අතන මෙතන

දකුණු පළාතේ ජනප්‍රිය පාසල් අවට පාසල් 45ක් පිළිබදව ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමුවෙයි

අනෙකුත් පළාත් වල මෙන්ම දකුණු පළාතේද පළමු වසරට දරුවන් ඇතුලත් කිරීමේදී ජනප්‍රිය පාසල් වලට දරුවන් ඇතුලත් කිරීමට විශාල තරගයක් පවතින බවත් ඒ සදහා පිළියමක් ලෙස දකුණු පළාතේ ජනප්‍රිය පාසල් අවට ඇති පාසල් 45ක් තෝරාගෙන ඒ සදහා අවශ්‍ය සියළු යටිතල පහසුකම් හා විදුහල්පතිවරුන් , ගුරුබවතුන් විශේෂයෙන් ප්‍රගුණ කර ලබා දීමට දකුණු පළාතේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව දකුණු පළාතේ ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ අකුරැස්ස මලිදුව කනිෂ්ඨ විදුහලේ පැවති දස වර්ෂ පුර්ණ ශිෂත්ව ප්‍රණාම උළෙලට සහභාගී වෙමිනි .

දකුණු පළාතේ අධ්‍යාපන කොට්ඨාශ 39ක් තියෙනවා. ඒ කොට්ඨාශ 39 න් එක් කොට්ඨාසයකින් එක් පාසලක් බැගින් පාසල් 39ක් සහ දෙමළ පාසල් 06ක් සමග පාසල් 45ක් මුල් අදියරේ මේ සදහා තෝරාගන්නවා .මේ පාසල්වල අංග සම්පුර්ණ ක්‍රීඩාපිටියක් , ක්‍රීඩා කිරීමට අදාල පහසුකම් , පාසල් වලට අදාල සියළු යටිතල පහසුකම් භෞතික සම්පත් සියල්ල ලබා දෙනවා . දක්ෂ ගුරුවරුන් තෝරාගෙන ඒ පාසල් සදහා දක්ෂ විදුහල්පති වරුන් තෝරාගන්නවා .විදුහල්පතිවරුන් දක්ෂ කළමනාකරුවන් වෙන්න ඕන කියන එක මගේ විශ්වාසයක් . ඉතින් අපි තෝරාගන්න ගුරුභවතුන් හා විදුහල්පතිවරුන්ගෙන් ඒ අපේක්ෂිත දේ සිදු නොවෙනවා නම් ඒ සදහා වෙනත් ගුරුභවතුන් හා විදුහල්පතිවරුන් තෝරා ගත යුතු වෙනවා.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මේ ප්‍රශ්නය ජනාධිපතිතුමා එක්ක කථා කලාම එතුමා දීපු අදහස තමයි ජනප්‍රිය පාසලට ආසන්න පාසල් දෙක තුනක් තෝරාගෙන එක දියුණු කරන්න කියන එක . ඉතින් ඒ අනුව ඒ උපදේශය අනුව අපි පාසල් 45ක් තෝරා ගත්තා .

1963 සිට 1966 දක්වා විශ්ව විද්‍යාලයට ප්‍රවේශවිම දක්වා දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මහතා පාසල් අධ්‍යාපනය හදාරා ඇත්තේ අකුරැස්ස මලිදුව ක.විද්‍යාලයේය. එම විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් ලෙස සහ අමාත්‍යාංශ ලේකම වරයෙකු ලෙස පත්වීමෙන් අනතුරුව 2010 සිට මලිදුව ක .විද්‍යාලයේ ශිෂත්ව සමත්වන දු දරුවන්ට ශිෂත්ව ප්‍රධානයක් සිදු කල අතර 2020 වර්ෂය වන විට එහි දසවර්ෂ පුරණය ලෙස මෙම උත්සවය සංවිධානය කර තිබුණි.මේ වනවිට මෙලෙස ශිෂත්ව ලාභීන් 136 දෙනෙකු සිටින අතර ඔවුන් දැනට ලංකාවේ විවිධ ජනප්‍රිය පාසල් වල ඉගෙනුමලබන අතර ඒ සියළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ දින මෙම උත්සවයට සහභාගී විම විශේෂත්වයකි.

මෙයට සමගාමිව මලිදුව ක . විද්‍යාලයේ සියළු දු දරුවන්ට පාසල් උපකරණ හා පාසල් ලබාදුන් අතර මලිදුව මහා විද්‍යාලයේ පිවිසුම් මාර්ගය රුපියල් ලක්ෂ 60ක් වියදම් කර ක්‍රොන්කිට් අතුරා සිසු ගත කළ අතර මලිදුව මහා විද්‍යාලයේ සියළු දු දරුවන්ට ද පොත් පත් හා පොත් බැග් ද ආණ්ඩුකාර වරයා විසින් ප්‍රදානය කරන ලදී .

මේ අවස්ථාව සදහා දරුවන්ට ශිෂත්ව ප්‍රදානය කිරීම සදහා ආණ්ඩුකාර වරායට විශාල සහයක් දැක්වූ දකුණු පළාත් ආණ්ඩුකාරවර විලී ගමගේ මහතාගේ දයාබර බිරිද ඩෙරින් ගමගේ මහත්මියද සහභාගී වු අතර ආණ්ඩුකාර ලේකම් ඒ.යු .වේලාරත්න ,දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වයි .වික්‍රමසිරි , මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් සිරිසේන , අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු විශාල පිරිසක් මේ සදහා සහභාගී විය.