දත් බුරුසු සබන් පවුඩර් අරන් ඡන්දය ගණින්න ගියෙමු
16 November 2019
දත් බුරුසු සබන් පවුඩර් අරන් ඡන්දය ගණින්න ගියෙමු
16 November 2019
කලකට පෙර ගාල්ලේ කච්චේරිය ඇතුළු බොහෝ රාජ්‍ය ආයතන පිහිටා තිබුණේ ගාලු කොටුව ඇතුළේය. එහි සේවය කළ රජයේ නිලධාරීන් වැඩි හරියක් එදා පදිංචි වී සිටියේ ගාලු නගරයට හූවක දෙකක දුරින් පිහිටි වැකුණුගොඩ රජයේ නිල නිවාසවලය. ඔෆිස් දිනවල දී නා නා ප්‍රකාරයේ සාරි, ඔසරි හා කමිස ඇඳ වැඩට යන ඔවුහු සියල්ලම වසර කිහිපයකට වරක් එක එක දිනයන්හි සුදු පාටින් සැරසෙති. කාන්තාවන් සුදු සාරියකින් හෝ සුදු ඔසරියකින් ද පිරිමින් සුදු කමිසයකින් හා කළු කලිසමකින් ද සැරසී ගාලු යන්නට පිටත් වන්නෝය. එම දසුන අයෙකු මේ නිලධාරීන් මළ ගෙදරක යනවා යැයි හිතුවොත් එය වැරදිය. එහෙත් මේ නිලධාරීන් සුදු ඇඳුමෙන් සැරසී යන්නේ ඡන්දය ගණින්ටය. මුළු රටටම කලින් ඡන්දයෙන් දිනන්නේ කවුදැයි දන්නේ ඡන්දය ගණින නිලධාරීන්ය. කොටින්ම කියනවා නම් මැ. කො. නිල ඡන්ද ප්‍රතිඵල යනුවෙන් විශේෂණ පදයක් ද දමා ප්‍රචාරය කරන්නේ රජයේ නිලධාරීන් නිදිවරමින් ගණින ඡන්ද ප්‍රතිඵලය ය.
කෙසේ නමුදු ඡන්දය ගණින්නට ආවාට ගියාට නිලධාරීන් තෝරා ගන්නේ නැත. මැතිවරණ කටයුතු සඳහා තෝරාගන්නා ඔහු හෝ ඇය රජයේ නිලධාරියෙක් වීම අනිවාර්ය වේ. එමෙන්ම ඒ සඳහා ඉල්ලුම් කිරීමට ඉල්ලුම් පත්‍රයක් පුරවා ඒ ඒ දිස්ත්‍රික්කවල සිටින සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලවලට භාර දිය යුතු බව කීවේ රාජ්‍ය සේවකයෙකි.
‘‘මේ මගේ පළමුවෙනි අවස්ථාව මැතිවරණ කටයුතුවලට සහභාගි වෙන. අපිට මේවට ඉල්ලුම් කරන්න තියෙන්නෙත් තැපැල් ඡන්දෙට ඉල්ලුම් කරනවත් එක්කයි. ඒත් අපි ඉල්ලුම් කළාට අපිව තෝරගන්නේ මැතිවරණ කොමිෂන් සභාවයි. ඊට පස්සේ අපිව තෝරගත්තා කියලා තැපෑලෙන් ලියුමක් එනවා. ඒක ආවට පස්සෙ තමයි අපි දන්නේ අපි කොහෙට දාලද, මොකද්ද තනතුර කියලා. ඒ වගේම මේ ලියුමත් එක්ක අපි කරන්න ඕනේ මොනාද? නොකරන්න ඕනේ මොනාද කියලත් දාලා තියෙනවා’’
මේ ආකාරයට ඔවුන් වෙත ලැබෙන ලිපියේ නීති රෙගුලාසි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අණ පනත් වැනි විශේෂිත නීති රීති රාශියකුත් ඇතුළත් කර ඇති බවත් ඔහු කීවේය. මෙසේ තෝරාගත් නිලධාරියකුට මැතිවරණ රාජකාරි පැහැර හැර නොහැකිය. පැහැර හැරියොත් මැතිවරණ කොමසාරිස් නඩු දමන්නේය.
