විශේෂාංග

දත් කැක්කුමට හොඳ ඔසුවකි කොකේන්

අද වන විට ලංකාවේ ප්‍රසිද්ධම මාතෘකාව වන්නේ කොකේන්ය. ඒ කොකේන් ගහපු කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය අැමැතිලාත් සිටින බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ප්‍රකාශ කිරීමත් සමගය.

කොකේන් ලෝකයට පැමිණ ඇත්තේ 1980 දශකයේ මුල් භාගයේ දී ය. කොකේන් මත්ද්‍රව්‍ය නිර්මාණය වන්නේ කොකා ශාකයේ පත්‍ර මගිනි. දකුණු ඇමෙරිකානු හා කොළොම්බියානු රටවලට ආවේණික ශාකයක් වුණු කොකා පැළවලින් බ්‍රසීලය කොකේන් නිෂ්පාදනය කරනු ලබයි. මේ සඳහා කොකා පත්‍ර විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ.

අතීතයේ දකුණු ඇමෙරිකානුවෝ දත් කැක්කුම ඇති වූ විට කොකා කොළයක් ගෙන කටේ තබා ගන්නට ඇත. කොකේන් දත්වල ගෑවුණු පසු හිරිවැටීමක් ඇතිවේ. දත් කැක්කුම නොදැනේ. ඒ සුවය නිසා මෙයට ඇබ්බැහි වූවන් මිලියන 10කට පමණ වැඩි අගයක් එදා ඒ රටවල සිටි බවත්, එම නිසා කොකේන් මත්ද්‍රව්‍යයක් නිපදවුණු බවත් වාර්තා වේ. එහෙත් එදා සිට මිලියන 14ත්, 21ත් අතර පිරිසක් සෑම වසරකම කොකේන් භාවිතයට ඇබ්බැහි වී සිටිති. එයින් මිලියනයක් පමණ පිරිසක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

සංවර්ධිත රටවල පුද්ගලයන්ගෙන් සියයට 3ක පමණ ප්‍රමාණයක් කොකේන් භාවිත කරති. 1990 දී කොකේන් නිසා මියගිය ප්‍රමාණය 2400 ක් වූ අතර 2013 වර්ෂයේදී එය 4300 දක්වා දෙගුණයකින් වර්ධනය වී ඇත.

කොකේන්වලට ඇති ඉල්ලුම නිසා සැපයුම අඩු වීම සහ මිල වැඩි වීම යන කරුණු හේතුවෙන් කොකේන් ගල් කිරීමට ජාවාරම්කරුවන් පෙලඹේ. එහිදී ඔවුන් බේකින් සෝඩා යොදා ගල් කරන ලද කොකේන් ‘‘ක්‍රැක් කොකේන්” ලෙස හැඳින්වේ. ජාවාරම්කරුවන් මේ ක්‍රමය සොයාගෙන ඇත්තේ එයින් ඔවුන්ට වාසියක් වන බැවිනි. එනම්, මේ කොකේන් ගලක් විකිණීමෙන් අඩු කොකේන් ප්‍රමාණයක් වැඩි දෙනෙක් අතර බෙදා දිය හැකි නිසාය.

දකුණු ආසියාවෙන් සොයාගත් විශාලතම කොකේන් තොගය 2016 දෙසැම්බර් මස 09 වැනිදා කොළඹ වරාය තුළ දී රේගු නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී සොයා ගන්නා ලදී. මෙම කොකේන් තොගයේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 928ක් ලෙස වාර්තා වේ. ලංකාවට කොකේන් නමැති විෂ මත්ද්‍රව්‍ය ගෙනෙන රටවල් අතර මූලික තැන ගන්නේ බ්‍රසීලයයි.

ඔවුන් විසින් ලංකාවට කොකේන් ගෙන්වීම සඳහා බෙහෙවින් භාවිත කරන ක්‍රමවේදය වන්නේ සීනි තුළ සඟවා මෙරටට ගෙන ඒමයි. එසේම නිර්වින්දන ඖෂධ තුළ, ඉරිඟු හා කූනිස්සන් කරවල තුළද සඟවා මෙරටට ගෙන එනු ලබයි.

මීට වසර 15 කට පෙර රාජ්‍ය නොවන සංවිධානයක් සුදු හඳුන්ය කියා කොකේන් පැළ පොළොන්නරුව ප්‍රදේශයේ බෙදා දුන්නේය. එහෙත් ඒවා නියම කොකේන් නොවේ. මල් පැළ තවාන්කරුවන් පිරිසක් විසින් මෙරටට ගෙන්නන ලද මෙම ශාකය කොකේන් නිෂ්පාදනය සදහා භාවිත නොකරන අනු ශාක විශේෂයක් විය. මේවා විසිතුරු මල් පැළ වශයෙන් ද නිවෙස් අලංකරණය උදෙසා ද සිටුවන බවත් මේවා පිළිබද විමර්ශනය කළ පොළොන්නරු දිස්ත්‍රික් හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ විපුල පමුණුව මහතා පැවසීය. මේ කොකේන්හි අනු පැළ විශේෂය පොළොන්නරුවේ නිවෙස්වල මෙන්ම විහාරස්ථානවලද වගා කළ නිසා වහා ක්‍රියාත්මක වන පරිදි පොලිසියේ සහයෝගයත් ඇතිව එදා ඒවා විනාශ කළ බවත් එම නිලධාරියා පැවසීය.

කොකේන් ශාකයේ හා සුදු හඳුන් ශාකයේ තිබෙන ලක්ෂණ බොහෝ දුරට එක හා සාමානය. මේ අතරින් සුදු හඳුන් ශාකයේ පත්‍ර සම්මුඛව පිහිටීමත් කොකේන් ශාකයේ පත්‍ර එකාන්තරව පිහිටීමත් මෙම වර්ග දෙක පහසුවෙන් වෙන්කර හඳුනා ගැනීමට ඉවහල්වන ප්‍රධානම ලක්ෂණයක් වේ.

අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ කොකේන් පානය කිරීමෙන් විනාඩි 14.6ක කාලයක් තුළ පුද්ගලයකු උපරිම මත් භාවයට පත්වන බවයි.