පිනි පලස

දවසේ කුලියට රඟපාන්නේ නැහැ

රොජර් සෙනෙවිරත්න ටෙලිනාට්‍ය තුළින් අපට නිරතුරුවම හමුවන ශිල්පියෙක් නොවෙයි. ඉඳහිට ආවත් ඒ එන හැමවිටම විශේෂ යමක් සිය රසිකයාට රැගෙන එන රොජර් මේ දිනවල සුනිල් කොස්තාගේ You Hear Me තුළින් සිය රසිකයන් හා වෙනස්ම කතාබහක යෙදී සිටිනවා.

සුනිල් කොස්තා, රොජර් සෙනෙවිරත්න හා Can You Hear Me ගැන පවසමින්ම කතාබහ අරඹමු.

අපි නාට්‍ය ගැන හදාරමින්, නාට්‍ය බලමින් ඒව ගැන කතාබහ කරමින් සිටි තැන්වල සුනිල් කොස්තාත් මගේ මිතුරෙක්ව හිටිය. මීට වසර විසිපහකට පමණ පෙර සුනිල් කොස්තා නිර්මාණය කළ ඒකාංගික ටෙලිනාට්‍යයක මමත් රඟපෑවා. ඒ තමයි ඔහු මා සබැඳි අතීතය. කැන් යූ හියර් මී චරිතයට මං හරි ආසයි. ඒ චරිතය ගොඩනැගෙන විදිහට මම ආසයි. ටෙලිනාට්‍ය දිගින් දිගටම යනකොටයි ඒ චරිතය හරියටම මිනිස්සුන්ට අවබෝධ වෙන්නෙ. මෙහි මතුපිටින් පෙනෙන මිනිහ පමණක් නෙවෙයි චරිතය ඇතුළෙ තව මිනිහෙක් ඉන්නව. ඒ මිනිහා එළියට එන්නෙ ටෙලිනාට්‍ය ඉදිරියට යනකොට.

ඔබ මේ විදිහේ තෝරාගත් නිර්මාණවල පමණක් රඟපාන ශිල්පියෙක්ද?

නැහැ නැහැ, ඕනම කෙනකුගේ නිර්මාණයකට මම දායක වෙනව. නමුත් කෙනෙක් මට නිර්මාණයකට කතා කරල ඒ සාකච්ඡාව නිර්මාණයට දායක වීම සඳහා මගේ කොන්දේසි විමසන තැනට ආවහම දවසෙ පඩියට මම එන්නෙ නැහැ. මුළු වැඩේටම ගාණක් ගෙවනව නම් මම මේ වැඩේට එන්නම් කිව්වට පස්සෙ එම නිර්මාණයට සම්බන්ධ වෙන්න කියන පණිවුඩය බොහෝ විට යළි මා කරා එන්නෙ නැහැ. දිනපතා කුලියටම තමයි එයාල නළු නිළියො හොයන්නෙ. ඔය කාරණය නිසයි හැම ටෙලිනාට්‍යයකම මම නැත්තෙ. නැතිව මම විශිෂ්ට ගණයේ අධ්‍යක්ෂකවරු හෝ විශිෂ්ට ගණයේ පිටපත් තෝරාගැනීමක නැහැ. කෙනෙක් මට කිසියම් නිර්මාණයකට කතා කරනව නම් පිටපතෙහි මට රඟපාන්න පරාසයක් තියෙනවද කියල බලල මම ඒ නිර්මාණයට දායක වෙන්න කැමතියි.

රොජර් මෙගා නාට්‍ය සමගත් රංගනයෙන් එක්වීමට එකඟද?

ප්‍රශ්නයක් නැහැ. මිනිහෙකුට බලන්න පුළුවන් ටෙලිනාට්‍යයක් නිර්මාණය වෙනවද අපි ඒකට අවකාශය හදල දෙන්න ඕන. ඒක ඇතුළේ විශාල පිරිසක් ජීවත් වෙනව. හැබැයි නාට්‍යය දිර්ඝ කරන්න බහුබූත දාලා නාට්‍ය අදින්න එපා කියලයි මම කියන්නෙ. මිනිස්සුන්ට විඳින්න හැකි මෙගා නාට්‍යයකට ඇරයුමක් ලැබුණොත් මම ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. නිකං තිබ්බ ගැහුවා නාට්‍යවලට නම් අපි සම්බන්ධ වෙන්නෙ නැහැ.

