කතුවැකි

තෙල් ඇමැතිගේ වතුරෙන් දුවන වාහනය

ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා මහින්ද අමරවීරය. හෙතෙම පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ සිට හම්බන්තොට යන අතරමගදී අධිවේගී මාර්ගයේ ඉන්ධන පිරවුම්හලකින් තම මෝටර් රථයට ඉන්ධන ලබා ගත්තේය. වැඩිදුරක් යෑමට ලැබුණේ නැත. වාහනය අතරමග නතර විය. සොයා බැලූ විට දැනගත හැකි වූයේ වාහනයේ ඉන්ධන ටැංකියේ අඩක් ජලයෙන් පිරී ඇති බවය. දැන් මේ ගැන පරීක්ෂණ දෙකක් පැවැත්වෙන බව ඊයේ අප පුවත්පත වාර්තා කළේය. එක් පරීක්ෂණයක් සිදු කරන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා විසිනි. ඇමැතිවරයා වාහනය මිලදී ගත් සමාගමද මේ ගැන තාක්ෂණික වාර්තාවක් කැඳවා තිබේ.

ඇමැතිවරයාට සිදු වූ මේ අකරතැබ්බය අප වැනි කෙනකුටද සිදුවිය හැකිය. එහෙත් අප වැනි කෙනකු මේ තත්ත්වයට මුහුණ පෑවේ නම් මේ තරම් ඉක්මනින් පරීක්ෂණ නොපැවැත්වෙන බව සහතිකය. ඒ නිසා ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයාම මේ අකරතැබ්බයට මුහුණ පෑම ගැන නම් අපට සතුටුය. අමාත්‍යවරයාගේ වාහනයේ ඉන්ධනවලට ජලය මිශ්‍ර වීම සිදුව ඇත්තේ කෙසේ දැයි ඉක්මනින්ම අනාවරණය කරගතහොත් අපට අපේ වාහනද බේරාගත හැකි බැවිනි.

කෙසේ වෙතත් මේ අකරතැබ්බයට මුහුණ පෑවේ අමරවීර අමාත්‍යවරයාගේම වාහනය පමණක්ම නිසා මේ සිද්ධිය ඉන්ධනවල දෝෂයක්මද යන සැකයද මතුව තිබේ. ඇමැතිවරයා ඉන්ධන ලබාගත් පිරවුම්හලෙන්ම ඉන්ධන ලබාගත් අනෙක් කිසිදු වාහනයක දෝෂයක් වාර්තා වී නොමැති බැවිනි. එසේ වුවත් මේ සිද්ධිය ගැන සොයා බැලිය යුතුමය. ගිනිපෙනෙල්ලෙන් බැට කෑ මිනිසා කණාමැදිරි එළියටත් බිය නිසාය.

2010 වසරේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් භාවිතයට නුසුදුසු ඉන්ධන බෙදා හැරීම නිසා රටපුරා ඉන්ධන පිරවුම්හල් මෙන්ම දහස් ගණන් වාහනද අක්‍රිය විය. මේ නිසා ඛනිජ තෙල් ඇමැතිවරයාගේ වාහනයේ ඉන්ධනවලට ජලය මිශ්‍ර වී ඇතැයි වාර්තා වූ විගස වාහන පදින මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව තැති ගත්තාට සැක නැත.

ඉහත සිද්ධියෙන් ඛනිජ තෙල් සංස්ථාවට සිදු වූ පාඩුව රුපියල් කෝටි 34 කි. ඉන්ධනහල්වලට හා වාහනවලට වන්දි ගෙවීමද ඊට ඇතුළත්ය. රටට ඒ තරම් පාඩුවක් සිදුවූවත්, මේ දක්වා කිසිවකුගෙන් එම පාඩුව අයකරගෙන නැත. භාවිතයට නුසුදුසු ඉන්ධන ගෙන්වීමට හා බෙදා හැරීමට තීරණය කළ කිසිවකු සම්බන්ධයෙන් ගත් පියවරක්ද නැත. එපමණක් නොව අප තවමත් එදා අපට බාල තෙල් විකුණූ සමාගමෙන් තෙල් මිලදී ගැනීමද නවතා නැත. ඇමැතිවරයාගේ වාහනයේ ඉන්ධනවලට ජලය මිශ්‍ර වී ඇතැයි කියූ සැණින් වාහන හිමියන් බිය වීමට මේ කාරණාද බලපා තිබේ.

