News

දරුවා අඩන විට කදුළු එන්නේ නැත්තම් භයානකයි

දරුවා අඩන විට කදුළු එන්නේ නැත්තම් භයානකයි


කොවිඩ් දරුවෙකු බලා ගන්නා විට මේවා ගැනත් සැළකිලිමත්වන්න

කොවිඩ් රෝගයට ගොදුරු වන දරුවන් මේ වෙද්දි නිවසේ සිට රැක බලාගැනීමේ තීන්දුවක් ගෙන තියෙනව. දරුවන් එලෙස නිවස තුළ රැක බලාගැනීම පිළිබඳ දෙමව්පියන් ඉන්නෙ දෙගිඩියාවකින්. එවැනි තීන්දුවක් ගැනීමට බලපෑම් කරපු සාධක මොනවද?

දැන් දැන් කොවිඩ් වයිරසය ආසාදනය වී රෝගී වන දරුවන් විශාල වශයෙන් වාර්තා වෙනවා. මේ රෝගී දරුවන් සියලුම දෙනා රෝහල් ගත කර බලා ගැනීමට අපට හැකියාවක් නැහැ. බොහෝ ළමයින්ට කොවිඩ් පොසිටිව් වෙනවා කියන්නේ හුඟාක් අමාරුවෙන තත්ත්වයක් නෙවෙයි. ඒත් වෙනත් රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවෙකුට කොවිඩ් වයිරසය අසාදනය වුණොත් ඒ දරුවා නිවසේ සිට රැකබලා ගන්න අපහසුයි.

එවැනි දරුවන් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවිය යුතු නිසා, රෝහල් තුළ ඉඩකඩ ලබාදීම අනිවාර්ය කරමින් වෙනත් රෝග තත්ත්වයන් නොමැති කොවිඩ් ආසාදිත දරුවන්ව නිවෙස් තුළ රඳවා ප්‍රතිකාර ලබා දීමට තීරණය කර තියෙන්නෙ.

මෙතැනදී ඔබ වෙනත් රෝග තත්ත්ව කියා හැඳින්වූයේ මොනවගේ රෝගයන්ද?

අපේ දරුවන් සමහර අයට ඇදුම, දියවැඩියාව, වකුගඩු රෝග, අධික ස්ථූලභාවය, හෘදයේ යම් යම් රෝග තත්ත්වයන් වගේ විවිධ රෝගයන් පවතිනවා. මෙවැනි දරුවන්ට කොවිඩ් වයිරසය ආසාදනය වුණොත් නිවෙස් තුළ රඳවා ප්‍රතිකාර ලබා දීමට අවසර ලබා දෙන්නේ නැහැ.

COVID-19 in Kids: A Guide On How To Identify Coronavirus Symptoms in Children

එතනදි එවැනි නිධන්ගත රෝග නැති සියලු දරුවන් නිවසේදී රැක බලාගැනීමට අවසර හිමිවෙනවද? ඒ දරුවන් ගැන තීරණය වෙන්නෙ කොහොමද?

උණ, කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනි ලක්ෂණ පමණක් තියෙන, ඔක්සිජන් මැනබැලීමේ උපකරණයන් තිබෙන, දරුවන්ගෙ රුධිරයේ ඔක්සිජන් මට්ටම සියයට 96ට වඩා වැඩියෙන් පවතින දරුවන් තමයි ගෙදර තියා ගෙන බලා ගැනීමට අවසර හිමි වෙන්නේ.

මෙවැනි දරුවෙක් රැක බලා ගැනීමේදී නිවසේ තිබිය යුතු පහසුකම් මොනවාද?

ආසාදිත දරුවාව රඳවා තැබීමට නිවසේ හොඳින් වාතාශ්‍රය ලැබෙන කාමරයක් තිබිය යුතුය. ආසාදිත දරුවාටම භාවිත කළහැකි වැසිකිළියක් තිබේනම් වඩාත් හොඳයි. දරුවාව හොඳින් බලා ගත හැකි නිරෝගි පුද්ගලයෙක් වෙන්විය යුතුයි.

යම් හේතුවකින් දරුවාගේ රෝග තත්ත්වය උත්සන්නවීමෙන් රෝහල් ගත කිරීමට අවශ්‍ය වුවහොත් නිවස අසලට ගිලන් රථයකට ළඟාවිය හැකිවන පාරක් තිබිය යුතුය. තොරතුරු හුවමාරු කර ගැනීමට දුරකථන පහසුකම් තිබිය යුතුයි. මෙවැනි කාරණාවන් සම්පූර්ණ කළ හැකි නම් එවැනි නිවාසවල තමයි දරුවෙක් රැකබලා ගැනීමට අවසර හිමි වෙන්නෙ.

