විශේෂාංග

තුම්මුල්ලට වතුර දැම්මම කම්මුලට අත තියන් බලන් ඉන්නවා

මාලදිවයිනේ උපදිනවා නම් කුඩයක් අතැතිව ඉපදිය යුතු යැයි කියමනක් තිබේ. මාස ගණනක සිට වහින වැස්ස ගැන සිතුවොත් දැන් ලංකාවේ උපදිනවා නම් ‘කුඩයක්’ අතැතිව ඉපදිය යුතු යැයි කියමනක් ජනවහරට තවත් නොබෝ දිනකින් එක්විය හැකිය. ලංකාවේ ඇතැම් ප්‍රදේශවල වැසි දිය පොදකුත් නැතුව පොළොව ඉරිතළා යද්දී කොළඹ ඇතුළු රටේ බොහෝ ප්‍රදේශවලට වහින්නේ ඇට්ටි හැලෙන්නටය. මේ වැස්සේ දැන් විශේෂත්වය දවාලට හොඳට පායා කාර්යාල සේවක සේවිකාවන් පවුඩර්, පුයර, සැන්ට් දමා ගෙදර යන්නට කාර්යාලයෙන් එළියට අඩිය තියනවාත් සමගම ධාරානිපාත වර්ෂාව කඩා හැලීමයි.

කොළඹ කොන්ක්‍රීට් නගරය යටවන්නේ ගඟක් උතුරා යන තරමටය. පොඩි වැස්සටත් කොළඹ යටවන විට ඒ ගංවතුර දාලා යැයි කියන්නට අපට හැකියාවක් නැත. කොළඹට පසුගිය සතියේ ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමග තුම්මුල්ල, නෙළුම්පොකුණ, ආමර් වීදිය ආදී බොහෝ මංසන්ධි වැසි ජලයෙන් උතුරා යන්නට වූයේ වාහන ගමනාගමනයටත් බාධා පමුණුවමිනි. කොල්ලුපිටිය ප්‍රදේශය හරහා ගලා ගිය වැසි ජලය කොතරම් ප්‍රචණ්ඩදැයි කිවහොත් එම වැසි ජල පහරට ඇතැම් වාහනවල අංක තහඩු පවා ගැලවී යන්නට විය.

වැස්ස දැන් කාටත් වදයක් වී හමාරය. මෛත්‍රිපාල ජනාධිපතිතුමා තවම බලයේ සිටියේ නම් පාලකයාගේ දුර්දාන්තකම නිසා නොනවත්වා වසින බවට එතුමාගේ එකවුන්ට් එකට එම වැස්ස ගැන අවනඩුව එක්කරනවා සිකුරුය. වැස්ස අපට වදයක් වුවද එය මෙරට ආර්ථිකයට කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා ප්‍රභවයක්, සම්පතක් පමණක් බව කිවහොත් ඔබ මවිතයට පත්වනු ඇත. මේ වැස්ස ගැන මීට වසර 63කට පෙර ග්‍රන්ථාරූඪ කොට තැබුවේ මෙරට සිටි කෘතහස්ථ දේශපාලනඥයකු වූ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහය.

1925දී යටත්විජිත ආණ්ඩුවට ඉන්දියානුවකු වූ ජී.ඩී. හෝජ් මහතා මෙසේ පවසා ඇත.
‘‘සමහර දිස්ත්‍රික්කවල කිසිවක් ඉතිරි නොවී පස සම්පූර්ණයෙන්ම සේදී ගොස් තිබේ. තදින් වර්ෂාව වසින කාලවලදී දිවයිනේ සියලුම ගංගා රතුපාට වෙයි.’’

එමෙන්ම 1928දී එංගලන්තයේ රාජකීය තාක්ෂණ විද්‍යා අධ්‍යක්ෂ ඒ.ඩබ්ලිව්. ගෝල් යටත්විජිත ආණ්ඩුව කරන ලද්දේ මෙවැනි අනතුරු හැඟවීමකි.
‘‘ඔබේ දිවයින සෙමින් සෙමින් මුහුදට සේදී යන්නාක් මෙන් පෙනේ.’’
වැසි ජලය ගැන අතීතයේ එවැනි මතවාදයන් ඉදිරිපත් වුවත් දැන් කොළඹ ප්‍රශ්නය වී ඇත්තේ වැහි වතුර ගලා නොයෑම නිසා සමහර හන්දි වැසි දාට මුළුමනින් යට වී සමස්ත ප්‍රවාහන පද්ධතියම අකර්මණය වීමයි. 1949 වසරේ වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ පරිපාලන වාර්තාව කියවීමේදී පෙනී යන්නේ එවැනි යුගවල මෙවැනි ගැටලු විසඳීමට විදේශීය විශේෂඥයන් පවා ලංකාවට ගෙන්වාගත් බවය. 1949 වාරිමාර්ග පරිපාලන වාර්තාවේ පැහැදිලිව සඳහන් වන්නේ වැසි ජලයෙන් රටට වන ප්‍රශ්නයට සතුටුදායක විසඳුම් සොයා ගැනීමට ඒ සඳහා විශේෂයෙන් ගෙන්වා ගන්නා ලද ජල ගැලීම් විශේෂඥ ඊ.වී. රිචඩ්ස් නිර්දේශ පරිපාලන වාර්තාවට අඩංගු කළ බවය.