ඇයි ඔබ මේ දෛනික ගෙවීමේ ක්‍රමය මේ තරම් ප්‍රතික්ෂේප කරන්නෙ?

මේක පවත්වාගෙන යන්න දායක වන ශිල්පීන්, ශිල්පිනියන් කම්කරුවන් මටට්මට දාලා සිද්ධ වෙන දිනපතා පඩියට යා යුතු නැහැ කියන එකයි මම පවසන්නෙ. මොකද අපි මේක කරන්නෙ ජීවත් වෙන්නම විතරක් නෙමෙයිනෙ. අපි කලාව කරන්නෙ නිර්මාණ ගැන ශිල්පීන්, ශිල්පිනියන් ගැන බලාපොරොත්තු තියෙන විශාල පිරිසක් වෙනුවෙන්. ඒ සියලුම දෙනා අප කරන දේ දෙස බලාගෙන ඉන්නව.

කාරණා කෙසේ වෙතත් ඔබේ රංගනය අහිමි වීම නේද මේ සිදුවෙන්නෙ?

ඔය ප්‍රශ්නයටත් මට දෙන්න තියෙන්නෙ පෙර පිළිතුරමයි. අඩුවෙන් වැඩ කරන්න හේතු තියෙනව. ඒ හේතුව තමයි මා පෙර දැක්වූ කාරණය. දැන් ට්‍රෙන්ඩ් එක හැදිල තියෙන්නෙ කවර හෝ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් රුපියල් හත් අට දහසකට නැත්නම් දහ පහළොස් දහසකට ගත්තම ඔවුන් ඒ චරිතයට දෙබස් ටික කියල ගෙදර යන එක තමයි කෙරෙන්නෙ. දැන් හැදෙන නිර්මාණ දිහා බලපුවහම ඒක පෙනෙනවනෙ. දෙබසක තියෙන වටිනාකම, දෙබසක තියෙන අරුත, දෙබසක තියෙන බර ඒ කිසිම දෙයක් මතු වෙන්නෙ නැහැනෙ. වේදිකා නාට්‍යවල නම් දෙයිහාමුදුරුවන්ගෙ පිහිටෙන් ඒ ගුණය තවම රැකිල තියෙනව. ටෙලිනාට්‍යවලත් ඒ රසය නම් දැනෙන්නම ඕන. උදාහරණයකට ගම්මුකො කැන් යුූ හියර් මී. ඒකේ මතුවෙන රසය මතුකරන්න අධ්‍යක්ෂවරයාට තියෙන වුවමනාව වගේම ශිල්පීන් ශිල්පිනියන්ට දෙගුණයක් වුවමනාව තියෙන්න ඕන. නිර්මාණකරුවො රසිකයා මෝඩයට අන්දන්න හැදුවට රසිකයා මෝඩ නැහැ. ඒකනෙ මිනිස්සු තෝරගන්නෙ.

Can You Hear Me ඇරුණහම ඔබේ කාලය ගෙවෙන්නෙ කුමන කලා කටයුතුවලටද?

ටෝනි රණසිංහ මහත්මය රචනා කළ ජුලියස් සීසර් නාට්‍ය පිටපත මම නැවත කියවනව. එය අලුත් මුහුණුවරකින් ප්‍රයෝග සහිතව මේ කාලෙට ඉදිරිපත් කිරීම සුදුසුයි කියල හිතනව. ඒ හැරුණම අපි සාමාන්‍යයෙන් කලාකරුවන් විදිහට අපිට අදාළ වැඩ ටික කරනව. මොක නැතත් අපි කියවනව, කලා නිර්මාණ නරඹනව.

ඊට අමතරව මම කාලයක් තිස්සෙ බොන්සායි පැළ ගැන දැනුමක්, අවබෝධයක් පවත්වාගෙන යනව. මෙතෙක් මම සකස් කළ බොන්සායි ගස් මා ළඟ තියෙනව. බොන්සායි පෝච්චි ටිකක් මගේ දෑතින්ම හදාගෙන යමින් ඉන්නව.

ධම්මිකා සුරංජි පතිරණ