මෙලෙස නිලධාරීන් තෝරා ගත් පසු ඔවුන්ව ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලට තෝරාගත් බව දැනුම් දෙන්නේ මැතිවරණ දිනයට පෙර දිනයේය. ඉන් පසුව ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන වෙත යන නිලධාරීහු තම ගමන් මල්ලේ අමතර ඇඳුමක් ද දත් බුරුසු, දත් බෙහෙත්, සෙන්ට් පවුඩර්, ද රැගෙන යාමට අමතක නොකරති. එසේ කිරීමට ඔවුන්ට හේතුවක් තිබේ. එනම්, මැතිවරණ රාජකාරි කටයුතු සඳහා යන්නට නිශ්චිත වේලාවක් තිබුණත් නැවත අවසන් වන වේලාවක් නිශ්චිතවම කිව නොහැකි නිසාවෙනි.
ඒ ගැන කිහිපවාරයක්ම මැතිවරණ කටයුතු සඳහා තම දායකත්වය දුන් විශ්‍රාමික ලිපිකාරිණියක් වන ශාන්තා සිසිලතා මැණිකේ කීවේ ඡන්ද ගැණීම අමාරු කටයුත්තක් වුවත් තමන් මෙය කරන්නේ බොහෝ ආසාවෙන් බවයි.
‘‘අපි ඡන්ද ගණන් කරන්න යනකොට අනිවාර් යෙන් තවත් සුදු සාරියක් අරගෙන යනවා. උදේ ඡන්ද පොළට ගිහිල්ලා ඒ රාජකාරි කටයුතු අවසන් කළාට පස්සේ හවසට ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානයට යනවා. ඒ යන්න කලින් මධ්‍යස්ථානය ළඟ තියන ගෙදරකට ගිහිල්ලා ඇඳුම් මාරු කරගෙන තමයි යන්නේ. ඒ වගේම මම මැතිවරණ කටයුතුවලට යනකොට පුතාවයි දුවවයි අපේ අම්මලාගේ ගෙදර තියලා තමයි ගියේ. ඒ තරමටම මම හරි ආසාවෙන් තමයි මේ රාජකාරිය ඉටුකළේ.
ඔවුන් තම දුවාදරුවන් තම මව්වරුන්ගේ නිවෙස්වල දමා යන්නේ ඡන්ද පොළ වෙත උදෑසන හතට පෙර යා යුතු නිසාය. මෙසේ උදෑසන පටන්ගන්නා ඡන්ද විමසීම වෙනදාට අවසන් වන්නේ සවස හතරටය. නමුත් මෙවර අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩිවීම නිසා ඡන්ද විමසීම සවස පහ දක්වා කාලය දීර්ඝ කරන්නට මැතිවරණ කොමිසමට සිදුවිය. කෙසේ වෙතත්, ඡන්ද විමසීම අවසන් වූ පසු ඡන්ද පොළේ සිටින සියලු නිලධාරීන් ඉදිරියේ ඡන්ද පෙට්ටි සීල් තැබේ. ඉන් අනතුරුව, ඡන්ද පොළ භාර ස්ථානාධිපතිවරයා විසින් අදාළ ඡන්ද පෙට්ටි පොලිස් ආරක්ෂාව යටතේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි. එහි දී ඡන්ද ගණන් කිරීමේ ශාලාවේ සේවය කරන සහකාර තේරීම් භාර නිලධාරීන්ට එම ඡන්ද පෙට්ටි භාරදෙනු ලබයි. ඉන්පසුව ඒවා විවෘත කෙරෙන්නේ සියලු දෙනා ඉදිරියේය. එම අවස්ථාවට දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට ද එක්වීමට අවසර ලැබේ.
