කතුවැකි

දරුවන් අගමැතිවරයාගෙන් නෑසූ ප්‍රශ්න

අගමැතිවරයා රටේ දරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් රූපවාහිනී වැඩසටහන ඉතා කාලෝචිත වැඩසටහනක් ලෙස අප කාගෙත් ඇගයීමට ලක්විය යුතු වැඩසටහනකි. එම වැඩසටහන ඇගයීමට ලක් කළ යුත්තේ අගමැතිවරයා රටේ දරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීම නිසා හෝ ඉන් දරුවන්ගේ ප්‍රශ්න විසඳුණු නිසා නොව දරුවන්ටත් ඔවුන්ටම අනන්‍ය වූ ප්‍රශ්න ඇතැයි අපට සිහිපත් කරදුන් බැවිනි.

කොරෝනා වසංගතය හේතුවෙන් මේ අවස්ථාවේ අප කාගෙත් ජීවිතවලට දැඩි පීඩනයක් එල්ල වී තිබේ. කොරෝනා වසංගතය නිසා කවුරුත් මුහුණ දී සිටින්නේ පොදු තත්ත්වයකට වූවත් ඒ නිසා ඇතිවන පීඩනය එක හා සමාන නැත. එය ස්ත්‍රී, පුරුෂ වශයෙන් මෙන්ම පන්ති, සමාජ තත්ත්වයන් හා රැකියා ස්වභාවය, ප්‍රදේශ ආදී බෙදීම් අනුව විවිධාකාර වේ.

සමස්ත සමාජයම මේ ආකාරයට තම තමන්ට අනන්‍ය වූ පීඩාවන් දරා ගනිමින් තම මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ අරගලයක නිරතව සිටින මේ මොහොතේ දරුවන්ද තමන් මෙන්ම පීඩාවකට ලක්ව සිටින බව අප බොහෝ දෙනෙකුට වැටහෙන්නේ නැත.

වැඩිහිටි අප කල්පනා කරන්නේ දරුවන්ගේ කන බොන දේ සම්පාදනය කර දී ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම නිසා දරුවන්ට ප්‍රශ්න තිබීමට ක්‍රමයක් නොමැති බවය.

දරුවන් අගමැතිවරයාගෙන් විමසා ඇත්තේ ඉතා සරල ප්‍රශ්නය. එහෙත් ඔවුන්ට පවා ඒ ප්‍රශ්න අගමැතිවරයාගෙන් විමසන්නට සිදුව ඇත්තේ ඔවුන්ගේ දෙමාපියන්ටද ඒ සරල ප්‍රශ්නවලට පිළිතුරු දිය නොහැකි නිසාය. දීර්ඝ පාසල් නිවාඩුවක් ලැබීම, ටියුෂන් ​නොමැති වීම වැනි කාරණා කොරෝනා නිසා දරුවන් සතුටට පත් කරවන කාරණා විය හැකිය. එහෙත් ඔවුන් දැන් එහිද උපරිමයට පැමිණ ඇති බවක් පෙනෙන්නට තිබේ. පාසල් නිවාඩුව දීර්ඝ එකක් වුවත් නිවසට කොටු වී සිටින්නට සිදුව ඇති නිසාය.

නිවසට කොටු වී සිටීමට වීම නිසා දරුවන්ට සම වයස් කණ්ඩායම් ඇසුර අහිමි වී ති​බේ. ක්‍රීඩා වැනි විෂය බාහිර කටයුතු කෙරෙහි ඇලී ගැලී කටයුතු කළ දරුවන්ට ඒ කටයුතුවල යෙදීමට අවස්ථාවක් නැත. අසන්නට දකින්නට ලැබෙන්නේද කොරෝනා ගැන පුවත් පමණකි. මෙවැනි තත්ත්වයකදී ප්‍රීතිමත් පවුලක දරුවන්ට නිවසේ මව පියා සහෝදර සහෝදරියන් සමග සිටීමට ලැබීම සතුටට කරුණක් විය හැකි නමුත් බිඳ වැටුණු පවුලක තත්ත්වය කුමක් විය හැකිද?

මැද පෙරදිග රැකියා කරන මව්වරුන්ගේ දරුවන්, පියා නිවෙසින් බැහැර රැකියාවක නිරත දරුවන්, මව හෝ පියා හෝ දෙදෙනාම ජීවතුන් අතර නොමැති දරුවන්, මව හා පියා අතර අඬදබර ඇති පවුල්වල දරුවන් මේ දිනවල මුහුණ දෙන මානසික පීඩාව කුමන ආකාර වනු ඇත්දැයි කවරෙකුට හෝ කල්පනා වී තිබේද?

