විශේෂාංග

දහඅටට වැඩි සියල්ලෝ සීරුවෙන් සිටින්!

 

 

වයස අවුරුදු දහඅට ඉක්ම වූ තරුණ, තරුණියන් සියලු දෙනාටම අනිවාර්ය හමුදා පුහුණුවක් දිය යුතු බවට මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පසුගිය දිනක කළ යෝජනාව මේ වන විට සමාජයේ කා අතරත් කතාබහට ලක්වී ඇති මාතෘකාවයි.

එකල නාවික හමුදාවේ කීර්තිමත් නිලධාරියකු වූ වත්මන් ඇමැති සරත් වීරසේකර එකල වඩා ප්‍රසිද්ධ වූයේ ග්‍රාමාරක්ෂක බළකාය උඩුයටිකුරු කළ නායකයා හැටියටය.

එදා ගම්බට්ටන් යැයි අඩු තක්සේරුවකින් හැඳින් වූ ග්‍රාමාරක්ෂක භටයන්ට නිසි හමුදා පුහුණුවක් ලබා දී විනයගරුක බළකායක් ලෙස සමාජගත කෙරුණේ සරත් වීරසේකරගේ නායකත්වය යටතේය.

‘‘හමුදා පුහුණුව කියන එකට කවුරුත් බිය විය යුතු නැහැ. මොකද හමුදා පුහුණුවකින් තමයි මිනිහෙකුට කෙළින් හිටගන්න පුළුවන් වෙන්නේ. ඇස් දෙක බලලා කතා කරන්න පුළුවන් වෙන්නේ. පෞරුෂත්වය නැංවෙන්නේ. නායකත්වය පිළිබඳ ගුණාංග ඇතිවෙන්නේ හමුදා පුහුණුවකින් නීතියට ගරුකරන එක ඉගෙන ගන්නවා. විනයක් ඇති වෙනවා. හික්මීමක් ඇති වෙනවා. ඒ දේවල් තමයි පුහුණුවෙන් කරන්නේ. සරත් වීරසේකර කියන්නේය. ඒත් ඔහුගේ මෙම දහඅටෙන් ඉහළ තරුණයන්ට හමුදා පුහුණුව දෙන යෝජනාවත් සමගම දේශපාලන වේදිකාව මෙන්ම සමාජ මාධ්‍ය ජාලාද රත් වෙන්නට විය.

ඇතැමුන් චෝදනා කළේ තරුණ දරුවන්ට මිලිටරි මානසිකත්වයක් ඇති කිරීමට යන බවයි.

‘‘වව්නියාවේ දුෂ්කර ඉස්කෝලවල දරුවන්ට උගන්වන්න ගුවන් හමුදාව උත්සාහ කරද්දිත් මේ වගේම විරෝධයක් ඇති වුණා. අධ්‍යාපනඥයන් වගේම විවිධ ක්‍රියාකාරිකයන්ද ඒ අදහසට විරුද්ධ වුණා. ඔවුන් එදා චෝදනා කළෙත් දරුවන් යුද මානසිකත්වයකට පොලඹවන්න හදනවා කියලයි. ඇමැති සරත් වීරසේකර පවසයි.

‘‘ගංවතුරක් ආවම, නායගියාම හමුදාව හොඳයි. යුද්ධයක් ඇති වුණාමත් හමුදාව හොඳයි. නමුත් පුහුණුවක් දෙන්න ගියහම හමුදාව නරකයි. හොඳම උදාහරණ කැම්පස් ළමයින්ට නායකත්ව පුහුණුව දුන්න එක. එදා ඒ වැඩේට විරුද්ධව කොච්චර කෑ ගැහුවද නමුත් ළමයි එදා ඒ පුහුණුව අරන් සතුටින් ගියා.’’

මම මේ අලුත් යෝජනාව ඉදිරිපත් කළෙත් රට ගැන රටේ අනාගතය ගැන හිතලයි. යැයිද ඇමැතිවරයා කියයි.

‘‘මේක මගේ පෞද්ගලික මතයක්. රටට මෙන්ම අනාගත පරපුරට වැඩදායි දෙයක් නිසා මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.’’

ඇමැතිවරයා කියන හැටියට වයස දහ අටට ඉහළ තරුණ තරුණියන්ට දෙන්නට යෝජනා කෙරෙන්නේ හමුදා පුහුණුවක් නොව නායකත්ව පුහුණුවකි. පෞරුෂත්ව වඩවන රටේ නීතිය ගැන උගන්වන පුහුණුවකි.

මේ රටේ තරුණයන්ට උගත්කම තිබුණත් ඔවුන්ට නිසි පෞරුෂයක් නැහැ. ඒ නිසාම ඇතැම් විට උගත්කමත් අපතේ යනවා. රැකියාවක් කරන්නට ගියාම නිසි තීරණ ගැනීමේ දී ප්‍රශ්න මතු වෙනවා. පෞරුෂයක් ඇති ඉදිරි පරපුරක් බිහි කළ යුත්තේ රටේ දියුණුවටයි. ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීමේ පහසුකම තියෙන්නේ හමුදාවට පමණයි. ඒ නිසා තමයි හමුදා පුහුණුවක් අවශ්‍යයි කියලා අදහස් කළේ.’’

