අතන මෙතන

දකුණු පළාත් සභාව හික්කඩුව ප‍්‍රාදේශීය සභාවට කෝටි 4ක් ණයයි

දකුණු පළාත් සභාවෙන් ලැබීමට නියමිත උසාවි දඩ මුදල් හා මුද්දර ගාස්තු ඇතුළුව රුපියල් කෝටි 4ක පමණ මෙතෙක් නොලැබීම හේතුවෙන් හික්කඩුව ප‍්‍රාදේශීය සභාව දැඩිලෙස බරපතල මූල්‍යමය ගැටලූවකට මුහුණපා ඇතැයි හික්කඩුව ප‍්‍රාදේශිය සභා සභාපති විනී කාරියවසම් මහතා ගාල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පැවසීය.

මේ හේතුවෙන් කසළ ප‍්‍රශ්නය ඇතුළු අනෙකුත් සංවර්ධන ක‍්‍රියාවලියකට යෙදවීමට මුදල් නොමැති බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ ය. ගාල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වුණු ගාල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ඔහු මෙසේ පැවසීය.

‘‘පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ උසාවි දඩ මුදල් ප‍්‍රාදේශීය සභාවලට ලබා නොදීම සම්පූර්ණයෙන් වැරදි ක‍්‍රියාවක් බවයි. මේ වනවිට පළාත් සභා විසිරුවා හැර ඇති බැවින් මෙම මුදල් පළාත් පාළන ආයතන වෙත බෙදා දීමේ හැකියාව ආණ්ඩුකාරවරයා සතුව පවතින බවත් එතුමා පැවසුවා. උසාවි දඩ මුදල් භාණ්ඩාගාරයට යන්නේ නැහැ, ඒවා යන්නේ පළාත් සභාවට.’’

‘‘මේ මුදල් නියමිත කාලයට ප‍්‍රාදේශීය සභාවලට දෙන්නේ නැතිව හිර කරගෙන ඉන්නේ ඇයි? අද ප‍්‍රාදේශීය සභාවකට වීදි ලාම්පුවක් දාගන්නවත් පාරක් අලූත්වැඩියා කරගන්නවත් සල්ලි නෑ. එම නිසා මෙම ප‍්‍රශ්නය කඩිනම්න් විසදේවියැයි අප සිතනවා.’’ යැයි හෙතෙම පැවසීය.

දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසා සිටියේ මෙම මුදල් නොලැබීම හේතුවෙන් දකුණේ ප‍්‍රාදේශීය සභා අකර්මන්‍ය වී ඇති බවයි. නියමිත මුදල් ප‍්‍රමාණයෙන් අඩක් හෝ හැකි ඉක්මණින් ප‍්‍රාදේශීය සභා වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ද වීරක්කොඩි මහතා දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම්වරයාට එහිදී දැනුම් දුන්නේය.

සරත් කුමාර ලොකුගේ