විශේෂාංග

තේ වෙනුවට කංසා වවමුද?

කංසා හෙවත් ගංජා ලංකාවේ තවමත් තහනම් වගාවකි. ඒත් ලොව ​බොහෝ රටවල නම් මේ වනවිට කංසා තහනම් වගාවක් නොවේ. ඒ අනුව ඊයේ පෙරේදා සිට මේ රටේද කංසා සම්බන්ධයෙන් අලුත් කතිකාවතක් මතුවී තිබේ. ඒ ආශ්‍රිත මතවාද සමාජ ජාලා ඔස්සේද සංසරණය වේ. ඉන් බහුතරයක්ම අදාළ තහනමින් කංසා මුදාගැනීම හෝ පවතින නීති ලිහිල් කරගැනීම සඳහාය.

කංසා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇත්තේ මීට වසර අසූපහකට පමණ පෙර සුද්දා දැමූ නීතියකි. විෂ වර්ග හා හානිකර ඖෂධ පිළිබඳ 1935 පනතට අනුව කංසා වගා කිරීම, ළඟ තබාගැනීම, අලෙවි කිරීම, භාවිතය තහනම්ය.

1961 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මත්ද්‍රව්‍ය හා විෂ සහිත ඖෂධ පිළිබඳ කේවල සම්මුතිය යටතේ කංසා ශාකය හතරවැනි කාණ්ඩයට හෙවත් හානිකර ද්‍රව්‍ය ලැයිස්තුවට ඇතුළත් කළේය. මෙම සම්මුතියට අත්සන් කළ රටවල් අතරට ශ්‍රී ලංකාවද සිටියේය.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2019 ජනවාරි මාසයේදී කංසා ශාකය හානිකර ද්‍රව්‍ය පිළිබඳ ලැයිස්තුවෙන් ඉවත් කිරීම සුදුසු බවට නිර්දේශ කළේ දශක හතරකට වැඩි කාලයක් පුරා සිදු කෙරුණු විවිධ විද්‍යාත්මක පර්‌යේෂණ පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුවය. එයට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිචාර දැක්වූයේ පසුගිය දෙසැම්බර් දෙවැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලීම අනුමත කරමිනි. කේවල සම්මුතියට අත්සන් කළ රටක් ලෙස අදාළ සංශෝධනය කෙරෙහි නම්‍යශීලි වෙනවාද, නැද්ද සිතා බැලිය යුතුය.

මීට පෙර 1962 දී සම්මත කරගත් අංක 5 දරන පනත මගින්, පිළිගත් ආයුර්වේද වෛද්‍යවරුන්ට සිය ප්‍රතිකාර කටයුතු සඳහා පමණක් කංසා සුළු ප්‍රමාණයක් වගා කළ හැකිය. ඒ අනුව රටපුරා විසිරී සිටින අටදහසකට වැඩි ආයුර්වේද වෛද්‍යවරුන්ට මෙම අවසරය තිබේ.

‘‘අපේ රටේ කංසා සම්බන්ධයෙන් පවතින නීතිරීති ලිිහිල් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ වසර ගණනාවක සිටයි. නමුත් තවමත් ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමුවී නැහැ.’’

පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමයේ උපදේශක හා හිටපු ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා ප්‍රකාශ කළේය.

‘‘ඇත්තෙන්ම මත්ද්‍රව්‍ය සඳහා යොදාගන්නේ කංසා මල් හා මැලියම් පමණයි. කංසා ඇට හා පත්‍ර ඖෂධීය හා ආහාරමය ගුණයෙන් අනූනයි. ඊට අමතරව ආර්ථික භෝගයක් ලෙස එමගින් ගත හැක්කේ අසීමිත ප්‍රයෝජනයක්. දියුණු රටවල එය රාජ්‍ය අනුග්‍රහය ලබන වාණිජ බෝගයක් ලෙස වගා කෙරෙනවා’’ ඔහු වැඩිදුරටත් පවසයි.