Coronavirus infection in children – it may not start with a cough – Science & research news | Frontiers

කොවිඩ් පොසිටිව් වෙලා සංකූලතා නොපෙන්වන, නිවෙස් රැකවරණයේ පසුවන දරුවෙක් පිළිබඳ මොන වගේ සැලකිල්ලක්ද යොමුකළ යුත්තේ…

මෙවැනි දරුවන්ට විවේකය අවශ්‍යයයි. අනවශ්‍ය ලෙස මහන්සි නොකළ යුතුයි. ඇඳ විවේකය අවශ්‍යයයි. පෝෂ්‍යදායී ආහාරවේලක් ලබා දීම, පිරිසුදු ජලය හැකි පමණ පානය කිරීමට දීම, කැඳ, පලතුරු යුෂ, සුප් වැනි පානයන් හැකි පමණ බොන්න දීම වැදගත්. උණ තියෙනව නම් දරුවාගේ බරට අනුව නියමිත මාත්‍රාවෙන් පැරසිටමොල් ලබා දීම අවශ්‍යයි.

නිවස තුළ එලෙස රඳවාගෙන ප්‍රතිකාර කරන දරුවෙක් රෝහල් ගතකර ප්‍රතිකාර ලබාදිය යුත්තේ කිනම් රෝග ලක්ෂණ මතුවුණොත්ද?

එතනදි ආසාදිත දරුවාගේ උණ බැලිය යුතුයි. මෙහිදී උණ සෙන්ටිග්‍රේට් අංශක 38ට වඩා වැඩිනම් කන්න බොන්න අපහසු නම්, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැඩිවන්නේ නම්, උගුර රිදෙනවා නම්, හුස්ම ගැනීමේ අපහසුවක් තිබෙන්නේ නම් ඒක බලාසිටිය යුතු තත්ත්වයක් නෙමෙයි.

ඒ වගේම වෙව්ලන ගතියක් පවතින, නිදිමත ගතියක් පෙන්වන, හිස කරකැවිල්ලක් තියෙන, ඇස් ගිලී තියෙන දරුවන් ඉන්නව නම් ඒ දරුවන්ට තවදුරටත් නිවසේ ප්‍රතිකාර අවදානම්. ඒ අය රොහල්ගත කළ යුතුයි. අඬන විට කඳුළු එන්නේ නැතිනම්, මුත්‍රාපිටවීම අඩුනම් උගුරකට වේලෙන ස්වභාවයක් තියෙනව නම් රෝහල් ගත කළ යුතුයි. ඔක්සිජන් මට්ටම සියය 98ට වඩා අඩුනම් වහාම රෝහලක් කරා රැගෙන යා යුතු තත්ත්වයක්.

The Usual Suspects: 3 Common Childhood Illnesses - Indian Crest Peds

අඬන විට කඳුළු එන්නේ නැතිවීම, මුත්‍රාපිටවීම අඩුවීම කොවිඩ් රෝග ලක්ෂණයන්ද?

කොවිඩ් ආසාදිත දරුවන් අතර විජලනය ඇතිවීම අනිවාර්යයෙන්ම සිදුවන්නක්. මේ රෝග ලක්ෂණ විජලනයේ ලක්ෂණ. විජලනයට පත්වීම ඉතාමත් භයානකයි. ඇතැම් විට එය අසාධ්‍ය තත්ත්වයක් හෝ මරණය කරා වුවද දරුවා රැගෙන යාමට හේතුවක් වෙන්න පුළුවන්.

දරුවාගේ හුස්ම ගැනීමේ අපහසුව දැන ගන්නේ කොහොමද?

වෙරවීරිය යොදා හුස්ම ගන්නව නම් හා හුස්ම ගන්නා වේගය වැඩිනම්, බඩ වළ ගැහී දරුවා අපහසුවෙන් හුස්ම ගනව නම් ඒව තමයි හුස්ම ගැනීමේ අපහසුව බව දක්වන ලක්ෂණ.

