කතුවැකි

තානාපති නිලධාරිනිය පැහැර ගැනීම CCTV දැක්කෙ නැත්තේ ඇයි?

සිංහල අලුත් අවුරුදු උත්සවවල බනිස් කෑමේ තරගය, ග්‍රීස් ගහේ නැගීමේ තරගය සේම ‘‘සැඟවුණු අමුත්තා සෙවීම’’ නමින් ද තරගයක් තිබේ. මේ තරගයේ විශේෂත්වය වන්නේ ‘සැඟවුණු අමුත්තා සෙවීම’ නමින් නම් කළද තරගය අවසන් වන තෙක්ම සැඟවුණු කිසිවකු නොසිටීමය. එහෙත් සහභාගි වන සියලුම දෙනාම සැඟවුණු අමුත්තා සෙවීම නිසා ඒ තරගයට අවුරුදු උත්සවයේ විශේෂ තැනක් හිමිවේ. එය සෑම දෙනාගේම අවධානය දිනාගත් තරගය බවට පත්වේ.

පසුගිය දිනෙක වාර්තා වූ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන යෑමේ පුවතද අපට සැඟවුණු අමුත්තා සෙවීම සිහිපත් කරන්නේ, පැහැර ගැනීමකට ලක් වූයේ කවරකුදැයි තවමත් හෙළිදරව් වී නොමැති බැවිනි.

පසුගිය සිකුරාදා (29 වැනිදා) කොළඹ ස්විස් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකින් කියැවුණේ ඒ සතියේ සඳුදා තම කාර්යාලයේ නිලධාරිනියක කිසියම් නාඳුනන පිරිසක් විසින් ඇයගේ කැමැත්තෙන් තොරව මෝටර් රථයක නංවාගෙන ගොස් තිබෙන බවය. මේ නාඳුනන පිරිස බරපතළ ලෙස ඇයට තර්ජනය කොට තිබෙන අතර ඔවුන් තානාපති කාර්යාලයේ කටයුතු ගැන ඇයගෙන් ප්‍රශ්න කර ඇති බවද තානාපති කාර්යාලය නිවේදනයේ සඳහන්ව තිබිණ.

තානාපති කාර්යාල නිවේදනය එසේ සඳහන් කළත් ආරංචිය පැතිර ගියේ පැහැර ගැනීම සිදුව ඇත්තේ ‘‘සුදු වෑන්’’ එකකින් කියමිනි. මේ නිසා චෝදනාව කෙළින්ම එල්ල වූයේ ආණ්ඩුවටය. චෝදනාව බරපතළ වූයේ පැහැර ගැනීම සිදු වූ බව කියන දිනට පෙර දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා සිය දරු පවුල පිටින් ස්විස්ටර්ලන්තයේ රැකවරණ ලබා රටින් පලාගොස් තිබීමය. ඇතමකු මෙම පැහැර ගැනීමේ පුවත අන්තර්ජාලය හරහා බෙදාහැර තිබුණේ මේ සිද්ධිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ අනාගතයේ පෙර නිමිත්තක් ලෙස හඳුන්වමිනි.

කෙසේ වෙතත් පැහැර ගැනීම සිදු වූ බව කියන පසුගිය සඳුදා (25 වැනිදා) සිට මේ වන විට දින හතක්ද ඉක්මගොස් ඇතත් තවමත් පැහැර ගැනීමට ලක් වූ බව කියන නිලධාරිනිය පරීක්ෂණ සඳහා ඉදිරිපත් කිරීමට තානාපති කාර්යාලය අපොහොසත් වී තිබීම සැක සහිත කාරණයක් වී තිබේ.

සිද්ධියට අදාළව තානාපති කාර්යාලය ලබාදුන් සීමිත තොරතුරු ඔස්සේ පරීක්ෂණ පැවැත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගත් තෙිරතුරු හා තානාපති කාර්යාලය ලබාදුන් තොරතුරු අතර පරස්පරතාවක් තිබෙන බවද අනාවරණය වී ඇත.

මේ සියලු තත්ත්වයන් මත ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැර ගැනීමේ පුවත නිර්මාණය කරන ලද්දක්ය යන චෝදනාව බැහැර කළ නොහැකි බරපතළ චෝදනාවකි. මෙය නිර්මාණය කරන ලද පුවතක් නම් එය තානාපති කාර්යාලයේ අනුදැනුමකින් තොරව අදාළ නිලධාරිනියගේ පෞද්ගලික අවශ්‍යතා මත සිදු වූවක්ද විය හැකිය. එය එසේ නම් අදාළ නිලධාරිනිය පරීක්ෂණ සඳහා ඉදිරිපත් කිරීමට තානාපති කාර්යාලය පියවර ගත යුතුය. එහෙත් තානාපති කාර්යාලයද තවමත් එසේ නොකර සිටීමෙන් එම කාර්යාලයද මීට සම්බන්ධ බවට වන සැකය ඇතිවීම වැළැක්විය නොහැකිය.