2017 වසරේදී එවක පැවැති රජය විසින් ඉංගිරිය ප්‍රදේශයේ අක්කර හාරසියයක කංසා වගාවක් ඇරඹීමට යෝජනාවක් ගෙන ආවේය. ඒ ඖෂධීය කටයුතු සඳහා යොදා ගැනීමේ අරමුණෙනි. නමුත් අවාසනාවකට ආයුර්වේද දෙපාර්තමේන්තුව තවමත් භාවිත කරන්නේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන උසාවි ගාණේ රස්තියාදු වී එන පරඬැල් වූ කංසාය. ඒවායේ කිසිදු ​ඖෂධීය ගුණයක් නැති බව වෛද්‍යවරුම කියති. ඖෂධීය කටයුතු සඳහා කංසා වගා කිරීමට තමන්ට ලැබී ඇති නෛතික අවසරයවත් යොදා ගන්නට දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාවක් නැත්තේය. ජාත්‍යන්තර නීති වෙනස් වුවද ලංකාවේ නීති හෙල්ලු​ණේ නැත. නැතිනම් ලෝකයට අනුව අපේ නීති නම්‍යශීලි වී නැත.
කංසාවල ප්‍රධානතම රසායනික සංයෝගය වන්නේ ටෙට්‍රා හයිඩ්‍රො කැනබිෆෝල්ය. එසේම ක්‍රියාකාරී සංයෝග හාරසියයකට වැඩි ප්‍රමාණයක් එහි අඩංගුය. ඉන් හැතෑවකට අධික සංඛ්‍යාවක් කැනබිෆොයිඩ වර්ග ​වේ.

ඒ හා සම්බන්ධව සිදුකරන ලද විවිධ පර්​යේෂණවලින් සොයාගෙන ඇත්තේ රෝගාබාධ විශාල ප්‍රමාණයකට ඖෂධ යොදාගත හැකි බවයි. ඇල්ෂයිමර්, පාකින්සන්, ආතරයිටිස්, ග්ලෝකොමා, පිළිකා ඇතුළු මෙතෙක් ස්ථිර ප්‍රතිකාර සොයාගෙන නොමැති රෝගවලට සහනය ලබාගැනීම සඳහා එය භාවිත කළ හැකිය. දියවැඩියාව, අධිරුධිර පීඩනය පාලනයට මෙන්ම පෙණහලු ක්‍රියාකාරීත්වය ඉහළ දැමීමටද එය උපකාරී වන බව අනාවරණය වී තිබේ.

ඈත අතීතයේදී පෙරදිග දේශීය ඖෂධ සඳහා යොදාගැනුණු කංසා බටහිර වෛද්‍ය විද්‍යාවට මුල්වරට හඳුන්වා දී ඇත්තේ 1842 දී අයර්ලන්ත වෛද්‍යවරයකු වූ විලියම් බෲක් විසිනි. බටහිර ඖෂධයක් වන ඩ්‍රොනබිනෝල් හා නැබිනෝල් නිෂ්පාදනය සඳහා කංසා භාවිත කෙරේ.

ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, ග්‍රීසිය හා ලතින් ඇමරිකානු රටවලද තවත් බොහෝ රටවලද කංසා වගා කෙරේ. සමස්ත ඇමරිකාවම නොවෙතත් එහි ප්‍රාන්ත වන කැලිෆෝනියා, හවායි, ඉලිනොයිස්, මිනොසෝටා, අර්තන්සාස් කංසා වවන අතර අනෙක් ප්‍රාන්තද ඒ සඳහා නැඹුරු වෙමින් තිබේ.

කංසා කඳ යොදාගෙන එහි කෙඳිවලින් නිෂ්පාදනය කරන Hemp Cloth රෙදි සඳහා ලොව ප්‍රකටම රට චීනයයි. එසේම කංසා ආශ්‍රිත නිෂ්පාදන සඳහා නිකුත් කර ඇති පේටන්ට් බලපත්‍ර හයසිය තුනෙන් තුන්සියයක්ම චීනය විසින් හිමිකරගෙන ඇත. ඉන්දියාවද කංසා ආශ්‍රිත නිෂ්පාදන හරහා ජාත්‍යන්තරයට පිවිසී තිබේ. ඉන්දියාවේ කංසා නීති ලිහිල් කරනු ලැබුවේ අසූව දශකය මැද භාගයේදීය.

කංසා කෙඳි ලොව ශක්තිමත්ම ස්වභාවික කෙඳි වර්ග අතරින් එකකි. 19 වැනි සියවස දක්වාම රුවල් රෙදි නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇත්තේද කංසා කෙඳිය.
කංසා යොදාගෙන විවිධ නිෂ්පාදන විසි දහසකට අධික ප්‍රමාණයක් සිදුකළ හැකිය. දැනට ඇමරිකාවේ පමණක් ඩොලර් මිලියන පනහත්, සියයත් අතර වාර්ෂික ආදායමක් උපයා ගන්නේ කංසා නිෂ්පාදන අපනයනයෙනි.

