විශේෂාංග

දහම් පාසල නම් බොනී අයියා බොනී අයියා නම් දහම් පාසල

බස් රථයක් එනතුරු බස් හෝල්ට් එකේ සිටින විට බෝඩ් ලෑල්ලක් ගසා ඇත්තේ මියගිය අහවල් ප්‍රාණකාරයාට පිං පිණිස ගොඩනැගූ බවය. දානෙට පංසලෙන් ගෙනා පඩික්කමේද, පිංදිය යුතු හැත්ත බුරුත්තම අකුරෙන් ඇඳ ඇත. ඒ තියා වැසිකිළියකට දොරක් දැමූ විට ඊට අනුග්‍රහය දැක්වූ දේශපාලකයාගේ රුව සහිතව නම ගැසීම අද පුරුද්දය. අපේ සමාජ තත්ත්වය එසේ වුවද, 64 වසරක්ම තම තනිකඩ ජීවිතය දහම් පාසලක් ගොඩනගා පවත්වාගෙන යන කිසිදු ප්‍රසිද්ධියක් බලාපොරොත්තු නොවන නිහඬ පුද්ගලයකු නුගේගොඩ පාගොඩ සිටී. ඔහුගේ නම කුරගමගේ දොන් විජයපාල ලෙස උප්පැන්න සහතිකයේ තිබුණත් ඔහු ප්‍රදේශවාසීන් අතර ජනප්‍රිය චරිතයක් වන්නේ ‘බොනී අයියා’ ලෙසය.
විවිධ අරමුණු පුද්ගලයන්ගේ ජීවිත තුළට එබී බැලූ විට දැකගත හැකිය. ඇතැමුන්ගේ අරමුණ අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමය. තවත් අය ජීවිතය ගැන අන්තයටම කලකිරී ගිහිගෙය අතැර පැවිදි ජීවිතයට ඇතුළුවන අවස්ථා ද තිබේ. මේ කිසිදු අන්තයකට නොගිය ‘බොනී අයියා’ තම මුළු ජීවිතයම කැප කළේ විජය දහම් පාසල ගොඩනගා දහස් ගණනක් දරුවන්ට ධර්ම දානය දෙන්නටය. ඔහුගේ අැති විශේෂත්වය අවුරුදු 89ක් වය ෙස් වුවත් ඕනෑම දුරක් පයින් යාමයි. බොනී අයියා උපන්නේ 1930 ඔක්තෝබර් 12 වැනිදාය.
බොනී අයියාගේ උපන්ගමද නුගේගොඩ පාගොඩය. තාත්තා කුරගමගේ හෙන්දිරික් අප්පුහාමිය. අැල්විටිගලගේ ජොහානා පෙරේරා මවය. මිරිහානේ ජුබිලි කණුවේ තිබුණු මහින්ද විදුහල, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය මෙන්ම නුගේගොඩ පල්ලියේ කොලිජියෙන්ද බොනී අයියා අධ්‍යාපනය ලබා ඇත. පාසල් අධ්‍යාපනයෙන් පසු ‘බොනී අයියා’ අැලරික්ස් අයිස්ක්‍රීම් කොම්පැනියෙත්, කාසෙටිව් කොම්පැනියෙත් සේවය කළත් ඔහුගේ හිතේ තිබුණේ දහම් පාසලක් ආරම්භ කිරීමය. තම අරමුණ ඉටුකර ගැනීමට ඔහු තම වැටුප බැංකු ගිණුමක තැන්පත් කළේ ය. ප්‍රමාණවත් මුදලක් එකතු වූ විට ඔහු වන්දි ගෙන කොම්පැනියෙන් ඉවත් විය.
බොනී අයියා වන්දි ගෙන රැකියාවට සමුදුන්නද දහම් පාසල අරඹන්නට ප්‍රධාන ප්‍රශ්නය වූයේ ගොඩනැගිල්ලක් නොමැති වීමය. ඒ අවස්ථාවේ ඔහුගේ සහායට ආවේ අසල්වැසි නිවසේ කොන්සල්කෝරාල මහතාය. බොනී අයියාගේ සත් ක්‍රියාවට කෝරාල මහතා කළේ තම නිවසේ ඉදිරිපිට ඒ සඳහා කාර්යාලයක් ගොඩනගා දීමය.