කෙසේ නමුදු, ඡන්ද ගණන් කිරීමේ ස්ථානවලට රටේ ජනාධිපතිවරයාට පවා පැමිණිය නොහැක. එහි සම්පූර්ණ බලය ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට සහ ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානයේ නිලධාරීන්ට පමණි. මැතිවරණ නිලධාරී සතු බලය පෙන්වූ අවස්ථාවක් වන්නේ අසූ අටේ රත්නපුර අතුරු මැතිවරණය ය. එහි දී ඔවුන් තම බලය පෙන්වූයේ එවකට විපක්ෂ නායකයා වූ අනුර බණ්ඩාරනායකටයි. ඒ ඔහු තමන්ව පරීක්ෂා කිරීමට නිලධාරීන්ට ඉඩ නොදුන්නේය. එකල රත්නපුරේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වූයේ වර්තමාන කොමිසමේ වර්තමාන සභාපති මහින්ද දේශප්‍රියයි.
එහි දී ඔහු අනුර බණ්ඩාරනායකට කියා ඇත්තේ ඔබතුමා විපක්ෂ නායක වුණත් යන්න දෙන්න විදිහක් නොමැති බවයි. ඒ නිසා මම කරන්නේ මගේ රාජකාරිය යැයි ඔහු අනුරට කනේ ඇඟිලි ගහගන්න කීවේ සිය පුරුදු වාග් ශෛලියෙනි. කෙසේ නමුදු අවසානයේ දී සිදුවූයේ අනුර බණ්ඩාරනායකටත් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට යටත් වී සිටීමටය.
‘‘ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට යනකොට අතේ පෑනක්වත් තියෙන්න බෑ. අඩුම ගානේ ජංගම දුරකතනයවත් අරගෙන යන්න බෑ. ඒ නිසා හැම නිලධාරියෙකුම හොඳට චෙක් කරලා බලලා තමයි ඇතුළට යවන්නේ. ඊට පස්සේ මුළු ඡන්දය ගණන් කරන මධ්‍යස්ථානයම සීල් කරනවා. ජනෙල් කවුළු වගේ ඒවත් සම්පූර්ණයෙන්ම සීල් කරනවා. අඩුම ගානේ ෆෑන් එකක්වත් දාන්න බෑ. එළියෙන් හුළං පොදක්වත් එන්නේ නැති නිසා අපි ඇතුළේ තැම්බෙනවා.’’ ශාන්ති සිසිලතා මැණිකේ සිය අත්දැකීම් විස්තර කළාය.
මෙලෙස දැඩි ආරක්ෂිත පියවර අනුගමනය කරමින් යන නිලධාරීන්ට දෙන පෑන පැන්සල පවා තීරණය කරනු ලබන්නේ මැතිවරණ කොමිසම විසිනි.
එපමණක් නොව ඔවුන්ට කෑම බීම පවා දෙන්නේ දැඩි නිරීක්ෂණයකින්ය. ඒ නිසාම මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය කෑම බීම සපයන්නන් ගෙනා දේවල් පවා දැඩි පරීක්ෂාවකට ලක් කෙරේ. ඔවුන්ට පවා මැතිවරණ කටයුතු සිදුකරන මධ්‍යස්ථාන සමීපයට පවා පැමිණීම තහනම්ය. ඡන්ද විමසීම් මධ්‍යස්ථානවලට නම් කෑම බීම සපයන්නේ ග්‍රාම නිලධාරීවරයාගේ පූර්ණ අනුදැනුම යටතේ බව විශ්‍රාමික අතිරේක ලේකම්වරයකු මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු තේරීම් භාර නිලධාරියකු වන අමල් සේනාධීර අපට කීවේය.