කංසා වගාකිරීම සඳහා අමතර වෙහෙසක් අවශ්‍ය නැත. වෙනත් භෝගවලට මෙන් පලිබෝධනාශක හා පොහොර අවශ්‍ය වන්නේද නැත. මීට හොඳම උදාහරණය වන්නේ කැනඩාවයි. එහි බලපත්‍ර යටතේ කංසා වගාවට 1998 දී අවසර ලැබිණි. එවිට අක්කර 6175 කංසා වගා කළ අතර 1999 දී එය අක්කර 20,000 දක්වා වර්ධනය විය. ධාන්‍ය හා සෝයා වැනි වෙනත් බෝග වගාකොට අක්කරයකින් ඩොලර් 100-200 ක් ලැබූ ගොවියන්ට කංසා අක්කරයකින් ඩොලර් 250-300 ක ආදායමක් ලැබිණි. වඩාත්ම වැදගත් කාරණය වන්නේ අස්වනු නෙළා ගැනීමට ගතවන්නේ මාස තුනක් වැනි කෙටි කාලයක් වීමයි. අනික් අතට කංසා ඇට ඉතාම පෝෂ්‍යදායී ආහාරයක් ලෙසද සැලකීමයි.
අද වනවිට කඩදාසි නිෂ්පාදනය සඳහා ශාක විනාශ කිරීම තවත් පරිසර හානියකි. මීට කංසා වගාව හොඳම ආදේශකයක් වේ. කඩදාසි ලොවට හඳුන්වා දුන් චීන ජාතිකයන් එදා ඒ සඳහා යොදා ගත්තේද කංසා ශාකයයි.

‘‘1961 අංක 31 උපලේඛනය යටතේ ගංජා සම්බන්ධ සියලුම ගැටලු විසඳීමේ බලය ආයුර්වේද කොමසාරිස්ට පවරා තිබෙනවා. නමුත් ඒ සම්බන්ධ නිසි ක්‍රමවේදයක් තවමත් සකස් කර නැහැ. අප රටේ මුල් බැසගෙන තිබෙන්නේ ගංජාවල පවතින නරක පැත්ත පමණයි.’’
ආයුර්වේද විශේෂඥ වෛද්‍ය වොෂින්ටන් නානායක්කාර පවසයි.

හු කියන හැටියට ලොව ඇති ප්‍රබලම වේදනා නාශකය කංසාය. ඒ අනුව අපි එවන් අගනා ඖෂධයක් ගිනි තබා විනාශ කරමින් බටහිරින් ගෙනෙන අතුරු ආබාධ රාශියකින් යුත් වේදනා නාශක ඖෂධවලට හුරුවී සිටිමු. ඇතැම් විට ඒවා නිෂ්පාදනය කරන්නේද කංසා භාවිතයෙන් වන්නට පුළුවන.

අද බොහෝ දියුණු රටවල ​ඖෂධ වෙළෙඳ සල්වල කංසාවලින් නිපදවූ Hemp Oil නම් තෙල් වර්ගය විශේෂ වෛද්‍ය අනුමැතියකින් තොරව මිලදී ගත හැකිය. තවත් නිෂ්පාදන රාශියක් නිපදවීම සඳහා අමුද්‍රව්‍ය ලෙස යොදාගන්නේ කංසාය. සබන් ඇතුළු රූපලාවණ්‍ය නිෂ්පාදන, වාර්නිෂ් හා තීන්ත වර්ග හා තවත් නොයෙකුත් නිෂ්පාදන ඒ අතර වේ. පාන් පිටිවලින් නිපදවන සියලුම ආහාර කංසා ඇටවල පිටි භාවිතයෙන් සිදුකළ හැකිය.

කංසා නීති සංශෝධනය කිරීම පිළිබඳව දේශීය වෛද්‍ය අමාත්‍යංශයෙන් සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයකු පවසා සිටියේ තවමත් ඒ පිළිබඳව කිසිදු තීරණයකට එළඹී නොමැති බවයි.

‘‘ඕනෑම කෙනකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ඒ අනුව යමින් අපට එකවරම නීති වෙනස් කිරීමේ හැකියාවක් නැහැ’’ ඔහු ප්‍රකාශ කළේය.
ලංකාවේ බලධාරීන් එවැනි පිළිවෙතක සිටියදී ලොව බොහෝ රටවල් සිය නීති ලිහිල් කරමින් බොහෝ දුර ගොස් තිබේ. අක්කරයකට ටොන් දෙකක පමණ අස්වැන්නක් මාස තුනක් වැනි කෙටි කාලයකදී ලබාගත හැකිව තිබියදී එයට ‘මත්’ ලේබලයක් අලවා ගිනි තැබීම අපරාධයක් බව දේශීය වෛද්‍යවරුන්ගේ මතයයි.

වසන්ත විජේරත්න