මෙයින් වසර 64 කට පෙර බොනී අයියා දහම් පාසලක් ආරම්භ කළේ සුබ මොහොතිනි. දිනය හරියටම කිවහොත් 1955 පෙබරවාරි 20 දාය. සුබ මොහොතින් දරුවන් හතර දෙනකු දහම් පාසලට ඇතුළත් කරගන්නා ලදී. මාලනී අල්විස්, ග්ලැඩිස් විජයසිංහ, යූ.ඩබ්. සුමනාවතී, යූ. ඩබ්. කලණවතී ඒ දරුවන් හතර දෙනාය. අද මේ දහම් පාසලට මුලින්ම ඇතුළත් වූ දරුවන් හතර දෙනා වයස 70 වද ඉක්මවා තිබේ.
එදා මෙදා තුර වසර 64 ක් බොනී අයියා කළේ තනිකඩව දරු පරම්පරා ගණනකට දහම් දැනුම බෙදා දීමය. විවිධාකාර දානපතීන් හමු වී අනුග්‍රාහකත්වය ලබා ගනිමින් බොනී අයියා දරුවන් දහස් ගණනකට දහම් දැනුම බෙදාදුන්නේ නොමිලේය. විජය දහම් පාසල වෙනත් දහම් පාසල්වලට වඩා දැක්මක් ඇති නිසාම හේන්පිටගෙදර ඥාානසීහ, මඩිහේ පඤ්ඤාසීහ, වල්පොළ රාහුල, බද්දේගම විමලවංශ වැනි චිර ප්‍රසිද්ධ හිමිවරුන්ගේ ඇගයීමට ලක් විය.
විජය දහම් පාසල් සිසුන්ට ජාතික ඇඳුමත්, සිසුවියන්ට ළමා සාරියත් අනිවාර්ය කළ මුල්ම දහම් පාසලයි. ලංකා ඉතිහාසයේ දහම් පාසලක ප්‍රථම වරට තූර්යවාදක කණ්ඩායමක් බිහිකරන ලද්දේ විජය දහම් පාසලය. ජයමංගල ගාථා කණ්ඩායමක්, ළමා පුස්තකාලයක්, ළමා සුබසාධක සංගමයක්, කලා අංශයක් මෙන්ම ආදි ශිෂ්‍ය සංගමයක්ද විජය දහම් පාසල සතු විය. කලක් මෙම දහම් පාසලෙන් ස්වශක්ති නමින් මාසික සඟරාවකුත් විජය හඬ නමින් වාර්ෂික සඟරාවක්ද නිකුත් විය. ශිෂ්‍ය කාර්ය දර්ශක පොතක්, සිසු සිසුවියන්ට හඳුන්වා දීම මෙන්ම හැම සිසු සිසුවියකටම බැංකු පොතක් ලබා දී ඉතිරිකිරීමේ පුරුද්ද දහම් පාසල් ජාලය තුළට බද්ධ කරන ලද්දේ ‘බොනී අයියා’ විසිනි.
ටික කාලයක් යන විට පාගොඩ පළවන හරස්වීදියේ ආරම්භ කළ දහම් පාසල ඉඩකඩ මදිවීම නිසා උදව්වට ආවේ පූජ්‍ය කුරුවිට ධර්මාරාම හිමියන්. තමන් විහාරාධිපති ධුරය දැරූ පාගොඩ ජයමංගලාරාමයේ දහම් පාසල පැවැත්වීමට උන්වහන්සේ බොනී අයියාට පහසුකම් සලසා දුන්නේය. මීට වසර 45 කට පෙර 1974 දී නුගේගොඩ ශාසනාරක්ෂක මණ්ඩලයේ සියලුම දහම්පාසල් අබිබවමින් හොඳම දහම්පාසල බවට පත් කරන්නට බොනී අයියා සමත් විය. 1985 වර්ෂයේදී කෝට්ටේ මහරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හොඳම දහම් පාසල ලෙස පුදනු ලැබුවේ විජය දහම් පාසලයි. 1985 දෙසැම්බර් 8 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී එවකට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා විසින් බොනී අයියාට එම කුසලානය පිරිනමන ලදී.
අගමැතිතුමාගේ ගෞරවාදරයට පත්වීමත් සමග ‘බොනී අයියා’ ගැන ප්‍රදේශවාසීන් තුළ වූ ප්‍රතිරූපය සුනු විසුණු වන්නට විය. එතෙක් බොහෝ දෙනා බොනී අයියාට පරිභව කළේ අතේ සතේ නැති හරිහමන් රස්සාවක් නැති මේ මිනිහට දහම් පාසලක් කරන්නට පුළුවන්ද කියාය. බොනී අයියා එතෙක් අවතක්සේරුවට ලක් කළ අය අතර අධ්‍යාපන විශාරදයන්, ව්‍යාපාරිකයන් මෙන්ම වෙනත් දහම්පාසල්වල ගුරුවරුන්ද විය. විජය දහම්පාසලට අග්‍රාමාත්‍යවරයා කුසලානය පිරිනමන විටත් සෑම සිසු සිසුවියකටම නොමිලේ කිරි වීදුරුවක් දීමට තරම් ‘බොනී අයියා’ සූර සංවිධායකයකු විය.
