කතුවැකි

තුනෙන් දෙකේ බලයෙන් යකඩ තළමු

ආණ්ඩුවේ බරපතළ බෙදීමක් ඇති වී තිබේය යන විශ්වාසය නිසා තෙල් ඇමැති උදය ගම්මන්පිලට එරෙහිව සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය විශ්වාසභංගයක් ගෙන ආවේ ඒ බෙදීම තවත් තීව්‍ර කර ගැනීමේ අරමුණෙනි. තෙල් මිල ඉහළ දැමීමට ඇමැති උදය ගම්මන්පිල වගකිව යුතු බැවින් ඔහු ඉල්ලා අස්විය යුතු යැයි පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීම නිසා එබඳු බෙදීමක් ආණ්ඩුවේ තිබුණේ යැයි සිතීමද සාධාරණය. විශ්වාසභංගය පරාද වූ දා ‘අරුණ’ පත්තරේ කාටූනයේ තිබුණේ සාගර කාරියවසම් ලණුවකින් තොණ්ඩුවක් හදා එය උදය ගම්මන්පිලගේ බෙල්ලට විසි කරන්නට සූදානම් වෙද්දී ඒ ලණුවේ අනෙක් කොන උදයට එරෙහිව විශ්වාසභංගය ගෙනා සජබ නායක සජිත් ගිලිණ රූපයකි. සාගර කාරියවසම් උදයට දැමූ තොණ්ඩුවේ ලණුවේ අනෙක් කොන සජිත් ගිල්ල බව පෙනෙන්නේ විපක්ෂයේ කණ්ඩායම් විශ්වාසභංගය නිසා මත ගැටුමකට මුල පුරා ඇති නිසාය.

ආණ්ඩුවේ බරපතළ බෙදීමක් ඇති කරන ප්‍රකාශයක් කළ සාගර කාරියවසම් ආණ්ඩු පක්ෂය යළි ඒකරාශී කර ගත්තේ නැනෝ තාක්ෂණ විධියක් දේශපාලනයේ යොදා ගනිමිනි. තෙල් මිල ඉහළ දැමීමේ වගකීම අරගෙන උදය ගම්මන්පිල ඇමැතිකමෙන් ඉල්ලා අස්විය යුතුයි කියල මම කිව්වා. නමුත් අස් කරන්නයි කිව්වේ නෑ. ඒ නිසා අස් වෙනවා වෙනුවට උදයව අස් කරන්න හදන විශ්වාසභංගයට පොහොට්ටුවේ කවුරුත් සහය දෙන්නේ නෑ.’’

කෙස් ගස හත අටකට පැළිය හැක්කේ නැනෝ තාක්ෂණයෙනි. එබඳු කෙස් පැළෙන තර්කයක් ගෙන එමින් පොහොට්ටුව පක්ෂය ඒකරාශී කර ගත් ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් තිබෙන බව ඔප්පු කර තිබේ.

තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් තිබෙන බව දැනීම ආණ්ඩුවකට අතිශය වැදගත්ය. මේ තුනෙන් දෙකේ බලය ආණ්ඩුව අවස්ථා දෙකකදී දැනට යොදාගෙන ඇත. ඉන් එක් අවස්ථාවක් වනුයේ 19 වැනි සංශෝධනය ඉවත් කිරීමය. අනෙක් අවස්ථාව යොදා ගැනුණේ තෙල් ඇමැති උදය ගම්මන්පිලගේ ධුරය ආරක්ෂා කර දීමටය.

මේ තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය දැන් රටේ තීරණාත්මක කාරණා කෙරෙහි යොදා ගත යුතු බව ජනතා විශ්වාසයය.

ආණ්ඩුවට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් වුවමනා කරන ප්‍රධාන කාරණයක් වන්නේ මේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නැතිනම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටය.

පළමුවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිට බොහෝ ව්‍යවස්ථා සංශෝධන කෙරුණේ පක්ෂවල හෝ නායකයන්ගේ හිතසුව පිණිසය. ජේ.ආර්. ජයවර්ධන පළමුවෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට වුවමනා බලය අභියාචනාධිකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීමටය. සිරිමාවෝ මැතිනියගෙන් පත්වීම් ලද අභියාචනාධිකරණ විනිසුරුවන් කෙරෙහි විශ්වාසය නොතැබූ ජේ.ආර්. ප්‍රජා අයිතිය අහෝසි කිරීම බඳු නඩුවල තීන්දුව දීම ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරුවේය. එතැනින් පටන්ගත් සංශෝධනවල භයානකකම සංශෝධනය කෙරුණේ 15 වැනි සංශෝධනයය. ඒ ජනවාර්ගික අනුපාතයට අනුව මන්ත්‍රීවරුන් තෝරා පත් කිරීමටත් 1/8ක් වූ සමානුපාතික නියෝජිත ක්‍රමයේ සීමාව 1/20 දක්වා අඩු කිරීමය. ඒ සංශෝධනය ගෙනා දා පටන් නගුට විසින් බල්ලා නැටවෙන්නට පටන් ගැනිණ. නැතිනම් කුඩා දේශපාලන පක්ෂ හෝ සුළුජන දේශපාලන පක්ෂ විසින් මහ ආණ්ඩුව නටවන්නට විය. ඒ නිසාම මේ රටේ එක ජාතික වුවමනාවකට කටයුතු කිරීම ජාතික න්‍යාය පත්‍රයකට රට කරවීම දුෂ්කර විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒකීය රාජ්‍යයක් ලෙස නම් කෙරුණද රටක් ඒකීය වන්නේ මහ පොළොවේ නොබෙදී තිබීමෙන් පමණක් නොවේ. නීතියද එකම නීතියක් වීම අත්‍යවශ්‍යය. රෝම ලන්දේසි නීතිය හා ඉංග්‍රීසි නීතිය මුස්ලිම්, තේසවලාමෙයි, උඩරට නීතිය මේ රටේ ක්‍රියාත්මකය. මේවායෙන් පැන නැගෙන අර්බුද මේ ලැබී ඇති තුනෙන් දෙකේ බලයෙන් විසඳා ගැනීම ජාතියේ ප්‍රාර්ථනයය.

