අතන මෙතන

තුනී ලෑලි කම්හලේ මාස අටක වැටුප් නෑ

මස 8ක වැටුප් නොලැබීම නිසා කරන ලද පැමිණිලි විභාග කිරීම සඳහා ගින්තොට තුනී ලෑලි කම්හලේ සේවකයන් පිරිසක් අද දින (02)ගල්ල පොලිසියේ පැමිණිලි අංශයට පැමිණීමත් සමඟ උණුසුම් තත්වයක් ඇති වුණා.

ගිංතොට තුනී ලෑලි කම්හලේ සේවකයින් 200ක් පමණ සිටියත් සමගම අයිති කරුවන් පැමිණ නොසිටි අතර එම සමාගමේ මානව සම්පත් කළමනාකාරිනිය පමණක් පැමිණ සිටියා. එම නිසා සේවක පිරිස අවේග ශිලිව හැසිරෙන්නට වී තිබෙනවා.

පැමිණ සිටි පිරිස කියාසිටියේ මෙම කම්හලේ වසර ගණනාවක් සේවය කරන බවත් මෙම වසරේ පෙබරවාරි මාසයේ වැටුප්ද නොගෙවා මාර්තු 17වැනිදා කම්හල වසාදැමූ බවයි.

කම්හලේ හිමිකරු සේවක පිරිසට කිසිම සහනයක් ලබා නොදුන් බවත් මේ වන විට කම්හලේ අයිතිකරු කම්හලේ යන්ත්‍ර සුත්‍ර පමණක් නොව කම්හල් භූමියද කැබලි කර විකුණා දැමීමට සුදානම් වන බව ද සේවක පිරිස සඳහන් කරනවා.

පැමිණිල්ල විභාග කළ ගාල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතා කියාසිටියේ, වග උත්තරකරුවන්ට එරෙහිව නඩු 20ක් පවරා තිබෙන අතර දකුණු පළාත් කම්කරු කොමසාරිස්වරයා ද නඩු පවරා ඇති බවයි. එම නඩු රැසක වග උත්තරකරුවන්ට සිතාසි නිකුත් කර ඇති බවත්, වරෙන්තුවල පිටපත් එම ප්‍රදේශයේ පොලිස් ස්ථානයට යවා ඇති බවත්, එනිසා අත්අඩංගුවට ගැනීම කළ යුත්තේ එම ප්‍රදේශයේ පොලිස් ස්ථානය මගින් බවත් මෙහිදී මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැමිණ සිටි පිරිසට පැහැදිලි කර දුන්නා.

පසුව ගැටලුවට විසඳුමක් ද නොමැතිව පිරිස විසිර ගොස් ඇත.