2009 වසරේද මේ අන්දමටම ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවකයකු පැහැර ගැනීමේ පුවතක් වාර්තා විය. එහෙත් පසුව හෙළිදරව් වූයේ එය එරට වීසා ලබා ගැනීමේ අරමුණෙන් නිර්මාණය කරන ලද සිද්ධියක් බවය. ඒ යුගයේ බටහිර රටවල දේශපාලන රැකවරණ ලබාගිය ඇතැමකු මෙවැනි ව්‍යාජ සිද්ධීන් පදනම් කරගෙන වීසා ලබා ගන්නට ඇතැයි ඒ අනුව අපට අනුමාන කළ හැකිය.

අනෙක් අතට මේ රටවල් දේශපාලන රැකවරණ ලබා දීමේදී අනුගමනය කරන පිළිවෙත කුමක්දැයි යන කාරණයද පැහැදිලි නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාට ස්විට්සර්ලන්තයේ රැකවරණ දෙන්නට පදනම් වූයේ කුමන කාරණයක්ද යන්න පැහැදිලි කිරීමට මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට හැකියාවක් තිබේද යන්න අපි නොදනිමු.

කෙසේ හෝ වේවා ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුවට එරෙහිව චෝදනා කරන්නට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය දැනුවත්ව හෝ නොදැනුවත්ම ‘‘හොඳ’’ ප්‍රවෘත්තියක් නිර්මාණය කර දී තිබේ. මේ චෝදනාව පිළිගත හැකි අන්දමට ඉදිරිපත් නොවනතාක් අපට එය සැලකීමට සිදුවන්නේ නිර්මාණයක් ලෙසය. එය එසේ නොවන බව ඔප්පු කළ යුත්තේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය විසිනි.

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය කියන මෙම පැහැර ගැනීමේ සිද්ධිය සත්‍ය වේවා, අසත්‍ය වේවා ඒ තුළින් රටට සිදුවන හානිය බරපතළය. විපක්ෂයත්, ආණ්ඩු විරෝධී වෙනත් පාර්ශ්වයනුත් ළදරු ආණ්ඩුවට පහර දීමට මේ සිද්ධිය හොඳ අවස්ථාවක් කරගෙන තිබේ. තම තමන්ගේ පරාජයන්ගේ ලැජ්ජාව වසා ගැනීමට ආණ්ඩුවට පහර දීමට ඔවුන්ට මෙය හොඳ සිද්ධියක් වුවත්, මේ හරහා පහර වදින්නේ රටටය. එහෙත් ඇමෙරිකාව සමග එක්ව රටට එරෙහිව යුද අපරාධ චෝදනා නැගූ අයට රට ගැන එවන් හැඟීමක් තිබිය හැකි යැයි අපේක්ෂා කිරීමද මෝඩකමකි.

ඒ අනුව බලන විට පෙනී යන්නේ මෙවැනි ප්‍රවෘත්තියක් නිර්මාණය කරදීමෙන් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයද සේවය කරමින් සිටින්නේ මේ ආණ්ඩු විරෝධී බලවේගවලට බවය. 2015 දී මෙරට පැවති පාලනය වෙනස් කිරීමට එක් වූ රටවල් අතර ස්විස්ටර්ලන්තයද සිටියේය. ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනාවලට සහාය දැක්වූයේය. මේ නිසා ස්විස්ටර්ලන්ත තානාපති නිලධාරිනිය පැහැර ගැනීමේ සිද්ධියේ කරුණු පෙළ ගැසෙන අන්දම අනුව මේ යුද අපරාධ චෝදනා ගැන අපට යළි බරපතළ ලෙස සිතන්නට සිදු වේ.

කෙසේ වෙතත් තානාපති කාර්යාලය කියන අන්දමට ඔවුන්ගේ නිලධාරිනියක පැහැරගෙන යෑමක්, සිදුව තිබේ නම් එය බිහිසුණු තත්ත්වයකි. කවරකු විසින් ඒ භීෂණකාරී ක්‍රියාව කර ඇතත් ඔවුන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමය. මේ නිසා මෙම සිද්ධියේ සත්‍ය අසත්‍යතාවය අනාවරණය කිරීමට ආණ්ඩුව වගබලාගත යුතුය. එසේ නොවුණහොත් ජනතාව ලබාදුන් ජයග්‍රහණය ආණ්ඩුව අතින් ගිලිහී යාමට වැඩි කලක් ගත නොවනු ඇත.

සාමාන්‍යයෙන් සැකයේ වාසිය ඇත්තේ විත්තියට වුවත් මේ සිද්ධියේදී සැකයේ වාසිය පැමිණිල්ලටද තිබෙන බව ආණ්ඩුව තේරුම්ගත යුතුය.