ලංකාවේ මුස්ලිම් ජනතාව වෙනුවෙන්ම සිතා ඔවුන්ට වෙනමම පක්ෂයක් පිහිටු වූ ඒ. එච්. එම්. අෂ්රොෆ්ගේ බිරිඳ වූ ෆේරියල් අෂ්රොෆ් ප්‍රධාන ලංකාවේ මුස්ලිම් කාන්තාවෝ තමන්ට යකඩ විලංගුවක් වූ කාති උසාවි හා මුස්ලිම් විවාහ නීතිය ඉවත් විය යුතු යැයි හඬ නගති. පිරිමින්ගේ තනි අත්තනෝමතික තීන්දුවලට යටවෙන කාති උසාවි ගැන පර්දාව අස්සෙන් නැගෙන වේදනාව අවසන් කළ යුතු යැයි විදග්ධ මුස්ලිම්වරු කියති.

එපමණක් නොව රිෂාඩ් බද්උදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිට මියගිය දැරියගේ මරණය කියන්නේද එයය.

රටේ පොදු නීතිය අනුව වයස 18 ට අඩු දැරියක් ලිංගික කටයුතුවල යොදා ගැනීම වරදකි. කැමැත්තෙන් වුව එය සාපරාධී වරදකි. එහෙත් මුස්ලිම් නීතියට යටත් කාන්තාවන්ට වයස දොළහේ සිට විවාහ විය හැකිය. යම් විටෙක රිෂාඩ්ගේ ගෙදරදී මළේ මුස්ලිම් දැරියක් වූයේ නම් ඇය කැමැත්තෙන් එයට ඉඩ දුන්නා යැයි ඔප්පු කර ගත්තේ නම් එය දූෂණයක් නොවේ.

මේ නිසාම එම නීතිය යටතේ පාලනය වන ගෙවල්වල ඉන්නා අඩු වයස් දැරිවියෝ දරුවන් ලෙස නොපෙනේ. මේ මුස්ලිම් නීතිය අහෝසි කිරීමෙන් රටේ ළමා අපයෝජන නතර වෙතැයි සිතන්නට තරම් විකාර හැඟීමක් අපට නැත. ගල්කිස්සේ 15 හැවිරිදි දැරිය වෙබ් දැන්වීමෙන් බලා වැඩිම වාර ගණනක් පන්සලට ගෙන ගොස් ඇත්තේ ශ්‍රමණයෙකි. අනගාරික ධර්මපාලතුමාගේ මුනුපුරෙකුද, රටේ ඒකීය බව වෙනුවෙන් කැප වූ නියෝජ්‍ය ආරක්ෂක ඇමැතියකුද, මෙරට සිංහල සිනමා සක්විතියකුද, දෙවැනි විවාහය කර ගත්තේ ඉස්ලාම් ආගමට යාමෙනි. ඔවුන් මුස්ලිම් නීතියේ පිහිටෙන් දෙව් මිනිස් ලෝ සැප විඳ අවසානයේ නිවන්දොර විවර කර ගත්තා වූ බැවින් අනාගත ප්‍රභූන්ට මේ නීතිය අහෝසි කිරීම දුකට කාරණයක් වනු නියතය. එම නිසා මුස්ලිම් විවාහ නීතිය අහෝසි කිරීම බෞද්ධ නායකයන්ටද පාඩුය.

එහෙත් කිසිදු ජන වර්ගයකට යට නොවී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලැබුණ ප්‍රථම අවස්ථාව මෙයය. එය කෙනකුට ලැබෙන අවසාන අවස්ථාව බවද ජනතාවගේ විශ්වාසය. ඒ මේ තුනෙන් දෙක මෙතෙක් පාර්ලිමේන්තුවල තිබුණු තුනෙන් දෙකට වඩා වෙනස් වන්නේය.

යකඩය රත් වූ විට තළා ගත යුතුය. එය ආචාරියාගේ දක්ෂකමය.