අද කොළඹ පොද වැස්සකටත් යටවීමට ප්‍රධාන හේතුව ජලය උරා ගැනීමට පාර මැද හෝ දෙපස ආසාවට පස් තට්ටුවක් දැක ගැනීමට නොහැකි වීමය. පදික වේදිකාවේ ගහක් තිබුණහොත් එම ගස තවත් වර්ධනය විය නොහැකි වන තරමට වට කොට ඉන්ටර් ලොක් ගල් අල්ලා ඉදිරි මදි පාඩුවට කොන්ක්‍රීට් ටිකක් අනා වසා දැමීම දැන් අලුත් ‘ට්‍රෙන්ඩ්’ එක වී තිබේ. පාර්ලිමේන්තු පාරේ, මරදාන පාරේ, ගෝල්ෆේස් පාර මැද්දේ වවා තිබූ තණකොළ දැන් නැත. දැන් ඒවා සියල්ල ඉන්ටර් ලොක් ගල් හෝ කොන්ක්‍රීට් ටයිල් යොදා අමානුෂික ලෙස සීල් තබා ඇත්තේ වැහි වතුර ටිකක් පොළොවට උරා ගනු ඇතැයි සිතා විය යුතුය.

එදා පාර මැද පේමන්ට් එකේ තිබුණ තණකොළ දැන් නැත. නගරය අලංකාර කළ පාර මැද සිටුවා තිබූ මල් පැළ වැනි විසිතුරු පැළද නැත. ඒ වෙනුවට පාර මැද තීරුව ඇත්තේම ඉන්ටර් ලොක් ගල් අල්ලා ඒ මත දැවැන්ත කොන්ක්‍රීට් පෝච්චිවලට පස් පුරවා මල් වවාය. දැන් උදේ හවස මේ මල්වලට බවුසර්වලින් වතුර දමන්නට නගර සභාවට වී ඇත්තේ ඒ මල් ගස්වලට උරාගන්නට වතුර බිඳකදු නැති නිසාය.

ලෝකයේ දියුණු රටවල තම නිවසේ වැසි ජලය පොදු ප්‍රවාහන මාර්ගයකටවත් එක් කිරීමට අවසරයක් නැත. ලෝකයේ දියුණු රටවල ගොඩනැගිලි ඉදිකිරීමේදී වැසි ජලය එකතු වන භූගත දැවැන්ත ටැංකිය අනිවාර්ය අංගයකි. බොහෝවිට වසරින් වැඩි කාලයක් ගොඩනැගිල්ලේ හෝ නිවසේ උදවිය තම භාවිතයට ගන්නේ භූගතව තැන්පත් කරන ලද ජලයයි. අපේ රටේද මේ ක්‍රමය අත්හදා බැලීමට මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවන් පිරිසක් සමත් විය. තවමත් ඉදි කෙරෙමින් පවතින ජෝන් ද සිල්වා රඟහල ගර්භයේ ගොඩනගා ඇත්තේ දැවැන්ත භූගත ජල රඳවන ටැංකියකි. ඒ වැසි ජලය එක් කිරීමටයි. ඉංජිනේරුවන් ඇස්තමේන්තු කොට ඇති පරිදි එම රඟහලේ වාර්ෂික ජල පරිභෝජනයට එම වැසි ජලය ප්‍රමාණය ප්‍රමාණවත් යැය කීවත් ප්‍රායෝගිකව එය අත්හදා බැලිය නොහැක්කේ ජෝන් ද සිල්වා රඟහලේ ඉදිකිරීම් අතරමග ඇනහිටීම නිසාය.

