඒ වගේම මම මන්නාරම් හන්දියේ සිලාවතුර පාරට කිට්ටුවම තව පිරිවෙනක් ආරම්භ කළා ඕනෑම නිකායක ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලාට අධ්‍යාපනය ලබා දෙන්න. දැන් ඒකත් සාර්ථකව කෙරෙනවා. එ්වගෙම ජනාධිපතිතුමා මට ඔයාමඩුව වනයෙන් අක්කර 20ක ඉඩක් දුන්නා භාවනා ආරණ්‍යයකට මේ දිනවල එහි කාර්යයනුත් කෙරෙනවා.”

මේ ශාසනික මෙහෙවරයන්ට අමතරව සද්ධාරංසි හාමුදුරුවන් දිළිඳු පවුල් දෙකකට නිවාස දෙකක් හදා දී ඇති අතර ඇලයාපත්තුව රෝහලට නව වාට්‍ටුවක්ද, භික්ෂු වාට්ටුවක්ද, වෛද්‍ය විවේකාගාරයක්ද ජල පහසුකම් සඳහා අවශ්‍ය මෝටර් හා නළ පද්ධතියක්ද පරිත්‍යාග කර තිබේ. ‘‘චරථ භික්ඛවේ චාරිකා බහුජන හිතාය බහුජන සුඛාය” යන බුදු වදන අනුව යමින් උන්වහන්සේ කළ තව බොහෝ කාර්යයන් තිබේ.

ජයන්ත සුබසිංහ