බොනී අයියා අගමැතිවරයාගෙන් ඇගයීමට ලක්වීමත් සමග දෙමාපියන් තම දරුවන් විජය දහම් පාසලට ඇතුළත් කර ගන්නට පොර කන්නට විය. අගමැතිතුමාගේ ඇගයීමට ලක් වූ දහම් පාසලට අධ්‍යාපන විශාරදයන්ද දෙතුන් දෙනා සේන්දු වන්නට විය. දහම් පාසලට එක් වූ අධ්‍යාපන විශාරදයන්ගේ මුල්ම කටයුත්ත වූයේ මෙතෙක් කල් තම දිවියම කැපකොට දහම් පාසල ගොඩනැගූ ‘බොනී අයියාගේ’ අධ්‍යාපන සුදුසුකම් සෙවීමය. දහම් පාසල තවදුරටත් ගොඩනැගීමට නොව අධ්‍යාපන විශේෂඥයන්ට ප්‍රශ්නයක් වූයේ අගමැතිතුමා අතින් ලබාගත් ස්වර්ණ තිළිණය තියෙන තැනය. අන්තිමට සිදු වූයේ සම්මානයක් බෙදා ගන්නට බැරුව දහම් පාසලක් දෙකඩ වීමය. ඒත් ජීවිතයේ එකම අරමුණ ගැන සැලුණේ බොනී අයියා නොවේ. ඔහු තමන්ට සමීප දෙමාපියන් සමග ජුබිලි කණුව මංසන්ධියේ එවකට තිබූ මහින්ද විදුහලේ තම පරණ පුරුදු දහම්පාසල ආරම්භ කළේ ය.
බොනී අයියාගේ දහම්පාසල 1955 යුගයේ ආරම්භ කළ යුගයේ සිටම අනුශාසකවරයා වූයේ මාදුළුවාවේ සෝභිත හිමියන්ය. තත්ත්වය දැනගත් සෝභිත හිමියන් තම කෝට්ටේ නාග විහාරයේ කොටසක ශාලාවක් ගොඩනගා විජය දහම්පාසලට ලබාදුන්නේ දරුවන්ට දහම් දැනුම දෙන්නටය. ගොඩනැගිල්ලට අනුග්‍රාහකත්වය දක්වන ලද්දේ පසුගියදා අප අතරින් වෙන් වුණු සව්සිරි ව්‍යාපාර අධිපති ජී. ලොකු කොඩිකාර මහතාය. සෝභිත හිමියන්ගේ ඉල්ලීම පිට බොනී අයියාට අලුත් ගොඩනැගිල්ලේ වෙනම කාර්යාලයක්ද තනා දෙන ලදී. මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වන අවස්ථාවේ ලිපියක් ලියමින් සිට ඇත්තේ විජය දහම් පාසල ගොඩනගා දරුවන්ට ධර්ම ඥානය දෙන හැටි ගැන උපදෙස් දීමයට.
අවුරුදු 89 ක් වුවද අදද සම් බෑගයක් අතින් ගත් බොනී අයියා පයින්ම ගමන් යාම සුන්දර දසුනකි. හැටපස් වසරකට ආසන්න කාලයක් තුළ ‘බොනී අයියා’ගේ විජය දහම් පාසලෙන් දහම් අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන් ලක්ෂ ගණනකි. ඒ ආදි සිසුන් අතර වෛද්‍යවරුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, අධ්‍යාපනඥයන් මෙන්ම දේශපාලකයන් වැනි විවිධ සමාජ තලවල උසස් පුරවැසියන් බොහෝය. බොනී අයියාගේ කුටියෙන් එළියට එන විට ලියා ඇති කවිපෙළ ඔහුගේ ජීවිත දර්ශනය කියාපායි.
මොකටද ගුණ කතා කමකට වැඩක් නැති
හොඳටම වැඩි වුණොත් සුදු කොඩි එකක් ඇති
ජීවත්වෙලා කිසිවකු හට බරක් නැති
මිනිසකු මළා කිව්වොත් මට එයම ඇති.
ආත්මාර්ථකාමී සමාජයක බොනී අයියා වැනි විශිෂ්ට චරිතවලට වත්මනෙහි ලැබෙන ඇගයීම කෙසේ වෙතත් ඔහු උපන් රටට ණය නැති ඉතිහාසගත වන චරිතයක් වනු නියතය.
වජිර ලියනගේ