කොළඹට වහින ජලය දැන් උරාගැනීමට කාපට් පාරවල්වලට හෝ කොන්ක්‍රීට් පේමන්ට්වලට හැකියාවක් නැත. ඒවා කෙළින්ම එක්වන්නේ අප ජලය ගලා යන කොන්ක්‍රීට් නළ පද්ධතියටය. මේවා බොහෝමයක් ජලය සමග දූවිලි, පස් ආදිය පැමිණීම නිසා ජලය ගලා බසින සිදුරු සහිත මෑන්හෝල් අවහිර වී අවසානයේ සිදුවන්නේ වතුර පාර දිගේ ගලායෑම හෝ එක තැන රැඳී පළාතක්ම වැසි ජලයෙන් උතුරා පිටාර යෑමය. කොළඹ වැසි ජලයෙන් වන්දි ලබාගත් අය ගැන ඇත්තේද අපූරු කතාය. පිටකොටුවේ පීපල්ස් පාක් සංකීර්ණය විවෘත කළ අලුත දලුවත්ත නම් මෙරට ප්‍රකට නීතිඥයකු එහි මුද්‍රණාලයක් ආරම්භ කරන ලදී. දිනක් රක්ෂණ නියෝජිතයකු පැමිණියේ මුද්‍රණාලය රක්ෂණය කරන්නටය. රක්ෂණ වන්දි ලබාදෙන අයිතම අතර ‘ගංවතුර’ ට රක්ෂණ නියෝජිතයා කවර් එකක් දමා තිබුණේ නැත.

‘‘පිටකොටුවට මොන ගංවතුරද සර්? මං ඉතින් ගංවතුර කවර් එක අයින් කළා.’’
‘‘නෑ, නෑ. එහෙම බෑ, ගංවතුර කවර් එකත් දානවා. තමුසේ කොහොමද දන්නේ මේ අලුත් බිල්ඩිම වරුසාවට යටවෙයිද නැද්ද කියලා.’’
රක්ෂණ නියෝජිතයා පිටකොටුවේ වූ ගොඩනැගිල්ලකට ගංවතුර රක්ෂණය දැම්මේ මුවඟට සිනාවක් නගා ගනිමිනි.

පිටකොටුවේ ප්‍රධාන ගොඩනැගිලි දෙකක් හැදීමේදී පොළොව හාරා වළක ගොඩනගන්නට හිටපු අග්‍රාමාතය රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්ගේ ඉංජිනේරු මොළයට සිත් වී තිබුණි. මේ ගොඩනැගිලි දෙකම ගොඩනැගුවේ ප්‍රේමදාස මහතා පිටරටක ගිය විට දුටු ගොඩනැගිලි දෙකක සැලැස්මට අනුවය. එහෙත් ඒ පිටරට ගොඩනැගිලි දෙක ගොඩනගා තිබුණේ පිහිටි පොළවක විනා පස් හාරා නොවන බව ප්‍රේමදාස මහතාගේ ටිකිරි මොළයට වැටහුණේ නැත. මේ ගොඩනැගිලි දෙක නම් පීපල්ස් පාක් ගොඩනැගිල්ල හා ගුණසිංහපුර මහල් නිවාසවල ඩයස් පෙදෙසට හා ප්‍රයිස් පෙදෙසට මුහුණ දැමූ ගොඩනැගිලිය.

පීපල්ස් පාක් සංකීර්ණය ගොඩනැගීමෙන් පසු පළමු වැස්සට මුළු පීපල්ස් පාක් බිම් මහලම යටවී ගිය අතර ගුණසිංහපුර නිවාස යෝජනා ක්‍රමයේ බිම් මහලේ නිවාසද ජලාශ බවට පත්විය. පීපල්ස් පාක් වැහි වතුරෙන් රක්ෂණ සමාගමෙන් වන්දි ලබාගන්නට සමත් වූයේ කලින් කී මුද්‍රණාල හිමියාට පමණකි.

අප වැහි වතුර හෝ ගංවතුර සලකන්නේ උවදුරක් ලෙසය. එහෙත් ලංකාවේ සිට වාරිමාර්ග අධ්‍යක්ෂවරයකු වන ගන්රි මහතා ඒ උවදුර දැක්කේ මෙසේය.

‘‘ගංවතුර වූ කලී අපේ විශාලම ජාතික ධනය වෙයි. මේ ජලස්කන්ධය අහිංසක ලෙස මුහුදට ගලා බස්සවනු පිණිස සැලසුම් සකස් කිරීම සියදිවි නසා ගැනීමක් වැනිය.’’
කුණු මෝල් හිමියන් විදේශවල හොඳම කෝටිපතීන්ය. එහෙත් ලංකාවේ අපට ‘කුණු’ උවදුරකි. සම්පතක් වන වැහි වතුරද අප උවදුරක් කරගෙන තිබේ. ජල කාර්මික විද්‍යාව සම්බන්ධයෙන් අද ලෝකය අති විස්මයජනක දියුණුවක් ලබා තිබේ. එහෙත් අප තවමත් තුම්මුල්ල යටවූ විට වතුර බහිනකම් කම්මුලට අත තබාගෙන බකං නිලාගෙන සිටිමු. මේ වැසි ජලය නිසි ලෙස කළමනාකරණය කළා නම් ‘කෝට්ටේ ප්‍රදේශයට හෙට පැය 6ක් ජලය කපයි’ වැනි ප්‍රවෘත්ති අපට නැවත දැකගන්නට ලැබෙන්නේ නැත.

වජිර ලියනගේ