කොවිඩ් ආසාදිත දරුවකු නිවසේ රැකබලා ගැනීමේදී දරුවාට වෙනම කාමරයක රඳවා සිටියත් නිවසේ අන් අයට වයිරසය අසාදනය වීමේ අවදානමක් තිබෙනවා. මෙම අවදානම අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගයන් මොනවාද?

දරුවාව රැකබලා ගැනීම සඳහා එක් පුද්ගලයකු වෙන්විය යුතුයි. මෙම පුද්ගලයාද හොඳින් මුව ආවරණයක් පැලඳ නිරන්තරයෙන්ම දෑත් සබන් යොදා පිරිසුදු කර ගැනීම අනිවාර්ය වෙනවා. ඒ වගේමයි දරුවාට මුව ආවරණයක් පැලඳවීම හා දෑත් නිරන්තරයෙන්ම සබන් යොදා පිරිසුදු කිරීමත් වැදගත්. නාසය කට අල්ලන්න දෙන්න එපා.

දරුවා සිටින කාමරය පමණක් නොව නිවසේ අන් දොරවල් සහ ජනේල් සියල්ලම විවෘත කර තැබිය යුතුයි. රෝගී දරුවා වෙනුවෙන් පිඟන් කොප්ප ඇඳ ඇතිරිලි පොරවන සාළුවක්, සබන්, දත් බුරුසුවක් හා දත් බෙහෙත් වෙනමම තබා තිබීම ඉතාමත් වැදගත්ය. දරුවා භාවිත කරන්නේ නිවසේ අනිත් අයත් භාවිත කරන වැසිකිළියත්, නාන කාමරයත් නම් දරුවා ඒවා භාවිත කළ පසුව හොඳින් පිරිසිදු කර නිවසේ අන් අයත් භාවිත කිරීම ඉතාමත් වැදගත්ය.

 

නිවසේ දොරගුළු විසබීජ නාශක යොදා නිතරම පිරිසිදු කරන්න. දුරකථන, පරිගණක යන්ත්‍ර ආදිය රෝගී දරුවාත් භාවිත කරන්නේ නම් ඒවා පිරිසිදුකාරකයකින් පිරිසිදු කිරීම අනිවාර්යය වෙනවා. මෙවැනි ආකාරයට ආසාදිත දරුවකු රැකබලා ගැනීමට හැකිනම් වයිරසය නිවසේ අන් අයට ආසාදනය වීම වළක්වා ගන්න පුළුවන්.

එහිදී පිරිසුදුකාරක දියර තෝරා ගැනීමේදී ඇල්කොහොල් සියයට 60 – 95 පමණ අන්තර්ගත වීම ඉතාමත් වැදගත්. වයිරසය ආසාදනය වීම වළක්වා ගත හැකි වන බව ස්ථිර වශයෙන්ම කිව හැක්කේ දුරස්ථභාවය රඳවා ගැනීමෙන් හා මුව ආවරණය පැලඳීම පමණයි.

How Sick is Too Sick for a Child to Go to School? - Mommy Nearest

කොවිඩ් සැදී ඇති දරුවන්ට මව්කිරි ලබා දිය හැකිද?

මව්කිරි ලබාදිය හැකියි. නමුත් මව්කිරි දීමට පෙර මව දෑත් සහ පියයුරු සබන් යොදා සෝදා පිරිසිදු කළ යුතුයි. ඒ වගේම මව්කිරි දීමෙන් පසුත් දෑත් හා පියයුරු සබන් යොදා පිරිසිදු කර ගත යුතුය.

නිවෙස් නිරෝධායනයේ යෙදෙන දරුවෙක් කොපමණ කාල සීමාවක් මේ උපදෙස් පිළිපැදිය යුතුද?

පීසීආර් පරික්ෂණයක් මගින් එම දරුවා ආසාදිත බව තහවුරු වූ දින සිට දින 14ක් යන තෙක් ආරක්ෂා විය යුතුයි. දින 14න් පසුව තමයි එම දරුවා රෝග වාහකයකු නොවන බවට තහවුරු කළ හැකි වන්නේ. දරුවාගේ දින 14 අවසන් වූ පසුව නිවසේ අන් අය එතැන් සිට තවත් දින 14ක් නිරෝධායනය විය යුතුය. නිවසේ සිටින අය සමාජයට යාමට පෙර නැවත ඇන්ටිජන් පරික්ෂාවකට ලක්විය යුතුය.

කොවිඩ් සෑදුණු දරුවෙකු සුව වූ පසුව වෙනත් අතුරු ආබාධයන්ට ලක්වීමේ අවදානමක් තියෙනවද?

