කතුවැකි

තැළෙන තාත්තගෙන් තැළුම්කන දරුවන්ට අම්මෙක් ඕනෑ වී තිබේ

අපේ රටේ මධ්‍යම පන්තියට අයත් ඇත්තෝ ළමයි හදන්නේ මල් වාගේය. වැස්සට, පින්නට, අව්වට නිරාවරණය වන්නට, මදුරු මැස්සන්ගේ පහරට ලක් වන්නට ඉඩ නොදෙන්නේය. නිදා ගන්නා ඇඳේ ඇතිරිල්ලේ රැල්ලකින්වත් වේදනාවක් විඳින්නට ඉඩ නොදෙන්නේය. නාගරික හා නගරාසන්න මධ්‍යම පන්තියේ දරුවන්ට එසේ වුවත් දරිද්‍රතාවයෙන් නූගත්කමින් පිරුණ පවුල්වල දරුවන් විඳින දුක් දෑසින් දැකීමට, සවණතින් ඇසීමට අපට නොසිතෙන තරම්ය. පිරිමි ළමයකු සමග ගහකට නැංග වරදට බාප්පා පහර දී තාත්තාද පහර දී සිහි විකල් වූ විට මැදියම් රැයේ එළියට ඇද දමා මැරෙනතුරු වධ විඳි දියණියක් ගැන පුවත වාර්තා වී සති දෙකකට වඩා නැත. ඊයේ අප පත්‍රයේ වාර්තා වූයේ දරුවන් දෙදෙනකු ගස් බැඳ මිරිස් දමා හිංසා කර පහර දුන් පුවතකි. මේ වේදනාබර පුවත සමාජයට විදාරණය වන්නේ සමාජ මාධ්‍යයට පිං සිදු වන්නටය. සමාජ මාධ්‍යයට පිං සිදු වන්නේ මෙබඳු කාරණාවලදී පමණය.

බාප්පාද, තාත්තාද පහර දී මැරෙන්නට දැමූ ගම්පොළ මව්න්ට් ටෙම්පල් ජනපදයේ නිපුනි නුවන්තිකා දියණියගේ කතාවට මහත් මාධ්‍ය ප්‍රසිද්ධියක් ලැබී සතියක් ගත වීමට මත්තෙන් එබඳුම වූ අපරාධයක් වාර්තා වූයේ කෙසේද? ගම්පොළ නිපුනි නුවන්තිකාගේ පුවත මාධ්‍යයේ ප්‍රචාරය වූයේ අනුවේදනීය හැඟීමක් ඇති කරවා එබඳු වේදනාත්මක දෙයින් ජනතාව ඈත් කරවා ගැනීමටය. එහෙත් ඒ මාධ්‍ය ප්‍රචාරය සමස්ත රටටම දැනුණේ නැති බවක් අපට හැඟේ. එසේත් නැතිනම් මාධ්‍යයට අසු නොවන එමගින් සිත් සතන් වෙනස් නොවන සමාජයක් අප රටේ ඇත්තේය. මාධ්‍යයෙන් පමණක් නොව අධ්‍යාපනයෙන්, ආගමික ආයතනවල හික්මීමෙන්, මාධ්‍ය බලපෑමෙන් දුරස් වූ තිරිසන් පිරිසක් මේ සමාජයේ ඉන්නා බව අපට පෙනේ. ඒ සමාජයේ වැඩිපුරම පීඩාවට පත්වන්නේ කාන්තාවන් සහ දරුවන්ය. එසේම ඔවුනගේ ගෙවල ජීවත්වන සුනඛ, සිව්පාදී සතුන්ය. එයට සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් නැත. රිෂාඩ් බද්උදින්ගේ නිවසේ මෙහෙකාරිය වතුකරයේ දැරියකි. නිපුනි නුවන්තිකා දැරියට පහර දුන්නේ සිංහල බෞද්ධ බාප්පා හා තාත්තාය. ඊයේ පත්‍රයේ පළ වූ දරුවන් දෙදෙනා දෙමළ දරුවන්ය. වැඩිපුරම පීඩාවට පත් වන්නේ දරිද්‍රතාවය, නූගත්කම හා බේබදුකම සහිත පවුල්වල දරුවන්ය. නිපුනි නුවන්තිකා මව්න්ට් ටෙම්පල් ජනපදයේය. ඊයේ පහර කෑ දරුවන් දෙදෙනා හැටන් කුඩා ඔය ජනපදයේය.පාතපදිකයන්වීමෙන්ම ඔවුන් ලද ජීවිතයේ ස්වරූපය පෙනේ.

මේ සමාජ කොටස උත්පාද කෙරෙන්නේ අයුක්ති සහගත අර්ථ ක්‍රමය විසිනි. එදිනෙදා වේල සොයා ගැනීමට වෙහෙසෙන ජනතාව නිතර ඉන්නේ කෝපයකිනි. ආර්ථික වශයෙන් දුප්පත් වන එදා වේල සරි කර ගැනීමට වෙහෙසෙන ජනතාව කවරකු හෝ පිටින් තම වෛරය, පීඩනය පා කර ගැනීමම සිරිතය.