කෙසේ නමුදු ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට නම් කෑම බීම සපයන්නේ ඒ අදාළ මධ්‍යස්ථාන අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගිනි. එබැවින් ඔවුන්ට ලැබෙන කෑමබීමවලට ගෙවීමට සිදුනොවේ. නමුත්, ඡන්ද විමසන ස්ථානවල සිටින නිලධාරීන් නම් ඔවුන්ගේ කෑමබීම සඳහා ඔවුන් විසින්ම මුදල් වියදම් කළ යුතුයි. එමෙන්ම ඒවාට කොපමණ වියදම් කළ යුතු ද යන්න තීරණය කරන්නේ මැතිවරණ කොමිසම බව හිටපු තේරීම් භාර නිලධාරිවරයා කීවේය.
‘‘ඡන්දය විමසන ස්ථානවලට පිටින් කෑම ගේන්න බෑ. ග්‍රාම නිලධාරිවරයාගේ අනුදැනුම පිට ගේන කෑමවල මිල තීරණය කරන්නේ කොමිසමයි. ඒ නිසා උදේ කෑමට ඉඳිආප්ප දෙනව නම් ඒක දෙන්න ඕනේ රුපියල් 75ක් වගේ ගාණකට. දවල්ට වෑංජන තුනයි මාළු කෑල්ලයි නම් රුපියල් එකසිය හැත්තෑවයි. ඒත් මැතිවරණ කටයුතු ඉවර වුණු ගමන්ම එයාලගේ අතින් වියදම් වෙච්ච මුදල් ග්‍රාම නිලධාරියා මගින් ලබා දෙනවා.’’
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානත් සෑම තැනකම තියන්නට නොහැකියි. ඒවාට සුදුසු ස්ථාන ඇත්තේ කිහිපයක් පමණයි. ඒ අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හෙවත් කච්චේරිය, කාර්මික විදුහල, පාසල් ගොඩනැගිලි, පන්සල් හා ප්‍රජා ස්ථාන වැනි පොදු ස්ථාන පමණක් මේ සඳහා යොදා ගනී. එපමණක් නොව මැතිවරණ රාජකාරි කටයුතු සඳහා සහභාගි වන සියලු නිලධාරීන්ට දීමනාවක් හිමිවේ. මේ මුදලේ ප්‍රමාණය තීරණය වන්නේ ඔවුන් මැතිවරණ කටයුතුවල දී දැරූ තනතුරු අනුවයි. සාමාන්‍යයෙන් ඡන්ද විමසන ස්ථානවල සිටින නිලධාරීන්ට නම් දවසකට රුපියල් දහසකට වඩා වැඩි මුදලක් හිමිවේ.
කෙසේ වෙතත් ඡන්ද විමසීමෙන් පසු ඡන්ද ගණන් කිරීමේ කටයුතු වන්නේ අදියර දෙකකින් බව හිටපු ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ නිලධාරියකු අප හා කීවේය. මුලින්ම තෝරන්නේ ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලින් ගෙනා ඡන්ද පෙට්ටි සහකාර තේරීම් භාර නිලධාරියකු විසින් භාරගනු ලැබීමය. ඉන්පසුව ඔහුට සහාය වීම සඳහා තවත් සහකාර තේරීම්භාර නිලධාරීන් 8 දෙනකු ඇතුළු තවත් නිලධාරීන් 40ක් පමණ එක් ඡන්ද ගණන් කරන ස්ථානයකට යොදවනු ලබයි. නමුත් මේ නිලධාරීන් ගණන ඡන්ද මධ්‍යස්ථානවලට අනුව වෙනස්වනු ඇත.
එමෙන්ම ඡන්ද ගණන් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එක එක ඡන්ද අපේක්ෂකයන්ගේ නියෝජිතයන් පස් දෙනකුට පමණක් පැමිණිය හැකියි. නමුත් තැපැල් ඡන්ද ගණනය කිරීම නිරීක්ෂණය සඳහා සහභාගි විය හැක්කේ දෙදෙනකුට පමණි.
