අතන මෙතන

දඬුමොනරෙන් රේස් ගිය බුද්ධි සෙබළු බසයට දිවි පුදති

දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ දමනයාය ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී ඊයේ (2 වැනිදා) පෙරවරුවේ සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් යුද හමුදා සෙබළුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොකාවිල කිලිනොච්චිය 4 වන සන්නද්ධ බුද්ධි බළකායට අනුයුක්තව සේවය කළ ඒකනායක මුදියන්සේලාගේ උදය අනුරුද්ධ ඒකනායක (28) සහ මද්දුමාගේ තරිඳු (27) නමැති ලාන්ස් කෝප්‍රල්වරුන් දෙදෙනකු බවත් පොලිසිය සඳහන් කරයි.

මෙලෙස මියගිය සෙබළුන් දෙදෙනා මඩමේගොඩ, ලුණුගල සහ පෙතිගමුව, හල්තොට පදිංචිකරුවන් ය. මොවුන් නිවාඩු ලබා නිවෙස්වලට යන අතරතුරදී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.

මෙම සෙබළුන් අනතුර සිදුවූ අවස්ථාවේදීම බකමූණ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළද ​ඒ වන විටත් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව සිටි බව වෛද්‍යවරු පවසති.

අනතුරට පත් යතුරුපැදිය දඹුල්ලේ සිට බකමූණ දෙසට ධාවනය වූ බවත් දමනයාය ප්‍රදේශයේදී තනි ඉර කපා වංගු ගැනීමට යාමේදී අනෙක් පසින් පැමිණි බකමූණේ සිට දඹුල්ල දෙසට ගමන් කරන මගී ප්‍රවාහන බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත් යතුරුපැදිකරුගේ අධික වේගය නිසා මෙම අනතුර සිදුවී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

ලක්ෂිත සංදීප ආරියදාස – දඹුල්ල

•කේ.ජී. කරුණාරත්න – තමන්කඩුව

•ආර්.ඒ. බණ්ඩාර – හිඟුරක්ගොඩ