කුදිරකාරයකු දරුවා නැති වූ දුක අස්ස කරත්තයේ යන පොහොසත් මගියන්ට කීවද ඔවුන් එයට අකැමැති වූ විට පිදුරු මඩුවේ ගැට ගැසූ අශ්වයාට දුක කී කතාව ලෝක ප්‍රසිද්ධය. කරත්තයේ යන කවුරුවත් කරත්තකාරයාගේ දුකට ඇහුම්කන් නොදුන් නිසා අශ්වයාට දුක කියා වේදනාව පහ කර ගැනීම මනුෂ්‍ය ස්වභාවයේ එක පැත්තකි. තමන්ට ආර්ථික ආදී පීඩාවන්ද හාම්පුතුන්ගේ කරදර හිරිහැර නිසා උපදින කෝපයද තමන්ට වඩා අසරණයකු පිටින් යැවීම මෙහි අනෙක් පැත්තය.

වැඩපළේ හාම්පුතුන්ගෙන් පීඩාවට පත්වන කම්කරුවා බීමත්ව ගෙදර ඇවිත් තම බිරිඳට තඩි බායි. අම්මා ලංකාවෙන් විදේශ රැකියාවකට ගිය විට ගෙදර ඉන්නා දරුවන්ට බීමතින් අවුත් පහර දෙන ලක්ෂ ගණනක් තාත්තලා මුහුණු පොතට අසුවන්නේ නැත. ආර්ථික දුෂ්කරතා නිසා අම්මා විදේශගත වූ විට ඒ පවුල්වල දැරියන් අඩු වයසෙන් මල්වර වී 18 පනින්නට පෙර වැඩිහිටි පිරිමි කීප දෙනකුගේ අතවරයට පත් වූ සමීක්ෂණ වාර්තා අපමණය.

මේවා කොතරම් ප්‍රචාරය කළත් ඒවා ඒ සමාජය වෙනස් කරන්නට හේතු වන්නේ නැති තරම්ය. එසේ නම් කළ යුත්තේ කුමක්ද?

මුළු රටේම ආර්ථිකය විපර්යාසයක් වී පන්තීන් අතර තිබෙන අසමානකම් දුරුව යනතුරු අපට බලා සිටිය නොහැකිය. අප කළ යුත්තේ සෑම දරුවකු වෙතම අවධානය යොමු වන වැඩපිළිවෙළකට යාමය. මේ රටේ ඉන්නා ලක්ෂ ගණනක් දරුවන් වෙත එබඳු මහා කරුණාවක් පෑ හැක්කේ කෙසේදැයි කෙනකු තර්ක කරනු ඇත.

මේ රටේ දරුවන් සෑම කෙනෙක්ම වයස අවුරුද්දක් දෙකක් යනතෙක් පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ අධීක්ෂණය ලැබෙයි. ඔවුන් මව්වරුන් සමග පවත්වන්නේ අවියෝජනීය සබඳතාවකි. මෙබඳු පවුල්වල තත්ත්වය ගැන අවබෝධයක් ඇති එම නිලධාරිනියන් මගින් මේ අය ගැන සොයා බැලිය හැකිය. ඊළඟට රටේම දරුවන් වයස පහේදී පාසල් එති. සෑම පාසලකටම ගුරුවරයෙක්, දෙදෙනෙක් මව අහිමි, මව විදේශගත වූ දරුවන් ගැන දෛනිකවම සොයා බැලීමට යෙදවිය හැකිය.

සිංහල රජ කාලේ අපූරු නීතියක් ගම්වල ක්‍රියාත්මක විය. ගමක කෙනෙක් සියදිවි නසා ගතහොත් රජු කරන්නේ ගමටම දඩ ගැසීමය. ඊළඟට ගමේ ප්‍රභූන්ට දඬුවම් දුන්නේය. පෙර රජ කාලේ මනුෂ්‍යයකුගේ සිත් තැවුල් වධ වේදනාවලට කවුරුත් වගකිව යුතුය යන පදනමෙනි. කවර හෝ හේතුවක් නිසා පීඩනයට පත්වන පුරවැසියකු ආරක්ෂා කර ගැනීම සෙසු ජනතාවගේද වගකීමය යන පදනමෙනි. කන්න නැතිව මඤ්ඤොක්කා කොළ කා මළ දරුවන් ඉන්නා ගමේ ප්‍රාදේශීය ලේකම්ටද, නිලධාරින්ටද එරෙහිව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැඩිව කටයුතු කළේය. එසේම දරුවකු වධයට ලක්වනු දැනගත් වහාම ඊට එරෙහිව ක්‍රියා නොකරන සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එබඳු දෑ හෙළි කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට උත්තම පූජා පැවැත්විය යුතුය.