කොරෝනා වැලඳුණ දරුවෙකු රෝගය වැලඳී දින 14ක් ගිය තැන මාසයක් පමණ අපි රැකබලා ගත යුතුයි.

මේ දරුවන්ට උදරයේ වේදනාවක් උණ ඇතිවීමක්, ඇඟේ පලු මතුවුණොත් වමනය, මළානික බව වගේ රෝග ලක්ෂණ මතුවුවහොත් වහාම රෝහලක් වෙත රැගෙන යා යුතුයි. මොකද කොවිඩ් රෝගය සුව වුණ ඇතැම් දරුවන්ට බහු ඉන්ද්‍රිය අකර්මණ්‍යතාවන් ඇතිවෙන්න පුළුවන්. ඉක්මනින් රෝහල් ගත කළොත් අසාධ්‍ය තත්ත්වයට පත්වීම වළක්වා ගත හැකි වෙනවා.

කොරෝනා වයිරසය ලෝකයට අලුත් වයිරසයක්. එහි ක්‍රියාකාරිත්වය කොයි වගේද කියලා අපි තවමත් දන්නේ නැහැ. මේ වයිරසය ආසාදනය වුණාට පසුව දින 14කින් දරුවා සුව වුණත් ඇතැම් දරුවන්ගේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට යම් යම් හානිකර තත්ත්වයන් ඇතිකරන බව සොයා ගෙන තිබෙනවා. ඒ නිසයි දරුවා කෙරෙහි අවධානය දිගින් දිගටම අවශ්‍ය වෙන්නේ.

මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් තියෙනවා. ඇතැම් දරුවන්ට කොවිඩ් වයිරසය ආසාදිත වුවත් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකර සුවවෙලා යනවා. එහෙම වුණාම දෙමාපියන් දන්නේ නැහැ දරුවාට කොවිඩ් වයිරසය ආසාදනය වෙලා තිබුණද කියලා. මෙවැනි දරුවන්ට මාසයක් පමණ ගතවුණාට පසුව මම ඉහත කිව්ව බහු ඉන්ද්‍රිය අකර්මණ්‍යතාවක් ඇතිවෙන්න පුළුවන්.

6 signs your kid may not need a sick day

දරුවා හිටි හැටියේ බඩ රිදෙනවා කියලා අඬනවා. නැතිනම් වමනය දමනවා. එහෙමත් නැතිනම් මළානික ගතියක් පෙන්නුම් කරනවා. ඒ නිසා බොහෝ අම්මලා දරුවන්ට දින කීපයක් යන කල් නිවසේ රඳවාගෙන යම් යම් ප්‍රතිකාරයන් ලබා දෙනවා. එය ඉතා අවදානම් ඒ නිසා අපි දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා මේ දිනවල දරුවාට කොවිඩ් වයිරසය ආසාදනය වුණත් නැතත් මෙවැනි ලක්ෂණයන් මතුවුණොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලක් වෙත යොමු වෙන්න කියලා.

සමාජයේ යම් මතයක් තියෙනවා කොවිඩ් කියන්නේ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාවක් වගේ රෝගයක් කියලා. ඒ නිසා එයට ඒ තරම් බිය විය යුතු නැහැ කියලා. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස ඔබ මෙයට ලබාදෙන පිළිතුර මොකක්ද?

කොරෝනා කියන්නේ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාවක් පමණක් තමයි. නමුත් මේ වයිරසය ආසාදනය වුණාට පසුව එක් එක් පුද්ගලයන්ට බලපෑම් ඇතිකරන්නේ විවිධ විදිහටයි. මෙහි අවදානම් තත්ත්වය තමයි කොරෝනා නියුමෝනියා තත්ත්වය කියලා කියන්නේ. නියුමෝනියා තත්ත්වය පෙණහලු දෙකටම බලපෑම් ඇතිකරන අවස්ථාවන් තියෙනවා. මෙහිදි ඇතැමෙක් මිය යන්න පුළුවන්. ඇතමකුගේ ජීවිතය බේරෙන්න පුළුවන්. ඒ නිසා මේ දිනවල දරුවන්ගේ යම් යම් හැසීරීම් හා ලක්ෂණයන් කෙරෙහි හොඳ අවධානයක් යොමු කරන්න.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත

•සංවාදය – ශ්‍රියානි විජේසිංහ