මහජන ආරක්ෂක ඇමැතිවරයා වශයෙන් සරත් වීරසේකර මතු කරන තවත් තර්කයක් වන්නේ මහා මාර්ගයේ ගමන් ගනිද්දී විනයක්, හික්මීමක් නොමැති නිසා ඇතිවන අනතුරු ගැනය. ගත වූ දෙසැම්බර් 20 වැනිදා සිට මෙම ජනවාරි 20 වැනිදා තෙක් රටේ සිදු වූ රිය අනතුරුවලින් එකසිය අට දෙනෙකු මහපාරේ මියගොස් ඇත. එකසිය අසූ දෙනකු අනතුරුවලින් තුවාල ලබා ඇත. රිය අනතුරුවලින් මිය යන ප්‍රමාණය කොවිඩ්වලින් මියයන ප්‍රමාණයටත් වැඩිය.

මහාමාර්ගයේ අනතුරු වැඩි වන්නෙත් අනතුරු සිදු වූ වහාම ඇනකොට ගන්නෙත් වාහන ගිනි තබන්නෙත් හික්මීමක් විනයක් නැති නිසාය. මාර්ග නීති නොපිලිපදින්නේ උගත්කමක් නොව විනයක් නැති නිසාය. මේ තත්ත්වය සමනය කිරීමට පාසල් අධ්‍යාපනයෙන් පමණක් නොහැකි බව මේ වගේම හොඳටම ඒත්තු ගොස් තිබේ යැයි ඇමැතිවරයා කියන්නේය.

සිංගප්පුරුව, තායිලන්තය වැනි රටවල සියලු දෙනාටම හමුදා පුහුණුවක් ලබා දී ඇති නිසා මහජනතාව මහ මගදී වුවද හැසිරෙන ආකාරයේ වෙනසක් දැකිය හැකි බවද රියර් අද්මිරාල් සරත් වීරසේකර පෙන්වා දෙන්නේය.

මේ වන විට රටේ සියලු දෙනාටම හමුදා පුහුණුව අනිවාර්ය කළ රටවල් කිහිපයක්ම ඇත්තේය. දකුණු කොරියාව, උතුරු කොරියාව, තායිලන්තය, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව, බ්‍රසීලය, ඊශ්‍රායලය, සිරියාව, එරිත්‍රියාව එවැනි රටවල් කීපයකි.

මානව හිමිකම් ගැන වැඩිපුරම කතා කරන ස්විට්සර්ලන්තයේ හමුදා සේවය වයස අවුරුදු 18ත් 34ත් අතර පිරිමි අයට අනිවාර්ය කර තිබෙන්නේය. මෙම පුහුණුවට විරෝධයක් පළවෙද්දි 2013 පැවැත් වූ ජනමත විචාරණයෙන් සියයට 73ක්ම ඉල්ලා තිබුණේ අනිවාර්ය හමුදා පුහුණුව අවශ්‍ය බවය. සති විසි එකක පුහුණුවෙන් පසු වාර්ෂිකව පුහුණුවටද එක්වීමට එරට ජනතාවට අවස්ථාව උදා වී තිබේ.

විවිධ ජාතීන් ජීවත්වුවත් සියලු දෙනා එක් කරන්නට හමුදා පුහුණුව පිටිවහලක් බව ස්විට්සර්ලන්ත රටවැසියන්ගේ මතයයි. වසර දෙසීයකින් මෙපිට කිසිම යුද්ධයකට සම්බන්ධ වී නැති ස්විට්සර්ලන්තය තම වැසියන්ට පුහුණුව ලබා දෙන්නේ යුද මානසිකත්වයක් ඇති කිරීමට නොව විනයක් ලබා දීමේ අරමුණින් යුතුව බවද ඇමැති වීරසේකර පෙන්වා දෙයි.

බ්‍රසීල රජයද තම රටේ වයස අවුරුදු දහඅටට වැඩි සියලු දෙනාම අනිවාර්ය කර ඇත. වසරකට ආසන්න පුහුණුවට යෑමට එරට තරුණයන් අතර ඇත්තේ තරගයකි.

තායිලන්තයේ හමුදා පුහුණුව මෙන්ම මහණ වීමද අනිවාර්ය කාරණාවකි.

ඊශ්‍රායලයේ රටවැසියන්ට දෙන හමුදා පුහුණුවේ දී කාන්තාවන්ට වසර දෙකක පුහුණුව අනිවාර්යයි. පිරිමින්ට වසර තුනක පුහුණුවක් අනිවාර්යයි. උතුරු කොරියාවේ පිරිමින්ට වසර එකොළහක්ද කාන්තාවන්ට වසර හතක්ද පුහුණුව අනිවාර්ය වන්නේය. දකුණු කොරියාවද යුද, නාවික, ගුවන් හා පොලිසියේ සේවය කිරීමටද අවකාශ සලසා ඇති බවද ඇමැතිවරයා පවසයි.

ඒ අනුව ලංකාවද විනය ගරුක පරපුරක් බිහිකිරීම සඳහා අනිවාර්ය හමුදා පුහුණුව මනා පිටිවහලක් බවද ඔහුගේ අදහසයි.

තිස්ස රවින්ද්‍ර පෙරේරා