මේ දිනවල රැකියාවට යන විශේෂයෙන්ම ආරක්ෂක සහ සෞඛ්‍ය අංශවල සේවකයන්ගේ දරුවන්, තම මවට පියාට කොරෝනා ආසාදනය වනු ඇතැයි බියට පත්ව නොසිටින්නේ යැයි කිව හැකිද? තම දෛනික ආදායම අහිමි වීම නිසා පවුලේ අවශ්‍යතා ඉටුකිරීමට නොහැකිව ලතවෙන දෙමාපියන් දකින දරුවන්ට කුමක් සිතෙනු ඇත්ද? තමන් මතට එල්ලවන පීඩනය තම දරුවන් මතින් මුදාහරින දෙමාපියන් ඕනෑ තරම්ය. එවැනි දෙමාපියන්ගේ දරුවන් මේ දිනවල තම දුකක් හෝ කියන්නට කෙනෙක් නොමැතිව කොතරම් අසරණව සිටිනු ඇත්ද?

මෙවැනි ප්‍රශ්න කිසිවක් ​අගමැතිවරයාගේ වැඩසටහනින් ඉදිරිපත් වූයේ නැතත් මෙවන් ප්‍රශ්න දරුවන්ට නැතැයි ඉන් අදහස් වන්නේ නැත. මේ ප්‍රශ්න කොරෝනා නිසා ඇති වූ ප්‍රශ්න නොව පැවැති ඒවාය. දැන් සිදුව ඇත්තේ ඒවා උග්‍ර වීමය. එසේත් නැත්නම් ඒ ප්‍රශ්න මගහැර සිටින්නට අමතක කර සිටින්නට දරුවන්ට තිබූ අවස්ථාවන්ද අහිමිව යෑමය. මේ තත්ත්වය නිසා දරුවන්ට මානසික ආතතියක් ඇති විය හැකි බව අප කවුරුත් තේරුම් ගත යුතු ඉතා වැදගත් කාරණයකි.

දරුවන් පමණක් නොව මේ වන විට සමස්ත සාමාජයම ආතතිමය තත්ත්වයකට පත්ව ඇතත් ඒ බව හඳුනාගන්නට අප සමත්ව තිබේද යන්න ප්‍රශ්නයකි. මේ නිසා අපේ දරුවන් ආතතියකට ලක්ව සිටින්නේ යන හඳුනා නොගැනීම ගැන පුදුම විය යුතු නැත. එහෙත් පශ්චාද් කොරෝනා අවදියේ රටේ ආර්ථිකය ගොඩනංවන ආකාරය ගැන දැන් සිටම විවිධ සාකච්ඡා සිදුවෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ. ඒ සාකච්ඡා මතින් අපේක්ෂා කරන අරමුණු සාර්ථක කර ගන්නට නම් සමාජය වෙළාගෙන ඇති ආතතිමය ස්වභාවය සම්බන්ධයෙන්ද දැඩි අවධානයක් යොමු කළ යුතුවනු ඇත.

ඇතැම් විටෙක සමාජමය ව්‍යාපාරයක් ලෙස පොදු සමාජයේ ආතතිය තුරන් කිරීමට කිසියම් පියවරක් නොගත්තත් සමාජය ඉදිරියට ගමන් කිරීම නවතිනු ඇතැයි කිව නොහැක. එසේම එවැනි තත්ත්වයක් තිබියදී වුව, අපට ආර්ථික සමෘද්ධිය ළඟා කර ගත හැකි වනු ඇත. එහෙත් අපේ සමාජය නිරෝගී සමාජයක් නම් නොවනු ඇත.

අපේ දරුවන් මේ අවස්ථාවේ පත්ව සිටින ආතතිමය ස්වභාවය හඳුනාගෙන ඊට අවශ්‍ය පිළියම් නොකිරීම, වැඩිහිටියන්ගේ ආතතියට පිළියම් නොකිරීමට වඩා කිහිප ගුණයකින් භයානකය. දරුවන් යනු අපේම අනාගතය බැවිනි. මේ නිසා වැඩිහිටි සමාජයටත් පෙර අපේ අවධානය යොමු කළ යුත්තේ දරුවන්ගේ සමාජයේ ආතතිය තුරන් කිරීමට යැයිද කිව හැකිය.

අගමැතිවරයා දරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමේ වැඩසටහන ඇත්තෙන්ම අගනා වැඩසටහනක් වනු ඇත්තේ අප දරුවන්​ වෙනුවෙන් එවැනි වැඩපිළිවෙළක් ආරම්භ කළොත් පමණකි. ‘හොඳම දේ දිය යුත්තේ දරුවන්ටය.’