ඉන්පසුව ඡන්ද ගණන් කිරීමේ වැඩකටයුතු ඇරඹේ. මෙහි පළමු පියවර ලෙස ඡන්ද පෙට්ටිවල තිබූ සීල් කඩා එකින් එක මේසය මතට ගොඩ ගසයි. එසේ ගොඩ ගැසූ ඡන්ද පත්‍රිකා ඒ ඒ පක්ෂවල හා කණ්ඩායම්වල අපේක්ෂකයන් වෙනුවෙන් තැබූ පෙට්ටිවලට දමයි. ඒත් එදා ජනාධිපතිවරණ සඳහා ඒ ඒ අපේක්ෂකයන්ට තැබීමට සිදු වූයේ පෙට්ටි දහයටත් වඩා අඩු ප්‍රමාණයකි. නමුත් මෙදා පෙට්ටි තිස් පහක් එක් ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානයක තැබීමට සිදුවේ.
මේ ආකාරයට වෙන් කරගත් ඡන්ද පත්‍රිකා පනහේ ගොඩක් ගැසීම ඊළඟ කටයුත්තයි. ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු සහකාර තේරීම් භාර නිලධාරියකු අප හා කියා සිටියේ පනහේ ගොඩවල් පවා නැවත නැවතත් ගණන් කරන බවයි. ඒ සඳහා පියවර තුනක් ඇති බව ඔහු කීවේය.
‘‘මුලින්ම අපි කරන්නේ පනහේ ගොඩවල් ගොඩ ගහන එකයි. ඊට පස්සේ පරීක්ෂාව, සුපරික්ෂාව හා අහඹු ලෙස කියලා ආපහු ඒවා ගණන් කරනවා. මේ ඔක්කොම පරීක්ෂා ඉවර වුණාට පස්සෙ තමයි ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරියා වෙත මේ ටික යන්නේ. පස්සේ එයත් මේවා ගණන් කරලා ඒ ඒ අපේක්ෂකයන් ගත් ඡන්ද ගණන සටහන් කරනවා. පස්සේ ඒවා ඔක්කොම ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට යවනවා. එතනින් එහාට අපේ වැඩේ ඉවරයි’’
කෙසේ නමුත් සමස්ත ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමට ඇතැම් අවස්ථාවලදී වැඩිපුර කාලය ගතවන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මස්කෙළිය ආසනය නිසාය. එහි ඡන්ද දායකයන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් සිටින නිසා ගණන් කිරීමට බොහෝ කාලයක් ගතවන බව ඔහු කීවේය.
එපමණක් නොව දින දෙකක් පුරා මැතිවරණ රාජකාරි කටයුතු ඔවුන් කරන්නේ දැඩි කැපවීමකින්ය. දින දෙකක් පුරා ඇඳ සිටින්නේ එකම ඇඳුමය. කන්නට බොන්නට අවශ්‍යතාව ඇතත් රාජකාරිය දේවකාරිය නිසා ඒ සියල්ලම අමතක කරති. හදිසි අවශ්‍යතාවක් වුවත් වැසිකිළියකට පවා යා නොහැකි බව ඔවුහු පවසති. ඒ නිසා ඔවුන්ට සෑම ජනපතිවරණයකදීම ඇත්තේ එකම එක ප්‍රාර්ථනාවක් පමණි. ඒ තමන් ඡන්දය දුන් අපේක්ෂකයා ජනපති වීමට නම් නොවේ දෙවැනි මනාපය ගණන් කිරීමට අවස්ථාව නොලැබෙත්වා! යනුවෙනි. ඊට හේතු වන්නේ දෙවැනි මනාපය ගණින්නට ගියොත් ඔවුන්ට ගෙදර යාම තවත් ප්‍රමාද වන නිසාය.
හර්ෂණී දිසානායක