ඇතැම් විටෙක අමරවීර ඇමැතිවරයාගේ වාහනයේ ඉන්ධනවලට ජලය මිශ්‍රවීම ඛනිජ තෙල් සංස්ථාවේ වරදක් නිසා හෝ ඉන්ධන පිරවුම්හලේ වරදක් නිසා සිදු වූ දෙයක් නොවීමටද ඉඩ ඇත. එසේ වුවත් තමන්ගේ වාහනවලට ලබා ගන්නා ඉන්ධන සම්බන්ධයෙන් වාහන හිමියන්ට කිසිදු විශ්වාසයක් නැත. ඉන්ධනවල අඩංගු ඔක්ටේන් ප්‍රතිශතය මත ඩීසල් හා පෙට්‍රල් වර්ග කර ඇතත් එම ඉන්ධන ලේබලයේ දැක්වෙන ප්‍රමිතියෙන් නොමැති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ඊට හේතු වී තිබෙන්නේ තත්ත්වයෙන් උසස් ඉන්ධන නිසා ලබාගත හැකි බව කියන කාර්යක්ෂමතාව ඇත්තටම නොලැබෙන බැවිනි. එසේම අලුත්ම වාහන පවා හිටි අඩියේ හේතුවක් නොමැතිව ලෙඩවන නිසාය. පොඩි දරුවන්ගේ කෑම පවා ශරීරයට අහිතකර ද්‍රව්‍ය මිශ්‍ර කෙරෙන රටක වාහනයට යොදන ඉන්ධන එසේ නොවන්නේ යැයි සහතික විය හැකිද?

ඉන්ධන කොතරම් සුපිරිසුදු වුවත්, රටේ බොහෝ ඉන්ධන පිරවුම්හල්වලදී වාහන හිමියන් මිලදී ගන්නා ඉන්ධනවලින් වංචා කිරීම සුලබ සිදුවීමකි. මේ අක්‍රමිකතාව වැළැක්වීමට ඛනිජ තෙල් සංස්ථාව මේ දක්වා අසමත්ය. මේ නිසා දශමයට නිවැරදිව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් දෙස පවා වාහන හිමියන් බලන්නේ වපරැසිනි.

මිනිසුන්ට තමන් ලබා ගන්නා භාණ්ඩ හා සේවා සියල්ල සම්බන්ධයෙන් සැකයෙන් බලන්නට සිදු වීම ඉතාම කනගාටුදායක තත්ත්වයකි. අද අප බොන වතුර ටික ගැන පවා විශ්වාසයක් නැත. ලෙඩට දුකට බොන බෙහෙත් ටික ගැනත් විශ්වාසයක් නැත. කුඩු අල්ලන්නට සිටින පොලිසියම කුඩු ජාවාරම කරන ආකාරය ගැන දැන් හෙළිදරව් වෙමින් තිබේ. දෙවැනි දෙමාපියන් සේ සලකන ගුරුවරු කුඩා දරුවන් කෙලෙසති.

පාරිභෝගිකයා හැම විටම සිතන්නේ ව්‍යාපාරිකයා තමන්ට වංචා කරන්නට සූදානමින් සිටින බවය. මේ තත්ත්වය රටක ව්‍යාපාර අංශයේ දියුණුවට සේම රටක ඒකාග්‍රතාව බිඳ වැටීමට හේතුවකි. කෙසේ වෙතත් ඕනෑම පාරිභෝගික භාණ්ඩයක් ගැන සැකයක් ඇත්නම් පාරිභෝගිකයාට ඕනෑ තරම් විකල්ප තිබේ. එහෙත් ඉන්ධනවලට එවැනි විකල්ප නැත.

මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ රථයේ ඉන්ධනවලට ජලය මිශ්‍රවීමට හේතුව කුමක්දැයි තවමත් නිශ්චිතව අනාවරණය වී නැත. සිදු කෙරෙන විමර්ශනවල ප්‍රතිඵල ඉතා ඉක්මනින් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එසේම ඒ තුළින් ඉන්ධනවලට ජලය මිශ්‍රවීමට නිශ්චිත හේතුවද හෙළිදරව් වනු ඇතැයි අපේක්ෂා කරමු. ඒ අනුව වගකිවයුත්තන්ට නිසි පියවර ගැනීම බලධාරීන්ගේ වගකීමකි. එසේ නොවුණහොත් සිදුවනු ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය තව තවත් වර්ධනය වීමය.